» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/01/2016 - දේශය
ඔබාමා වශීකළ අරීතා

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ කඳුළු මේ දිනවල ලෝක අවධානයට ලක්ව ඇති කාරණා අතර තවත් එකකි. ඇමරිකාවේ වෙඩික්කාරයන් ගේ හිරිහැර හෙයින් ජීවිත අහිමි වන අහිංසක දරුවන් ගැන කඳුළු හෙලන බැරක් ඔබාමා එය සියුම් අකාරයකට හදවත් කම්පනයට පත් කරවයි. එයට කලින් දිනයක ද තමන්ගේ ඇස් කෙළවර පිස දමා එක්තරා උණුසුම් අවස්ථාවක දී හෙතෙම මොහොතකට හැඟීම්බර වූ ආකාරය තවත් සංවේදී සිද්ධියකි. ලෝකයේ බලවත්ම රටේ පළමු පුරවැසියා කම්පනයට පත් කළ එකී අවස්ථාවට පසුබිම වූයේ ආත්මීය ගායිකාවක වශයෙන් කිරුළ දැරූ ගායිකාවක ගේ ගායනා විලාශය වීම විශේෂ සිද්ධියකි.

ඇය හැත්තෑ තුන් හැවිරිදි සම්භාව්‍ය ශ්‍රේණියේ ගායිකාවක වන අරීතා ෆ්රැන්ක්ලින්ය. අරීතා ජනාදරයට පත්වන්නේ සරල වින්දනාත්මක ගී ගයනා කරන හෙයින්ය. උණුසුම් අදහස් පතුරවන නිසාය. එහෙයින් ඇය ජනතාවාදී ගායිකාවකි. බැරක් ඔබාමා පළමුවරට ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන විට අරිතා ඔහු වෙනුවෙන් ගීතයක් ගායනා කළාය. ඔබාමා ඇමරිකාවේ ජනාධිපති තරඟයෙන් දිනන්නේ අතිශය ජනප‍්‍රසාදයට පත් ජනතා බලවේගයේ ප‍්‍රතිඵලයක් වශයෙන්ය. කලූ සම්භවයක් ඇති පරම්පරාවක දරුවෙකු වශයෙන්ය. අරීතා ද කලූ ඇමරිකානු ගායිකාවක වශයෙන් දිවුරුම් දෙන උළෙලට එකතු වෙන්නේ එහෙයින්ය. පෑගී පහල තලයේ සිටි කලූ ජාතිකයන්ගේ අභිමානය ඉහළට කැඳවන්නට වෙනස් තල දෙකකින් ඉදිරියට පැමිණ එකම වේදිකාවේ දී ඉහළින්ම ජනාදරයට පත්වන විට එහි සිටින ජන නායකයෙකුගේ නෙතට කඳුලක් වශයෙන්ය.

අරීතා ෆ්රැන්ක්ලින් ගී ගයන්නට පටන් ගන්නේ කුඩා වියේ දී දේවස්ථාන ගීතිකා කණ්ඩායමේ ගීතිකා ගයමින්ය. ඇයගේ ස්වරය සහ ළගන්නා ගායනා විලාශය අනුව කොලොම්බියා තැටියකට සම්බන්ධ වෙන්නට ඉඩකඩ ලැබේ. එය එවකට ඇගේ පරම්පරාවේ උරුමය දිනාගත් අති විශාල අවස්ථාවකි. අවුරුදු දහ අටේ දී දේවස්ථානයේ ගී ගැයූ අරීතා හැටේ දශකයේ දී ඇමරිකානුවන්ගේ ජනප‍්‍රසාදය දිනාගත් ප‍්‍රමුඛ පෙලේ ගායිකාවක වශයෙන් නමක් දිනාගත්තාය. අරීතා ෆ්රැන්ක්ලින් ගේ ගමන දෙස ආපසු හැරී බලන විට ලෝකය පුරා පුලූල් අවධානයකට ලක්වූ අතර ඉහළම සම්මාන වලට පාත‍්‍ර වූවාය. ඉතාම වැදගත් මං සලකුණක් බවට පත්වන්නේ ඇයගේ ගීත ඇල්බමයක් මිලියන හැත්තෑ පහක පිටපත් ප‍්‍රමාණයක් අළෙවි වෙමින් ඉහළම වාර්තා පිහිටුවීමය.

අද ඇමරිකාවේ ඉහළම තැනෙක හිඳ ජනතාව හැඟීම්බර කරන නමුත් අරීතා ගමන පටන් ගන්නා විට ජීවිතය පහසු කරන බවක් පෙණුනේ නැත. ඇය උපන්නේ ඇමරිකාවේ ටෙන්සිසි ප‍්‍රාන්තයේය. බාල වියේ දීම නිවෙස අත් හැර නිව්යෝක් හි වෙනත් ප‍්‍රදේශයකට යන්නට ෆ්රැන්ක්ලින් පවුල තීන්දුවක් ගනී. ඇයගේ ජීවිතයේ අවුරුදු හය ලබන විට දෙමවුපියන් අතර ප‍්‍රශ්නයක් නිසා වෙන්වන අතර අම්මා සමග ජීවත්වන ඇය තවත් අවුරුදු හතරක් අවසානයේ දී හුදෙකලා වෙන්නීය. දහ හැවිරිදි වියේදී මව ජීවිතයෙන් සමුගන්නා අතර මිත්තනිය හා තවත් ඥාතී කාන්තාවන් ඇසුරෙහි වැඩෙන්නේ සෝ බරවය. අරීතා ගේ තාත්තා නිතර පැමිණ දරුවන්ගේ දුක සැප විමසයි. මිත්තණිය ඇතුළු පවුලේ ඥාතීන් ඇසුරෙහි පියානෝ වාදනය ඉගෙනගන්නා ඇය ගේ දස්කම් මුලින් දකින්නේ අරීතාගේ පියා වන බැප්ටිස් දේවගැති සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි එල්. සී. ෆ්රැන්ක්ලින්ය. ඇයගේ අතින් අල්ලාගෙන දේවස්ථාන වල ගීතිකා ගායනා කරවමින් යන ගමන තුළ එකිනෙකට වෙනස් අත්දැකීම් ඇය අත් වින්දාය. එයින් ජීවිතය අනාවරණය කරගත්තාය. එය විශාල පරිවර්තනයකි. පසු කාලයක ඇය කියා සිටියේ තමන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ කුරුළු පැටවුන් අතර සිටි වෙනස් ආකාරයේ කුඩා පැටියෙක් වූ බවය. එම කුඩා කුරුළු පැටවා වට පිට බලන විට ලොකු මහත්වන විට තමන්ට දැණුනේ අහසේ සරණ උකුස්සෙකු වැනි බවය. තමන්ට පහල තලයේ සිදුවන දේ උකුසු ඇසින් දකින්නට හැකිවූ අතර ඒවා නිර්මාණ බවට පත්වන්නට ඇති බව ප‍්‍රකාශ කළාය. අරීතා ෆ්රැන්ක්ලින් ගෙන් ඇය වඩාත් සමීප පියා ගේ ජීවිතය හා එම ජීවිතය තුළ අම්මාට වඩා වෙනත් කාන්තාවන්ට තිබූ තැන ගැන විමසන විට ඇය එක හෙලා කියා සිටියේ ඒවා නොදන්නවා පමණක් නොව නොවැදගත් හා ඒ ගැන කිසිසේත් එකිනෙකා සමග සාකච්ඡා නොකළ බවය.

අරීතා ගේ පරම්පරාව අප‍්‍රිකානු කලූ පැත්තෙන් පැවත එන්නකි. මෙයින් පරම්පරා හතරකට පහකට කලින් අප‍්‍රිකානුවන් ඇමරිකාවට රැගෙන එන්නේ වහල් සේවයටය. කලූ ජාතිකයන්ට ඇමරිකාව තුළ තිබුණ අසමානතා අද නැත. ඔවුන් මුහුණ දුන් වේදනාත්මක අත්දැකීම් අද පරම්පරාව තවමත් සිහිපත් කරන්නේය. ඒ කාලයේ දී කල්ලන්ට පුලූවන්කමක් ඇත්තේ බාස්කට් බෝල් ගහන්නත්, ගීත ගයන්නටත් පමණක් යැයි ඇමරිකානුවක් කියන්නේ ප‍්‍රසිද්ධියේය. මාර්ටින් ලූතර් කිං වැනි නායකයන් අරගල කරන්නේ වහල් භාවයට විරුද්ධවය. අරීතාගේ තාත්තා පමණක් නොව අරීතා ද පන්නරය ලබන්නේ එම වේදනාත්මක සිදුවීම් වලින්ය. එම අතීතය පරාජය කර පහලම තැන සිට ඉහළටම නැග ජන හදවත් අතර බැබලෙන විට එම ගමන ගැන ආපසු හැරී නොබලන්නට නොහිතෙන්නේ මන්ද? අරීතා උකුසු ඇසින් දකින්නේ එම ස්වභාවයයි.

අරීතා සහ බැරක් ඔබාමා අතර ඇති බැඳීමට පසුබිම කලූ ජාතික පදනමයි. කලින් ලැබූ වෙනස්කම් මත අරගලයක් කර තමන්ගේ පැලැන්තියේ අය එකට ඉදිරියට එන විට හැඟීම් මතු වීම නිරායාසයෙන් සිදුවන්නකි. විශේෂයෙන් තමන්ගේ ජනාධිපති පදවිය සමග සස‍ෙඳන විට ජනතාව වශීකරන ආකාරයට උන්මාදයක් සේ පැතිරෙන අරීතා ෆ්රැන්ක්ලින්ගේ ප‍්‍රතිභාව ගැන දැනෙන විට ආඩම්බරයක් දැනෙන එක සාධාරණ අවස්ථාවකි.

අරීතාගේ පරම්පරාවේ ගමන් මග ගැන දස දහස් ගණනින් ලිපි ලේඛන ලියැවී තිබේ. කෘති ගණනාවක් සම්පාදනය වී ඇත. ඒවායේ හරය කලූ හමක් ඇති කාන්තාවක් වශයෙන් අත්පත් කරගත් අවස්ථාව ගැනය. බොහෝ විට වෙනත් රටකට පැමිණ නොසැලකිල්ල නිසා ආපසු හැරී යන්නට තිබූ ගමන වෙනස් කරන්නට හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ දේවස්ථානයේ ගීතිකා ගැයීමට ඉදිරිපත්වීම බව විචාරකයන් දක්වන කරුණකි. සුදු ජාතිකයන් අතර තැනකට පැමිණ ඇමරිකාවේ හදවත් දිනා ගන්නට හැකිවන ආකාරයට යථාර්ථවාදී ගීත ගයන්නට අරීතා සමත්වීම ද අගයන කාරණයක් බවට පත්ව තිබේ. අරීතා ෆ්රැන්ක්ලින් අද හඳුන්වන්නේ ජනහදවත් දිනාගත් ගායිකා රැජනක හැටියටය. අවුරුදු දහයේ දී ගීතිකා ගායනා කරන විලාශයේ සිට හැත්තෑ තුන් හැවිරිදි වියේ දී පරිනතව ආපසු හැරී බලන විට එය සුවිශේෂී තත්ත්වයක්ය. ඇගේ ගමන අනුව හාවඞ් විශ්ව විදයාලය ගෞරව උපාධියක් පිරිනමා තිබේ. ආචාර්ය උපාධියක් පිරිනමන්නේ ප‍්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයයි. හේල්, මිචිගන් සහ තවත් විශ්ව විද්‍යාල ගණනක් සහ සංගීත පීඨ කිහිපයක් තවත් උපාධි පිරිනමා තිබේ. මේ සියල්ල දෙස අරීතා බලන්නේ උපේක්ෂාවෙන්ය. ජනතාන්ත‍්‍රිකත්වය එයයි. මිනිසුන් වෙනුවෙන් ගායනා කිරීම මිනිසුන්ගේ හදවත් අවදිකිරීම වෙනුවෙන් ඇය ලබා ඇති ජන උපහාරය එයට නොදෙවෙනිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.