» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/12/2018 - දේශය
අනාගතයට සූදානම් වන රාහුල් ගාන්ධි

තමන්ගේ මොහොත උදාවන තුරු බලා සිටි ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පළමු වතාවට සිය ශක්තිය පෙන්වා තිබේ. බලසම්පන්න නායකයෙකු වශයෙන් ඉන්දියාවේ ධජය අතට ගත් නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වය සසල වී ඇති බව නොබෝදා නිකුත් වූ ප‍්‍රාන්ත තුනක මැතිවරණ ප‍්‍රතිඵල පෙන්වයි. තද ප‍්‍රතිපත්ති සහිත, බලවත් චරිතයක් සේ පැමිණි මෝදි ගේ ජනප‍්‍රියත්වය අඩු වී ඇති බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී බී.ජේ.පී. පක්ෂය සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත්වනු ඇත්ද යන්න ද එහි දී සාකච්ඡා කෙරේ.

ඉන්දියානු නිදහස් සටනේ නායක නේරු පරම්පරාවේ උරුමය සහිත රාහුල්, ප‍්‍රවේශමෙන් ඉදිරියට පැමිණෙන බව පෙනේ. ජවහල් ලාල් නේරු ගෙන් පසු ඔහු ගේ දියණිය ඉන්දිරා ඉන්දියාවේ නායකත්වයට පත් වූ අතර ඇගේ ස්වාමියා වූ ෆෙරෝස් ගාන්ධි ගේ වාසගම එයින් පසු ඉදිරියට භාවිතා විය. ඉන්දිරා ගේ පුත් රජීව් ගාන්ධි ඝාතනය සමග ඔහුගේ බිරිඳ ඉතාලි ජාතික සෝනියා ට කොන්ග‍්‍රස් නායකත්වයට පත්වන අවස්ථාව පැවැති නමුත් ඇය ඉන්දියානු පැවැත්ම උදෙසා එයට අවනත නොවූවාය. කොන්ග‍්‍රස් පක්ෂයේ උපදේශක ධුරය භාරගත් සෝනියා සිය පුතු රාහුල්ට දේශපාලන මාවත විවෘත කළාය. රාහුල් ගාන්ධි ගේ ජයග‍්‍රහණයක් සමග නේරු පරම්පරාවේ හතරවැනි යුගය ඇරඹෙන අවස්ථාවක් උදා වූවහොත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝක දේශපාලන ඉතිහාසය සලකන විට පවුල් නායකත්වය සම්බන්ධ අලූත් වාර්තාවක් වනු නිසැකය.

නව දිල්ලියේ ඉගෙනගත් බාල කාලයේ දී රාහුල් එතරම් ජනතාව සමග ගැවසුණ චරිතයක් වූයේ නැත. ආරක්ෂක හේතු මත සාමාන්‍ය පාසල් අධ්‍යාපනයෙන් බැහැර ව සිටි හෙතෙම ඉන්දියාවේ විශ්ව විද්‍යාල ගනණාවකට ඇතුළුවීමේ සුදුසුකම් තිබුණත් ඔහු තෝරා ගත්තේ ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයයි. පළමු වසර එහි ගත කිරීමෙන් පසු ප්ලොරීඩා ප‍්‍රාන්තයේ රෝලින් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. පසුව පශ්චාත් උපාධිය කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ දී ලබාගෙන තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන අධ්‍යයනය හදාරන ලද හෙතෙම ඉන් පසු ලන්ඩන් හි නිරීක්ෂණ ආයතනයක සේවයට එකතු විය. පසුව මුම්බායි මූලස්ථානය කරගත් තාක්ෂණික සේවා ආයතනයක් ආරම්භ කළේය. කොන්ග‍්‍රස් පක්ෂයේ ශිෂ්‍ය හා තරුණ සංවිධාන වල කටයුතු වලට සම්බන්ධව දේශපාලනයට සේන්දු වූ හෙතෙම 2004 වසරේ දී ඔහු ගේ පියා නියෝජනය කරන ලද මැතිවරණ කොට්ඨාශයෙන් ඡන්දයට ඉදිරිපත් වී ජය අත් කරගත්තේය. 2009 හා 2014 වසර වල පැවැති මැතිවරණ වල දී ද ඔහු ජය අත් කරගත්තේය. පළමුවෙන් කොන්ග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් තනතුර හෙබවූ රාහුල්, 2013 වසරේ දී උප සභාපති ධුරයට පත් විය. 2014 මැතිවරණය මෙහෙයවන ලද රාහුල් එයින් දරුණු පරාජයක් ලැබූ බව සඳහන් කළ යුතුය. එයට කලින් වතාවේ ආසන 206 ක් හිමි කරගෙන තිබුණ කොන්ග‍්‍රස් පක්ෂය ආසන 44 කට සීමා කරන්නට බී.ජේ.පී. ය සමත් විය. එයින් වසර හතරකට පසු කොන්ග‍්‍රස් නායකත්වයට පත් වූ රාහුල් ජනතා අරගල අතරට ගියේය. ක‍්‍රමයෙන් බලවේගය ගොඩනැගීය. දරිද්‍රතාවය තුරන් කිරීම ඔහුගේ වෑයමයි. රට තුළ සංහිඳීයාව ඇති කිරීම දර්ශනය වී තිබේ.

රාහුල් ගාන්ධි කොන්ග‍්‍රස් නායකයා වශයෙන් ඉන්දියාවේ නොයෙක් පලාත්වලට ගොස් දුප්පත් ජනතාව සමග කතා කළේය. වසර තුනකට කලින් හෙතෙම උත්තර ප‍්‍රදේශයේ ගොවීන් සමග කාලය ගත කරන ලද අතර එයින් අත්දැකීම් ලද බව සඳහන්ය. එහි දී ගොවීන් ගේ කටුක ජීවිතය ගැන නගරයට පැමිණ කතා කළේය. ගොවීන් ලක්ෂයක් පමණ සහභාගී වූ රැළියක දී පළමු වතාවට මෝදි ගේ පාලනයට අභියෝග කරන්නට සමත් විය. අති විශාල ජයක් ලැබූ නරේන්ද්‍ර මෝදි එම ජය අත් කරගත්තේ ‘‘ගජ මිතුරු කර්මාන්තකරුවන්ගේ ධනය විසි කිරීමෙන්’’ බව කියා සිටියේය. ඉන්දියානුවන්ගේ පාරම්පරික ඉඩම් ධනවතුන්ට පවරමින් සිටින අතර එය ‘‘මහ දවල් සිදුකරන මංකොල්ලයක් ’’ බව දැක්වීය. මෝදි ආණ්ඩුව ඉඩම් පණතක් යෝජනා කළ විට එයට සහමුලින්ම විරුද්ධ වූ රාහුල් ගාන්ධි කොන්ග‍්‍රස් පක්ෂය එයට එරෙහිව දැවැන්ත විරෝධතා ගොඩ නගන පක්ෂයක් බවට හැරවීය.

රාහුල් ගාන්ධි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිම් වලලූ පුළුල් කරන්නට කැපවිය. දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට තිස් තුන දක්වා නංවන යෝජනාවක් රාජ්‍ය සභාවට ඉදිරිපත් කර සම්මත කරගත් නමුත් එය ලොක් සභාවට ඉදිරිපත් නොවී තවමත් පවතී. කාන්තාවන් ගේ සහභාගීත්වය වැඩි කරන යෝජනාවකින් රටේ දියුණුව වේගවත් කළ හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ දී හෙතෙම ක‍්‍රියාකාරීව කටයුතු කරයි. මුලින් ගුවන් සේවා කමිටු සාමාජිකයෙකු සේ ක‍්‍රියා කළ හෙතෙම පසුව විදේශ කටයුතු සහ තවත් පාර්ලිමේන්තු කමිටුවක් වන මුදල් හා රාජ්‍ය සමාගම් කමිටුවේ සාමාජිකත්වය උසුලයි. එහි දී ඉදිරිපත් කරන අදහස් හා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන කරන විවේචන පසෙකට කරන්නට මෝදි ආණ්ඩුව අසමත්ව තිබේ.

වසර 132 ක් පැරණි කොන්ග‍්‍රස් පක්ෂයේ නායකත්වයට පත් වන රාහුල් ගාන්ධි එය අතට ගත්තේ ඉන්දියානු මහ මැතිවරණයේ දී සියයට අටක පමණ බලයකට සීමා වූ අවස්ථාවකය. ආසන 543 කින් 44 ක පමණක් දිනා ගත් කොන්ග‍්‍රස් පක්ෂය විපක්ෂයට තල්ලූ වූ අතර බොහෝ දෙනා ගේ විශ්වාසය අනුව බලවත් මෝදි ගේ නායකත්වය හමුවේ තරුණ රාහුල් බරපතල අවදානමක බවය. නමුත් පැවැති ප‍්‍රාන්ත මැතිවරණ වල දී කොන්ග‍්‍රස් පක්ෂයේ ධජය ඉදිරියට ගෙන එන්නට හෙතෙම සමත් වී තිබේ. මැතිවණ වල දී දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කය යමින් වෙහෙස දනවන ඡන්ද ව්‍යාපාරයක නිරත වූ අතර අද වන විට එහි ප‍්‍රතිඵල අත්පත් වෙමින් තිබේ. දේශපාලනයට අවතීර්ණ වී ගත කළ වසර දහ තුන තුළ මුලින් ශිෂ්‍ය හා තරුණ දේශපාලන සංවිධාන ගොඩ නැගූ අතර එවකට තිබුණ සාමාජිකත්වය ලක්ෂ දෙකක සිට මිලියන 2.5 දක්වා වේගවත් වර්ධනයක් දක්වා ගෙන ගියේය.

සම්ප‍්‍රදායික දේශපාලන ව්‍යාපාර අතර නූතන සමාජ මාධ්‍ය ඇසුරු කිරීම ද රාහුල් ගාන්ධිගේ ජනප‍්‍රියත්වය නංවා තිබේ. හුදෙක් සටන්කාමී නායකයෙකු පමණක් නොව හෘදයාංගම ජන නායකයෙක් බව පෙන්වන්නට ඔහුගේ සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රයෝජනවත් වී තිබේ. අවස්ථාවක සිය මව ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සටහනක් කරන හෙතෙම තවත් අවස්ථාවක ආණ්ඩුවට අභියෝග කරන සටහනක් තබයි. එයින් පසු ඔහු ගේ සමාජ මාධ්‍යයේ සටහන් වන්නේ සුරතල් සුනඛයා ගැන කියන තොරතුරකි. පුලූල් පරාසයක සමාජ ද්‍රෘෂ්ඨියක් දක්වන හෙතෙම තමන්ගේ පරිනත භාවය, ක‍්‍රමයෙන් පැමිණි ගමන හා ප‍්‍රබල ආණ්ඩුවකට කරන තියුණු අභියෝගය හෙයින් ජගත් අවධානයට ලක්ව ඇත. ලබන වසරේ පවත්වන්නට නියමිත ඉන්දියානු මහ මැතිවරණයේ දී රාහුල් ගාන්ධි ගේ ප‍්‍රවේශය දෙස ඉන්දියානුවන් පමණක් නොව ජගත් නායකයෝ ද අවධානයෙන් සිටිති.