» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/10/2016 - දේශය
සාම තෑග්ග රටට බෙදන ජුවාන් මැනුවෙල්

කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් 2016 නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේය. දරුණු ත‍්‍රස්තවාදය දශක පහකට වැඩිකාලයක් පැවැතිණි. පාක් සටන්කරුවෝ නොනැවත ගැටුම් ඇති කරමින් සිටියේය. ජනාධිපතිවරයා ගැටුම් අවසන් කරන සාම ක‍්‍රියාවලියක් වෙනුවෙන් කැපවෙයි. අප‍්‍රතිහත ධෛර්යයකින් ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි ජුවාන් මැනුවෙල් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන අතර ජාත්‍යන්තර ඇගයීමට ලක්ව සිටී. සාමය ඇති කරන්නට දැක්වූ උවමනාව ජගත් ප‍්‍රජාවගේ ප‍්‍රණාමයට ලක්වන අතර නොබෙල් තෑග්ග වශයෙන් ලැබුණ මුදල ද ත‍්‍රස්තවාදයට ගොදුරු වූ අහිංසක ජනතාවගේ පුනරුදය වෙනුවෙන් වෙන්කරන්නට තරම් හෙතෙම ඉතාමත් නිර්ලෝභී වෙයි.

ජුවාන් මැනුවෙල් චින්තකයෙකු සේ ක‍්‍රියා කර තිබේ. සාමය වෙනුවෙන් හෙතෙම පෙනී සිටියි. අනෙක් අතට මත්ද්‍රව්‍ය ව්‍යසනය ගැන අවධානය යොමු කරයි. ත‍්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය එකට එකතු වූ අංශ දෙකකි. මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි දඞුවම් එනම් මරණ දඞුවම උත්තරයක් නොවන බව හෙතෙම නොබෝදා එක්සත් ජාතීන් ඉදිරියේ කියා සිටියේය. ඩොලර් මිලියන ගණන් වියදම් කර ආරක්ෂක සහ නීති බලපවත්වන නමුත් මානුෂික ව්‍යුහයකින් බලා මෙම ජාවාරමෙහි නිරත වන පිරිස එයින් ඈත් කළ යුතුයැයි ඔහු කියා සිටී. ඔවුන්ගේ නිෂ්පාදන වැඩ පිලිවෙලකට පොළඹවා ආර්ථිකය හදන තැනකට යොමු නොවන්නේ මන්දැයි ජුවාන් මැනුවෙල් විමසා සිටියි. අසල්වැසි මැක්සිකෝව සහ ගෝතමාලාව යන රටවල් සමග එකතු වූ කොලොම්බියාව තම රටවල් මුහුණ පා ඇති මත් ජාවාරමට මානුෂික විසදුමක් සාකච්ඡා කළේය. ලෝක ප‍්‍රජාව මත් ද්‍රව්‍ය තුරන් කරන්නට ගෙන යන වැඩ සටහන තුළ එක් එක් රටවලට අනන්‍ය ක‍්‍රමවේදයක් නැති අතර සම්පූර්ණ අවධානය අවශ්‍ය එහි නිරත ජන කොටස් වල ගැටලූ විස`දීමට බව තේරුම්කර දෙන්නට ජුවාන් මැනුවෙල් උත්සාහ කළේය.

ජුවාන් මැනුවල් වෘත්තියෙන් අර්ථශාත‍්‍රඥයෙකි. මාධ්‍යවේදියෙකු සහ ව්‍යාපාර සමූහයක පාර්ශවකරුවෙකු වූ හෙතෙම කාලයක් සිය පවුලේ ව්‍යාපාරයක් වූ ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමෙහි ප‍්‍රධාන කොටස් හිමියෙකු ද විය. පාසල් අධ්‍යාපනයෙන් පසු නාවික හමුදාවේ සේවය කර අත්දැකීම් ද ඔහුට තිබේ. ඇමරිකාවේ කෙන්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිය ලබා ගැනීමෙන් කොලොමිබියාවේ කෝපි වගාකරන්නන්නේ සංවිධානය හා එකතු වූ හෙතෙම පසුව ලන්ඩන් හි ඉකොනොමික් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නේය. පෙරළා කොලොම්බියාවට පැමිණි පසු හෙතෙම 1991 වසරේ දී එරට විදේශ වෙළඳාම සම්බන්ධ ඇමැති ධුරයට ද, එයින් අවුරුදු නමයකට පසු මුදල් සහ මහජන ණය සම්බන්ධ අමාත්‍ය ධුරයට ද පත් විය. අංශ ගණනාවක පැතිරුණ අත්දැකීම් ඇති හෙතෙම ප‍්‍රශ්නයක් දෙස වෙනත් කෝණයකින් බලන්නට හුරුව සිටියේය. නීතිය, රාජ්‍ය පරිපාලනය, මාධ්‍ය සහ නාවික නිලධාරී වශයෙන් අංශ කිහිපයක පැතිරුණ අත්දැකීම් ඇති හෙතෙම රටේ පැවැත්ම නව මගකට යොමු කරනු අරමුණු කරගෙන යහපාලන පදනමක් පිහිටුවයි. ආරක්ෂක පසුව එක්සත් ජාතික සමාජවාදී නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවන අතර එහි සම නිර්මාතෘ වශයෙන් කටයුතු කරයි. එයින් අවුරුද්දකට පසුව පවත්වන මැතිවරණයේ දී සැලකිය යුතු බලයක් ලබාගත් අතර ජුවාන් මැනුවෙල් ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කරනු ලබයි. ෆාක් ත‍්‍රස්තවාදීන් ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගැටුම් ඇති කරගනිමින් සිටි කණ්ඩායම් ගණනාවක් මර්දනය කරන ආණ්ඩුවේ ආරක්ෂක ප‍්‍රතිපත්ති සැලසුම් කරන්නට සිදුවන්නේ ඔහුටය. ෆාක් ත‍්‍රස්තවාදය 1964 දී තරම් ඈත කාලයේ දී ආරම්භ වූ බව සඳහන්ය. ජාත්‍යන්තරය ෆාක් ගැන කියන්නේ චේ ගුවේරාගේ නූතන පුරුක හැටියටය. ෆාක් ත‍්‍රස්තවාදී කණ්ඩායම කොලොම්බියානු ආරක්ෂක අංශ සමග දිගින් දිගටම සටන් කරමින් සිටි අතර රටට මහත් විනාශයක් ඇති කළේය. යහපාලන පදනමේ ප‍්‍රධානියා වශයෙන් ජුවාන් මැනුවෙල් රටේ සාමය ඇති කරනු සඳහා සාමකාමී ව්‍යායාමයක් ඉදිරිපත් කළේය. එවකට එය එපමණ බලවත් එකක් වෙන්නේ නැත.

ජුවාන් මැනුවෙල් කාලොම්බියාවේ ත‍්‍රස්තවාදය මර්දනය කරන මෙහෙයුම් වල දී උපායශීලී වන අතර ආරක්ෂක වගකීම බාරගෙන අවුරුදු දෙකක් ඇතුලත ෆාක් ත‍්‍රස්තවාදී නායකයා ඝාතනය කරන්නට සමත් වෙයි. එය රට තුළ පැවැති අනාරක්ෂිත බව දුරු කරන එක් කඩඉමක් බවට පත්විය. එවකට බලයේ සිටි යුරිබ් තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරයට තරඟකරන්නට සූදානම් වන විට තම ආරක්ෂක අමාත්‍ය පදවියෙන් අස් වූ ජුවාන් මැනුවල් රට භාරගන්නා නායකත්වයේ ගමන වෙනුවෙන් ඡන්ද සැලසුම් දියත් කළේය. එය සාර්ථක වූ අතර ෆාක් ත‍්‍රස්තවාදී නායකයා විනාශ කර සාම ක‍්‍රියාවලිකට මුල පුරා තිබුණ ඔහුගේ ආගමනට ජනතාව පිලිගත්තේය. වසර පනස් දෙකක් පැවැති ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගන්නට ඔහුට හැකිවිය. ඒ වන විට එරට ජීවිත දෙලක්ෂ විසි දහසකට වැඩි ගණනක් ත‍්‍රස්තවාදය බිලිගෙන තිබුණ අතර දස ලක්ෂයකට ආසන්න වැසියන් පිරිසක් රට හැර යන්නට පොළඹවන ලද අතර හැත්තෑ ලක්ෂයක් දෙනා අවතැන් කරන ලද බව ද කොලොම්බියාවෙන් ලැබුන තොරතුරු වාර්තා කරයි.

ප‍්‍රධාන නායකයන් විනාශ කර ත‍්‍රස්තවාදය බෙලහීන කරන ලද ජනාධිපති ජුවාන් මැනුවල් සටන් විරාමයක් යෝජනා කරන ලද අතර සාම ගිවිසුමකට ගියේය. එක පැත්තකින් සාමයට අත දිගු කරන ලද හෙතෙම අනෙක් පැත්තෙන් දිගටම මෙහෙයුම් කරගෙන ගියේ ත‍්‍රස්තවාදීන්ට ඉඩක් දෙන්නේ නැතිවය. එම ගිවිසුම දීර්ඝ ලියැවිල්ලකි. ත‍්‍රස්තවාදීන් ආයුධ බිම තබා යළි සාමාන්‍ය ජන ජීවිතයට නැඹුරු කිරීම එහි වගන්ති වලටත් වඩා විශාල කාර්ය භාරයක් බව පැහැදිලිව පෙණිනි. ලෝක නායකයන් මෙම සාම ක‍්‍රියාවලිය ඇගයීය. ජාත්‍යන්තර සංවිධාන එයට එක හෙලා සහාය පළකළේය. අතරමැදි අවශ්‍යතා සම්පාදනය කරන්නට සිය ගණනින් ස්වේච්ඡා සේවකයෝ කොලොම්බියාවට පැමිණියේය. මෙහි දී ත‍්‍රස්තවාදීහු තමන් කරන ලද වැරදි ගැන පාපෝච්චාරණය කළේය. ත‍්‍රස්තවාදී නායකයෝ හමුදාව සමග එකතු ගිණි අවි සහ පුපුරන ද්‍රව්‍ය විනාශ කරන ලද අතර ලෝකයේ සියළුම රටවල් මෙම වැදගත් කාර්යය දෙස සියුම් අවධානයක සිටියේය. මෙම සාම ගිවිසුම බලාත්මක කරන ජනමත විචාරණයක් පසුගිය දා පැවැති අතර කොලොම්බියානුවන් එය පරාජයට පත් කර තිබේ. කොලොම්බියාව තුළ වැඩි ඡන්දයෙන් සාම ගිවිසුම පරාජය කරන ලද නමුත් නොබෙල් සම්මාන ප‍්‍රදානක මණ්ඩලය ඔහු නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. නිහතමානීව සම්මානය පිළිගත් ජනාධිපතිවරයා පසුව නිවේදනය කළේ සම්මානය සමග ලැබුණ මුදල් සිය පෞද්ගලික ප‍්‍රයෝජනයට නොගන්නා අතර ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් ව එරට ජනතාවට මෙම මුදල් පිරිනමන බවය.

කොලොම්බියාව ස්වභාවික සම්පත් සහිත රටකි. ඛනිජ තෙල්, කෘෂි නිෂ්පාදන සහ යකඩ අපනයනය කරන දේ අතර තිබේ. ජුවාන් මැනුවෙල් ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය තුළ අඩු උද්ධමනයක් සහිත ලතින් ඇමරිකානු කලාපයේ වැඩිම සංවර්ධන වේගය සහිත රට බවට පත් කළේය. තව දුරටත් ආර්ථිකය තහවුරු කර අධ්‍යාපනය, සමාජ සංවිධානය සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ යෝජනා වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටියේය. දුප්පත්කම ජනගහනයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට දහය දක්වා පහත හෙලීය. රට තුළින් පමණක් නොව ජාත්‍යන්තරයෙන් ද කිත් පැසසුම් ලැබුන සාම ක‍්‍රියාවලිය එහි උච්චතම අවස්ථාවයි. ජනමත විචාරණයෙන් එය පරාජයය වූ නමුත් සාමය තහවුරු කරන වැඩ පිළිවෙලට එය බාධාවක් වී නැත. ලෝකය පුරා අවධානයට ගැනෙන චරිතයක් බවට පත්ව ඇත්තේ එහෙයින්ය.