» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/09/2018 - දේශය
කැනඩාවේ කෙට්ටු බලවන්තිය ක‍්‍රිස්ටියා ෆීලන්ඞ්

ඇමරිකානු එක්සත් ජනපදයේ ස්ථාවරය අනුව ලෝකයේ අනෙක් රටවල් වලට හැසිරෙන්නට සිදුවී තිබේ. කැනඩාව අලූතින් එම අභියෝගයට මුහුණ දී ඇති රටකි. කලින් පැවැති තුන් කොන් නිදහස් වෙළඳ ගිවිසුම වෙනස් කර මෙක්සිකෝව සමග අලූත් නිදහස් වෙළඳ ගිවිසුමකට ඇමරිකාව සූදානම් වෙයි. සවුදි අරාබිය කැනඩාව සමග ප‍්‍රශ්න මතු කරගෙන ආයෝජන ඉවත් කරගැනීමේ තීරණයකට මාරු වී තිබේ. මෙකී පසුබිම මත කැනඩාවේ විදේශ අමාත්‍ය කි‍්‍රස්ටියා ෆීලන්ඞ් අසීරු ගමනක බව නිරීක්ෂණය කළ හැකිය. තරුණ, අලූත් අදහස් ඇති ඇය ජී හත කණ්ඩායම හමුවන අවස්ථාවේ දී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළාය. ‘‘බලවත්භාවය නැගෙමින් පවතින අතර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරුදායක තැනක’’ බව ඇය කියා සිටියාය. ‘‘ඇමරිකාව කවර පැත්තකට යොමු වේදැයි නොදන්නා නමුත් ඉතිහාසය අනුව කිසිම සුපිරි බලවතෙකු ගේ පවැත්ම සදාකාලික නැති බව’’ එහි දී අවධාරණය කරන්නීය. එකී ප‍්‍රකාශයෙන් ට‍්‍රම්ප් හා පුටීන් යන නායකයන්ගේ බලවත් පාලන ගැන යම් විවේචනයක් තිබුණ බව නිසැකය.

පනස් හැවිරිදි මාධ්‍යවේදිනියක සේ සේවය කර අත්දැකීම් ඇති ක‍්‍රිස්ටියා ගේ ස්වභාවය එයින් ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය. ඇය ගැන දක්වන දේශපාලන විචාරකයන් සිහින් සිරුරක් සහිත නමුත් අදහා ගත නොහැකි ශක්තියක් සහිත බව කියා තිබේ. කලාතුරකින් දැකිය හැකි ගුණාංග සහිත ක‍්‍රිස්ටියා බිය නැති චරිතයක් වශයෙන් ද හදුන්වා දී ඇත.

ගොවියෙකු හා නීතිවේදියෙකු වූ කිස්ටියා ගේ පියා කැනඩාවේ ලිබරල් පක්ෂ සාමාජිකයෙකි. මව ද නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ වලට තරඟ කළ නීතිවේදිනියකි. ඇය යුක්රේනියානු උරුමයක් සහිත වූ අතර දෙමව්පියන්ගේ නීති වෘත්තීන් හා මවගේ ක‍්‍රියාකාරී විලාශය කි‍්‍රස්ටියාගේ ජීවිතයට ද බලපෑමක් වෙන්නට ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු රුසියානු ඉතිහාසය සාහිත්‍ය ගැන උපාධිය හාවඞ් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් අතර ශාස්ත‍්‍රීය උපාධිය ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයෙන් ලබාගත්තාය.

පළමුවෙන් ඇය යුක්රේනය නියෝජනය කරන නිදහස් මාධ්‍යවේදිනියක සේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට සේවය කළාය. ද වොෂින්ටන් පෝස්ට්, ද ඉකොනොමිස්ට් යන ප‍්‍රකට මාධ්‍ය වෙත ද සම්බන්ධ වූ අතර ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතේ බි‍්‍රතාන්‍ය කාර්යාලයේ ප‍්‍රවෘත්ති කර්තෘ ධුරය තෙක් පැමිණියාය. 1999 - 2001 වකවානුවේ ග්ලෝබ් සහ මේල් යන කැනඩා පුවත් පතේ නියෝජ්‍ය කතුවරිය වූවාය. එය එරට නගර පහක ප‍්‍රකාශයට පත්වන විශාල අලෙවියක් සහිත පුවත් පතකි. 2010 වන විට කි‍්‍රස්ටියා ෆීලන්ඞ් කැනඩාවට අයත් තොම්සන් රොයිටර් මාධ්‍ය ආයතනයට සම්බන්ධ වූ අතර එහි කළමනාකාර අධ්‍යක්ෂිකාව සහ පාරිභෝගික ප‍්‍රවෘත්ති අංශයේ කතුවරිය වූවාය. එයින් පසු මාධ්‍ය කලාවෙන් පසෙකට වූ ඇය නිවසට පැමිණි අතර දේශපාලනය කෙරෙහි නැඹුරු වී ඇත.

කි‍්‍රස්ටියා ආන්දොලනාත්මක පොත් දෙකක් රචනා කළාය. දෙවැනි රුසියානු විප්ලවය ගැන අභ්‍යන්තර තොරතුරු කියන පළමු කෘතිය 2000 වසරේ ප‍්‍රකාශයට පත් කළාය. දෙවැන්න එයින් වසර දොලහකට පසු නව ගෝලීයකරණ සුපිරි බලය ගැන කරුණු අන්තර්ගත වූවකි. එය සම්මානයට පාත‍්‍ර වූ අතර නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව හොඳම අලෙවියක් ඇති පොත් ලැයිස්තුවට ඇතුලත් කර තිබිණ.

ටොරොන්ටෝ නගර බල ප‍්‍රදේශයට 2013 වසරේ අතුරු මැතිවරණයක් පැවැත්විණ. ලිබරල් පක්ෂ අපේක්ෂිකාවක සේ එයට තරග කළ කි‍්‍රස්ටියා ෆීලන්ඞ් ජය අත්පත් කරගත්තාය. එයින් වසර දෙකකට පසු පවත්වන මැතිවරණය ද දිනන්නට ඇය සමත් වූවාය. 2015 සිට වසර දෙකක් ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ අමාත්‍ය ධුරය හෙබවූවාය. ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, යුක්රේන, රුසියානු හා ඉතාලි භාෂා කතා කළ හැකි ක‍්‍රිස්ටියා කැනඩා වැසියන් සමග පමණක් නොව ජාත්‍යන්තරය සමග ද හොඳීන් සන්නිවේදනය කළ හැකි දක්ෂ ජනතා නියෝජිතවරියකි. වඩාත් බලපෑමක් කල හැකි කැනේඩියානුවන් පනස් දෙනෙකු නම් කළ එරට ලයිෆ් සඟරාව කි‍්‍රස්ටියා එයින් එක් අයෙකු බව ප‍්‍රකාශයට පත් කළේය. එය සිය දේශපාලන සහ මාධ්‍ය ජීවිතයේ වැදගත් සංන්ධිස්ථානයක් සේ සලකන බව තිදරු මවක වන කි‍්‍රස්ටියා කියා සිටින්නීය.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ක‍්‍රිස්ටියා ෆීලන්ඞ් කැනඩාවේ විදේශ ඇමැතිනිය සේ දිවුරුම් දුන්නාය. එය බරපතල වගකීමකි. කැනඩාව උතුරු ඇමරිකානු රටකි. විශාල භූමි ප‍්‍රමාණයක් සහිත අතර පලාත් දහයක හා ප‍්‍රාන්ත තුනක පරිපාලනයකින් සමන්විතය. ආර්ථික අතින් ලෝකයේ දියුණු රාජ්‍ය අතර සිටින අතර මානව අයිතීන් සම්බන්ධයෙන් ද ඉහළ ගුණාත්මක භාවයකින් යුක්තය. ආදිවාසී ජනකොටස් පමණක් නොව ලෝකයේ නොයෙක් රටවලින් සංක‍්‍රමණය වී පුරවැසි භාවය ලබා ගත් විශාල පිරිසක් සිටින අතර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතියි.

විදේශ අමාත්‍යවරිය වශයෙන් පත්වීමෙන් පසු කැනඩා ආර්ථිකය ස්ථාවර කරන විශේෂ වගකීමක් ද අභ්‍යන්තරව පැවරී තිබේ. එය කි‍්‍රස්ටියා ෆීලන්ඞ් ගෙන් අපේක්ෂා කරන සුවිශේෂි වගකීමක් බව පෙනේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම ආරක්ෂා කර ගැනීමය. 1990 වසරේ දී ඇමරිකාව, කැනඩාව හා මෙක්සිකෝ අතර මෙම ගිවිසුම අත්සන් කළේය. ඇමරිකාවට වාසියක් නැති මෙම ගිවිසුම මගින් අනෙක් රටවල් ප‍්‍රතිලාභ ලබන බවට අතර ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ පාලනය එරට ජනතාව තුළ විශ්වාසයක් ඇති කර තිබේ. ඇමරිකාව අසල්වැසි රටවල් සමග පවත්වන ආර්ථික සම්බන්ධතා කලත්තා ඇති අතර කැනඩාව එයින් යම් ප‍්‍රමාණයක කොටුවීමකට ලක් වනු ඇති බව නිරීක්ෂණ වාර්තා දක්වයි. ඇමරිකානු අභිලාශ අනුව යමින් ලෝකයේ නොයක් ධනවත් රටවල් කැනඩාව සමග පවත්වන ආර්ථික සම්බන්ධතා වල වේගය අඩු කරන්නට උපක‍්‍රම අනුගමනය කරමින් සිටියි. එය ප‍්‍රශ්නයක් වන තැනකට යොමු නොකිරීමට ක‍්‍රිස්ටිනා සමත්වනු ඇතැයි කැනඩා බලධාරීහු කල්පනා කරති. කැනඩාව අත්හැර මෙක්සිකොව සමග නිදහස් වෙළඳ ගිවිසුම නැවත බලගැන්වීමට ට‍්‍රම්ප් පාලනය උත්සාහ දරයි. නමුත් දැනට අවුරුද්දක පමණ කාලයක් තිස්සේ කැනඩාව බැහැර නොවී සිටීමට සාකච්ඡා කරන අතර එය විදේශ ඇමැතිනි කි‍්‍රස්ටියා ෆීලන්ඞ් එය මෙහෙයවන්නීය. වෙළඳ ගිවිසුම බලගැන්වීම ගැන දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටි කි‍්‍රස්ටිනා කැනඩාව බලා ආපසු එන අතරවාරයේ නිදහස් වෙළඳ ගිවිසුමේ අනාගතය ගැන කිසිවක් මාධ්‍ය වෙත අනාවරණය නොකරන්නට බෙහෙවින් පරෙස්සම් වූවාය. කෙසේ නමුත් එය සුබවාදී එකක් වනු ඇතැයි කැනඩා වැසියෝ අපේක්ෂා කරති. සුපිරි බලය ඇති රටවල් ගැන එක්තරා විවේචනාත්මක අදහස් පළ කරන්නට ඇය නැඹුරු වන්නේ ඒ අතරවාරයේය. ඇය අනුගමනය කරන අසීරු ගමන හමුවේ දක්වන නිර්භීත භාවය ජගත් අවධානයට ලක්ව තිබේ.