» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/07/2017 - දේශය
අවුරුදු 76දීත් හොදට වැඩකළ ඉනමෝරිගෙ මොලේ

කසුවෝ ඉනමෝරි අලූත් ආකාරයකට ව්‍යුහය දෙස බලන ජපාන ජාතික දාර්ශණිකයෙකි. එරට ප‍්‍රධාන පෙලේ සමාගම් දෙකක නිර්මාතෘ වශයෙන් ගැනෙන අතර අතිවිශාල අලාභයක් සහිතව පවත්වාගෙන ගිය ජපන් ගුවන් සේවාව අවුරුදු තුනක් ඇතුලත ලාභ ලබන තත්ත්වයට පත්කළ විශිෂ්ඨ නායකයෙකි. එය වෙනුවෙන් පමණක් නොව ඔහු කාලය වැය කර අනාවරණය කරගත් අන්තර් කණ්ඩායම් තරගකාරීත්වය තුළින් හොඳ ප‍්‍රතිඵල අත්කර ගැනීම අද නොයෙක් තැන් වල බහුලව උපයෝගී කරගනිමින් පවතී.

ජපන් ගුවන් සේවාව ඔහු ගේ යටතට ලැබෙන විට එහි අලාභය ඇමරිකානු ඩොලර් බිලියන විසි පහකි. ඉනමෝරි එහි සභාපති ධුරයට පත් කරන්නේ 2009 වසරේ දීය. වියපත් හෙතෙම එම තනතුර භාරගන්නවාට පවුලේ අය හෝ ඥාතී හිතවතුන් හෝ කිසිසේත් කැමැති වූයේ නැත. නමුත් ඉනමෝරී කියා සිටියේ මම එම වගකීම භාර නොගතහොත් ජපන් ආර්ථිකයට එය විශාල හිරිහැරයක්වීම වැලැක්විය නොහැකි බවය. ජපන් ගුවන් සමාගමට ඒ වන විට සිදුවී තිබුණේ කුමක්ද? ඉනමෝරි කියා තිබුණේ ඉතාම තද නිලධාරීවාදයකට එය ගොදුරු වී තිබුණ බවය. සියළුම පාඩු ලබන ගුවන් ගමන් නතර කළ හෙතෙම සේවකයන් වෙනුවෙන් තිබූ වරප‍්‍රසාද සෑහෙන ප‍්‍රමාණයකින් අඩු කළේය. වරප‍්‍රසාද දිනා ගන්නට නම් ආයතනය හොඳ තත්ත්වයකට ගෙන ආ යුතු බව පෙන්වා දුන්නේය. වසර තුනකට පසු ඉතාම හොඳ තැනකට ගුවන් සේවය පත් වූ අතර තෝකියෝ කොටස් වෙළඳ පොලේ දී ඉහළ ආකර්ශනයක් අත් පත් කරගත්තේය. එය පැහැදිලි ජයග‍්‍රහණයකි.

කසුවෝ ඉනමෝරි 1932 වසරේ දී ජපානයේ කියුතු දූපතේ උපත ලබන විට සාමාන්‍ය පවුලක කෙනෙකි. නමුත් අවසාන භාගයේ දී හෙතෙම දාර්ශනිකයෙකි. රසායනික හා විද්‍යාත්මක සොයාගැනීම් සම්බන්ධයෙන් ඇමරිකාවේ විද්‍යා ආයතන ගණනාවක් එකතු වී ලෝකයේ දක්ෂතම අය වෙනුවෙන් පිරිනමන ඔත්මා රන් පදක්කමෙන් ද පිදුම් ලැබුවේය. කගොෂිමා විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධිය ලැබූ ඉනමෝරි කොයෝතෝ හි ෂුෆු ආයතනයේ පර්යේෂණ නිලධාරියෙකු සේ වෘත්තිය ජීවිතය ආරම්භ කළේය. ඉහළ සංඛ්‍යාත ගුවන් විදුලි මෙවලම් හා පණිඩුව හුවමාරැුවට වැදගත් වන අලූත් මෙවලම් ගැන අත්හදා බැලූ හෙතෙම එහි සාර්ථකත්වය අත්පත් කරගත්තේය. 1959 දී පමණ ඉනමෝරී තවත් සගයන් සම්බන්ධ කරගෙන කියෝතෝ සෙරමික් සමාගම පිහිටුවයි. එයින් විදුලි පරිවාරක නිෂ්පාදනය අරඹන අතර පසුව පැනසොනික් නමින් ප‍්‍රචලිත වූ රූපවාහිනි යන්ත‍්‍ර නිෂ්පාදන සමාගමට අවශ්‍ය කරන සූක්ෂම අංග නිපදවන්නට පටන්ගනී. ඒ වෙනුවෙන් වූ තව තවත් දියුණු සාධක පරීක්ෂා කර බලන හෙතෙම ඒවා සිලිකන්වැලි වල සිට අයි.බී.එම් දක්වා සෑහෙන සමාගම් ප‍්‍රමාණයකට සපයන්නට සමත්විය. පළමුව විදුලිය සංදේශ සේවාවට හා එයින් ඉනික්බිතිව ජංගම දුරකථන නිපදවීමේ කාර්යයට ද අත ගැසූ හෙතෙම එයින් අත්කරගත්තේ විශාල අවස්ථා බව සඳහන් කළ යුතුය. ඒ වෙනුවෙන් පිහිට වූ සමාගම ජපානයේ දෙවැනි විශාලතම විදුලිය සංදේශ සේවා සම්පාදන සමාගම බවට පත්විය.

ඉනමෝරි සෙන් බුද්ධාගම අදහන අයෙකි. 1984 දී තමන් පැමිණි මාවත ඔස්සේ එන්නට වැර දරන අය වෙනුවෙන් ඉනමෝරි පදනම පිහිටුවන හෙතෙම කියෝතෝ ත්‍යාගය පිරිනමන්නේ විද්‍යාව, සමාජ අරගලය හා මානුෂියවාදී ආධ්‍යාත්මික බලය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් අගය කරනු සඳහාය.

ඉනමොරි ගේ සමත්කම කුමක්ද? ඔහු කියන්නේ සාමුහික සංස්කෘතියක් ඇති කිරීම බවයි. ඉතා දරුණු ලෙද පිිරිහී තිබුණ ජපන් ගුවන් සමාගම අධිනිලධාරීවාදයක කොටු වී තිබුණ අතර ඉනමෝරී කළේ ඒවායේ අන්තර් සම්බන්ධතා ගොඩනැගීමයි. ‘‘මගේ සරල දර්ශනය බවට පත්වූයේ සියළු සේවකයන් සතුටු කිරීම’’ බව පසු කාලයක බී.බී.සී වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේය. ‘‘ මගේ එකම දුලබ රීතිය කාර්ය මණ්ඩලය සතුටින් හා උනන්දුවෙන් තැබීම බව කියන හෙතෙම ‘‘සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සතුටින් තියනවාට වඩා එය වැදගත්’’ බව දැක්වීය. කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය කොපමණ ශක්තියක් ද යන්න ඔහු තේරුම් ගත්තේ වයස විසි ගණන් වල දී ඔහු පළමු නිෂ්පාදන ආයතනය පිහිටුවන සමයේ දීය. එය ඇසුරු කරගෙන එහි අලූත් පියවර එකතු කරමින් නව තමන්ටම අනන්‍ය මානව සම්පත් සංවර්ධන සංකල්ප ඉදිරියට ගෙන ආ ඉනමෝරි ඒවා සාර්ථක වනවිට අතිශය සතුටට පත්විය. සියළු සේවකයන් තමන් කරන වැඩ ගැන ආඩම්බර නම් එයට වඩා වෙන වැදගත් දෙයක් ඕනෑම දැවැන්ත ආයතනකට කිසිසේත් නැති බව ඉනමෝරි ගේ විශ්වාසයයි.

ඉනමෝරි ඉතාම දුබල තැනක තිබුණ ජපන් ගුවන් සේවාව භාරගත් පසු එහි අංශ වල කුඩා කණ්ඩායම් ගොඩනැගුවේය. ඒවා අතර අන්තර් සම්බන්ධතා පමණක් නොව තද තරඟකාරීත්වයක් ද ඇති කළේය. වැඩ පවරන ලද අතර ඒවා සාර්ථකව අනලස්ව කෙරෙන සේ බලා සිටියේය. කණ්ඩායම් නොපිරිහෙලා කාලය ගැන නොසිතමින් කාර්යය අවසන් කරන තැන් වලට ඔහු ගියේ බියර් කෑන් අරගෙනය. ඒවා පරිහරණය කරන දක්ෂ සේවකයෝ නිදහස්ව තවත් හොඳය කාර්යක්ෂමව යම් යම් දේ කරන්නේ කෙසේදැයි ප‍්‍ර‍්‍රායෝගිකව යෝජනා කරන්නට පටන් ගත්තේය. ඒවා සාර්ථකත්වයට ඉනිමං තැනීය. කෙසේ වෙතත් ඔහුගේ දර්ශනය වූයේ ආයතනය තුළ කුඩා කණ්ඩායම් අතර අන්තර් තරගකාරීත්වයක් ගොඩනැගීමයි.

ජපානය තුළ දක්ෂ ව්‍යවසායකයන් අලූත් අදහස් නිර්මාණය කරන්නන් හිඟ බව කසුවෝ ඉනමෝරි විශ්වාස කළ දෙයකි. දෙවන ලෝක යුද්ධයෙන් ඇති වූ තත්ත්වය එයට හේතුව සේ ඔහු දැක්කේය. එයින් මිදෙන්නටනම් පරිවර්තනයක් සිදුවිය යුතු අතර නවෝත්පාදකයන් හා අලූතින් සිතන්නන් සඳහා ප‍්‍රවේශයකට ඉඩ අවශ්‍ය බව තේරුම්ගෙන සිටියේය. ඔහු ගොඩ නැගූ සියළු ආයන වල සේවකයන්ට වැඩ කරන්නට ඉඩ දෙන තරගකාරී ලිහිල් ශ‍්‍රම ප‍්‍රතිපත්ති වටිනා අවස්ථා උදා කළේය. ඒවායේ කීර්තිය අත්පත්වූයේ පිටුපස සිටි ඉනමෝරි වෙතය. කැලිෆොනියා විශ්ව විද්‍යාලයෙන් අන්තර් ජාතික කීර්තිමත් සම්මානයක් ලැබූ ඔහුට නිව්යෝක් හි ඉංජිනේරු කාර්ය සඳහා වූ විශ්ව විද්‍යාලය ඉනමෝරි වෙත ආචාර්ය පදවියක් පිරිනමයි. එයත් සමග ලෝක ප‍්‍රකට විශ්ව විද්‍යාල වලින් ගෞරව ආචාර්ය පදවි පහක් දිනාගත් අතිශය සම්භාවනාවට පත්ව ඇති අයෙකු සේ ප‍්‍රකටය.

ඔහු අද විද්වතුන් හමුවෙයි. දාර්ශනික අදහස් ගැන කතා කරයි. ලෝකය ඉතා ආකර්ශණීය තැනක් කරන්නට වෙහෙස වෙන පිරිස තෝරා සම්මාන පිරිනමා දිරිගන්වයි. කසුවෝ ඉනමෝරි ගේ දර්ශනය ඉතා සරල දෙයකි. වැඩ කරන ජනතාවට සියල්ල කරන්නට පුලූවන් බව තේරුම් කරදීමය. හැත්තෑ හය වසරේ දී ගුවන් සේවා සමාගමක පාලන බලය ලැබූ හෙතෙම එය වෙනස් කළේ ඔහුගේ ශක්තියටත් වඩා වැඩ කරන ලද කාර්ය මණ්ඩලයට වැඩ කරන්නට ඉඩ දීමෙන් බව සඳහන් කරන්නට අවශ්‍යය.