» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/04/2017 - දේශය
යෝගී ආදිත්‍යනාත් මහ ඇමති පුටුවට පනී

යෝගී ආදිත්‍යනාත් ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ මහ ඇමැතිධුරයට පත්ව සිටී. අන්තවාදී චරිතයක් සේ සැලකෙන යෝගීවරයා වර්තමානයෙහි දේශපාලන ව්‍යුහය නැඹුරුව ඇති ස්වභාවය අවබෝධ කර දෙන තවත් සංකේතයකි. ජාත්‍යන්තරය තුළ ඡන්දදායකයන් පටු අන්තවාදී රාමුවකට ගොනු වෙමින් පවතින අතර සුළු ජාතීන් ගේ ප‍්‍රශ්න මතුකරමින් මෙහෙයැවෙන පක්ෂ කෙරෙහි ජනතා අවධානය යොමු වෙමින් තිබේ. ඉන්දියාව තුළ මෑත කාලය තුළ අන්තවාදී චරිත ගණනාවක් මතු වූ අතර යෝගී ආදිත්‍යනාත් එහි අලූත්ම පෙරැළිකාර පුද්ගලයා බවට පත්ව ඇත.

යෝගී ආදිත්‍යනාත් ගොරක්නාත් හින්දු දේවාලයේ ප‍්‍රධාන පූජකධුරය උසුලයි. එය පිහිටා ඇත්තේ ගොරක්පූර් නගරයේය. උත්තර ප‍්‍රදේශයේ ගොරක්පූර් ආසනයේ මහජන මන්ත‍්‍රීවරයා සේ හෙතෙම දශක දෙකක කාලයක් එක දිගට පස් වතාවක් ජනතා කැමැත්තෙන් පත්ව ඇත. එහි තවත් පියවරක් ඉදිරියට තබන අතර එය උත්තර ප‍්‍රදේශමහ ඇමැතිධුරයයි. මෙම මැතිවරණයේදී හින්දු ජනතාවගේ කැමැත්ත වඩා තීරණාත්මක එකක් වූ අතර යෝගී ආදිත්‍යනාත් සුළු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් ජාතිකයන් කෙරෙහි ඇති විරෝධය තම එකම සටන් පාඨය බවට පත් කරගත්තේය. යෝග ව්‍යායාම නොකරන අයට උත්තර ප‍්‍රදේශයේ ජීවත්විය නොහැකි අතර වහා ඉවත්ව යා යුතු බව කෙලින්ම කියන තරමට ප‍්‍රබල මතයක් ඇතිකරන ලද ආදිත්‍යනාත් එයින් ඉලක්ක කළේ මුස්ලිම් ජන පිරිස බව පැහැදිලි කාරණයකි. තමන්ට අවතන තරුණ කණ්ඩායමක් ආයුධ පුහුණුව ඇති බලකායක් සේ නඩත්තු කරන ලද ආදිත්‍යනාත් එම තරුණ ජවය අන්තවාදය කරා මෙහෙයැවූ බව ජාත්‍යන්තරය පුරා පැතිර ගිය තොරතුරකි. හෙතෙම සමාදානය සහ මෛති‍්‍රය පැතිරවිය යුතු ආගමික දර්ශනය තද අන්තවාදයට හරවා තිබේ. අන්‍යආගමික අනුගාමිකයන් බලහත්කාරයෙන් යටපත් කරගෙන පැවැතීමට තැත් කිරීම අනුමත කළ හැකි එකක්ද? ජනතාව අන්තවාදී මත වලට යොමු කර එයින් ඡන්දයක් දිනා ගැනීම ජනසම්මතවාදය වන්නේ කෙසේද? ප‍්‍රශ්න කෙරෙමින් තිබේ. නමුත් අසල්වැසි ඉන්දියාවේ ප‍්‍රාන්ත දේශපාලනයේ දී එය එසේ සිදුවී ඇත. අන්තවාදය ජනතා බලය සේ නැගී තිබේ. යෝගී ආදිත්‍යනාත් එය ඉහළටම ගෙනැවිත් ඇති අතර ඉන්දියාවේ ජීවත්වන මිලියන හතලිහකට වැඩි මුස්ලිම්වරු දැන් සිදුවන්නේ කුමක්දැයි බලා සිටින්නේ විමතියෙන්ය.

යෝගී ආදිත්‍යනාත් බී.ජේ.පී දේශපාලනයෙන් උත්තර ප‍්‍රදේශයේ මහ ඇමැති ධුරයට පත්වන විට හින්දු ආගමික වැසියන් උද්දාමයට පත්වන නමුත් ඉස්ලාම් ආගම අදහන මුස්ලිම්වරු බලවත් සේ අසරණ වී සිටී. ඡුන්ද කාලයේ එක් අවස්ථාවක යෝගීවරයා මුස්ලිම් වැසියන්ට අනතුරු ඇඟවූයේ හින්දු ආගමිකයන්ට කිට්ටු වෙන්න එපා කියමින්ය. ‘‘එක හින්දු දැරියක සරණ පාවා ගන්නට තැත් කළහොත්, මුස්ලිම් යුවතියන් සියයකට එයට වන්දි ගෙවන්නට සිදුවන බව’’ ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ප‍්‍රදේශය තැති ගන්වමින්ය. ‘‘එක හින්දු ආගමිකයෙකුගේ දිවි අහිමිවුවහොත් මුස්ලිම් දහයකට වන්දි ගෙවන්න වෙයි’’ ඔහු කළ තවත් ප‍්‍රකාශයකි. වතාවක් ප‍්‍රකට නළු ශාරුක් ඛාන් ගැන කියා සිටියේ ‘‘හින්දු මිනිස්සු ඔහු වර්ජනය කළහොත් මෙහි මුස්ලිම්වරු ආකාරයටම එයාටත් පාරට බහින්නට වේවි’’ යන අවවාදය සහිත තර්ජනාත්මක ස්වයයකින්ය. උත්තර ප‍්‍රදේශයේ ජනගහනය මිලියන 204 ක් පමණ වන අතර එයින් පහෙන් එකක් මුස්ලිම්වරුන්ය. යෝගීවරයා අභියෝග කළේ මෙම කණ්ඩායමේ පැවැත්මටය.

ඉන්දියාව පුලූල් ජාතික හා ආගමික මිශ‍්‍රණයක් ඇති රටකි. වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි එක්තරා මට්ටමකට හින්දු ප‍්‍රභවය කෙරෙහි නැඹුරු නමුත් දේශපාලනයේ දී එය මතුකර නොපෙන්වයි. උත්තර ප‍්‍රදේශ ඡුන්දයේ දී පවා හෙතෙම සිය උදෘතය වශයෙන් තෝරා ගත්තේ ‘‘ එකට එක්වෙමු. එකට දියුණුවෙමු’’ යන අදහසයි. නමුත් යෝගී ආදිත්‍යනාත් ගේ පැවැත්ම එය නොවේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මෑතක දී අධ්‍යයනයක් කළ අතර එහි විත්ති අනාවරණය කර තිබේ. එයට අනුව උත්තර ප‍්‍රදේශයේ ජනවර්ග අතර ගැටුම් සිද්ධි එකොලොස් දහසක් ඉකුත් 2012 වසරේ සිට මෑත කාලය දක්වා වාර්තා වන අතර එයින් සියයට 23 කට හේතුව ආගමික අන්තවාදයයි. යෝගීවරයා විශාල අන්තවාදී චරිතයක් වන බව දක්වන එරට මානව හිමිකම් සංවිධාන ඔහුගේ ස්ථාවරය කෙරෙහි බලවත් කනස්සල්ල දක්වන වාර්තා ගණනාවක් පළ කර තිබේ. නමුත් හින්දු ජාතිකයන්ගෙන් සෑහෙන පිරිසක් ඉකුත් මැතිවරණයේ දී යෝගී ආදිත්‍යනාදන් ගේ අභිලාශය වෙනුවෙන් පෙනී සිටි බව දැක්විය යුතුය.

යෝගී අදිත්‍යනාත් බාලවියේ දී අජේ සිං වශයෙන් පාසල් ගිය අතර උපත ලබන්නේ 1972 අවුරුද්දේදීය. මෑත වාර්තා තුළ ඔහුගේ කුඩා කාලය ගැන එතරම් තොරතුරු අනාවරණය නොකෙරේ. නමුත් මහ ඇමැති ධුරයට පත්වූ පසු ඔහුගේ සහෝදරියක රූපවාහිනියට කතා කරමින් ‘‘බාල වියේ දී නිවසේ බිත්ති හතරට කොටුවී ඉන්නට බැරි බව සිය පියා සමග තර්ක කරමින් සිටි’’ බව ප‍්‍රකාශ කළාය. ඒ වන විට හෙතෙම ගණිතය විෂයයෙන් විද්‍යාවේදී උපාධිය සමත්ව සිටි බව දැක්වෙයි. ප‍්‍රජාවට සේවය කළ යුතු බව කියන විට ඔහුගේ පියා මෙම දරුවා විසි එක්වැනි වියේ දී යෝගී ආශ‍්‍රමයට එකතු කරවා තිබේ. හින්දුවේදය හදාරන හෙතෙම හින්දු ආගමික බැතිමතුන්ගේ මූලික චාරිත‍්‍ර කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වා ඇත. තරුණ ජවය සමග අන්තවාදයට නැඹුරු වෙන්නේ එයින් පසුවය. 1990 දී මහාරාජ්ගාන්ජි ප‍්‍රදේශයේ සිදු වූ අන්තවාදී වෙඩි තැබීමේ සිද්ධියක් පිටුපස යෝගී අදිත්‍යනාත් සිටි බවට තොරතුරු පැතිර ගිය අතර එය ඔහුගේ ගොරක්නාත් හින්දු දේවාලය කෙරෙහි ජනතා අවධානය ඉහලින්ම ලක්වක එක හේතුවක් විය. හින්දු දර්ශනය අනුව ගවයන් ආරක්ෂා කිරීම, පාසලක් සහ රෝහල් නඩත්තුව යෝගීවරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය. එය කරන ලද තද තීරණ සහිත විලාශය තරුණ අන්තවාදී බලවේග අතර අලූත් ව්‍යුහයක් සකස් කරන ලද බව පෙනේ. හෙතෙම අනුගාමික තරුණ බලවේගයක් යෝගී ආශ‍්‍රමයේ නඩත්තු කර තිබේ. මෙම පිරිස යෝගී ආදිත්‍යනාත් ගේ සංඥාව අනුව ක‍්‍රියා කර ඇත. ඉඟියක් කර අන්‍ය ආගමික තැනකට හෝ පුද්ගලයෙකුට හානි පමුණුවන සේ දක්වන විට එයට අවනත වන පරිදි පසුබිම සකස් කර ඇත. එහෙයින් ආරාමය පිහිටි ප‍්‍රදේශය අවට නිතර සිද්ධි බහුල වී තිබේ. අන්‍ය මතවාද යටපත්කර හින්දු පමණක් යන ආකල්පය පතුරවන යෝගීවරයා තමන්ගේ යෝගී පූජක භාවය ඔහු ගේ ආරක්ෂාවට හේතුවන සේ රාමුව සකස් කරගෙන ඇත. ඕනෑම සිද්ධියක දී අන්තවාදී පැත්ත ගෙන හැසිරෙන අතර අනුගාමිකයන් ලවා මුස්ලිම් ජනී ජනයාට හිංසා කරන විට එය පාලනය කරන්නට ප‍්‍රාන්ත ආණ්ඩුව හෝ ඉන්දීය මහා ආණ්ඩුව හෝ එපමණ වෙහෙසක් ගෙන නැත. යෝගී ආදිත්‍යනාත් හින්දු අන්තවාදී චරිතයන් වශයෙන් ඉදිරියට එන විට භාරතීය ජනතා පක්ෂ දේශපාලනය එය තමන්ගේ පැත්තට වාසිදායක වන සේ හරවා ගෙන තිබේ. ඉකුත් ප‍්‍රාන්ත මැතිවරණයේ දී සියයට හැත්තෑ පහක වාසියක් අත්පත් කරගෙන මහ ඇමැති වශයෙන් දිවුරුම් දෙන්නේ ඒ අනුවය.

දේශාපාලනයේ දී ජාත්‍යන්තර ප‍්‍රවනතා හෙතෙම ඉහළින් අල්ලාගත්තේය. වත්මන් ඇමරිකානු ජනාධිපති මුස්ලිම් ජාතිකයන් ගැන කියන ප‍්‍රකාශ ප‍්‍රතිනිර්මාණය කරමින් මැතිවරණයේ දී ක‍්‍රියා කරන ලද අතර රුසියන් ජනාධිපති පුටින්ට අනතුරු ඇඟවූයේ සුළු ජන කොටස් වලට විශේෂ අයිතිවාසිකම් දෙන සුදුසුකමක් නැති බව අවධාරණය කරමින්ය.

මෙම සිද්ධි අවසානයේ දී භාරතීය ජනතා පක්ෂය උත්තර ප‍්‍රදේශයේ මහ ඇමැතිවරයා සේ පත් කරගත් යෝගී අදිත්‍යනාත් ක‍්‍රියා කරන ලද අන්දම ගැන බරපතල තත්ත්ව නිරීක්ෂණය කළ හැකිය. අන්තවාදී චරිතවලට ඉලක්ක ඇති බව ජාත්‍යන්තරයේ සිදුවීම් පෙන්වයි. පොදු ජනතාව වෙනුවෙන් සියළු දෙනා වෙනුවෙන් නිර්මාණය වන ලෝකයක් ගැන කතා කරන නමුත් අභ්‍යන්තරයේ ගැහෙමින් පවතින්නේ අන්තවාදයයි. එය වේදනාත්මක අවසානයකි. නොවිය යුතු දෙයකි. ලෝකයේ පැවැත්ම අවදානමට ලක්කරන්නකි. ජනතාන්ත‍්‍රිකත්වය යනු එක් කොටසක් වෙනුවෙන් කතාකරන පුද්ගලයන් නැගී වැඞී බලය අත්පත් කරගැනීම නොවේ. නමුත් මෙවැනි දේ සිදුවෙමින් තිබේ. තේරුම්ගත යුතු ස්වභාවය එයයි.