ටැටූ එකක් යනුවෙන් අපේ භාෂාවෙන් කියන්නේ පච්චයකි. දයාසේන ගුණසිංහ මහතාගේ කෙටි කතාවක පච්චයක් කෙටූ ඇමැතිවරයෙකු ජීවත්වෙයි. අතේ ඇති පච්චය දැක්වෙන හෙයින්, සංවිධානය කළ වප් මගුලකට පැමිණ අත් දිග ඇඳුම් ගලවා ප‍්‍රසිද්ධියේ කුඹුරට බහින්නට මැළිකමක් දක්වන හෙතෙම රෝහල්ගත වන ආකාරය නිර්මාණාත්මකව ලියා තිබේ. පච්චය ඒ තරමටම සමාජය පැලැන්තිගත කරන සංකේතයකි. නමුත් ලෝකයේ පළමුවතාවට පච්චයක් නොඑසේනම් ටැටූ එකක් කොටාගත් තරුණයෙකු අගමැති ධුරය භාරගෙන තිබේ. කැනඩාවේ අගමැති වශයෙන්ය. හතලිස් දෙහැවිරිදි ජස්ටින් ටෲඩ්‍රෝ තමන්ගේ අතේ ඇති ටැටූ එක ගැන කියන්නේ එය ඒ කාලයේ සිදුවීමක් හැටියටය. ජාත්‍යන්තර ප‍්‍රජාව එය ඒ තරමට අවධානයට ගත්නේ ද නැත. නමුත් අගමැතිවරයා අලූතින් හිතා බලා අලූත් ආකාරයකට ක‍්‍රියා කරන්නට සූදානම් වන ආකාරය ගැන බරපතල ආකාරයට සාකච්ඡා කරන්නට පටන්ගෙන තිබේ.
කැනඩාවේ අගමැති වශයෙන් පත්වූ ජස්ටින් ටෲඩ්‍රෝ සිය තරුණ සහ නවින පන්නයේ අදහස් අනුව රටට දර්ශනයක් ඉදිරිපත් කර ඇත. එයට පදනම් වී ඇත්තේ ඔහු සතු අත් දැකීම් බව පෙනෙන්නට තිබේ. ඔහු කැනඩාවේ හිටපු අගමැතිවරයෙකු වූ පියෙරේ ටෲඩෝ ගේ පුත‍්‍රයෙකි. පියෙරේ අදහස් අතින් ලිබරල් මතවාද දැරූ අමුතුම ආකාරයේ චරිතයක් වශයෙන් ප‍්‍රකටව සිටි අතර එම පසුබිමෙන් දේශපාලන වාසිය අත් පත්කරගන්නට ඔහු ගේ පුතා තැත් කරන්නේ නැත. කැනඩාවෙන් පිටතට ගොස් එංගලන්තයේ ඉගෙනගන්නා හෙතෙම ඉංග‍්‍රීසි සාහිත්‍යයේ සිට ඉංජිනේරු ශිල්පය දක්වා පරිනත වන අතර පසුව ස්වේච්ඡාවෙන් ඉගැන්වීමෙහි ද නිරත විය.
තම පියාගේ දේශපාලන ගමන අතර තුර කැනේඩියානු ලිබරල් පක්ෂයේ තරුණ බලය අතට ගන්නා අතර නිසි ලෙස දේශපාලනය ආරම්භ කරන්නේ ඔහුගේ පියා අභාවයට පත් වූ පසුවය. 2000 අවුරුද්දේ දේශපාලනයට එන හෙතෙම 2008 සිට 2015 දක්වා ලිබරල් පක්ෂයේ විපක්ෂ මන්තී‍්‍රවරයෙකු වශයෙන් වශයෙන් ක‍්‍රියාකරන අතර පසුව පක්ෂ නායකත්වයට තරග කරන්නේය. එයින් ජය ගත් හෙතෙම නොබෝදා පැවැති මහ මැතිවරණයට පක්ෂය මෙහෙයවන්නේ ආසන 184 ක් සහිත බහුතරයක් අත් පත් කරදෙමින් පමණක් නොව කලින් පැවැති ආසන ගණන ඉක්මවා ආසන 150 කින් ජන බලය සහතික කරගනිමින් බව නිරීක්ෂණය කළ හැකිය. එයින් පෙන්වන්නේ හතලිස් දෙහැවිරිදි ජවාධික ජස්ටින් ටෲඩ්‍රෝ ගේ ගමන ගැන කැනේඩියානුවන් විශ්වාසය තබා ඇති ආකාරයයි.
කැනඩාවේ අඩු ආදායමක් ලබන ජන කොටස අඩුවෙන් බදු ගෙවන ආකාරයට පරිවර්තනය කළ හැකි ආකාරය ගැන හෙතෙම අවධානය යොමු කරන බව දක්වයි. මුල් උරුමය ඇති ආදිවාසී ජන කොටස ඉදිරියට ගෙන සුරක්ෂිත කරන ආකාරය ගැන අදහස් දක්වයි. නව සොයා ගැනීම්, විද්‍යාව සහ ආර්ථිකයේ අලූත් පැති වෙත අත පොවන්නට සූදානම් බව පැහැදිලිව කියා සිටියි. ව්‍යුහාත්මකව ගැලපෙන ආකාරයට පමණක් නොව රට තුළ විනිවිද පෙනෙන පාලන යාන්ත‍්‍රණයක් සහිතව ආණ්ඩුව ගෙන යන බව දක්වයි. එය මෙතෙක් පැවැති සම්ප‍්‍රදාය අභිබවා යන එකක් පමණක් නොව එම ගමන සාක්ෂාත් කරන්නට ගැලපෙන කණ්ඩායමක් තමන්ගේ කැබිනට් මණ්ඩලයට පත් කරගෙන ඇති බව ද පෙනෙන්නට තිබේ. එය ජාත්‍යන්තරය අවධානයට ගෙන ඇති බලවත් කරුණක් බව සඳහන් කළ යුතුය.
කැනඩාවේ ජීවත්වෙන අයගෙන් සියයට හතලිහක් පමණ සුළු ජාතිකයන්ය. බලවත් ජාතිය වශයෙන් කැබිනට් මණ්ඩලයේ වැඩිම ඉඩක් පනවන්නේ සුළු ජාතිකයන්ට සහ කාන්තාවන්ටය. ඒ අතරින් එක් කාන්තාවක් ඇෆ්ගනිස්තානයෙන් පලා විත් අනාථව සිටි සහ කැනඩාවේ ජීවත්වී ලිබරල් පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ ඇමැතිවරියක වීම විශේෂත්වයකි. කැබිනට් මණ්ඩලයේ තිස් දෙනෙකුගෙන් හරි අඩක් කාන්තාවන් වන අතර එය කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ කරගැනීම ගැන ලෝකයේ මෙතෙක් පවත්වාගෙන යන සියලූම අනුපාත ඉක්මවා යන ප‍්‍රමිතියකි.
ජාතික ආරක්ෂාව භාර දෙන්නේ සික් ජාතික ඇමැතිවරයෙකු වන හර්ජිට් සජ්ජාන්ටය. නව සොයා ගැනීම්, විද්‍යාව සහ ආර්ථික සංවර්ධන වගකීම භාර දෙන්නේ ද සික් ජාතික නවදීප් බේසීන්ටය. ආර්ථිකය ගැන අලූත් ආකාරයට හිතන බව කැබිනට් මණ්ඩලය දෙස බලන විට පෙනේ. එක පැත්තකින් භාණ්ඩාගාරය නියෝජනය කරන ඇමැතිවරයෙකි. එයට අමතරව ජාතික ආදායම් ඇමැතිවරයෙකු පත් කර තිබේ. කුඩා ව්‍යාපාර සහ සංචාරක ඇමැති වරයෙකු සහ ජාත්‍යන්තර වෙළඳාමට වෙනම, ජාතික ආදායම මහ මුදල් වශයෙන් වෙන් වෙන්ව ඇමැති මණ්ඩලයේ වගකීම් භාර දී ඇත. රටේ ආදායම ජනනය කිරීම වෙනම කාර්යයක් වන අතර මහා භාණ්ඩාගාරය පාලනය කිරීම එයට අයත් නැති වෙනත් ස්වාධීන විෂයයක් සහිත අමාත්‍යංශයක් බවට පත් කරන්නේය. විදේඹ සම්බන්ධතා ඇමතිවරයෙකු සිටින අතර ප‍්‍රංශ සම්බන්ධතා වැදගත් බව උපකල්පනය කරමින් ඒ වෙනුවෙන් වෙනම අමාත්‍යධුරයක් පත් කර ඇත. රටක් තමන්ට කොපමණ බලපාන්නේ ද යන්න ඒ වෙනුවෙන් අමාත්‍යංශයක් පිහිටුවීමට තීරණ ගැනීමෙන් පෙනේ.
කැනඩාවේ උරුමය වෙනුවෙන් පෙනී සිටීම ආණ්ඩුවේ වැදගත් කාර්යයක් බව සලකා ඒ වෙනුවේන අමාත්‍යංශයක් ඇති කරන අතරතුර සරණාගත, අනාථ සහ පුරවැසි භාවය සම්බන්ධයෙන් ද වෙනම අමාත්‍යංශයක් පිහිටුවන්නේ සම්ප‍්‍රදායික ජන සමාජයට අලූතින් එකතුවන ජන කොටස කිසියම් අභියෝගයක් වන බව මුල් අවධියේදීම අවධානයට ගෙන බව තීරණය කළ හැකිය. මේ අතරවාරයේ එකිනෙකට වෙනස් ආකාරයට අලූත් අමාත්‍යංශ ඇතිකරන සම්ප‍්‍රදාය බිඳින අගමැතිවරයා මෙමම සියලූ තැන් සම්බන්ධීකරණය කර පවත්වාගන යාම විශේෂිත එකක් සේ සලකා සම්බන්ධීකරණ සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සියලූ දෙනා එකතු කරන අරමුණ ඇති අමාත්‍යංශයක් ද ස්ථාපිත කරයි. සුපුරුදු සෞඛ්‍ය, අධිකරණ, ප‍්‍රවාහන සහ ක‍්‍රීඩා වැනි අමාත්‍ය ධුර ඇති කර ඇති නමුත් මෙම නව ඇමැති මණ්ඩලයේ දිදුලන තැන් වලට පත්ව ඇත්තේ අලූත් අරමුණු සහ වගකීම් පනවා ඇති සුවිශේෂී කණ්ඩායමක් බව පැහැදිලිව දැකගත හැකිය. කැනඩාව විවිධ ජාතීන් විවිධ සංස්කෘතීන් මුහු වන තැනක් බවට පත්වෙමින් පවතින පසුබිම තුළ එහි වැදගත්කමක් නැතැයි කියන්නට කිසිසේත් හැකියාවක් නැත.
මෙයින් පෙන්වන්නේ සුපුරුදු රාජ්‍ය තාන්ත‍්‍රික භාවයෙන් එපිටට පැමිණ තීරණ ගන්නට නව අගමැතිවරයා වශයෙන් ක‍්‍රියා කරන ආකාරයයි. ජස්ටින් ටෲඩ්‍රෝ ගේ එම තීන්දු වලට ලෝක ප‍්‍රජාව බලන්නේ සියුම් විමසිලිමත් බවක් ඇතිවය. විශේෂයෙන් යුරෝපය අලූත් ආකාරයට ඔහු දෙස බලන්නට පටන් ගෙන තිබේ. සෙල්ලක්කාරකම පමණක් නොව එයට යටින් දිවෙන ජනතාවගේ හැඟීම් රාජ්‍ය තුළට කාවද්දන්නට සූදානම්වන ආකාරයට ගැන අවධානයෙකින් සිටී. ජස්ටින් ටෲඩ්‍රෝ ජනතාව අතරට එන්නේ අවුල් වූ කෙහෙරුල්ලක් ඇති ටැටූ චිත‍්‍රවලින් උඩු බාහුව සරසාගත් අයෙකු ලෙස නමුත් ඔහුගේ තීන්දු ගැනීමේ ක‍්‍රියාවලිය තුළ ඇති හරය සහ ඉලක්කය ජන තාන්ත‍්‍රිකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන බව හිතන්නට ලෝක නායකයෝ උනන්දු වෙමින් සිටිති. මේ ගැන මතවාද පැතිරෙන අතර විද්‍යාර්ථීන් සංවාද කරමින් අලූත් අදහස් ඉදිරිපත් කරනන්ට මුල පුරා ඇත.
පුද්ගලයෙකු බලයට පත් කරන්නේ සම්ප‍්‍රදායික තනතුරු පුරවා තමන්ට භාර වන කාර්ය භාරය ඉදිරියට ගෙන යන්නට ද, නොඑසේනම් ජනතාව පවරන නව සමාජ කාර්ය භාරය තේරුම් ගෙන ඒ අනුව අලූත් ආකෘතියක් හදන්නට ද, යන්න වටහා ගැනීම පහසු නැති ඉතාම විවාද සම්පන්න අදහසකි. මෙම කාරණා දෙක තුළින් වඩා ජන අවධානයට ගෙන ඇත්තේ කෙබඳු තීරණයක් ද යන්න හොඳින් දැනගැනීමට ලැබෙන්නේ නුදුරු අනාගතයේදීය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|