» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/07/2018 - දේශය
දේශපාලනයේ අලුත් තාරකාව ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ

ඇමරිකානු දේශපාලනයේ නව ප‍්‍රවනතා නැවතත් සනිටුහන් කරමින් තරුණ ඇලෙක්සැන්ඩියා ඔකාසියෝ කොටේස් නිව්යොක් නගරයේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ මූලික වටයේ මැතිවරණයකින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කළාය. ඇලක්සැන්ඩි‍්‍රයා දේශපාලනයට දුරස්ථ චරිතයකි. නමුත් ඇයට අලූත් අදහස් තිබුණි. ජනතාව ආමන්ත‍්‍රණය කරන ලද විලාසය ආකර්ශණීය වූ අතර ප‍්‍රබල දේශපාලන චරිත අභිබවා ධෛර්යවන්ත ගමනක් පෙන්නුම් කර තිබේ. ‘‘මම වගේ කාන්තාවකට අඩුම තරමින් දේශපාලන කාර්යාලයක්වත් නඩත්තු කරගන්න නොහැකි’’ යැයි ඡන්ද ප‍්‍රචාරක දැන්වීමකින් කියා සිටි ඇය සාමාන්‍යයෙන් ඡුන්ද මධ්‍යස්ථානයට එන්නේ නැති තරුණ කණ්ඩායමක් කැඳවන්නට සමත් වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙන කරුණකි.

විසි අට හැවිරිදි ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ අවන්හලක කොක්ටේල් මිශ‍්‍ර කර ආරාධිතයන්ට පිලිගන්වන වෘත්තියක නිරතව සිටියාය. පසුව දරුවන්ට කියැවීම හුරුකරන පොත් ප‍්‍රකාශන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර ප‍්‍රකට අධ්‍යාපනික උපායමාර්ගික ආයතනයකට සේවය කලාය. මෙම අවකාශය තුළ නොයෙක් බාහිර අවස්ථා සමග මුහුවෙන්ට ඉඩ කඩ ලැබුණ අතර මානව අයිතිවාසිකම් අරභයා ජනතාව මුහුණ දෙන සිද්ධි වෙනුවෙන් මතයක් ඇති කරමින් රට පුරා ගමන් කරමින් මත ඇති කිරීම අවස්ථාවක් කරගත්තාය.

ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ පොහොසත් පවුලක දරුවෙකු නොවේ. නිව්යෝක් හි බ්‍රොනෙක්ස් හි සාමාන්‍ය පවුලක උපත ලැබූ ඇය ගේ පියා ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන වකවානුවේ සිට ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ විෂය බාහිර කටයුතු වල දක්ෂතා පෙන්නුම් කළාය. එමගින් අවස්ථා දිනාගත්තාය. විද්‍යා ප‍්‍රදර්ශනයක දී ඇය ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියක් ජය ගැනීමෙන් පසු නවක නිර්මාණකාරියක වශයෙන් ඉස්මතු වූ අතර උසස් පාසලේ දී තරුණ නායකයන් සඳහා වූ වැඩමුලූවක් නියෝජනය කරන ලද අතර පසුව එහි ලේකම් ධුරය දක්වා පත් වූවාය. බොස්ටන් විශ්ව විද්‍යාලයට තේරී පත් වූ ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ එහි දී ජෝන් එෆ් කෙනඩි ශිෂ්‍යත්වය දිනාගත් අතර ආර්ථික හා අන්තර් ජාතික සම්බන්ධතා උපාධිය හිමිකරගත්තාය. තරුණ අවධියේ දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් අනතුරුව ඇයගේ පියා ජීවිතක්ෂයට පත් වූ අතර ජීවන අරගලයට කලින්ම මුහුණදීමට සිදුවූ බව සඳහන්ය. ධනය උපයන්නට කොපමණ අසීරුද යන්න සහ නිලධාරීවාදය ගැන අවබෝධයක් ලැබීමට මෙම දුෂ්කර කාල පරිච්ඡේදය බෙහෙවින් ඉවහල් වූ බව ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ කියා සිටියි. තරුණ නායිකාවක වශයෙන් උසස් අධ්‍යාපනයේ දී ලත් අත්දැකීම් වලින් පොහොසත්ව සිටි ඇලෙක්සැන්ඩියා 2016 වසරේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට මහන්සි වෙමින් සිටි අපේක්ෂකයෙකු ගේ ආධාරකාරියක වූවාය. ජනතාවගේ ගැටළු ගැන අවධානය යොමු කළ ඇය ඇමරිකාවේ එක පැත්තක ජනතාව සියළු දේ අත ලඟ ඇතිව ජීවත් වන නමුත් තවත් පැත්තක ජනතාව විඳීන අපහසුතා ගැන අවබෝධය ඇතිව එය ගැන කතා කළාය.

ඇට්ලන්ටා හි දී පැවැති තරුණ සමුළුවක් නියෝජනය කළ ඇලෙක්සැන්ඩි‍්‍රයා එහි දී එක පැත්තක් ආවරණයවන පරිදි ජනතාව මුල් තැනට ගන්නා බිම් මමට්ටමින් ඡන්ද ව්‍යාපාරයක් කරන්නේ කෙසේදැයි අධ්‍යනයක නිරත වූවාය. නොයෙක් සිවිල් ජනතා ව්‍යාපාර වල නිරත වූ ඇලෙක්සැන්ඩි‍්‍රයා එවකට ප‍්‍රකට බලවත් දේශපාලන චරිත සමග මහජනතාවගේ පැත්තේ සිට අරගල කරන්නට සමත් වූවාය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රධානියෙකු වන ජෝෂප් ක්‍රොවෙල් වෙත අභියෝගයක් වීම ඒ අතර කැපී පෙනේ.

ඇමරිකානු මහ මැතිවරණයයේ දී නිව්යෝක් ආසනය වෙනුවෙන් අලූත් අපේක්ෂකයන් තෝරා ගන්නා මූලික මැතිවරණයේ දී දීර්ඝ කාලීන අත්දැකීම් සහිත පලපුරුදු දේශපාලනඥ ජෝෂප් ක්‍රොවෙල් අභිබවා ඉදිරියට පැමිණීම ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ ගැන වඩා අවධානයට ලක් වූ අවස්ථාවයි. ඩිමොක‍්‍රටික් පක්ෂ ධුරාවලියේ හතරවැනි තැන සිටින බොහෝ දුරට පාර්ලිමේන්තුවේ කතානායක තනතුරට පත්විය හැකි බව ප‍්‍රකාශ වී තිබුණ පතාක දේශපාලනඥයෙකු වූ ජෝෂප් ක්‍රොවෙල් අභිබවා සියයට පනස් හතක ඡන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට ඩිමොක‍්‍රටික් සමාජවාදී අපේක්ෂිකා ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ සමත් වුවාය. නිව්යෝක් වැසියන්ගේ හදවත් දිනා ගන්නා ඡන්ද ව්‍යාපාරයක් ඇය දියත් කරන ලද බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. විශාල මුදලක් ප‍්‍රචාරක කටයුතු වලට යොදවමින් සිටි ප‍්‍රතිවාදී අපේක්ෂකයා සමග සසඳන විට ඇය සුළු ආයෝජනයකින් විශාල මිනිසුන් ප‍්‍රමාණයක් කරා ළඟා වී ඇත. ‘‘හුඟක් ධනය සොයා ගැනීමෙන් අති විශාල මුදලක් යෙදවෙන ඡන්ද ව්‍යාපාරයක් පරාජය කළ නොහැකියි, නමුත් සහමුලින්ම වෙනස් ආකාරයකින් මෙහෙයැවීම තුළින් ධනය පරාජය කළ හැකියි’’ අවසානයේ දී ඇලෙක්සැන්ඩි‍්‍රයා කියා සිටියාය. ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ ගේ ප‍්‍රාථමික ඡන්දය වෙනුවෙන් වැය කළ ධනයෙන් සියයට හැත්තෑ පහක් සුළු ආධාර වශයෙන් සැලකෙන අතර ප‍්‍රතිවාදී ජෝෂප් ක්‍රොවෙල්ගේ මැතිවරණ වියදම් සමග සසඳන විට සියයට එකක් පමණ යැයි සැලකේ. ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ නිව්යෝක් මැතිවරණ බල ප‍්‍රදේශයේ සෑම නිවසකටම යන අතරවාරයේ ඇගේ අභිමතය හා පරමාර්ථ පෙන්වා දුන්නාය. එම හමුවීම් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක අත්තිවාරම විය.

ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ සිය ප‍්‍රතිපත්ති වල දී සෞඛ්‍ය පහසුව සෑම කෙනෙකුටම ලැබෙන වැඩ පිලිවෙලක් ගැන කතා කළාය. අධ්‍යාපන ක‍්‍රමය තුළ සිදුවිය යුතු වෙනස්කම් එයට අමතරව මතු කළ පැත්තකි. ටියුෂන් වියදමක් දරන්නට සිදුවිය යුතු නැති අධ්‍යාපන ක‍්‍රමයක් ඇය ගේ අවධාරණය විය. නිව්යෝක් ප‍්‍රදේශය භාෂා එකසිය තිහක් පමණ කතා කරන එකිනෙකට වෙනස් ජාතීන් ජීවත් වන කලාපයකි. එහි හැඟීම් වෙනස්ය. ජනතාවගේ අවශ්‍යතා විවිධය. ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔවුන්ට සිය පවුලේ විත්ති අඟවනලද අතර සමාජයේ පහල පැලැන්තියේ වේදනාව දැනෙන මහජන නියෝජිතවරියක වීමේ අවශ්‍යතාව තේරුම් කර දුන්නාය. විසි වසරකට වැඩි කාලයක් බලය අල්ලා ගෙන සිටි සම්ප‍්‍රදායික දේශපාලනය හොලවන්නට එය මහත් උපකාරයක් වී ඇති බව පැහැදිලිය. ඇලෙක්සැන්ඩි‍්‍රයා ගේ අදහස් සමාජ මාධ්‍යවලින් පතුරවන අතර එයට විශේෂයෙන් දායක වූයේ තරුණන්ය. දේශපාලනය එපා වී සිටි තරුණ පෙල ඇයගේ උණුසුම් අදහස් වලින් පෝෂණය විය. එය ඉතා වැදගත් තේරුම් ගැනීමක් වූ අතර තරුණන් ඡන්ද පොලට කැඳවන්නට බලපෑවේය. මූලික වටයේ ඡන්ද විමසීමක් නමුත් එය සම්බන්ධයෙන් පැවැති මත නිරීක්ෂණ වල දී ඇලෙක්සැන්ඩි‍්‍රයානා සෑහෙන පසුබෑමක සිටින බව සනාථ වී තිබුණි. නමුත් මත විචාරකයන්ට හසු නොවූ අලූත් ඡන්ද දායකයන් කොටසක් ඇය වටා ඒකරාශී වූ අතර එය ඇයගේ ජයග‍්‍රහණයට පදනම විය.

‘‘මම මිනිස්සු දිනාගෙන තියෙනවා, ඒ අය දිනාගෙන තියෙන්නේ සල්ලි’’ ඡන්ද ව්‍යාපාරයේ දී ඇය කියා සිටි තවත් අදහසකි. ‘‘ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාක්ෂිකයෙකුම එකවගේ නොවනබව පෙන්නුම් කරන්නට අවස්ථාව උදා වී ඇති බව’’ ද ඇය අවධාරණය කළාය. ඒවා ජනතාවට දැණුන අදහස් අතර තිබුණි. ඇමරිකාව අලූතින් හදුන්වා දුන් සංක‍්‍රමණ නීති වලට එරෙහිව ඇය අදහස් දැක්වූවාය. මැතිවරණයට කලින් සතියේ නිව්යෝක් වලින් පිටත්ව ගොස් ටෙක්සාස් වලට ළඟා වූ ඇලෙක්සැන්ඩි‍්‍රයානා දරුවන් හා දෙමව්පියන් වෙන්කරන නීති වලට විරුද්ධව පැවැති විරෝධතාවකට සහභාගී වූවාය. එය ඇයගේ මානුෂික කාරණා මතු කරන්නට හේතු විය.

කිසිවෙක් බලාපොරොත්තු නොවූ අන්දමට නිව්යෝක් මූලික මැතිවරණය දිනා ගැනීමෙන් පසු ඇලෙක්සැන්ඩි‍්‍රයා ඇමරිකාවේ කොන්ග‍්‍රස් මණ්ඩලය නියෝජනය කරන ප‍්‍රබල චරිතයක් වනු නොඅනුමාන බව ප‍්‍රකාශ වෙයි. ඇයගේ මව, සීයා හා ආච්චී සමග ජීවත්වන අතර දස දෙසින් ලැබෙන ප‍්‍රසංසා වලින් ප‍්‍රබෝධවත් වී සිටී. සම්ප‍්‍රදායික දේශපාලනයෙහි පරිවර්තනයක් කරනු සඳහා විශාල වෙනස්කමක් පෙන්වන්නට ඇන්ඩි‍්‍රයානා සිය ජීවිතයේ සියළු අත්දැකීම් ජනතාව හමුවේ ප‍්‍රකාශයට පත් කර තිබේ. දුක විඳීන පැලැන්තියේම කෙනෙකු වශයෙන් තත්ත්වය වෙනස් කරන්නට අභිලාශයක් ඇති බව දක්වා ඇත. ලබන නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේ දී ඇය අවස්ථාවක් අත්පත් කරගත්තාදැයි සනාථ වනු නිසැකය.