» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/05/2016 - දේශය
අසිපතක් රැගෙන ආ මුක්ටාදා අල් සාදර්

මුක්ටාදා අල් සාදර් ඉරාක ජන සමාජයේ බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි. ඔහු එවැනි ජනතා කැමැත්තක් දිනාගත්තේ දේශපාලන මතධාරීයෙකු පමණක් නොව රට වෙනුවෙන් කැපවූ විප්ලවීය ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගූ නායකයෙකු හෙයින්ය. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ප‍්‍රජාව ඉරාකයට එරෙහිව පීඩනය මතු කරන විට එයට එරෙහිව ජනතා වෑයමක් වශයෙන් නැගී සිටින කණ්ඩායමක් හදන්නේ මුක්ටාදා අල් සාද් ගේ නායකත්වයෙනි. 2003 අවුරුද්දේ දී එවැනි කණ්ඩායමකට නායකත්වය දී ඉරාකය තුළ නැවතත් පුරුදු අනන්‍යතාවය ආරක්ෂා කරගන්නට කැපවන ෂියා බලවේගයක් වශයෙන්ය. මුක්ටාදා අල් සාදර් ඉරාක ආණ්ඩුවේ කිසිම නිල තනතුරක් උසුලන්නේ නැත. නමුත් ඉතා පුලූල් බලපෑමක් කළ හැකි ආගමික නායකයෙකු සහ ජනප‍්‍රිය චරිතයකි. එවැනි පුද්ගලයෙකු බවට පත්වන්නේ කෙසේද?

ඇමරිකාව ප‍්‍රධාන අනෙක් හමුදා ඉරාකයට එන්නේ සදාම් හුසේන් ගේ පාලනයෙන් එරට වැසියන් මුදා ගෙන සාමකාමී තත්ත්වයක් ඇති කරනු රිසියෙන්ය. වාර්තා දක්වන පරිදි එක් ලක්ෂ හැට දහසකට අධික යුද බල ඇනියක් ඉරාක පාලනයට එරෙහිව පැමිණුන අතර එයින් මතු කරන තත්ත්වය ජාත්‍යන්තරය තුළ දැඩි ආන්දෝනයක් මතු කරයි. ඉරානය මිනිස් අහිතකර අවි භාවිතා කිරීම අවසන් කරන සහ ත‍්‍රස්තවාදයට සහාය වන සදාම් හුසේන් ගේ පාලනය අවසන් කර පුරවැසියන් මුදා ගන්නා එකී ආක‍්‍රමණයට එක පැත්තකින් එරෙහි සහ අනෙක් අතට ඇමරිකානු මාධ්‍ය සඳහන් කළ පරිදි සාම හමුදාවක් වශයෙන් ස්වදේශිකයන් අතරින් නැගෙන්නේ මුක්ටාදා අල් සාදර් ගේ බල ඇනියයි. ෂියා බහුතරයක් පාලනය වූ සුනී සුළුතරය අතර තිබු ඉරාකයේ බලය යම් ආකාරයකට වෙනස්කරන්නට අල් සාදර් පසුව දේශපාලන බලවේගයක් බවට හරවන ලද අල් සාදර් ව්‍යාපාරයට හැකියාව ලැබෙයි. බටහිර මාධ්‍ය මුක්ටාදා අල් සාදර් දකින්නේ ඇමරිකානු විරෝධියෙකු හැටියටය. නොඑසේනම් රැඩිකල් නායකයෙකු වශයෙනි. නමුත් ඔහු මධ්‍යස්ථ මතධාරී ආගමික ස්ථාවරත්වය සහිත දිරිමත් තරුණයෙක් බවට ඉරාකය තුළ බලවත් පිලිගැනීමක් ඇත.

මුක්ටාදා අල් සාදර් ඉරාක සහ ඉරාන යන රටවල් දෙකටම උරුමයක් ඇති චරිතයක් සේ සැලකෙයි. ඔහු ගේ පරපුර ඒ තරමටම ඈතට විහිදෙන, දැන් ඔහු වෙසෙන ඉරාකයේ හොඳ පිළිගැනීමක් ඇති ෂියා ආගමික නියෝජනයකි. ඔහු ගේ ඉතිහාසය විමසන විට පියාගේ පැත්ත ඛේදවාචකයකි. පියා ගේ සීයා පුතුන් දෙදෙනෙකු සමග ඝාතනය වී ඇත. මුක්ටාදා අල් සාදර් ගේ මාමණ්ඩිය ද සදාම් හුසේන් ප‍්‍රමුඛ ඉරාක පාලනයෙන් ජීවිතයෙන් දඞුවම් විඳින ලද බව සඳහන්ය. එවැනි පරපුරක හතරවැනියා වශයෙන් උපත ලද හෙතෙම ආගමික අධ්‍යාපනයක් ලබයි. කොපමණ අලූත් ආකාරයකට හිතන අයෙකු ද යත් අයොතොල්ලා ආගමික නායක ධුරයට ඉගෙනගන්නට ඔහුගේ කැමැත්තක් නැත. සිය පියාගේ අභාවයෙන් පසු ආගමික නායකයෙකු වශයෙන් ඔහු නැගෙන්නට පටන් ගනී. ව්‍යාපාරයේ කාර්යාලයක් ආරම්භ කරන නමුත් සදාම්ගේ ආරක්ෂකයන් එය වසා දමයි. පසු කාලයක ෂියා ආගමිකයෝ ඔහු ජීවත් වූ ප‍්‍රදේශය අල් සාද් නගරය බවට නම් කරයි. එහි ජීවත්වන්නේ ෂියා පිරිස සහ ඔවුන්ගේ ආකල්ප, ඔවුන්ගේ නීතිය පමණක් නොව ඔවුන් ක‍්‍රියාකරන ආකාරයට අනුගත පිරිසකි. එය ආවේනික එකක් බවට පත්වෙයි. අධ්‍යාපනය, සමාජ සේවා කටයුතු සහ වෛද්‍ය ප‍්‍රතිකාර පවා ඒ අනුව හැඩගැසෙයි. සම්පූර්ණ අල් සාදර් නගරයකි. මොක්ටදා එහි ජීවත්වන්නන් ගැන සැලකිල්ලක් දැක්වීය. වීඩියෝ සහ මත්පැන් තහනම් කරන ලද අතර එය කඩකරන අයට ප‍්‍රසිද්ධියේ දඞුවම් නියම කරන්නේය. එය විශාල බලවේගයක් තනන ප‍්‍රයත්නයක් බවට පත්වෙයි. ෂියා ආගමිකයෝ ලැදියාවක් දක්වන්නේ එම අනන්‍යතාවයටය. මුක්ටාදා අල් සාදර් ජනතාවාදියෙකු බවට පත්වන ගමන ඇරඹෙන්නේ එතැනින්ය.

තරුණ අදහස් ඇති අය ඔහු වටා එකතුවෙයි. හමුදාවක් හදන්නේ එම තරුණ පිරිසගේ බන්ධනයෙන්ය. එය නිරායුධ හමුදාවක් බව කියන මුක්ටාදා මෙම බලවේගය හමුදාවක් වශයෙන් ගොඩනගන්නේ ඉරාකය නැවත පුනර්ජීවනය කරන ප‍්‍රයත්නයක් වශයෙන් බවය. ඕනෑම මොහොතක මෙහෙයුමකට ඉදිරිපත් විය හැකි බලකායක් ලෙස එය හඳුන්වන්නට මැලි නොවූ හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියට ගමන් කරන කාල බෝම්බයක් වශයෙන්ය. ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්නට කැමැති දිවි පූජා කරන කණ්ඩායමක් බව දක්වන ලද අතර වරක් මුක්ටාදා කියා සිටියේ ‘‘මා නැති කරන්නට පුලූවන් නමුත් අපේ අරමුණ සාක්ෂාත් වනතුරු ගමන නිමා නොවන’‘ බවය. එසේ සඳහන් කරන ලද ගමන ඉරාකය ඉස්ලාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට පත් කිරීමකි.

ඇමරිකානු ප‍්‍රධාන හමුදා ඉරාකයට පැමිණ සදාම් හුසේන්ට එරෙහිව ක‍්‍රියා කරන විට මුක්ටාදා පෙරමුණ ගන්නේ විදේශික ආක‍්‍රමණයට පමණක් නොව සදාම්ගේ පාලනයටය. ඔහුට එරෙහිව සතුරන් පෙළ ගැසෙන විට රටින් පලා ගිය අතර එහි සිට ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් මෙහෙයවා මතය තහවුරු කරන්නට සමත්වෙයි. මර්දනය මැද නැගෙන ඔහුගේ බලය එක හෙලා කියා සිටියේ විජාතික හමුදා ආපසු යා යුතු බවය. 2011 ජනවාරියේ දී හෙතෙම ආපසු ඉරාකයට පැමිණෙයි. එහි දී ඉරාකයට නව පාලනයක් ගෙන එන්නට ක‍්‍රියාශීලී සහ ජාත්‍යන්තරයට ප‍්‍රබලව දැනෙන මෙහෙයුමක් දියත් කරයි. ඇමරිකාව, ඊශ‍්‍රායලය හා බි‍්‍රතානය තමන්ගේ පොදු සතුරන් බව සෘජුව හුවා දක්වමින් ඉරාකයේ නජෆ් නගරයේ දී උද්වේගකර කතාවක් පවත්වන්නේය. ඉරාක වැසියෝ ආත්ම විශ්වාසයෙන් ඔහු වටා රොක් වෙයි. ඉරාකය අලූත් පරිච්ඡේදයක කරා මෙහෙයවන්නට සමත් බලය ඇති චරිතයක් වශයෙන් ඔහු පිළිගැනීමට ලක්වෙයි. වසර අවසානයේ දී ඇමරිකාව ප‍්‍රමුණ විදෙස් හමුදා බල ඇණි විශාල වශයෙන් ඉරාකයෙන් ඉවත් වෙයි. අලූත් ආණ්ඩුව හදන ජනප‍්‍රිය බලවේගයේ ප‍්‍රධාන චරිතයක් බවට පත්වන්නේ මුක්ටාදා නමැති ඇමරිකාව රැඩිකල් මතධාරීයෙකු ලෙස හැඳින්වූ මෙම තරුණ ජවාධික පුද්ගලයාය. ආණ්ඩුව පිහිටුවන්නට උදව් දෙන නමුත් ඔහු ආණ්ඩුවේ කොටස්කාරයෙකු වෙන්නේ නැත.

ඉකුත් පෙබරවාරියේ දී මුක්ටාදා නැවත බැග්ඩෑග් හි ටාහීර් චතුරශ‍්‍රයේ පෙනී සිටියේය. ඔහු බල කරන්නේ ඉරාක අගමැතිවරයා පොරොන්දු වූ පරිදි ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ ගැන ප‍්‍රකාශයක් කළ යුතු බවය. ඇමරිකානු සහ අනෙක් හමුදා බලඇනි බැග්ඩෑග් නගරය වටා දැවැන්ත ආරක්ෂක තාප්පයක් හදන්නේ ඔවුන් මෙහෙයුම් කරන ලද කාලයේය. වත්මන් පාලකයන් ද, එම පවුරෙන් වටවූ එනම් ගී‍්‍රන් කලාපයේ සිට රට පාලනය කරයි. එයට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නැත. අවිගත් ඉරාක හමුදාව දැඩි ආරක්ෂාවක් සපයයි. මුක්ටාදා තාප්පයෙන් පැන ඇතුළු වෙයි. ඔහුගේ බලකාය එනම් එදා මග්දි යනුවෙන් හැඳින්වූ සේනාංකය ද ඔහු සමග ගී‍්‍රන් කලාපයට ඇතුළුවී කූඩාරම් ඉදිකරගනී. ඔහු ඇතුළට එන විට ඉරාක සෙබලූ කරන්නේ ඔහු වැළඳ ගැනීමය. පාලකයන් ගෙන් සිදුවිය යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා බල කරන්නට මුක්ටාදා සතු බලය සෙබලූ අවබෝධ කරගෙන සිටියේය.

ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ද සමග පෙරට පැමිණි ඔහු දේශපාලනඥයන්ට බලය අත්පත් කර දුන් නමුත් එය රට හදන්නට බව අවධාරණය කරයි. එපමණක් නොව ඉරාකයේ බලය තමන් අතට ගන්නට උනන්දුවක් නැති චරිතයක් ලෙස නැගී සිටියි. රජුන් තනන්නෙකු පමණක් නොව දේශපාලනඥයන්ගේ ක‍්‍රියා කලාපයට විරෝධය දක්වන්නෙකු වශයෙන්ය. විසි හැවිරිදි වියේ දී පවුලේ ආගමික ශක්තිය සමග පෙරට ආ චරිතයක් වූ හෙතෙම අද වන විට ජනතාව ප‍්‍රිය කරන ඔහුට අනන්‍ය ප‍්‍රවේශයකට සේන්දු වී සිටී. ඇමරිකාව ප‍්‍රධාන සෙසු ආක‍්‍රමණික හමාදා වලින් පමණක් නොව සදාම්ගෙන් ද නිදහස් කරගත් රට දේශපාලනඥයන් පොරොන්දු වූ ආකාරයට ගොඩනැගිය යුතු බව ඔහු පෙන්වා දෙයි. සමාජය හදන හැටි පමණක් නොව ඳුෂණ නැති කරන ආකාරය ගැන ද, බලවත් මතයක් ඇති කර තිබේ. එය විශේෂ ආකාරයකට දකින්නට ඉරාක වැසියෝ සූදානම්ය. උවමනාවක් තිබුණි නම් අලූත් පාලනය සමග එකතු වී ඇමැතිකමක් හෝ එයටත් වඩා ඉහළ තනතුරක් අත්පත් කරගන්නට හැකියාවක් තිබූ නමුත් ඔහු ගේ අනුගාමිකයන්ට පවා ඇමැතිකමකට සම්බන්ධ නොවී ඉරාකයේ අලූත් ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කළ යුතු අන්දම ගැන හෙතෙම උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව ක‍්‍රියාකරන හෙයින් පමණක් නොව සම්ප‍්‍රදායික ආගමික නායකත්වයටත් වඩා ජනහිතකාමී ආකාරයට තීරණ ගන්නා හෙයින් මුක්ටාදා සුවිශේෂී චරිතයක් බවට පත් කර තිබේ. එවැනි තීන්දුවක් ගන්නේ ඉරාක ජන සමාජයයි. ඔහු හිතවත් විපක්ෂයක කාර්ය භාරය අතට ගෙන ඇත්තේය. එය ඉරාකය නැවත බිහිකරන යුගය වෙනුවෙන් අවශ්‍ය එකක් බව එරට පුරවැසියන් තේරුම්ගෙන තිබේ.

ජනතාවට සාධාරණය ඉශ්ඨ කරන්න. මුක්ටාදා අල් සාදර් කියන්නේ එහෙමය. ඒ මතය මතු කරන්නේ ජනතාවගේ පැත්තේ සිට බව පැහැදිලිය. පොදු ජනතාවට මුක්ටාදා රටක් වටින චරිතයක් බවට පත්ව ඇත්තේ එහෙමය. ආණ්ඩු පත් කරන්නට මහන්සි වන ජන නායකයෝ නතර වන්නේ ආණ්ඩුවේ වරප‍්‍රසාද සහිත ප‍්‍රාසාද වලය. මුක්ටාදා එහෙම කෙනෙකු නොවේ. ආණ්ඩු හදන්නට තමන්ගේ බලය පාවිච්චි කරන බලවත් චරිත බලය අත්පත් කරගත් පසු නැවත පොදු ජනතාවගේ ජීවිත දෙස බලන්නේ නැත. පාලකයන් ජීවත්වන කලාපයේ උසට තැනූ තාප්පයෙන් පැන ඇවිත් එහි කඳවුරු ලා ගෙන පොදු ජනතාවගේ අයිතිය දියව් කියන්නට ශක්තියක් ඔවුන්ට නැත. එවැනි පසුබිමක් තුළ මුක්ටාදා විශිෂ්ඨ ජනතාන්ත‍්‍රිකයෙකු බවට පත්ව සිටී.