» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/04/2018 - දේශය
ඉතිහාසයය ජනගත කරන මේරි බියර්ඞ්

සියළුම දෙනාට ඉතිහාසය ගැන ආඩම්බරයක් තිබේ. අතීතයේ වැදගත්කම මහත් අභිරුචියකින් පුන පුනා ප‍්‍රකාශ කරති. පාසලේ දී සිසුන් වැඩි දෙනෙකු ඉතිහාසය ඉගෙන ගන්නට උනන්දුව අඩුය. ඉතිහාසයේ සිද්ධි අධ්‍යයනය කරන්නට ද වර්තමාන කාර්ය බහුල සමාජයට ප‍්‍රමාණවත් කාලයක් නැත. ඉතිහාසයේ සාක්ෂි ගවේශනය කර ඒවා තේරුම් ගැනීමට තරුණ පෙළ දක්වන අවධානය අල්ප එකකි. ඉතිහාසය ගැන අලූත් අවධානයක් ලෝක ප‍්‍රජාව තුළ ඇති කරන්නට මේරි බියර්ඞ් සමත්ව තිබේ. ඇය සම්භාව්‍ය සාහිත්‍ය ගැන මහාචාර්යවරියකි. පුරාණ සාහිත්‍ය හදාරා තිබේ. මේරි බියර්ඞ් බී.බී.සී. වාර්තා වැඩසටහන් වලින් ඉතිහාසයේ කතාන්දරය අලූතෙන් ජනගත කරන අතර එය ඉතා ජනප‍්‍රිය වැඩ සටහනක් බවට පත්ව ඇත. වාර්තාකරණයේ දී එක දිගට බලාගෙන ඉන්නට සාමාන්‍යයෙන් අසමත්කමක් පෙන්වන ඉතිහාසයේ කතාන්දරය චාරිකා වෘතාන්තයකින් පණ ගන්වන්නට සමත්ව තිබේ. එය විශේෂ ගෞරවයට පාත‍්‍ර වී ඇත.

මේරි බියර්ඞ් සිය වාර්තා වැඩ සටහන් වල දී රෝම අධිරාජ්‍යයේ පැතිරීම ගැන කරන ලද ඉදිරිපත් කිරීම පුලූල් අවධානයට ලක් වූ අතර නොබෝදා ජූලියස් සීසර් ගේ වෘතාන්තය ඉදිරිපත් කරන විට ලෝක ප‍්‍රජාව ගේ ඉහළම කතාබහට ලක්වන තැනට පත්ව සිටියාය. ඇය මෙම සිද්ධි හුදු වාර්තාකථන ශෛලියෙන් ඔබ්බට ගොස් නරඹන්නන් සමග කරන චාරිකාවක් සේ ඉදිරිපත් කරයි. ඉතා කැපවීමෙන් මැනවින් කරුණු ගවේශනය කරන හෙයින් සාරවත් වැඩසටහන් බවට පත්ව තිබේ.

හැටතුන් හැවිරිදි විනිෆිඞ් මේරි බියර්ඞ් ඉංග‍්‍රීසි ජාතික ශාස්ත‍්‍රීය පර්යේෂිකාවකි. කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍ය මහාචාර්යවරියක වන ඇය නිව්හැම් විද්‍යාලයේ සහ පුරාණෝක්ති මහචාර්යවරුන්ගේ රාජකීය ඇකඩමියේ සාමාජිකාවක ද වන්නීය. ටයිම්ස් සඟරාවේ අතිරේකයක් වශයෙන් පළ කර පසුව වෙනම ප‍්‍රකාශයට පත්කිරීම ඇරඹූ ටයිම්ස් සාහිත්‍ය අතිරේකයේ සම්භාව්‍ය අංශයේ කතුවරිය වශයෙන් ද ක‍්‍රියා කරන මේරි බියර්ඞ්‘‘ ඩොන් ගේ ජීවිතය’’ නමින් බ්ලොග් අඩවියක් ද පවත්වාගෙන යයි.

විදුහල්පතිනියක වූ මව සහ සැලසුම් ශිල්පියෙකු වූ පියා ගේ පවුලේ එකම දියණිය වශයෙන් හැදී වැඩුණ මේරි බියර්ඞ් මූලික අධ්‍යාපනය ලබන වකවනුවේ දී ද සාහිත්‍යය හා ඉතිහාසය ගැන ඇල්මක් දැක්වූවාය. ළමා කාලයේ පවා නාට්‍යවල චරිත තෝරා ගත්තේ ඓතිහාසික ඒවා බව සඳහන්ය. මූලික අධ්‍යාපනයෙන් අනතරුව කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ ඇය ඒ වන විටත් කාන්තාවන්ට වැඩිදුර අධ්‍යාපනය අවශ්‍ය නැති බවට තිබුණ මතය හෙයින් යම් පමණකට ප‍්‍රශ්න වලට මුහුණ දුන් බව කියා තිබේ. එහෙත් හොඳ ප‍්‍රතිඵල පෙන්වමින් දක්ෂ ලෙස ඉගෙන ගත් හෙයින් මේරි බියර්ඞ් සිය උසස් අධ්‍යාපනය තහවුරු කරගන්නට සමත් වූවාය. උපාධිය ලබාගත් ඇය එම විශ්ව විද්‍යාලයේ දී ශාස්තී‍්‍රය අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලද අතර පසු කාලීනව රෝම අධිරාජ්‍යයේ ආගමික පසුබිම අලලා කරන ලද පර්යේෂණය පදනම් කරගෙන ආචාර්ය උපාධිය ලබා ගත්තාය.

ලන්ඩන් රාජකීය විද්‍යාලයේ වසර කිහිපයක් සම්භාව්‍ය සාහිත්‍ය ඉගැන්වූ මේරි බියර්ඞ් පසුව නිව්හැම් විද්‍යාලයට එකතු වන විට එහි සම්භාව්‍ය අංශයේ එකම ගුරුවරිය සේ කටයුතු කළාය. ඉතිහාසය ගැන ඇය දක්වන උනන්දුව පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ දිගහැරෙන්නේ 1994 වසරේ දීය. බී.බී.සී රූපවාහිනියේ විවෘත සංවාදයකට සහභාගී වූ ඇය එයින් තම අනන්‍යතාවය තහවුරු කරගත්තාය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරය ලබා ගැනීමෙන් පසු ඇය ඇමරිකාවේ කැලිෆෝනියා සහ චිකාගෝ විශ්ව විද්‍යාල වල ආරාධිත දේශන වලට සහභාගී වන ප‍්‍රකට ආචාර්යවරියක වූවාය.

බී.බී.සී සේවාව මේරි බියර්ඞ් ගේ කෞෂල්‍ය හදුනා ගැනීමෙන් අනතුරුව පොම්පෙයි එනම් රෝම නගරයේ ජීවිත හා මරණ ඇසුරෙන් විස්තරාත්මක රූපවාහිනී වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළාය. ඒවා සාමාන්‍ය වාර්තාකරණය ඉක්මවා ගිය අපූරු ඉදිරිපත් කිරීම් හෙයින් විශේෂ අවධානයට ලක් වූ බව දැක් විය යුතුය. ඉතිහාසය ගැන වැඩ සටහන් නරඹන්නට උනන්දුවක් නැතිව සිටි තරුණ ප‍්‍රජාවක් අලූතින් එය කෙරෙහි ආකර්ශනය වූවාය. එය මාධ්‍ය භාවිතාවේ විශේෂ සිද්ධියකි. එහි සාර්ථකත්වය පදනම් කරගෙන ‘මේරි සමග රෝමානුවන් මුණ ගැසීම’ යනුවෙන් අලූත්ම සංකල්පයක් ජනගත කරන්නට බී.බී.සී. නාලිකාවට හැකියාව ලැබිණ.

මේරි බියර්ඞ් සෘජු කථෝපකතනයක් හුරු තැනැත්තියකි. නොබියව යමක් කියා සිටින්නට කැමැතිය. සැප්තැම්බර් එකොළහ ඇමරිකානු ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන වෙනම අදහසක සිටියාය. එම සිදුවීම අරභයා ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්ති කිසියම් ආකාරයට වගකිව යුතු බව ඇය ගේ මතය විය. නරඹන්නන් සමග පවත්වන සංවාද වැඩසටහන් වල දී ද අභියෝගාත්මක උත්තර දෙන අතර ඒවා ගැන සංවාදය ඇය සිය ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වලින් ගෙන යන හෙයින් වෙනස් මත දරන අය සමග අර්බුද ඇති කරගත් අවස්ථා ගැන ද සඳහන් වෙයි. ජනප‍්‍රිය නැති උත්තර හෙයින් එක් වතාවක් ඇයට බෝම්බ තර්ජනයක් ද එල්ල වූ අතර පැයකට පසු සමාජ ජාලය ඒ ගැන ඇයගෙන් සමාව ඉල්ලා සිටි බව දැක්වෙයි. සමාජ මාධ්‍ය මගින් ඇති කරන පදනම් විරහිත සංවාද ගැන ද මේරි බියර්ඞ් වෙනම ස්ථාවරක සිටින්නීය.

ඉතිහාසය නැවත සාකච්ඡා කරනු සඳහා මේරි බියර්ඞ් ගෙන යන ව්‍යායාම ලෝක අවධානයට ලක්වන බලවත් හේතුවක් තිබේ. ඇය ඒ ස්ථාන වලට ගමන් කරයි. එම ස්ථාන වල ජීවත් වූ චරිත ස්පර්ශ කරයි. සාමාන්‍ය ජනතාව විඳීන්නට ඇති දුෂ්කරතා ගැන අදහස් දක්වයි. ආකර්ශණීය වාග් විලාශයක් භාවිතා කරයි. එය තරුණ පෙළ අතර ප‍්‍රචලිත වන සරල කෘත්‍යයක් වී තිබේ. අලූත් කතාන්දර කලාවක් භාවිතා කරමින් ජනතාව අතරට ඉතිහාසය රැගෙන යාම ලෝකයේ නොයෙක් තැන් වලින් ප‍්‍රසංසාවට ලක් වී ඇත. ඒ වෙනුවෙන් සම්මාන පිරිනමන ලද අවස්ථා ගණනාවකි. බි‍්‍රතාන්‍ය රජයෙන්, විශ්ව විද්‍යාල වලින් පමණක් නොව ලෝකයේ ශාස්තී‍්‍රය ආයතන වලින් ඇගයීම් ඇයට එකතු වී තිබේ.

මේරි බියර්ඞ් සිය සම්පූර්ණ ජීවිතයම ශාස්තී‍්‍රය සහ ඉතිහාස කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද චරියකි. ඇයගේ සැමියා ඉතිහාසඥයෙකි. දියණිය ඉතිහාසය හදාරා දකුණු සුඩානයේ ඉතිහාසඥවරියක සේ සේවය කරන අතර පුතු ඊජිප්තුවේ ශාස්ත‍්‍රපතියෙකි. ඇය සිය අධ්‍යයන ආශ‍්‍රයෙන් පොත් විස්සකට ආසන්න ප‍්‍රමාණයක් ලියා තිබේ. ඉතිහාසය ගැන පර්යේෂණ පමණක් නොව කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන ද ඒවායේ සියුම් අදහස් විදහා දක්වා ඇත. මේරි බියර්ඞ් ගේ බ්ලොග් අඩවිය වැඩි අවධානයකට ලක් වූ එකක් බව ස්වාධීන වාර්තා පෙන්වයි. අධ්‍යයනය කරන අතර ඒවා ජනගත කිරීම කෙරෙහි විශාල උනන්දුවක් දක්වන බව මෙයින් පෙනී යයි. ඇය ආකර්ශණීය වී ඇති තරම කොපමණ ද යත් සෙල්ලම් ලෙගෝ මෙවලමක් ද නිපදවා තිබේ. එය වානිජ අළෙවියට නොව ජනයා වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන් පිරිනමන සුබ සංකේතයක් වශයෙනි.

වර්තමානයේ ඇවිලෙමින් පැතිරෙන අලූත් සංකල්පය තුළ ඇය ද වඩා වැදගත් සාමාජිකාවක වී සිටී. එය මමත් එනම් ‘මී ටූ’ යනුවෙන් එකතුවන කාන්තාවන් වශයෙන් දැක්විය හැකිය. පුරුෂයන්ගේ අතවර වලට ලක් වූවෝ කෙලින්ම සමාජය ඉදිරියට පැමිණ පාපෝච්චාරණය කරන ව්‍යාපාරයකි. එය ලෝකයේ සෑම තරාතිරකම කාන්තාවන් එකතු වී සිද්ධි හෙළිකරන බලවත් පෙරමුණක් වී ඇත. රෝමානු ශිෂ්ඨාචාරයේ සිට අද දක්වා කාන්තාවන් හා යුවතියන් මුහුණ දුන් කඨෝර තත්ත්වය සිය ඓතිහාසික සාධක පදනම් කරගෙන නොයෙක් විට අනාවරණය කර ඇති මහාචාර්යවරිය වර්තමානයේ ද එය එලෙසම සිදුවෙමින් පවතින බව කියා සිටියි. එය ජගත් ප‍්‍රජාවගේ අවධානයට යොමු කරන්නට සමත් වී ඇති වැදගත් කාරණයකි. ඉතිහාසඥවරියක ගේ පැවැත්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කේන්ද්‍රවීම නව ප‍්‍රවණතාවයකි. මේරි බියර්ඞ් ගේ ජනබලය එම ව්‍යාපාරයට කිසියම් ශක්තියක් වී ඇත.