» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/01/2017 - දේශය
ජලයෙහි අගය අපමණ සේ සැලකූ නරපති

ජල පරිහරණය ගැන අද වන විට අපමණ නිර්වචන තිබේ. ජලය සංරක්ෂණය සම්බන්ධ විද්‍යාත්මක තහවුරු කිරීම් ඇත. මෙකී සංකල්ප සිහිනයක් සේ පැවැති යුගයක ජලයෙහි ඇති අගය ගැන දර්ශනයක පිහිටි නරපතියෙකු ක්‍රියා කරන ලද ආකාරය වර්තමානයට ඉතාම වැදගත්ය. ජල ගැටළු නොතිබුණ, බත බුලතින් සාරවත් සමයක දී, “අහසින් වැටෙන එක දිය බිඳූවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යන්නට නොදෙන බව” ප්‍රකාශ කිරීම කොපමණ ගැඹුරු තීක්ෂණ භාවයක් ද? මහා පාරක්‍රමබාහු චරිතය ලංකාද්වීපයෙහි නොමැකෙන සේ සටහන්ව ඇත්තේ එකී සාරවත් දැක්ම හෙයින්ය.

ජාත්‍යන්තරය අද ජලය ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ලෝකයේ නොයෙක් තැන පිරිසිදු පානීය ජලය හිඟ බව පර්යේෂකයන් පෙන්වා දෙන කරුණකි. ඉදිරියේ දී ලෝක යුද්ධයක් ඇතිවුවහොත් එයට හේතුව ජලය පිලිබඳ ප්‍රශ්නයක් විය හැකි යැයි අර්ථදක්වන්නන්ගේ අනුමානයයි. එය එපමණකට බලවත්වන්නේ මන්ද? ලෝකයේ කාලගුණ වෙනස්කම් පරිසර විනාශය හා පරිභෝජනය ඉහළ යන තරම අනුව ජල අර්බුදයක ලකුණු නිරීක්ෂණය කළ හැකි හෙයින්ය. නොබෝදා පළ වූ වාර්තා අනුව ශ්‍රී ලංකාව දරුණු නියඟයකට මුහුණ දෙනු ඇති බවට කාලගුණ තොරතුරු තහවුරු කර තිබේ. පලාත් කිහිපයක වගා වැනසෙන තරමය එය දැනටත් පැතිරෙන බව අනාවරණය වෙයි. ජල කළමණාකරණය හා ජල භාවිතාව සම්බන්ධ සාමාර්ථයක් දැක්වූ රටක් වශයෙන් ජාත්‍යන්තරය දෙස බලන්නට අවශ්‍යය.

පරාක්‍රමබාහු රජ තුමා බලයට පත්වන්නේ එකොළොස් වන සියවසේ දී එනම් වසර 1153 සිට අවුරුදු තිස් තුනක් ඉදිරියටය. පොළොන්නරුව සිය රාජධානිය සේ තෝරා ගත්තේය. රජකමට එන විට පරාක්‍රමබාහු තරුණ කුමරු එයට ගැලපෙන පූර්ව සූදානමක සිටි බව ඉතිහාසය ගවේශනය කරන විට පෙනේ. කීර්ති ශ්‍රී මේඝ වර්ණ, ශ්‍රී වල්ලභ සහ දෙවන ගජබාහු යන උප රාජධානි ඇසුරෙහි කාලය ගත කර ඇත. තම ඥාති රාජකීයයන් ගත කරන ජීවිතය, ඔවුන්ගේ තීරණ හා ජනී ජනයාගේ ආකල්ප ගැන අධ්‍යයනය කරන්නට ඇත. රට එක් සේසත් කර සශ්‍රීක කරන දර්ශනය බිහිවෙන්නට ඇත්තේ එකී උරුමයෙන්ය. මානාභරණ රජු හා රත්නාවලී දේවිය ලද දරු සම්පත මහා පරාක්‍රම බලයක් ඇති සේ සලකන ලද හෙයින් එහි අර්ථය දැක්වෙන සේ නම් තබන ලද බව දැක්වෙයි. බාල වියේ දී ස්වකීය යුව රජ ඥාති මාම වරුන් ඇසුරෙහි ගතකරන එහි වැඩෙන අතර අධ්‍යයනය, ශිල්ප සහ මනාවබෝධය හෙයින් පසු කාලයක දී රට එක් සේසත් කරන අධිශ්ඨානය තරව හිත ඇතිවන බව නිරීක්ෂණය කළ හැකිය. එක්තරා අවස්ථාවක උප රාජධානි ආක්‍රමණය කරන හෙතෙම එහි බලය පරදා සියළු තැන් තම අණසක යටතට ගෙන තිබේ. එතැන් සිට සිය රාජධානිය සේ තෝරා ගන්නේ පොළොන්නරුවයි.

පරාක්‍රම බාහු රජ සමයේ දී වේලි 165 ක්, ඇල මාර්ග 3910 ක්, වැව් 163 ක්, කුඩා වැව් 2376 ඉදි කර ඇති බව අධ්‍යයන වාර්තා දක්වයි. නූතනයෙහි ජලාශයක් හරස් කර බැම්මක් බැඳීම එහි එකතු වන ජලය ගෙන යන ඇලක් සකස් කිරීම තාක්ෂණික ක්‍රියාවලියකි. නමුත් රජරට අදත් පවතින වැව සහ ඇල මාර්ග තැනෙන්නේ සොබා දහමට ගැලපෙන අහස් දිය ආරක්ෂා කරගෙන එය ගොවිතැනට යෙදවෙන අන්දම තහවුරු වන ලෙසය. පරාක්‍රමබාහු රජතුමන්ගේ අණින් නිමකරන ලද වාරි යෝජනා ක්‍රම අධ්‍යයනය කරන වත්මන් විද්‍යාඥයන් එහි ඇති ලක්ෂණ සමාජ විද්‍යාත්මක පැති සහ පාරිසරික අවබෝධයකින් යුතුව කර ඇති ආකාරය අසමසම බව දක්වති. ජල කළමණාකරණය සම්බන්ධ විශිෂ්ට ලක්ෂණ එකී අධ්‍යයන වල හෙළිදරව් කරයි. කුඩා වැව් ඒවායෙන් පෝෂණය වන ප්‍රදේශ, ඇල මාර්ග එයින් නඩත්තුවන ගොවි බිම් ඔස්සේ මහා වැව කරා අතිරික්ත ජලය ගෙනැවිත් ගබඩා කෙරෙයි. එය සොබා දහමට පණ දෙන ආකෘතියකි. ජලය ගලා යන මාර්ග තුළ අවශෝෂණයට ඉඩ දී ඇති අතර එය පෙදෙස ආරක්ෂා කරන අතර වාරයේ අද සඳහන් කරන තිරසාර සංවර්ධනයට පදනමක් වී ඇති බව වසර දහස් ගණනකට පසුව පවා සනාථ වන වැදගත් කාරණයකි.

ලොව මවිත කරන මහා පරාක්‍රම සමුද්‍රය, එය අදටත් මුහුදක් සේ ව්‍යවහාර කරන්නේ එහි විශාලත්වය හෙයින් වන අතර සහ ලොව විශාලතම ඉදිකිරීම් අතරෙහි ගැණෙන ජේතවන ස්ථුපය වැනි විස්මිත දේ කරන්නට හැකිවන්නේ රට එකසේසත් කර සාමයෙන් සමෘද්ධියෙන් පොහොසත් කරවන ලද හෙයින්ය. පොලොන්නරුව ගල් විහාරය එහි අසබඩ නෙලා ඇති පරාක්‍රමබාහු රජතුමන්ගේ යැයි බලවත් සේ විශ්වාස කරන සෙල් පිලිමය පොළොන්නරු යුගයේ සශ්‍රීකත්වය තහවුරු කරන සංකේතයන්ය. රට තුළ සහ රටින් පරිබාහිරව එනම් මියන්මාරය, දකුණු ඉන්දියාවේ පවා සේනාංක මෙහෙයවන ලද බව දැක්වෙයි. චීනය හා මැදපෙරදිග රටවල් සමග වෙළඳ සම්බන්ධතා පවත්වන ලද බව මූලාශ්‍ර පිරික්සන ලද පර්යේෂකයෝ තහවුරු කර තිබේ.

මහා පරාක්‍රමබාහු රජතුමන් ගේ රාජ්‍ය ප්‍රාප්තිය රට එක් සේසත් කරන්නට ගත් මග ශාසනයට හා කෘෂි ප්‍රබෝධය වෙනුවෙන් කරන ලද සේවාව ඉතිහාසයෙහි සදහන්ව තිබේ. විශේෂයෙන් පරිහානියට ලක්ව තිබූ ශාසනය නැවත නිසි විනයක් ඇති කරන සමුළුවක් පොළොන්නරුවේ දී කැදවා නිකාය බේධ තුරන් කර දළදා මාළිගයක් ද එහි තැනවූ බව චූල වංශයෙහි දැක්වෙයි. මෙරට රජ කරන ලද ශේෂ්ඨ නරපතියෙකු වශයෙන් සදා කාලයෙහිම පිළිගැනීමට ලක්වන බව අවිවාදිතය.

මහා පරාක්‍රමබාහු රජතුමන් ගේ පසුබිම ලියැවී තිබේ. ඒවායේ අන්තර්ගතය ගැන මෙරට ජනතාවට අවබෝධයක් ඇත. පරාක්‍රමබාහු රජතුමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධව පත පොත වලින් කරුණු සොයා ගත හැකිය. නමුත් ඓතිහාසිකව සලකා බලන විට ජනයා අතරින් අත්දැකීම් ලැබ ජනතාව සුඛිත මුදිත කරන්නට ජල පහසුව ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව තේරුම් ගැනීම මෙහි ලා අවධාරණයට ලක් කරන කරුණයි. ජලය වෙනුවෙන් නිසි පියවර නොගෙන පැවැත්ම තීරණය නොවන බව රජතුමන්ගේ දැක්ම බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. වර්තමානයෙහි වැව් හා ජලාශ තිබිය දී, මහවැලි වැනි සංවර්ධන යෝජනා ක්‍රම රජරට පොලව තෙත් කරන අතරතුර පවා සාමාන්‍ය නියඟයක දී ද එහි ජීවත්වන වැසියන් මුහුණ දෙන ඉරණම තේරුම් ගත යුතු වැදගත්ම කාරණයයි.

ඉදිරි මාස තුන තුළ රට පුරා නියඟයක් පැතිරෙන බව සඳහන් වන අවස්ථාවක මෙයින් වසර දහස් ගණනකට කලින් තත්ත්වය තේරුම් ගත යුතුය. පරාක්‍රමබාහු රජතුමන් ජලයෙහි අගය මුලින්ම දැක විසදුම් සොයන තීරණයට එළැඹියේ කෙසේදැයි රටට යම් විග්‍රහයක් අවශ්‍යය. ජලය ගැන සංකල්පයක් ඇති කර එය ක්‍රියාවට නගා එයින් ජනතාව තෘප්තිමත් වූ පසු ආක්‍රමණ, විදේශ වෙළඳාම හා ශාසනික දියුණු වෙනුවෙන් මෙහෙයවන ලද බව පැහැදිලිව පෙනේ. ප්‍රමුඛතාවය පමණක් නොව අනුපිලිවෙලක ලකුණු එහි දී හඳූනාගත හැකිය. නිය`ගයකින් අධෛර්යයට පත්ව සිටින යුගයක ෙජ්තවනාරාමය තනවන්නට හැකියාවක් නැත. අද කියැවෙන්නේ එහි ගඩොල් මිලියන අනූ දෙකකට වඩා ඇති බවය. වැව තනා එයින් දාගැබ ද පිහිටවූ පසු භික්ෂුව ද නිසි විනයක පිහිටුවන ලද කල්හි රාජ්‍යත්වය සුරක්ෂිත වෙන්නට ඇත.

ශ්‍රී ලංකාව සොයන්නේ සන්තෘෂ්ඨියයි. සශ්‍රීකත්වය වෙනුවෙන් අති විශාල ව්‍යායාමයක නිරතය. පරාක්‍රමබාහු නරපතියන් අනුගමනය කරන ලද දර්ශනය සෑම දිය බිඳක්ම ප්‍රයෝජනයක් ගැනීමය. එය පුළුල් සහ කෙටි ලිපියකින් වෙන් කොට දැක්විය නොහැකිය. මහා පරාක්‍රම සමුද්‍රයෙන් දිය බිඳක් ගෙන නරපතියන් ගේ දැක්ම පෙන්වන්නට හැකියාවක් නැත. අද පවතින, පැතිර යන බව කියන දරුණු නියඟයට සූදානම් වීමට ඇති වගවීම ඉතිහාසයෙන් අපට පවරා තිබේ. එය නිසි පරිදි ජන හිතසුව පිණිස ප්‍රමාණවත් පරිදි සාක්ෂාත් නොවීම එයින් පසු යුගයේ පසුබැස්මය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.