» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/08/2016 - දේශය
තායිලන්තය දුන් ව්‍යවස්ථා සම්පාදන පාඩම

රටක පැවැත්මට ව්‍යවස්ථාවක් සකස් කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ, නීතිය, මූලික මානව අයිතිවාසිකම්, සමාජ සමානාත්මතාවය වෙනුවෙන් එහි ලියැවෙන වගන්ති සමස්ථය වෙනුවෙන් පෙනී සිටින බවට පොදු විශ්වාසයක් තිබේ. තායිලන්තයේ ද අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඇත. මෙම ව්‍යවස්ථාව සකස් කර, ජනමත විචාරණයකින් සම්මත කරගෙන තිබේ. නුදුරු දවසක මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇත. රට ස්ථාවර කරන අදහස ඇතිවය. ලෝකයේ වෙනත් රටක ව්‍යවස්ථාවක් හදන ක‍්‍රියාවලියට වඩා වෙනස් ආකාරයකින් තායිලන්තයේ ව්‍යස්ථා සම්පාදක ක‍්‍රියාවලිය ක‍්‍රියාවට නැගුණි. බලයේ ඉන්නා හමුදා පාලකයන් ලියැවිල්ලක් සකස් කරන ලද අතර ඒ ගැන තෝරාගත් කණ්ඩායමක් පුහුණු කර පොදු ජනතාවට කතාකරන්නට යොමු කළේය. ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නට ඉඩ දුන්නේ ද නැත. එහෙම නමුත් තායිලන්තයේ අලූත් ව්‍යවස්ථාව ජනතාව වෙනුවෙන් සකස්කරන ලද ජනතාවාදී එකක් බවට පත් වන්නට ඉඩ තිබේ.

තායිලන්තයේ දේශපාලනය තුළ අද්විතීය බලයක් රජතුමාට තිබේ. ආණ්ඩුව රට පාලනය කරන්නේ භූමිබෝල් රජුගේ ආශිර්වාදය ඇතිවය. හිටපු අගමැතිවරයෙකු වූ තක්ෂින් ශිනවාත‍්‍රා ගේ කාලයේ සිට තායිලන්තය තුළ ක‍්‍රමයෙන් දේශපාලන උණුසුමක් තිබිණ. තක්ෂීන් ට විරුද්ධව දුෂණ සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම ගැන චෝදනා එල්ල වෙන්නේ 2006 දී ය. හමුදා මෙහෙයුමකින් ඔහුට බලය අහිමි වූ අතර රටින් පැන ගිය නමුත් තක්ෂින් රහිතව විභාග වූ නඩුවකින් සිරදඩුවම් නියම විය. රටින් බැහැරව සිටි හෙතෙම දේශපාලනය අත් හැරියේ නැත. ඔහුගේ පක්ෂය මෙහෙයවූ උද්ඝෝෂණ අවසානයේ තක්ෂීන්ගේ නැගණිය යින්ග්ලක් ශිනවාත‍්‍රා එරට අගමැතිනිය වශයෙන් පත්වූවාය. ඇයට ද වැඩි කාලයක් ධුරය හොබවන්නට ඉඩ ලැබෙන්නේ නැත. ඇයට ද බලය අත හරින්නට සිදුවෙන්නේ හමුදා මැදිහත්වීමෙන්ය. මෙම කාල සීමාව තුළ කහ කමීස සහ රතු කමීස යනුවෙන් දෙපිල බෙදුන දේශපාලන අනුගාමිකයන් ගැටුම් ඇති කරගත රට තුළ කැළඹිලි ඇති කරන්නේය.

තායිලන්තය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයක් නොතිබුණ රටකි. එහෙයින් නිදහස් රටක්, ව්‍යවස්ථාවක් යන මාතෘකා සමාජය තුළ තිබුණේ නැති තරම්ය. බටහිර ඉගෙන ගෙන තායිලන්තයට පැමිණි භූමිබෝල් රජු රට වෙනස් කළේය. බුදු දහම හා එහි බලය විහිදී තිබුණ සංඝ රාජ ක‍්‍රමය ද රට තුළ පරිවර්තනය ඇති කරන ලද්දේ ක‍්‍රමයෙන්ය. තක්ෂීන් බලයට පත්වෙන්නේ බෞද්ධ රටක් වශයෙන් අලූත් යුගයකට යොමුවන අවස්ථාවක දීය. ඔහු තොරතුරු තාක්ෂණය, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය පැත්තෙන් රට ඉදිරියට ගෙන ගිය අතර අපනයනය ඉහළ ගොස් රට ආර්ථික වශයෙන් ශක්තිමත් තැනකට කැඳවීය. රජ පෙලපතට තිබුණු ගෞරවය සහ අති විශාල ජනතා කැමැත්ත රට ස්ථාවරව පවත්වාගෙන ගිය නමුත් අද වන විට ඉතාම දීර්ඝ පාලනයකට පසු රජු වියපත්ව සිටී. ඔහුගෙන් පසු අනුප‍්‍රාප්තිකත්වය ගැන පැහැදිලි නැත. තායිලන්ත ජන සමාජයේ එක්තරා තලයක් රජු ගේ බලය සමග ඇති සමබර බව යම් ආකාරයකට අහිමිවුවහොත් දේශපාලනඥයන් එය අසීරු තැනකට යොමු කරන්නට ඉඩ තිබෙන බවට විශ්වාස තිබේ. රජුට අවනත තායි රාජකීය හමුදාව මෑත කාලය තුළ අවස්ථා ගණනාවක දී පාලන බලය අල්ලා ගන්නේ එහෙයින් බව විචාරක මතයයි.

මෙයින් අවුරුදු දෙකකට කලින් එනම් 2014 අගොස්තු මාසයේ දී එවකට හමුදා ප‍්‍රධානියාව සිටි ප‍්‍රායුත් චාන් ඕ වා ආණ්ඩුව අල්ලා ගත්තේය. එවකට ක‍්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යවස්ථාව පැත්තකට කළ හෙතෙම අන්තර් කාලීන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ලද අතර ඉක්මනින් අලූත් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන මහ මැතිවරණයකට යන බව ප‍්‍රකාශ කළේය. තායිලන්තයේ ප‍්‍රභූ පැලැන්තිය අපේක්ෂා කරන්නේ ස්ථාවරත්වයයි. තක්ෂින් ඇතුළු ඔහුට නැඹුරු කාලයේ දී අලූත් ධනවත් පැලැන්තියක් බිහිවූ අතර එම පංතිය සම්ප‍්‍රදාය අනාරක්ෂිත කර රට කැළඹිලි සහගත තැනක් කරනු ඇතැයි යන මතය තුරන් කරන්නට හමුදා පාලනය පෙනී සිටින බව පෙනෙන්නට නිරීක්ෂණය කළ හැකිය.

තක්ෂීන් තායිලන්තය තුළ ප‍්‍රතිපත්ති ආයෝජනය පැත්තෙන් වෙනස් කරන ලද නමුත් ඔහු රට තුළ යම් ආකාරයක රළු චරිතයක් බවට සඳහන් වෙමින් තිබේ. තක්ෂීන් පමණක් නොව ඔහුගේ නැගණිය ද ජන වරම අත්පත් කරගන්නේ ගම් පලාත්වල ජනතාවට වරප‍්‍රසාද දී හරවා ගැනීමෙන් බව ඇඟවෙන අතර යින්ග්ලක් ෂිනවාත‍්‍රා ද ආහාර සහන දී ඡන්ද දිනා ගත් බව ප‍්‍රකාශ වෙමින් තිබේ. මෙම මතය උසුලන ජන කොටස් තක්ෂීන්ලා ගේ විප්ලවීය ආගමනය රට තුළ කැරළි හැටියට දකින්නට සූදානම්ය.

තාවකාලිකව බලය අල්ලාගෙන අගමැති ධුරය හොබවන ප‍්‍රායුත් චාන් ඕ වා එරට අලූත් ව්‍යවස්ථාවක් සකස්කරන්නට හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරයි. අලූත් ව්‍යවස්ථාවට අනුව මහජන ඡන්දයෙන් පත්වන පහල මන්තී‍්‍ර මණ්ඩලයක් ආණ්ඩුව පාලනය කරන අතර එයට අමතරව ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය 250 දෙනෙකුගෙන් සමන්විතය. මෙම ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය පත්කරන වරම ලැබෙන්නේ දැන් පාලන බලය හොබවන ප‍්‍රායුත් ගේ හමුදා පාලනයටය. පහල මන්ත‍්‍රී මණ්ඩලය සම්මත කරගන්නා ඕනෑම යෝජනාවක් පැත්තකට දමන්නට මෙම ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයට නිශේධ බලයක් තිබේ. අලූත් ඡන්ද ක‍්‍රමය අනුව මැතිවරණයක දී කිසිම පක්ෂයකට වැඩි බලයක් අත් පත් කරගන්නට නොලැබෙන බව පෙනේ. පිරිසිදු ලිබරල් පාලනයක් ගැන බලාපොරොත්තු තබන මතවාදීන් මෙම ව්‍යවස්ථාව හමුදා පාලනය තහවුරු කරන එකක් බව දක්වයි. හමුදා පාලකයන්ට ඉහල මන්තී‍්‍ර මණ්ඩලය පත්කරන්නට පමණක් නොව ඔවුන්ට නිශේධ බලය ද හිමිවන පසුබිම තුළ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවන බව පෙන්වා දෙයි. අලූත් ව්‍යවස්ථාව අනුව ඕනෑම පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කරන්නට හැකිය. ඡන්දය ඉල්ලන්නට අවශ්‍ය නැත. දේශපාලනයේ නැති පුද්ගලයෙකු පවා නම් කර අගමැති වශයෙන් දිවුරුම් දිය හැකිනම් මෙය තවත් මිලිටරි වැඩක් බවට ද චෝදනා එල්ල වෙයි.

හමුදා කමිටුව කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කරන ලද ප‍්‍රායුත් ගේ පාලනය එයට විරුද්ධව විරෝධතා හෝ රැළි පැවැත්වීම තහනම් කරයි. ජනමත විචාරණය පවත්වන්නට අලූත් පණතක් ගෙනැවිත් තිබූ අතර ස්වාධීන නීරීක්ෂකයන්ට මැතිවරණය ගැන සොයා බලන්නට ඉඩ දුන්නේ නැත. දෙලක්ෂයකට වැඩි පොලිස් නිලධාරී බලකායක් අසත්‍ය තොරතුරු පතුරවනවාදැයි අවධානයෙන් සිටියේය. තහනම නොතකා ව්‍යවස්ථාව ගැන විරෝධය පළ කරන ලද සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගත්තේය. එරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල හමුදා ව්‍යවස්ථාව ගැන විරුද්ධත්වය පළ කර තිබේ. එයින් පලක් වෙන්නේ නැත. ප‍්‍රායුත් කරන්නේ තෝරාගත් කණ්ඩායමක් පුහුණු කර එම පිරිස රට පුරා යවමින් අලූත් යෝජනා වර්ණනා කිරීමයි. පැවැති ජනමත විචාරණයේ දී තායිලන්ත අලූත් ව්‍යවස්ථාව සියයට හැට එකකට වැඩි ප‍්‍රතිශතයකින් ජයගත්තේය. ඒ අනුව ඉක්මනින්ම අලූත් ව්‍යවස්ථානුකූලව ඡන්දයකින් තායිලන්තයට ආණ්ඩුවක් පත් කරගනු ඇත.

පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාපේක්ෂ එකකි. ජනතාව කැමැතිනම් ව්‍යවස්ථාව සකස්කරන්නේ හමුදාවෙන් ද එහෙම නැත්නම් සිවිල් ජනතාවගේ නියෝජනයෙන් ද යන්න වැදගත් නැත. රටට ස්ථාවරත්වයත්, පැහැදිලි නායකත්වයත් වැදගත්ය යන්න තායිලන්තය කියා දෙන පණිවුඩයයි. මෙම ව්‍යවස්ථාව පවතීන පුපුරා යයිදැයි කියන්නට හැකියාවක් නැත. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම තුළ හමුදාව හැදූ ව්‍යවස්ථා පවතීදැයි අනාවැකි පළ කිරීම අපහසුය.