» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/06/2015 - දේශය
රාජ්‍ය රහස් වල සිට ෆේස් බුක් සම්බන්ධතා දක්වා පරිවර්තනය

නිරූපමා රාවෝ ශ‍්‍රී ලංකාවේ සිටි ඉන්දියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියකි. මෙරට සේවය කරන ලද කාලය තුළ ඇය රාජ්‍යතාන්ත‍්‍රිකත්වයෙන් මිදී ජනතාව අතරට ප‍්‍රවේශ වන්නට තැත් කළාය. පසුව ඉන්දියානු විදේශ ලේකම ධුරය හෙබවූ අතර කලක් ඉන්දියාව නියෝජනය කරමින්, ඇමරිකාව සහ චීනය යන රටවල ද තානාපතිනිය වශයෙන් කටයුතු කළාය. වර්තමානයේ ඇය සමාජ වෙබ් අඩවිවල ජනප‍්‍රිය හා ආකර්ශණීය අදහස් දක්වන හිටපු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියකි. නිරුපමාගේ සමාජ වෙබ් අඩවිය හා සම්බන්ධ පිරිස ලක්ෂය ඉක්මවයි. ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරිය ද සමාජ වෙබ් අඩවි සමග සමීපව ක‍්‍රියා කරයි. ෆේස්බුක් ට්විටර් වලින් නිතර පනිවුඩ හුවමාරු කර ගනියි. හිලරි ක්ලින්ටන් සමග සම්බන්ධ වී ඇති ලෝක වාසීන් ගණන ද ලක්ෂ සංඛ්‍යාතය. හිලරි ක්ලින්ටන් ඇමරිකාව ගැන කියන ඇමරිකාව ගැන මවන මතය දැන ගැනීමට පොදු ජනතාව ලක්ෂ ගණනින් ඇයගේ ටිවිටර් ගිණුම ගැන අවධානයෙන් සිටියි.

තානාපතිවරු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් වශයෙන් එක්තරා පෙලැන්තියකට පමණක් සේවය කළ කණ්ඩායමකි. එම පිරිස ක‍්‍රියා කළේ පාලකයන්ගේ උවමනාව අනුවය. රාජ්‍ය පාලකයන්ගේ අනුදැනුම ඇතිව තද නිති රාමුවක් යටතේ සේවය කළ මෙම පිරිස අද පොදු ජනතාව අතර ට ගමන් කරන්නේ ඇයි? එය ජනතාන්ත‍්‍රිකත්වයයි. සමාජ ගෝලීයකරණ ස්වභාවය පාලකයන්ට වඩා ජනතාව වැදගත් බව සූක්ෂම ආකාරයට තීන්ද කර තිබේ. එයින් තහවුරු කරන්නේ වැදගත් පණිවුඩයකි. සම්බන්ධතා ඇතිකළ යුතු ජනතාව අතරය. පාලකයන් අතර පාලකයන්ගේ සිතැ`ගි වලට අනුව පමණක් නොවේ.

ජේ. එන්. ඩික්සිත් ශ‍්‍රී ලංකාවේ සේවය කළ දක්ෂ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ කාලය තුළ දෙරට අතර නායකයන්ට මැදි වී සිය වගකීම් ඉටු කරන ලද ආකාරය හෙතෙම කොළඹ භූමිකාව නමැති කෘතියක ලියා ප‍්‍රසිද්ධ කර තිබේ. එය බලවත් රහස් අනාවරණය කළ ආන්දෝලනාත්මක කෘතියකි. එම කෘතිය කියවන කෙනෙකුට රටවල් දෙකක පුද්ගලයන් දෙදෙනෙකුගේ අභාලාශයන් සහ සිතැ`ගි වෙනුවෙන් තානාපති සේවාවන් කොපමණ සැලකිල්ලක් දක්වා ඇත්දැයි පැහැදිලි වෙයි.

ඩික්සිත් රාජ්‍ය තාන්ත‍්‍රික සේවාවේ නිතරව සිටි කාලයට වඩා පරිසරය හාත්පසින්ම වෙනස් වී තිබේ. ඩික්සිත් ආශ‍්‍රය කරන්නේ එක්තරා පැලැන්තියක් පමණකි. කාර්යාලීය ලිපි ලේඛන අන් අයෙකු අතට පත්වෙන්නට ඉඩ දුන්නේ නැත. රාජ්‍ය රහස් පණ මෙන් ආරක්ෂා කරන්නේය. ස්වකීය පාලකයා වූ රජීව් ගාන්ධි හැරෙන්නට අන් තැනකින් තීරණ භාර ගන්නේ නැත. නමුත් නිරූපමා රාවෝ ගේ කාලය වන විට පසුබිම වෙනස්ය. එතුමිය ඉන්දියානුවන්ගේ සිතැ`ගි පමණක් නොව ශ‍්‍රී ලංකාවේ එකිනෙකට වෙනස් ජාති ආගම් සහ වෙනත් පසුබිම් සහිත කණ්ඩායම් අතරට ගොස් දෙරට අතර පවතින රාජ්‍යතාන්ත‍්‍රික බැ`දීම් සම්බන්ධයෙන් මෙහෙවරක නිරත වූවාය. ඉන්දු ලංකා සබ`දතා තර කරන්නට එම උපාය මාර්ග සමත් වන්නට ඇත. එම සාර්ථකත්වයේ ප‍්‍රථිඵලය මැන බැලූ ඉන්දියානු රාජ්‍ය නායකයන් ඇමරිකාවට සහ පසුව චීනයට යවන ලද අතර එම පත්වීම් අනුව බලන විට මෙම රටවල් තුන තුළ පවත්වන ලද සම්බන්ධතා ගෝලීීය ව්‍යුහය තුළ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නේය. ඉන්දියාවේ නිරූපමා එය අදටත් තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන් කරගෙන යන අතර ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් අනුගතව සිටින්නේ ද එවැනි ද්‍රෘෂ්ඨිවාදයකය. ඇමරිකාව ලෝක භාවිතාවේ දී මෙහෙයැවෙන ආකාරය ගැන පුද්ගලික අදහස් පවා ඉදිරිපත් කරමින් ජාත්‍යන්තරය සමග සන්නිවේදනයක නිතරව සිටින්නීය. එපමණක් නොවේ හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරියවශයෙන්සිටිය දී දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව සමාජ වෙබ් අඩව සම්බන්ධව ක‍්‍රිය ාකරන වෙනම අංශයක් ද ඇති කළාය.

විදේශ ප‍්‍රතිපත්තිය සීමිත පිරිසකට වලංගු එක්තරා පැලැන්තියක භාවිතාවක් වන්නේ දශක කිහිපයකට කලින් පරිසරයේ දීය. අද සමාජ වෙබ් සම්බන්ධතා නැති රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු ලෝකයේ නැත. ඉතාම තද නීති සහිතව පාලනය වූ අධිපතිවාදී රටවල තානාපතිවරු පවා තමන්ගේ නිල තත්ත්වය සමාජශීලී ආකාරයට හසුරුවයි. එයින් අපේක්ෂා කරන්නේ ජනතාව අතර බැ`දීම ඇති කිරීමය. විදේශ ප‍්‍රතිපත්ති සුළු පිරිසකට බලපාන දෙයක් නොවන බව තහවුරු වෙමින් තිබේ. විදේශ සම්බන්ධතා ජනතාවගේ සම්බන්ධතාය. රටවල් අතර සබ`දතා ගොඩනැගෙන්නේ තානාපතිවරුන් ඔස්සේ පමණක් නොවේ. ලක්ෂ සංඛ්‍යාත ආකාරයට අදහස් හුවමාරු කරගන්නා සහ රටින් රට යන පොදු ජනතාව නිල නොවන තානාපතිවරුය.

රටවල් අතර සිදුවන දේ ගැන දැනගන්නට ජනතාවට අයිතියක් තිබේ. රටවල් ඇති කරගන්නා ගිවිසුම් හෝ එක`ගතා ගැන අභ්‍යන්තරය අවබෝධ කරගන්නට අද පොදු ජනතාව උනන්දුවක් දක්වයි. දැනගන්නට අයිතියක් ඇති බව ජනතාව සිතන බව පැහැදිලිය. කලින් තානාපතිවරයෙකු හමුවට යාම වැදගත් සිදුවීමකි. දැන් තානාපතිවරයෙකු ජනතාව හමුවට පැමිණීම සාමාන්‍ය සිද්ධියකි.

මෑතක දී මහත් ආන්දෝලනාත්මක ආකාරයට පැන නැගුන අරාබි වසන්තයට හේතු වූයේ ඇමරිකාව සිය අදහස් සමබන්ධයෙන් නිකුත් කරන ලද සමාජ වෙබ් අඩවිවල ක‍්‍රියාකාරීතවය බව නොරහසකි. ඇමරිකානු රාජ්‍යතාන්ත‍්‍රික පිලිවෙත් බලවත් රහස් වූයේ ඉතිහාසයේ දීය. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එය පෝෂණයට ගන්නා තීරණ ජාත්‍යන්තරව පැතිරෙයි. එම පැතිරීම හමුවේ ලෝකයේ නොයෙක් රටවල ජනතා ප‍්‍රබෝධය ඇති කරන්නේය. අරාබි වසන්තය උච්ඡුතම අවස්ථාවේ දී ටිවිටර් පණිවුඩ හුවමාරුවේ තාක්ෂණික කාරණයක් වූ ඩවුන් ටයිම් පවා වෙනස් කරන්නට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වූ බව ප‍්‍රකට කරුණකි. චීනය පවා ඉතා සූක්ෂම ආකාරයට සිය ප‍්‍රතිරූපය වෙනස් කරන ජනතාව සමග සම්බන්ධවන මාධ්‍ය මෙහෙයුම් කරයි. ඉන්දියාව, ඇමරිකාව සහ චීනය වැනි රටවල් තානාපති අංශ වල වගකීම් රාමුව සූක්ෂම ලෙස වෙනස් කරගෙන සිටින ආකාරය අධ්‍යයනය කළ යුතුය.

තානාපති කාර්යාලයක කාර්ය භාරය පවා වෙනස්ව ඇත. රටකට ඇතුළුවීමේ වීසා නිකුත් කිරීම තානාපති කාර්යාලයක සුවිශේෂී කාර්යයක් වූයේ ඉතිහාසයේය. අද තානාපති කාර්යාල රටවල ජනතාව අතරට ගමන්කරමින් සිටින අතර වීසා නිකුත් කරන්නේ වෙනත් පුද්ගලික අංශයේ සමාගම්ය. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ඉන්දියාව ආදී වශයෙන් නොයෙක් රටවල් තම වීසා කාර්යය වෙනත් පාර්ශවයන්ට භාර දී තිබේ. විශාල වැදගත් නිල කාර්යයක් සේ සලකන ලද වීසා නිකුත් කිරීමේ වගකීමෙන් නිදහස් කරන ලද තානාපති නිලධාරීන් අද සමාජ වෙබ් අඩවිවල තොරතුරු යාවත් කාලීන කරමින් සිටී. ට්විටර් පණිවුඩ හුවමාරු කරගනිමින් සිය රට ගැන ප‍්‍රතිරූපය අලූත් කරගන්නට වෑයම් කරමින් වෙහෙසෙයි. රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය පරාජය කර ජන තාන්ත‍්‍රිකත්වය ඉදිරියට පැමිණ ඇති ආකාරය හ`දුනාගත යුතුය. තානාපති කාර්යාලයක් තුළ සිදුවන සිදුවීම් රහස් නොවේ. ඒවා පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා මත ගොඩනැගෙන රහස්‍ය සම්බන්ධතා ආකාරයෙන් වෙනස් වී අලූත් යුගයකට ඇතුළු වී හමාරය. එම අභියෝගය ජය ගන්නට සමත් ජන තාන්ත‍්‍රික නිලධාරීන් මෙම සේවයට ඇතුළු කර ගැනීම බලවත් අවශ්‍යතාවයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.