» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/05/2017 - දේශය
මැරෙන හැටි පෙන්නන එලිසෙබත් රැජින

දෙවැනි එලිසෙබත් රැජින ලෝක ඉතිහාසයේ එක් පරිච්ඡේදයකි. සියවසකට ආසන්න කාලයක් ලෝකයේ සිදුවූ සෑම සිද්ධියක්ම කොතැනක දී හෝ ඇය සම්බන්ධව සිටියාය. බි‍්‍රතාන්‍ය වැසියෝ මෑත එක්තරා වකවානුවක සම්ප‍්‍රදායික ධුරයක් නඩත්තු කරන්නට ගෙවන වන්දිය ගැන මැසිවිලි නැගූහ. නමුත් අද වන විටත් රැජින අද්විතීය තැනකය. ඇයට ඇති ගෞරවය පලූදු වී නැත. අනන්‍ය සංකේතයක් වශයෙන් ඇති ඉහළම පිළිගැනීම බිඳකුදු අඩු බවක් නොපෙනේ. එපමණක් නොව රජ පෙලපත තවදුරටත් එසේම බි‍්‍රතාන්‍යයේ ඉහළින් පවතිනු දකින්නට ඉංග‍්‍රීසි ජාතිකයන් කැමැතිය. එලිසෙබත් කුමරිය හිරු නොබසින අධිරාජ්‍යයෙහි රැජින සේ කිරුළ පළඳින්නේ 1952 දී ය. වසර හැට පහක් එහි බර උසුලා සිය ජීවන ගමනේ අනූ එක්වැනි වියෙහි පසුවන රැජින අවසන් හුස්ම හෙලන අවස්ථාව සැලසුම් කරන කතිකාවට ද සම්බන්ධ වී සිටින්නීය. එය හැඟීම්බර කාර්යයකි. බි‍්‍රතාන්‍ය අගමැතිවරිය, ඇමැති මණ්ඩලය නිලධාරීන් හා මාධ්‍ය ඇතුළු සමස්ථ බි‍්‍රතාන්‍ය ව්‍යුහයටම එය එක්තරා ජනතාන්ත‍්‍රික කාර්ය භාරයක් බවට පත්කරගෙන තිබේ.

එලිසෙබත් රැජිනගේ අභාවය සමග බි‍්‍රතාන්‍ය තුළ සිදුවන මෙහෙයුම ‘‘ඔපරේෂන් ලන්ඩන් බි‍්‍රජ්’ යනුවෙන් නම් කර ඇත. ලන්ඩන් නගරයට එහි ඇති දැවැන්ත පාලම අභිමානයකි. බකිම්හැම්පැලස් සිට අභාවය නිල වශයෙන් රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් දැනුම් දෙන කෝඞ් එක වශයෙන් තෝරාගෙන ඇත්තේ ‘‘London Bridge is down’’ යන වාක්‍යයයි. ජනයා අතරට ගෙන යන සන්නිවේදනය ද සම්පූර්ණයෙන්ම සකස් කර තිබේ. කෙටි කාලයක් රෝගාතුර විය හැකි යැයි උපකල්පනය කරන අතර එය පළමුවෙන් ප‍්‍රකාශයට පත් කෙරේ. අවසාන අවස්ථාවේ දී රාජකීය පවුලේ සාමාජිකයන් අවට ඉන්නට ඉඩ ඇති බව සලකා සමුගැනීමේ සමාචාරයක් ද පවත්වන්නට නියමිතය. 2002 වසරේ දී රැජින ගේ මෑණියන් ගේ අභාවයට කලින් ඇය සමීප කිහිපදෙනෙකුට දුරකථනයෙන් කතා කර සදහටම ආයුබෝවන් කියන ලද බව වාර්තා වලින් අනාවරණය කරගෙන ඇති මෙම වැඩ පිලිවෙල නූතන තාක්ෂණ යුගයේ දී එලිසෙබත් රැජින ද සමීප අයට කතාකර ආයුබෝවන් කියනු ඇතැයි සැලසුමට ඇතුලත් කර තිබේ. අවසාන මොහොත යැයි සිතන වෙලාවේ රැජින වටා ඉන්නට හැකි අය නම් කරන්නේ ඇගේ වෛද්‍යවරයාය. රැජිනගේ ආහාර මාර්ගය ආශ‍්‍රිත රෝගාබාධ වෙනුවෙන් ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයාට එකී භාරධුර වගකීම පැවැරී ඇති අතර මව් බිසව අභාවයට පත් අවස්ථාවේ දී නෙත් පියවන ලද හා අත අවසාන වශයෙන් සිඹින ලද ආකාරයටම ඊළගට රජකමට පත්වන කුමාරයා ද අනුගමනය කරනු ඇතැයි සැලකේ.

සිද්ධිය පළමුවෙන් නිල වශයෙන් දැනුම් දෙන්නේ බි‍්‍රතාත්‍ය අගමැතිනියටය. එය දැනගත් වහා එය රපෝර්තු කරන්නේ රැජින ගේ පාලනය යටතේ පවතින රටවල් පහලොවක රාජ්‍ය නායකයන්ටය. ඉනික්බිතිව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය වල නායතයන්ට නිල වශයෙන් පුද්ගලිකව දන්වන්නේ බකින්හැම් මාලිගයෙන්ය. මේ අතරවාරයේ අගමැති වරයා සතු විශේෂ පැවරුමකින් බ්‍රිතාන්‍යයේ සියළු මාධ්‍ය ආයතන වල සජීවී වැඩසටහන් මෙහෙයවන්නන්ගේ කාමරවල ඇති නිල් පැහැති විශේෂ බල්බයක් නිවි නිවී දල්වා සංඥාවක් නිකුත් කරන්නට සලස්වයි. එකී සංඥා පහන් වැඩ කරනවා දැයි මාසයක් පාසා පරීක්ෂා කර බලයි. ඒ වන විට ඉතා වේගවත් නාද රටා වලින් නාද වූ ගීත එම සංඥාව සමග වෙනස් කරන්නට පටන් ගනී. ඒ වෙනුවෙන් අඩු රිද්මයකින් යුතු ගීත නාම ලේඛන දෙකක් දැනටමත් පිලියෙල කර තිබේ. ඒ අනුව බලපුලූවන්කාර අයට මැදට පැන ගීත වෙනස් කරන්නට කිසිම ඉඩක් නැත. සංවේගය ඇතිකරන ගීත මාධ්‍යවලින් විකාශය කරන්නේ ඒවා වාදනය කරන අය පවා යම් කිසි නොදන්නා ශෝකාකූල සිද්ධියක් සිදුව ඇති බව ඉඟියෙන් පමණක් දැනගෙනය. මාධ්‍ය භාවිතා කරන බි‍්‍රතාන්‍ය ජනතාව ද මෙම ගීත වෙනස්වන නිසා වැදගත් තොරතුරක් දැනගන්නට නොඉවසිලිමත් වෙති. නිල නිවේදනය නිකුත් වෙන්නේ එයින් විනාඩි ගණනාවකට එනම් ඇත්ත වශයෙන්ම රැජින අභාවප‍්‍රාප්ත වී පැය ගණනට පසුවය. මෙම සැලසුම වරින් වර සොයා බලා යාවත්කාලීන කරන අතර විශේෂත්වය වෙන්නේ තවමත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නා දෙවැනි එලිසෙබත් රැජින ද එහි අඩුපාඩු සොයා බලන්නට තරම් නිර්භීතවීමය.

ඉතිහාසයේ රාජකීය අභාවය නිල වශයෙන් නිවේදනය කිරීම බී.බී.සී ආයතනයට පැවරී තිබුණි. නමුත් සන්නිවේදනය දියුණු වන විට එහි ඒකාධිකාරය වෙනස් වී තිබේ. සියළු මාධ්‍ය එකවර එය දන්නා නමුත් රැජිනගේ පෞද්ගලික සේවකයෙකු විසින් නිල වශයෙන් අභාවය ගැන දැක්වෙන කලූ අකුරින් ලියැවුණ දැන්වීමක් එකී මාධ්‍යනිවේදනය නිකුත්වන අවස්ථාවේ දීම බකිම්හැම් පැලස් මාලිගාවේ ඇතුළුවන ගේට්ටුවේ අලවයි. ඒ අවස්ථාවේ සිට රැජිනගේ වෙබ් අඩවිය කලූ පැහැ පසුබිමකට මාරු වන සේ දැන් සැලසුම් සකස්කර ඇත්තේ සම්ප‍්‍රදාය හා නවීනත්වය හා එකට මුසුවන සුවිශේෂී අවමංග්‍යයක වග නූතන සන්නිවේදනය ව්‍යුහයට එකතු කරනු දක්වමින්ය.

ජනමාධ්‍ය ආයතන මෙම අභාවය ගැන සියළු පැති වලින් හර බර ලිපි ලියා හමාරය. ද ගාඩියන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලියන ලද ලිපි ඔහුගේ කාමරයේ පැහැදිලිව පෙනෙන සේ එල්ලා තිබේ. ද ටයිම්ස් පුවත් පත කියන්නේ සිය දින එකොලක කාලයක් පුරා දිනපතා පළවිය යුතු දේ සම්පූර්ණයෙන් සැලසුම් කළ හමාර බවය. ස්කයි නිවුස් හා අයි.ටී.එන්. නමැති රූපවාහිනී නාලිකා ඒවායේ තෝරාගත් නිවේදකයන් ලවා මෙම රාජකීය අභාවය ගැන විශේෂ නිවේදනය කියවන ආකාරය නිතිපතා පුහුණු කරවයි. රොබින්සන් මහත්මිය අභාවයට පත් වූ බව කියමින් එම පිටපත කියවන බව ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රචාරය වී හමාරය.

අද වන විට රාජකීය අවමංගල්‍යය කරන ආකාරය ගැන සිද්ධි එකක් පාසා සැලසුම්කර තිබේ. විශේෂයෙන් රාජකීය වෛද්‍යවරයාගේ නිවේදනයේ සිට පාර්ලිමේන්තුව රැස්වන හැටි, ජනතාව ගේ ශෝකය දැක්විය හැකි ආකාරය, එකතුවිය හැකි යැයි සිතන ජනකාය පමණක් නොව අවසාන දේවමෙහෙය පවත්වා රැජින ගේ දේහය තැන්පත්වන තැන ද අකුරටම ලියා ප‍්‍රකාශයට පත්කර තිබේ. එය කොපමණ සැලසුම් සහගත එකක් ද යත් අතීතයෙන් ආදර්ශය, පවතින සම්ප‍්‍රදාය හා අනාගත තාක්ෂණයේ මහිමය මනා සේ සංකලනය කර ඇත. විද්‍යාර්ථීන්ට පර්යේෂණ කරන්නට, සමාජ නායකයන්ට කියවා බලන්නට වටිනා සැලසුමකි. එය එපමණකටම සුවිශේෂීය.

රැජිනගේ අභාවය විශේෂ එකක් කරන්නට බි‍්‍රතාන්‍ය ප‍්‍රජාව වෙහෙසෙන්නේ ඇයි? ඇමරිකාවේ ජනාධිපතිවරු දොළොස් දෙනෙකු පත්වනු ඇය බලා සිටියාය. ලෝකයේ නොයෙක් පරිවර්තන වන විට ඒවා දෙස අවධානය යොමු කළේ සුවිශේෂී සම්ප‍්‍රදායික අනන්‍යතාවයක් සහිතවය. ධුර කාලය තවමත් අවසන් නැති අතර හැම අතින්ම ඇදක් පලූද්දක් නොවෙන්නට ගාම්භීරතාවයෙන් ක‍්‍රියා කර ඇත. එසේ තිබිය දී මුළු මහත් බි‍්‍රතාන්‍ය සමාජය සහ ලෝකය පුරා ජනමාධ්‍ය එක මොහොතක සියළු එදිනෙදා කෘත්‍ය වෙනස් කරන්නට සූදානමක සිටී. ජාත්‍යන්තරයම අහන්නේ දෙවැනි එළිසෙබත් රැජින සිය රජකම අනුප‍්‍රාප්තිකයෙකු බාර නොදෙන්නේ මන්ද යන්නය. නමුත් මෙම පැති ගැන සම්පූර්ණ අවබෝධයක ඉන්නා ඇය ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නීය. ලෝක නායකයන් ඇතුළු අප සියළුම දෙනාට සම්පාදනය කරන රාජකීය පණිවුඩය තේරුම් ගැනීම මෙහිලා වැදගත්ය. තමන්ගේ ගමන තීරණය කරන්නට තමන්ට ඇති අයිතිය කිසිසේත් අවතක්සේරු කරගත යුතු නැත.