» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/02/2016 - දේශය
මාරි කොන්ඩෝගේ කොන්ඩෝ මාරී " තියරිය

ජපානයේ දිරිය යුවතියකව සිටි මාරි කොන්ඩෝ ජාත්‍යන්තර ප‍්‍රජාවට අලූතින් හිතන්නට නවතම සංකල්පයක් ඉදිරිපත් කර තිබේ. එය පරිහරණය කරන අප අවට ඇති දේ නිසි පිලිවෙලක් කරන ව්‍යාපෘතියකි. දැන් ඇය අම්මා කෙනෙකි. කුඩා දැරියකගේ මවක වන ඇය බලාපොරොත්තු පළ කරන්නේ තම දියණිය ද, බාල වියේ පටන්ම එහි හුරුව ලබනු ඇති බවය. එසේ නොවෙන්නට ඉඩ නැත. මන්ද දැනටමත් ලෝකයේ රටවල් තිහක පමණ මාරි ගේ අදහස් කියවන්නට පටන්ගෙන තිබේ. ඇය ඉදිරිපත් කරන කරුණු අනුව කල්පනා කර තමන් පරිහරණය කරන දේ අලූතින් පිළිවෙලට තබන්නට මහන්සිවෙන බව පෙනේ. අනවශ්‍ය දේ ඉවත් කරන්නටත්, ඉවත් කරන දේ වෙනුවෙන් ගරු කරන්නටත් ඇය උගන්වයි. සංකල්පධාරිනියක, කතුවරියක පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාවට අලූත් අදහස් බෙදා දෙන මාරි කොන්ඩෝ වශයෙන් ඇය ගැන ස‍ඳහන් කළ හැකිය.

මාරි නොඑසේනම් ඇයම කියන පරිදි 'කොන්ඩොමාරී' කතා කරන්නේ එදිනෙදා ජිවිතය ගැනය. කුඩා දැරියකව බාලාංශයේ ඉගෙන ගනිමින් සිටිය දී ඇය සම්පූර්ණයෙන්ම අවධානය යොමු කර තිබුණේ පුස්තකාලයේ පොත් පත් පිළිවෙලකට තබා ගැනීම කෙරෙහිය. හැමදාමත් අවුල් කරන කිසිම දෙයක් නිසි තැනැති පොත් රාක්ක නිසි ලෙස ගොනු කිරීම මාරි කොන්ඩෝ ඉවසිල්ලෙන් කළ කාර්ය භාරයකි. එයින් සතුටක් ලැබුවාය. පුස්තකාලය පරිහරණය කරන දරුවන් සහ ගුරුවරුන් එයින් සතුටුවනු දැක තාප්තිමත් වූවාය. ජීවිතය ගැන අවධානය යොමු කරන අලූත් සංකල්පයකට පදනම එය බව ඇය කියා සිටින්නීය.

අද කොන්ඩොමාරී සැළසුම් උපදේශකවරියකි. එපමණක් නොවේ ගත් කතුවරියකි. ජනතාවගේ සිත් ගෙන පොදු ජනතාවගේ ජීවිත සැලසුම් කරන්නට ගැලපෙන අලූත් සංකල්ප හඳුන්වා දුන් හෙයින් ජනතාන්ත‍්‍රිකත්වයට පත්ව ඇත. සාමාන්‍ය දැරියකව අසාමාන්‍ය ගති ලක්ෂණ විද්‍යමාන කළ ඇය 2005 අවුරුද්දේ දී ටයිම් සඟරාව ලෝක ප‍්‍රජාව අතරින් වඩාත්ම බලපෑමක් කළ හැකි ප‍්‍රබලම චරිත සියය අතරින් කෙනෙකු බවට හඳුන්වන්නේ ඒ හෙයින්ය.

'The Life-Changing Magic of Tidying Up" කෘතිය පළමුවෙන් ප‍්‍රකාශයට පත්වන්නේ 2010 අවුරුද්දේ දීය. ජපානයේ පමණක් පිටපත් දහ හතර ලක්ෂ විසි දහසක් විකිණී ඇති බව සඳහන්ය අද වන විට රටවල් තිස් එකක එම පොත නැවත පළ කර තිබේ. කොරියා, චීන, ප‍්‍රංශ, ජපන් සහ ඉංග‍්‍රිසි භාෂා වලට පරිවර්තනය කර ඇති බව සඳහන් කරන්නේ ටයිම් සඟරාවයි. ජපානයේ සහ යුරෝපයේ වැඩිම අළෙවියක් ඇති පොත බවට පත්ව ඇත. මෙම පොත් වල කියන්නේ මොනවාද? ඇඳුම් ගැනය. පළඳින පාවහන් හෝ පරිහරණය කරන උපකරණ ගැනය. මේවා උවමනාවටත් වඩා ගොඩගහගෙන ජීවත්වීම තේරුමක් නැති දෙයක් බව ඇය අර්ථ දක්වයි. ඇඳුමක් අතින් ඇල්ලූවාම එය තමන්ට ගැලපෙනවාද එහෙම නැත්නම් එයට කැමැති ද යන්න හිතට දැනෙනවා. කැමැති නැති ඇඳුම් බර ගණනක් අල්මාරියක එකතු කරගෙන ඉන්නේ ඇයි? ඇය ප‍්‍රශ්න කරයි. ඒවා ඉවත් කළ හැකි ආකාරය පෙන්වා දෙන මාරි මේ සියලූ ඇඳුම් තමන්ට අවශ්‍ය නැති නම් ඉවත් කිරීම හොඳම දේ බව පෙන්වා දෙයි. එපමණක් නොව ඇඳුම් තැන්පත් කරතැබිමේ දී පැහැදිලිව දැකගත හැකි ආකාරයට, වර්ණ සහ ප‍්‍රමාණය අනුව ඒවා නවා නිසි ආකාරයට තැන්පත් කරන්නේ කෙසේදැයි උගන්වයි. මෙවලමක් තමන්ට අවශ්‍ය නැති නම් ඉවත් කරන්න. එයින් නිදහස් විය හැකි බව ඇය තව දුරටත් කියයි. පරිහරණය කරමින් තිබූ ජංගම දුරකථනයට ආයුබෝවන් කියන්නට මාරි කල්පනා කරයි. එය පරණ එකකි. ඒ වෙනුවට අලූත් එකක් මිලදි ගත්තාය. දීර්ඝ කාලයක් තමන්ගේ ලඟ ගැවසෙමින් තමන්ට උපකාර කරන ලද දුරකථනය කෙරෙහි බැඳීමක් තිබේ. එය නිකම්ම ප‍්‍රතිචක‍්‍රීයකරණයට භාර දිය නොහැකිය. අලූත් දුරකථනයෙන් ඔබ කළ උපකාර වලට ස්තුතියි කියා කෙටි පණිවුඩයක් යවා කෘතවේදී වූ මාරි එය සදහටම නිහඬකර තමන්ගේ භාරයෙන් ඉවත් කළාය. 'හැම දෙයකටම ජීවයක් තියෙනවා. ඒ ගැන නොහිතා ඉන්නේ කොහොම ද? ඇගේ කෘතිවලින් දක්වන ගැඹුරු කාරණා අතර එවැනි අදහස් තිබේ.

ඇඳුම් අල්මාරිය පිළිවෙලක් වෙන විට එය ජීවිතයේ පැති කඩකි. අනවශ්‍ය දේ රහිතව ඉක්මනින් තෝරා ගන්නට ඉඩ දෙන ආකාරයට එහි ඇති දේ ක‍්‍රමානුකූල නම් ඇති කරන්නේ අස්වැසිල්ලකි. උවමනාම දේ හැරෙන්නට අනෙක් දේ එකතු කරගෙන විශාල ඉඩක් නඩත්තු කරන්නේ නම් එය හිතට බරකි. සැහැල්ලූවෙන් ක‍්‍රමානුකූලව සංස්කරණය කිරීම මාරි කොන්ඩෝ අධ්‍යයනය කර තිබේ. ඇය වාර්තා චිත‍්‍රපටි ගණනාවකින් මේ කතාන්දරය ජාත්‍යන්තරයට කියන්නට සමත්ව තිබේ. එම චිත‍්‍රපටි වලින් සහ පවත්වන ලද දේශණ වලින් පසු ඇගේ දර්ශනය ජපානයෙන් පටන්ගෙන යුරෝපය හරහා ලෝකය පුරා විහිදෙන්නේ ක්ෂණයකින්ය. අවිවේකී සහ කිසිම පිළිවෙලක් නැති නිවෙසක හිතේ බරක් ඇතිව ජීවත් වූ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඇය අලූත් මාවතක් විවර කර දී තිබේ. දෙයක් දෙස බලන, එයින් සතුටක් දනවන ආකාරය දෙස අලූත් කෝණයකින් කතා කරයි. එය තව දුරටත් තමන්ගේ දේපොලක් දැයි හිතන ආකාරය පමණක් නොව අවශ්‍ය නම් එය නිසි ආකාරයට පිළිවෙලක් අනුව නමා ගබඩා කරන ආකාරය ද කොන්ඩමාරි දර්ශනය බවට පත්වීම විශේෂිත සිද්ධියකි. මෙම දර්ශනය ගැන පමණක් පොත් හතරක් ලියා ඇති ඇය ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා නඩත්තු කරන්නීය. නිතර නිතර ලෝකයේ නොයෙක් තැන් වලින් විමසන දේ වෙනුවෙන් උත්තර දෙමින් සිටින්නීය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.