» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/01/2018 - දේශය
කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ග්ලෝරියා

කාන්තාවන්ට සිදුවන හිංසන ගැන ලෝකය පුරා අලූත් වටයකින් කතා කරන්නට පටන්ගෙන තිබේ. දේශපාලන, චිත‍්‍රපට හා රූපවාහිනී අංශවල සිදුවන සිද්ධි විවෘතව අනාවරණය වෙමින් පවතින අතර ඒවායෙන් මතු කරන පැති ආන්දෝලනාත්මකය. ඇමරිකානු නීතිඥවරියක වන ග්ලෝරියා ඕල්රෙඞ් කාන්තා අයිතීන් ගැන බලවත් අවධානයකින් පෙනී සිටින්නීය. ආයතන ප‍්‍රධානීන්ගේ ගේ දරුණු තීරණ වල සිට ජන සමාජයේ දී මුහුණ දෙන ලිංගික අතවර දක්වා එකිනෙකට වෙනස් පුලූල් පරාසයක සිද්ධි හමුවේ ග්ලෝරියා අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වෙයි. නිර්භීතව කාන්තා ප‍්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත්වන දක්ෂ නීතිඥවරියක හෙයින් ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ. ලිබරල් මතවාදී නිව් රිපබ්ලික් සඟරාව ඇය නිතර පුවත් මවන කාන්තාවක සේ නම් කිරීමෙන් එය සනාථ වෙයි.

ග්ලෝරියා අධිකරණයේ පෙනී සිටින්නේ බාර ධුර නඩු වෙනුවෙන් බව සදහන්වෙයි. ජනතා අවධානය ඇතිකරනු සඳහා පුවත්පත් සාකච්ඡා පවත්වමින් සහ රූපවාහිනියේ පෙනී සිටිමින් මතවාදයක් ඇතිකරනු සඳහා වෑයම් කරයි. පීඩාවට පත් පාර්ශවය සටන් කරන්නට මැලිකමක් දක්වන බලවත් චරිත පරාජය කරන්නට ඇය රුචිකත්වයක් දක්වන්නීය. ඒවා සලකන්නේ අභියෝග වශයෙනි. එහෙයින්ම ජන සමාජය තුළ පුලූල් අවධානයක් තිබේ.

ග්ලෝරියා රචෙල් ඕල්රෙඞ් මුල් විවාහයෙන් ලද දියණිය සමග ජීවත්වන අතර යුදෙව් ජාතික කාන්තාවකි. එනමුත් ආගමික අන්තවාදී අදහස් වලින් සිය ජීවිතය නිදහස් බව ඇය ප‍්‍රකාශ කරයි. වැඩ කරන පැලැන්තියේ පවුලක උපන් ග්ලෝරියා ගේ පියා අළෙවිකරුවෙකි. මව බි‍්‍රතාන්‍ය සම්භවයක් සහිතය. පිඩෙල්ෆියා උසස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය පෙන්සෙල්වියානු විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබුවාය. ක්ෂේත‍්‍ර ගණනාවක රැකියා අවස්ථා සොයා බලන ලද නමුත් ව්‍යවර්ථ වූ අතර පසුව ගුරු සේවාවට ඇතුළු වූවාය. බෙන්ජමින් ෆ්රුන්ක්ලින් උසස් විදුහලේ උගන්වන අතරතුර ශාස්ත‍්‍රීය අධ්‍යාපනය ද හමාර කළ ග්ලෝරියා එම අවධියේ සිට සිවිල් අයිතීන් කෙරෙහි උනන්දුවක් දැක්වූවාය. පසුව ලෝස් ඇන්ජලීස් සහ කැලිෆෝනියා නගර වල වරින් වර පදිංචිව සිටි ඇය ලොස් ඇන්ජලීස් ගුරු සංවිධානයට බැඳී සේවය කළාය. පෙන්සෙල්වියානු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දී හදුනාගත් ඕල්රෙඞ් සමග පළමු වරය විවාහ වී දියණියක ලැබූ නමුත් එය දික්කසාදයකින් කෙළවර විය. පළමු විවාහයේ දියණිය ද නීතිඥවරියක සේ ක‍්‍රියා කරයි. දෙවන විවාහය වසර දහ නමයක් දීර්ඝ එකක් නමුත් එයින් ද වෙන්වූ ග්ලෝරියා සිය සැමියාගේ වාසගම අඛණ්ඩව භාවිතා කරන තීරණයක පිහිටියාය.

පළමු විවාහයෙන් වෙන්ව මෙක්සිකෝවේ සංචාරය කරන අවස්ථාවක ඇය අතවරයට ලක්ව බලවත් ගැටළුවකට මුහුණ පෑවාය. නීති විරෝධී ගබ්සාවක් කරගන්නට ද සිදුවිය. අතවරය ගැන ඇත්ත කිසිවෙකු විස්වාස නොකරන බව කල්පනා කරන ලද ග්ලෝරියා නිහඩව එය විඳීනලද අතර එය ජීවිතයේ කටුක අවස්ථාවක් වූවා නොඅනුමානය. තමන් හා සමානව කියා ගත නොහැකි සිද්ධි වලට මුහුණ පාන දහස් සංඛ්‍යාත කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නට තීරණය කරන්නේ එයින් පසුව බව නිසැකය.

නොබෝදා නිව්යෝක් ටයිම්ස් හි ලේඛකයෙකු ග්ලෝරියා මුණ ගැසී විශේෂ සාකච්ඡාවක් කරනලද අතර එයට අනුව ඇය කාන්තාවන් මුහුණ පෑ ප‍්‍රකට අතවර සිද්ධි ඇතුළු තවත් විශේෂ නඩු ගණනාවක වෙනුවෙන් ක‍්‍රියා කර ඇත. බිල් කොස්බි සිද්ධිය ඒ අතර වෙයි. වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන් සිදුවූ හිරිහැර ගැන සමර් ස්රෝව්ස් නමැති උපදේශිකාවක නගන චෝදනාව නිව්යෝක් අධිකරණයට ගෙන යන්නට ද කෙලින්ම සම්බන්ධ වී සිටී. නිව්යෝක් අධිකරණයේ විනිසුරුවරයා එම නඩුව පැනවීමට සාධාරණ හේතුවක් තිබේදැයි මූලික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරන්නට නියමිත අතර එම තීන්දුව අනුව විභාගයකට ඉඩ තිබේ. මෙවැනි නඩු විභාග ග්ලෝරියාගේ ප‍්‍රබල ආත්ම ශක්තිය විදහා දක්වන බව සඳහන් කළ යුතුය.

ග්ලෝරියා ඕල්රෙඞ් සරල ජීවිතයක් ගත කරන්නීය. මත් පැන් භාවිතා නොකරන අතර අතුරුපස ද ප‍්‍රතික්ෂේප කරන බව ජීවිත කතාව හුවා දක්වන වාර්තා වල දැක්වෙයි. නීති වෘත්තියේ වසර හතලිහක් වන අතර පසුගිය වසර තිහ තිස්සේ අඩුම තරමින් විවේකයකට සංචාරයකටවත් නොයන ඇය නොකඩවා දුකට පත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොනවතින අරගලයක නිරතය සිටින්නීය. එය යුක්තිය සහ සාධාරණය උදෙසා බව ජන සමාජය තුළ තහවුරු වී ඇති අතර පුරුෂයන් ගෙන් කාන්තාවන් වෙත එල්ලවන ලිංගික අතවර කිසිසේත් නොඉවසන චරිතයක් වශයෙන් ග්ලෝරියා ප‍්‍රසිද්ධියට පත්ව සිටී.

සමාජයෙන් එල්ලවන දොස් සහ කාන්තාවන් දෙස බලන ආකාරය අනුව කිසියම් අතවරයකට පසු නිහඩව සිටීම සුලබ බව ග්ලෝරියා කල්පනා කරයි. එහෙයින් විශ්වසය දිනාගනු සදහා මුලින් ඇය තමන්ගේ කතාව කියන අතර නොපැකිලව අතීතයේ වේදනාබර සිද්ධිය කියා පාන්නේ සමාජය හමුවේ නැගී සිටින්නට සෙසු පිරිසට ශක්තියක් වනු සඳහා බව ග්ලෝරියා ඕල්රෙඞ් ප‍්‍රකාශ කරයි. සමාජයේ ඉහළින් වැඡඹෙන බලකණු ගණනාවක් සමග අධිකරණයේ දී සටන් වැන ග්ලෝරියා සිය සමත්කම් ගැන වහසි බස් කියන්නේ නැත. වසර හතලිහක් අතවර වලට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ඇය කරා වැඩි දෙනෙක් එන්නේ ඇයි දැයි විමසන විට ග්ලෝරියා කියන්නේ දුරකථන ඇමතුමකින් හෝ මේල් පණිඩුවයකින් තමන් ඔවුන් හා සමීප වන හෙයින් බවය. කාන්තාවන් ඇය සොයා පැමිණ අවනඩුව කියන විට නඩු වියදම් ඉල්ලමින් තවත් ප‍්‍රශ්න මතු නොකරන අතර සාර්ථකව අවසන් වන නඩු විභාගයක් අවසානයේ ලැබෙන වන්දියෙන් ප‍්‍රතිශතයකින් ග්ලෝරියා ඕල්රෙඞ් සෑහීමකට පත් වන බව දැක්වෙයි.

සිද්ධි වලට එරෙහිව ධෛර්යවන්තව පෙනී සිටින විට අවලාද, අසත්‍ය චෝදනා බහුලව ලැබේ. ග්ලෝරියාට ද එය එසේය. නිවැරදි පැත්ත ගැන පමණක් හිතන හෙයින් තමන්ට ඒවා දරාගන්නට පුලූවන් බව කියන ඇය කොපමණ කියන නමුත් අධ්‍යාපනය, වෘත්තීය, පවුල් ජීවිතය, දේශපාලනය, ක‍්‍රීඩාව හෝ විනෝදාත්මක ක්ෂේත‍්‍ර යන කිසිවක දී කාන්තාවට සමාන තැනක් නොලැබෙන බව ග්ලෝරියා උස් හඞකින් කියා සිටියි. මෙම අන්ධකාරයෙන් මිදෙන්නට අවශ්‍ය අතර කාන්තාව හා පිරිමි අතර සෑහෙන පරතරයක් පවතින අතර යටපත්වීම සුදුසු නැති බව කියා සිටියි. මෙවැනි වචන වලින් ඇය ගේ නැගී සිටීමේ උවමනාව මැනවින් පෙන්වන බව පිලිගැනේ.

අයුක්තියට එරෙහිව තිස් වසරක් කරන ලද සටන හා ජයග‍්‍රහණය මැයෙන් ඇයගේ කතාව ලියා තැබූ ග්ලොරියා ඕල්රෙඞ් දහ හතර වසරක් තිස්සේ අඛණ්ඩව ලොස් ඇන්ජලීස් හි ගුවන් විදුලියක සාකච්ඡා මාලාවක් කරමින් සිවිල් ක‍්‍රියාකාරිනියක වශයෙන් වෙහෙසෙයි. නොයෙක් නිර්මාණ වලින් කාන්තාවන් දැනුවත් කරන ග්ලෝරියා ටෙලි නාට්‍ය, වාර්තා චිත‍්‍රපට යනාදියෙහි පෙනී සිටිමින් සිද්ධි වල විවිධ පැති හුවා දක්වා සමාජය තුළ සංයමය ඇති කරන්නට ක‍්‍රියා කරයි. හඞක් නොමැති සුළු කොටස් වලට හා විශේෂයෙන් කාන්තාවන්ට යුක්තිය ඉල්ලා සටන් කරන්නට ග්ලෝරියා යනු බලවත් සංකේතයක් වී තිබේ.