» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/12/2015 - දේශය
සොරොස්ගේ ආන්ඩුව

හිරු නොබසින අධිරාජ්‍ය යැයි විරුදාවලියක් ලැබුවේ බි‍්‍රතාන්‍යයි. තමන්ට යටත් කරගත හැකි තරමට රටවල් අල්ලාගත් බි‍්‍රතාන්‍යයන් යටත් විජිත කාලයේ දී හිරු නොබසින අධිරාජ්‍යය හදාගත් නමුත් එයින් කාලයකට පසු හංගේරියාවේ දී උපන් ජෝර්ජ් සොරොස් බි‍්‍රතාන්‍ය අභියෝගයකට ලක් කළේය. ඒ ගැන මේ දවස්වල කියන්නේ එංගලන්තයේ බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඞ් එහෙම නැත්නම් අපි සඳහන් කරන ආකාරයට එංගලන්තයේ මහ බැංකුවේ මූල්‍ය ව්‍යුහය බි`ද දැමූ පුද්ගලයෙකු හැටියටය.

සාමාන්‍ය පවුලක ඉපිද හොඳින් ඉගෙනගත් ජෝර්ජ් සොරොස් බි‍්‍රතාන්‍යයට පමණක් නොව සමස්ථ ලෝකයටම අලූත් ව්‍යුහයක් ගැන නව අදහස් බෙදා හරියි. අලූත් පන්නයේ සිතිවිලි ඇති අයට තමන් සමග වැඩ කරමින් සමාජ පරිවර්තනයක් කරන ආකාරයට සම්බන්ධ කරගන්නට පසුබිම හදමින් සිටී. හෙතෙම එක පැත්තකින් දක්ෂ ව්‍යාපාරිකයෙකි. අනෙක් පැත්තෙන් දාර්ශනික අදහස් ඇති ලෝක ප‍්‍රසිද්ධ චරිතයකි. ගත් කතුවරයෙකු ද වන අතර සොරොස් අරමුදල් කළමණාකරන භාරයේ සභාපති වන අතර විවෘත සමාජ පදනම නැමති සංකල්පය නිර්මාණය කරමින් එහි මුල් පුටුව ද හොබවයි.

ජෝර්ජ් සොරොස් ශ‍්‍රී ලංකාවට පැමිණ මෙරට ආර්ථික සහ සමාජ ව්‍යුහය ගැන හදාරන්නට ද රටට මග පෙන්වන්නට ද ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාවට එන්නේ අත් දැකීම් සම්භාරයක් උපයාගත් එක පුද්ගලයෙකු හැටියටය. ආණ්ඩු වලටත් වඩා බලවත් ආයතන හැදෙන අතර ආයතන වලටත් වඩා බලවත් පුද්ගලයන් බිහිකරන්නේ වර්තමාන සමාජ ගෝලීයකරණයේ සංකල්ප වල විවිධ පැති හෙයින් බව තේරුම් ගත යුතුය. දැනුම සහ ආකල්ප එක තැනෙක තිබූ යුගය අවසන්ව ඇති අතර ලෝකයේ කොතැනකින් හෝ දක්ෂතා සහිත චරිත පැන නැගී පවතින ක‍්‍රමය වෙනස් කරන්නට මුල් වන ආකාරය අධ්‍යයනය කරන විට ජෝර්ජ් සොරොස් ඒ අතර ඉහළින්ම සිටින චරිතයකි.

සොරොස් මුලින් ලන්ඩනයට යන්නේ වැඩිදුර ඉගෙනගන්නටය. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ජාත්‍යන්තර ප‍්‍රසිද්ධ ආර්ථික විද්‍යා උසස් අධ්‍යාපන ආයතනයකි. එහි ඉගෙනගන්නා සොරොස් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ පහසුවෙන් නොවේ. සුළු රැකියා පවා කරමින් ඉතා කැපවීමෙන්ය. එපමණක් නොවේ ඉගෙන ගෙන අවසානයේ බි‍්‍රතාන්‍යයේ ඇති සියලූම බැංකුවලට රැුකියාවක් වෙනුවෙන් ඉල්ලූම් කළේය. මේ බව එක් අවස්ථාවක ලෝස් ඇන්ජලීස් ටයිම් පත‍්‍රයට කියන හෙතෙම රස්සාවක් වෙනුවෙන් නොයෙක් සිල්ලර දේ මුහුදු වෙරළේ පවා විකුණමින් සිටි අතර අවසානයේ දී මර්චන්ට් බැංකුවක රස්සාව ලබා ගත් හැටි සහ එය පදනම් කරගෙන තවත් ඉගෙන ගත් ආකාරය පැහැදිලි කර තිබේ. වැදගත් වෙන්නේ සොරොස් තමන්ගේ පුද්ගලික දර්ශනය හදාගත් ආකාරයය. දාර්ශනික අදහස් ඇතිව වියපත් වූ හෙතෙම මුලින් ප‍්‍රසිද්ධ වෙන්නේ ඉදිරිගාමී ලිබරල් අදහස් ප‍්‍රකාශ කරන වියතෙකු හැටියටය. නිව්යෝක් නගරයේ දී ආයෝජන සහ මූල්‍ය ක්ෂේත‍්‍රයට අත තියන හෙතෙම ක‍්‍රමයෙන් ඉතා ධනවත් සහ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ආයතන ගණනාවක ප‍්‍රධාන තනතුරු උසුලන ඉහළම කෙනෙකු බවට පත් වෙයි. ප‍්‍රකට සහ කීර්තිමත් පුද්ගලයෙකු බවට පත්වන්නේ බි‍්‍රතාන්‍ය මහ බැංකුවේ මූල්‍ය උපාය මාර්ග අඩපණ කරන ආකාරයට තනි පුද්ගලයෙකු වශයෙන් සොරොස් පළ කළ දුරදර්ශී ආයෝජන රටාව වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් ඉතාම කෙටි කලකින් උපයාගත් අවස්ථාවක් හැටියට ඔහුගේ ජීවිත කතාව අධ්‍යනය කරන විට ස`දහන් වෙයි.

සෙරොස් උනන්දු වෙන්නේ ලෝකයේ පවතින තත්ත්වය වෙනස් කරන්නටය. විශේෂයෙන් නැගෙනහිර යුරෝපයේ රටවල් වාමාංශික පැති වලින් මිදී දක්ෂිණාංශික ප‍්‍රතිපත්ති වලට අවතීර්ණ වන විට සොරසේ ඒ වෙනුවෙන් දිරි දෙයි. සිය ධනය වියදම් කරගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කරයි. නැගෙනහිර ආසියානු අර්බුදය අවස්ථාෙවිදී ආයෝජකයන් තම රටෙන් ධනය ඉවත් කරගන්නා විට එවකට මලයාසියානු නායකයාවු මහතීර් මොහොමඞ් චෝදනා කලේ ජෝර්ජ් සොරොස්ටය. ඔහු සොරොස් රාක්ෂයකු ලෙස හැදින්විය. නමුත් සොරොස්ගේ පිළිතුර වුයේ ආර්ථිකයේ දුර්වලතා නැත්නම් තමන් වැනි ආයෝජකයන්ට ආර්ථිකයේ අපහසුතා ඇති කරන්නට කිසිදු හැකියාවක් නැතිබවය. ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිපත්ති වෙනුවෙන් ජෝර්ජ් සොරොස් පෙනී සිටියේය.

මෙයින් දශක දෙකකට කලින් ජොර්ජ් සොරොස් වැනි පුද්ගලයෙකුට තමන්ගේ ධනය යෙදා ආර්ථික ක‍්‍රම පරිවර්තනය කරනන්ට ඉඩ හැදෙන්නේ නැත සහ මුලින්ම රාජ්‍ය බලය බලවත්ව තිබූ එම වකවානුවේ සොරොස් වැනි පුද්ගලයෙකු හුදෙක් ධනපතියෙකු පමණකි. නමුත් වර්තමාන සමාජ රටාව ඔහුගේ දැක්ම ලෝකයේ යහපත වෙනුවෙන් ආයෝජනය කරන්නට ඉඩ දෙයි. හෙතෙම මුල් කාලයේ දී පෙනී සිටියේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන්ය. ඒ වෙනුවෙන් සිය අරමුදල් වල තිබූ ධනය වියදම් කරන්නේය. දැන් රාජ්‍යයන්හි යහපත් පාලනය මාධ්‍ය නිදහස, මානව ගුණාංග වැනි පැති තෝරාගෙන ඒ වෙනුවෙන් වැඩි වශයෙන් උපකාර කරන බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි. හෙතෙම තාර්කික චිනිතනයකින් හෙබි විද්වතුන් බිහි කිරීම අරමුණු කරගෙන මධ්‍යම යුරෝපීය විශ්ව විද්‍යාලය බිහිකරයි. ඇමරිකාව, අපි‍්‍රකාව සහ ආසියාවේ පුනරුදය වෙනුවෙන් හුදෙකලාව පෙනී සිටියි. එහි උපරිම උවමනාව වෙනුවෙන් විවෘත සමාජ පදනම නොඑසේ නම් ඕපන් සොසයිටි බිහිකරයි. එහි දී සීමාවක් නැතිව නොයෙක් දක්ෂතා සහිතව සමාජ පරිවර්තනය ඉලක්ක කරගෙන අලූත් ව්‍යාපෘති සඳහා මුදල් බෙදා දෙන්නට තීරණය කරයි. 1979 සිට 2015 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන එකොලහකට වැඩි මුදලක් මෙවැනි යෝජනා වෙනුවෙන් වියදම් කර ඇති බව ප‍්‍රකාශ වෙයි.

ඔහු කියන ආකාරයට ඔහුගේ ජීවිතය වෙනස් කරන්නේ මූල්‍ය වෙළඳපොලයි. එයින් උපයාගත් දේ අන්‍යයන්ගේ විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතිවාසිකම් පමණක් නොව මුලූ ලෝකයටම වැදගත්වන ආකාරයේ විවිෘත සමාජයක් වෙනුවෙන් යොදවමින් සිටී. මෙම සංකල්පය ඇතිවෙන්නේ 1980 ගණන් වලය. එදා සිට මේ දක්වා කිසිම බැඳීමකින් හෝ කිසිම ප‍්‍රශ්න ඇති කිීරීමකින් තොරව ලෝකය යහපත් තැනක් කරන්නට සොරොස් පදනම උදවු කර තිබේ. එහි එකම අරමුණ පොදු ජනතාව තුළ වටිනාකම් ඇති කිරිමය. මහජන හඞ මතු කිරීමය. රටවල් තුළ බලපවත්වන දේශපාලන සටකපටකම් පරාජය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථික අතින් ශක්තිමත් විනිවිද භාවයක් ඇති කරන්නට සමත්වන දක්ෂ වැඩසටහන් සම්පාදනය කරන්නටය.

ලෝකය යහපත් තැනක් කරන්නට සොරොස් වෙහෙස වෙන්නේ ඇයි? එය වැදගත් ප‍්‍රශ්නයකි. ලෝකයේ බොහොමයක් තැන් අන්ධකාරයෙහි ගීලී පවතී. අප දකින ආලෝකය තුළ විවෘත භාවයක් නැති තැන් තිබේ. මේවා අනාවරණය වන විට ලෝකය යහපත් තැනක් වනු ඇත. ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ජෝර්ජ් සොරොස් කැමැති වෙන්නේ ඔහු සතු පුද්ගල දක්ෂතාවය සහ එම දක්ෂතාවය හමුවේ ලෝකයේ සියලූම රටවල් එය පිලිගෙන ඇති හෙයින්ය. ආණ්ඩුකරණය තුළ නිදහස්ව වැඩ කරන්නට ජෝර්ජ් සොරොස් ඉඩ කඩ ඇතිකරයි. එම ඉඩකඩ තුළ ජනතාව දැනුවත් වී දේශපාලන පෙරුලි සිදුවන විට එය ආණ්ඩු පෙරලා දැමීමක් ලෙස නොව ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් බව සිතනන්ට හෙතෙම සූදානම්ය. වැදගත්ම කාරණය එයයි. පුද්ගලිකත්වය ආයෝජනය කරන්නේ ලෝකය යහපත් තැනක් කරන අදහස ඇති අරඹුණෙන් හෙයින ලෝකයේ සෑම රටකින්ම ඇත්තේ පිළිගැනීමකි. විවෘත සමාජයක් හදා ලෝකය අලූත් කැනකට ගෙන යන්නට ඔහු දරන වෑයම ලෝකයේ සියලූ පාලකයන් දරන ආණ්ඩුකරනණයට වඩා වෙනස් එකක් වන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩකඩ විවර කර ගන්නට සමත්වීම ද අධ්‍ය්‍යනය කරන්නට සුදුසු කාරණාවකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.