» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/11/2016 - දේශය
මරණයෙන් වසර 27කට පසු වීරයෙකුවූ මාකෝස්

පර්ඩිනැන්ඩඞ් මාකෝස් පිලිපීනයේ වීරයන් ගේ ලැයිස්තුවට එකතු වෙන්නට වරම් ලබා තිබේ. දශක දෙකක් හෙතෙම පිලිපීනය පාලනය කළේය. බලයට ආවේ ප‍්‍රජාතක්ත‍්‍රවාදීවය. නමුත් අන්තිම කාලයේ දී බලය අයුතු ලෙස භාවිතා කිරීම, දුෂණය හා ජනවිරෝධය නැගුණු පාලනය නිසා ඉතා අප‍්‍රියජනක පාලනයෙකු බවට පත්විය. ජනතා විරෝධය බලයත්ව නැගිණ. මහා බලයක් ගොඩනගාගෙන සිටි ඔහුගේ පවුලේ අය ඇතුළු සියළු දෙනාට රටින් පලායන්නට සිදුවූයේ ජීවිතය බේරා ගන්නටය. නමුත් චක්‍රය ආපසු කැරකෙමින් තිබේ. දුෂිතයෙක සහ රාජ්‍ය දේපොල කොල්ලකමින් රට විනාශ කරන ලද බවට චෝදනා ලැබ රටින් පිටුවහල්ව හුදෙකලාව ජීවිතක්ෂයට පත් මාකෝස් දැන් රටේ ජාතික වීරයන් ගේ නාම ලේඛනයට ඇතුලත් ව සිටී.

මරණයෙන් අවුරුදු විසි හතකට පසු ඔහුගේ නමට අස්වැසිල්ලක් ලැබෙන මෙම අවස්ථාවේ දී තේරුම්ගත යුතු යමක් තිබේ. චරිතයක් කළු යැයිහදුන්වා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන්නට ඉක්මන් විය යුතු නැත. කාලය ඇවෑමෙන් තත්ත්වය සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙන්නට ඉඩ තිබේ. පලවා හරින නායකයන් නැවත අභිශේක කරන පසුබිම හැදෙන්නේ පොදු ජනතාව සහ ඔවුන්ගේ අභිලාශ සම්බන්ධව පවතින තත්ත්වය වෙනස්වන ආකාරය පිළිබිඹු කරමින්ය.

මාකෝස් 1965 අවුරුද්දේ සිට 1986 දක්වා එක දිගට පිලිපීනයේ ජනාධිපති ධුරය හෙබැවීය. මුලින් හොඳම පාලකයා වූ හෙතෙම පසුව නැගෙන ජනවිරෝධය හමුවේ ආඥාදායකයෙකු වෙයි. 1972 සිට ජනතාව නැගී බලයෙන් පහ කරන තුරු ඔහු රට පාලනය කරන්නේ මිලිටරි බලයෙන්ය.

මාකෝස් ගේ දේශපාලනය දීර්ඝ ඉතිහාසයක් ඇති එකකි. 1949 සිට අවුරුදු දහයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද අතර එතැන් සිට වසර හයක් සෙනෙට් මණ්ඩල නියෝජිතයෙකි. අන්තිම අවුරුදු දෙක සෙනෙට් ප‍්‍රධානියා විය. මාකෝස් සිය ජීවිතයේ මුල් භාගයේ ඇමරිකානු හිතවත් පාර්ශවයේ භටයෙකු බව ආඩම්බරයෙන් කියා ඇත. ඔහු ම යුද වීරයෙකු බවට හඳුන්වා ගනී. පසුව ඇමරිකානු ආරක්ෂක ලේඛන එම සඳහන අසත්‍ය එකක් යැයි අනාවරණය කර ඇත. නමුත් එම පසුබිම නොසලකන වත්මන් පාලනය පිලිපීනයට 1993 ගෙන එන ලද ඔහුගේ දේහයට යුද වීරයෙකු සේ සලකා එරට වීරයන් මිහිදන් කරන තැන සැතපෙන්නට අවසරය නිකුත් කර තිබේ. අධිකරණය ඒ වෙනුවෙන් පසුගිය සතියේ අනුමැතිය දී ඇති අතර මාකොස් ගේ බිරිඳ ඉමෙල්ඩා සහ ඔහුගේ පුත් බොන්ග් බොන්ග් නැවත පිලිපීනයට පැමිණ සක‍්‍රීය දේශපාලනයෙහි නිරත අතර මෙකී පරිවර්තනයෙහි පසුබිම එතැනය.

ඉමෙල්ඩා අද වන විට මැනිලා නගරයේ ආණ්ඩුකාරවරියයි. මාකොස් ජනතා නැගිටීමෙන් පසු එලවා දමන විට ඉමෙල්ඩා සතුව තිබුණ සපත්තු ජෝඩු ප‍්‍රමාණය පමණක් තුන්දහසක් බව මාධ්‍ය සිරස්තල මැවූ ප‍්‍රවෘත්තියක් වූ අතර යකඩ සමනලිය සේ හැඳින්වුන ජනතාව අප‍්‍රමාණ දුක් විඳීද්දී ඇය සුර සැප සහිතව ජීවත්ව සිටි බව මාකෝස් පවුලට එරෙහිව ප‍්‍රචාරය වූ ප‍්‍රධාන කාරණයකි. ඇය සතුව තිබූ ඇඳුම්, ස්වර්ණාභරන සහ අසීමිත මුදල් වියදම් කරමින් කළ විදේශ සංචාර වලට මහත් ප‍්‍රචාරයක් ලැබුණි. රටින් පලා ගොස් සිටි ඇය ආපසු එන්නේ 1991 වසරේදීය. ජනාධිපතිවරණයට තරග කරන නමුත් පරාජය වෙයි. පසුව මහජන කැමැත්තෙන් හතර වතාවක් ඡන්ද වල දී ජය අත් කරගත් අතර ආණ්ඩුකාර ධුරය හොබවන්නේ පරණ චෝදනා සහමුලින්ම අමතක කරන ලද පසුබිමකය. ඇයගේ පුත් බොන්ග් බොන්ග් පවා දේශපාලනයෙහි නිරතය. හෙතෙම 2010 වසරේ දී සෙනෙට් මණ්ඩලයට පත් වූ අතර එයින් අවුරුදු හයකට පසු උප ජනාධිපති තරගයට ද ඉදිරිපත් වෙයි. ඔහු පරදින්නේ ඉතා සියුම් තරගයකට පසුවය.

ආයෙත් රටේ වීරයෙකු වෙන තැන සිටින මාකෝස් සිය නායකත්ව ගමන පටන්ගත් තැන සිට රට ඉදිරිට ගෙන ගියේය. දීර්ඝ පාලන කාලය තුළ සංවර්ධන යෝජනා කි‍්‍රියාත්මක කළේය. ඇමරිකාව ඔහුට උපකාර කළේය. සීතල යුද්ධය පැවැති වෙලාවේ ඇමරිකාවට පක්ෂ ප‍්‍රතිපත්ති අනුගමනය කරන ලද මාකෝස් පිලිපීනයේ ප‍්‍රධාන තැන් ඇමරිකාවට රිසි පරිදි මෙයෙවන්නට ඉඩ දුන්නේ ලෝක බලවතා සේ නැගෙන්නටය. රට තුළ වාමාංශික අදහස් වලට ඉඩ දුන්නේම නැත. නමුත් ඒ වන විට වර්ධනය වෙමින් තිබුණ ජන බලයට නායකත්වය දුන් විපක්ෂ නායකයාව සිටි අඛිනෝ ගේ ඝාතනය සමග සියල්ල ආපසු හැරෙන්නට පටන් ගත්තේය. එය මාකෝස් ගේ වැඩක් බවට අදහස් පැතිර ගියේය. ආයෝජකයන් නැගෙන තත්ත්වය දෙස බලා පැත්තකට වෙන්නට පටන් ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තිබුණ විදේශ සඑාය අනපේක්ෂිතව සීමා විය. විදේශ ණය අඩු වූ අතර පොලී ඉහළ ගියේය. රට තුළ නැගෙන විරෝධය මත ඇමරිකානු සහාය ද පියවරක් පසුපසට ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. අපනයන අඩුවීම මත ගෙවුම් ශේෂය පාලනය කරගත නොහැකි වූ අතර දුප්පත්කම තව තවත් පැතිරෙන්නට පටන් ගත්තේ මෙම ආර්ථික පාලනයෙහි පැන නැගුණු තත්ත්ව සමගය. ආර්ථිකය දුබල වී ජනතාව අප‍්‍රමාණ දුක් විඳීන අතර මාකෝස් පවුලේ සුඛ විහරණය මහා ආවේග වලින් යුක්තව සමාජය තුළ පැතිිරී ගියේය. ජනතා නැගිටීම ඇති වූයේ එතැනින්ය.

දරදඞු මිලිටරි පාලනය, මාධ්‍ය පාලනය, ව්‍යවස්ථාව සම්බන්ධව නැගණු අදහස් අවසානායේ දී රට නොසන්සුන් කරන ලද අතර රට පුරා තැනින් තැන බෝම්බ පුපුරමින් විශාල අර්බුදයක් මතු කළේය. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය බරපතල අනතුරැ ඇඟවීම් කළේය. මෙම උණුසුමට උත්තරයක් වශයෙන් හදිසි මැතිවරණයක් කැඳවා යළි ප‍්‍රතිඵලයක් ලැබූ නමුත් මහජනතාව එය ප‍්‍රතික්ෂේප කළේය. තත්ත්වය බරපතල වන විට මාකෝස් හවායි යට පලා ගිය අතර පිලිපීනයේ අලූත් පාලනය අත්පත් කර ගත්තේ ඝාතනයට ලක් වූ අඛිනෝ ගේ බිරිඳ කොරසෝන්ය. ඇය බලයට පත්ව සොයා අනාවරණය කරන ලද කරුණු අනුව ඩොලර් බිලියන ගණනින් රටින් බැහැර කර ඇති අතර මහා ධන විනාශය පිලිපීනය අසරන කරන ලද බව හෙළිදරව් කරන ලද්දේය. කොමිසමක් පනවා අධිකරණයට ගොස් මාකෝස් පවුල කරන ලද හානිය සලකා ධනය රජයට පවරා ගත් අතර මානව හිමිකම් නඩු වලින් ද ඔවුන්ට ලැබුණේ බලවත් අප කීර්තියකි.

ඉමෙල්ඩා මාකෝස් ඇමරිකාවේ සිට නැවත පිලිපීනයට එන්නේ 1991 දීය. ඇය දේශපාලනයට ප‍්‍රවේශ වෙයි. මාකෝස් පවුලේ හිතවතුන් සමග එකතුවන ඇය එයින් අවුරුද්දකට පසු පවත්වන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අතර හත් දෙනෙකුගෙන් යුතු තරගකරැවන් අතර පස්වැනියා වෙයි. එය හොඳ පදනමක් විය. රටට ගෙන්වන ලද ස්වාමිපුරුෂයාගේ දේහය පිලිපීනයේ විරුවන් අතර තැන්පත් කරන්නට පසුබිම හදා ගන්නේ සමාජ එකඟතාව පමණක් නොව නෛතික පසුබිම ද හදා ගනිමින්ය. කොන්ග‍්‍රස් සාමාජිකාවක් බවට පත්වන ඇය සිය දරුවන් ද දේශපාලනයට ගනී. පුතා දුව දෙදෙනාම දැන් ජනතා නියෝජිතයන්ය. පිලිපීන වැසියන් ඉක්මනින් අතීතය අමතක කර තිබේද? නැත. අධිකරණය මාකෝස් ගේ දේහය වීරයන්ගේ සුසානයේ තැන්පත් කරන්නට අවසර දෙන විය මහජනතාව පාරට බසී. වත්මන් ජනාධිපති කියන්නේ ඔහු යුධ වීරයෙකු නම් වීරයෙකු බව පමණකි. ජනාධිපති ඩුටාර්ටේ පවා පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට එරෙහිව සටනකට බැස ඇති අතර මුළු ලෝකයම විරුද්ධ නමුත් සැකකරුවන් මරා දමමින් පාවිච්චි කරන්නන්ට දඞුවම් දෙමින් සිටී. පිලිලීනයේ තත්ත්වය දෙස ජාත්‍යන්තරය පලා සිටියි. පාලකයන්ගේ කලූ හෝ සුදු බව බෙදා වෙන්කරන්නට හදිස්සි විය යුතු ඇය නැති බව නිරීක්ෂණය කළ හැකි කාරණයකි.