» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/08/2017 - දේශය
නිල කටයුතු වලින් ඉවත්වන පිලිප් කුමාරයා

ජීවිතයේ අනු හය අවුරුද්ද පසු කරන අවස්ථාවේ දී එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමාරයා නිල කාර්යයන්ගෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. එම ප‍්‍රකාශය ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. ඔහුගේ ආර්යාව එළිසෙබත් මහ රැජන අනු එක්වැනි වියේ දී ද රාජ්‍ය තාන්ත‍්‍රික කාර්යයන්හි නිරතය. මෙම යුවල ඉතාම දීර්ඝ කාලයක් පරෙස්සමෙන් නිල කටයුතු වල නිරත වූ බවට බි‍්‍රතාන්‍යයේ ඡේෂ්ශ්ඨ පුරවැසියන් අතර පිලිගැනීමක් තිබේ. පිලිප් කුමාරයා ගේ තීරණයට එළිසෙබත් රැජන සම්පුර්ණ සහාය පළ කර ඇත. මෙම තීරණය අනුවව ඉදිරි සති කිහිපය තුළ තෝරාගත් නිල කාර්ය වලට සම්බන්ධ වනු ඇති අතර ඉනික්බිතිව සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සැලසුම් කර තිබේ.

පිලිප් කුමාරයාගේ නිල කාර්යයන්ගෙන් ඉවත්වන තීරණය අනුව ඔහු මේ වන විටත් උසුලන එකිනෙකට වෙනස් ආයතන 780 කට වැඩි ප‍්‍රමාණයක ධුර වල සක‍්‍රීය සේවා වලින් පැත්තකට වන බව සඳහන් වන අතර එසේ නමුත් රාජකීය පවුලේ සාමාජිකයෙකු වශයෙන් අඛණ්ඩව පැවරෙන සම්භාවනීය අවස්ථාවන් හි පෙනී සිටින්නට නියමිතය. පිලිප් කුමාරයා යැයි ආමන්ත‍්‍රණය කරන නමුත් සාමාන්‍යයෙන් බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු විශ‍්‍රාම ගැනීමේ වයස පසුකර තවත් වසර තිහක් වැඩ කර ඇති වැඩිමහළු ආදිපාදවරයා කොපමණ නිල කාර්යයන් වෙනුවෙන් පෙනී සිටිනවා ද යත් රාජකීය පවුලේ වඩාත්ම කාර්ය බහුල පුද්ගලයා සේ හැඳීන්වෙන බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේ පමණක් දින එකසිය දහයක නිල කාර්යයන් හි නිරත ව ඇති අතර ඔහුගේ දිනපොත පිරික්සා වාර්තා ගැන කතා කරන්නට පටන්ගෙන ඇති ජාත්‍යන්තර මාධ්‍ය වලට අනුව හෙතෙම රැජන සමග විවාහ වූ පසු වසර හැත්තෑවක් ඇයගේ සෙවනැල්ල සේ සියළු දේ වෙනුවෙන් පෙනී සිට ඇත. විචාරකයන්ට අනුව රැජන සිය රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවල යෙදෙන අතරවාරයේ එතුමියට ඒ වෙනුවෙන් සියළු අවකාශයන් විවෘත කරනු සඳහා ගෙදරදොර වගකීම් සම්පූර්ණයෙන් භාරගත්තේ පිලිප් කුමාරයාය. හෙතෙම විශ‍්‍රාම නිවේදනය කරන තෙක් ලෝකය පුරා විවිධ නිල උත්සව විසි දෙදහසකට වඩා සහභාගී වී ඇති අතර පවත්වන ලද දේශන ගණන 5,493 ක් බව දක්වයි. 1956 දී එඩින්බරෝ තිළිණ ප‍්‍රදාන වැඩ සටහන හදුන්වා දුන් කුමරු එයින් වඩාත් දක්ෂතා පෙන්වන තරුණන් ඇගයීමට ලක් කරන අතර ලෝකයේ රටවල් 141 ක එය ඉහළින් පිලිගන්නා වැඩසටහනක් බවට පත්ව තිබේ. 1981 සිට අවුරුදු පහලොවක් ලෝක වන සත්ව අරමුදලේ සභාපති ධුරය උසුලන ලද අතර එය ඔහු මහත් ඇල්මෙන් ක‍්‍රියා කරන ලද ක්ෂේත‍්‍රයක් බව දැක්වෙයි.

පිලිප් කුමාරයා ගේ තරුණ විය සරලය. හෙතෙම ග‍්‍රීසියේ උපත ලබන අතර කෙටි කාලයකින් දෙමාපියන්ගේ ජන්ම භූමියට පැමිණ තිබේ. ප‍්‍රංශය, ජර්මනිය හා එක්සත් රාජධානයේ අධ්‍යයනට ලැබූ හෙතෙම 1939 දී එනම් වය අවුරුදු දහ අට සම්පූර්ණ වන විට රාජකීය නාවික හමුදාවට එකතු වී තිබේ. දෙවන ලෝක මහා යුද්ධයේ දී පැසිපික් කලාපයේ සේවය කරන ලද අතර යුද්ධය අවසන් වූ පසු ජෝර්ජ් රජතුමා තම දියණිය වූ එලිසෙබෙත් කුමරිය දහතුන් හැවිරිදි වියේ පසුවන සමයේ සිට සම්බන්ධකම් පවත්වන ලද පිලිප් සමග විවාහ වන අවසරය දී ඇති බව දැක්වෙයි. රාජකීය විවාහයට කලින් පිලිප් කුමරු නාවික සේවයෙන් ඉවත් වූ අතර පසුව රාජකීයත්වය අනුව නැවතත් එහි ඉහළම තනතුරට පත්වීමේ වරම ලැබීය. දරුවන් හතරදෙනෙකගේ දයාබර තාත්තා වන පිලිප් කුමාරයා අද මුණුබුරු මිණිබිරියන් අට දෙනෙකුගේ සහ මී මුණුබුරු මිණිබිරියන් පස් දෙනෙකුගේ ගෞරවයට පාත‍්‍ර වී සිටී. අද වන විට හෙතෙම රාජකීය පවුලක පිරිමි සාමාජිකයන් අතරින් වැඩිම වයස්ගත කාලයක් ජීවත්වන අසිරිමත් තැනැත්තා වශයෙන් ද අභිමානයට පත්ව ඇත.

චාර්ල්ස් ඩයනා සියවසේ විවාහය වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වන්නේ පිලිප් කුමාරයාය. එසේම ඛේදජනක ලෙස දෙදෙනා වෙන්ව පසුව දික්කසාදය දක්වා ගමන් කරන විට එය වලකන්නට ද මහත්සේ මහන්සි වූයේ ද ඔහුය. ඩයනා කුමරිය එය ගැන වෙසෙසින් දක්වා ඇති අතර රැජන හා පිලිප් කුමාරයා එකතුවී දෙදෙනා සමගි කරන්නට උත්සුක වූ බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. එය නිල කාර්යයන්ගෙන් විශ‍්‍රාම ලබන පිලිප් කුමාරයාගේ හිත තුළ ඇති කනස්සල්ලක් බව නොඅනුමානය.

වයස අවුරුදු අනූව සම්පූර්ණ වන විට පිලිප් කුමාරයා කියා සිටියේ ‘‘ මම වැඩ ටිකක් කළා දැන් ඉතින් විවේක ගන්නට කාලයයි’’යනුවෙන්ය. නමුත් එදින ඔහුට නාවික හමුදාවේ ඉහළම ධුරයෙන් සම්මානනීයත්වයට පත්කරයි. එය හුදෙක් රැජනගෙන් ලැබුණ පදවියක් නොව ධුරයට සුදුසු හෙයින් පිරිනැමුණක් බව අවිවාදිතය. හෙතෙම පෝලෝ ක‍්‍රිඩාවට කැමැතිය. අශ්ව රථ ධාවනයට ද රුචිකත්වයක් දක්වයි. වයස හැත්තෑව සම්පූර්ණ වන වකවානුවේ දී ගුවන් පැය පන් දහසකටත් වඩා ගුවන් යානා පදවන ලද නියමුවෙකු බව ද සඳහන් වීම විශේෂත්වයකි. පිලිප් කුමාරයා දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකු ද වෙයි. ඔහු විසින් අඳීන ලද එලිසෙබත් රැජන උදෑසන ආහාරය ගන්නා අවස්ථාව යන තෙල් සිතුවම විශාල අවධානයකට ලක්වූ එකකි. කුමාරයා සතු කාටුන් හා චිත‍්‍ර එකතුව මහත් බව ප‍්‍රකට කාරණයකි.

රජ පවුලේ ගාම්භීරත්වයට සමාන්තරව සරල සාමකාමී පුද්ගලයෙකු ජීවත්වන බව ඔහු ගැන අදහස් දක්වන විද්වත්හු කරුණු දක්වා තිබේ. සමහර අවස්ථාවල දී සරල කටට ආ දේ සැහැල්ලූවෙන් කියන අතර එයින් සිදුවන පල විපාක ගැන රාජ්‍ය තාන්ත‍්‍රිකව අවධානය යොමු නොකරන බව ද දක්වන ප‍්‍රබල කරුණකි.

පිලිප් කුමාරයා බි‍්‍රතාන්‍ය රාජකීයත්වයේ උසුලන සාඩම්බර තානාන්තරය ජගත් ප‍්‍රජාව නොයෙක් අවස්ථාවල ඇගයීමට ලක් කර ඇත. ලෝකයේ නන් දෙසින් එකිනෙකට වෙනස් සම්මාන උපහාර එතුමන් වෙත ලැබී තිබේ. දකුණු පැසිපික් හි ටෙනා නමැති දූපතක වැසියන් ඔහු දෙවියෙකු සේ නම්කර ඇති අතර එය එක්තරා විශේෂ පිලිගැනීමක් බවට පත්ව ඇත. පිලිප් කුමාරයා චිත‍්‍රපට කිහිපයක රඟපා තිබේ. ඔහුගේ සහ රාජකීය පවුලේ විත්ති අලලා ලියැවුණ පොත පත සෑහෙන ප‍්‍රමාණයකි. ඒවායෙන් මෙම අපූරු චරිතයේ විවිධ පැති අපූරුවට විදහා දක්වා ඇත.

බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය මෙම විශිෂ්ඨ පුද්ගලයා නිල රාජකාරි වලින් ඉවත්වීමේ නිවේදනය වෙනුවෙන් සදහන් කර ඇත්තේ ඔහුගේ අනාගතය වෙනුවෙන් ගත් තීරණය පැසසුමට ලක් කරන බවය. එරට දේශපාලන, සමාජ හා ආගමික නායකයින් දිගින් දිගටම සුබ පැතුම් එක්කරන අතර කරන ලද සේවාව අගයමින් සිටී. වරක් ඔහු හදවත් රෝග ප‍්‍රතිකාර ගත් අතර පිලිකාවක් යැයි කලකට පෙර පැතිරගිය දුෂමාන ආරංචියක් ද ප‍්‍රතික්ෂේප වූයේ හෙතෙම හොඳ නිරෝගී සුවයෙන් ඉන්නා බව තහවුරු කරමින්ය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල නායකයෝ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල් වලින් ඔහුට නිරෝගී සුවය හා නිස්කාන්සුව ප‍්‍රාර්ථනය කරන්නට පටන්ගෙන ඇත.