» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/05/2018 - දේශය
නැවතත් ජනතාව හමුවට පැමිණි මහතීර් මොහමඞ්

මලයාසියාවේ මහ මැතිවරණයෙන් පසු අනූ දෙහැවිරිදි වෛද්‍ය මහතීර් මොහමඞ් නැවතත් එරට අගමැති ධුරයට පත් වන වරම හිමි කරගෙන තිබේ. දේශපාලනයෙන් ඉවත්ව විශ‍්‍රාම ජීවිතයක් ගත කරමින් සිටි මහතීර් වසර දෙකකට පමණ කලින් නැවතත් දේශපාලනයට එන බව නිවේදනය කළේය. ඔහු කියා සිටියේ රටේ සිදුවන දූෂණසහගත පසුබිම අනුව එය අකමැත්තෙන් නමුත් කරන්නට සිදුවී ඇති බවය. ජනතාව හමුවට පැමිණි මහතීර් අලූත් බලවේගයක් සංවිධානය කරන ලද අතර බලාපොරොත්තුවේ එකමුතුව වශයෙන් එය නම් කළේය. ‘‘මැතිවරණ ප‍්‍රතිඵලය සුළු බහුතරයක් නොව ප‍්‍රබල ජයක් බව’’ මහතිර් මොහමඞ් ජාත්‍යන්තර මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබේ. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම යන සටන් පාඨය සමග මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ මහතීර්ගේ ගමන සාර්ථක වී ඇති බව සඳහන් කළ යුතුය.

නැවතත් රට හදන්නට බලය ඉල්ලා සිටි මහතීර් පළමුවෙන් ඔහුගේ පක්ෂය වූ බරිසෙන් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්විය. වසර හැටක් රට පාලනය කළ එම පක්ෂය මහතීර් ගේ වසර විසි දෙකක පළමු පාලනයට ද ඉවහල් වූ පක්ෂයයි. එහි වර්තමාන ගමන අනුමත නොකරන බව මහතීර් පෙන්වා දුන්නේය. ජනතාවද එය අනුමත කර ඇත. අල්ලස හා දූෂණය තුරන් කරන වසර දෙකක පාලනයක් ගෙන යන බව මහතීර් දැනට ප‍්‍රතිඥා දී තිබේ.

1925 ජූලි 25 වැනිදා උපත ලැබූ මහතීර් උපන් ගමේ අබ්දුල් හමීඞ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගත්තේය. ඉංග‍්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන අතර වාරෙයේ දෙවන ලෝක යුද්ධය වකවානුවේ දී අධ්‍යාපනය කඩා කප්පල් වී තිබේ. එම කාලයේ වෙළඳ පොලක කෙසෙල් විකුණා ඇති බව ද කියැවේ. ඔහු ගේ පියා පසුව මහතීර් සිංගප්පූරුවේ එඞ්වඞ් රාජකීය වෛද්‍ය විද්‍යාලයට යවා ඇති අතර එහි අධ්‍යයන කටයුතු වලින් පසු රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් වසර තුනක් සේවය කර තිබේ. මලයාසියාව නිදහස ලබන කාලයේ වෛද්‍යවරියක විවාහ කරගෙන කුඩා පුද්ගලික රෝහලක් කරගෙන ගිය මහතීර් දිනපතාම පාහේ රට දියුණු කිරීම ගැන කතා කරන විට ‘‘කවුරු හරි අපිව පාලනය කරනවා නම් එදිනෙදා කන්න බොන්න ලැබෙනවා නම් වෙන දියුණුවක් මොනවාට දැයි’’ මැලේ වැසියෝ එකල උත්තර දී තිබුණි.

අලස, අනාගතයක් ගැන කල්පනා නොකළ ජන කොටස දෙපයින් නගා සිටුවා ලෝකයේ නමක් ඇති රටක් බිහි කිරීමට එය පදනමක් විය. මැලේ ජාතිකයන්ට තමන් ගැන හිතන්නට පොළඹවන ‘මැලේ ඩිලීමා’ යනුවෙන් පොතක් රචනා කරන හෙතෙම එය 1970 දී ප‍්‍රකාශයට පත් කළේය. මැලේ ජාතිකයන් අවදි කරන්නට එය හේතු වූ බව සැලකේ. විසි හැවිරිදි වියේ සිට දේශපාලන ක‍්‍රියාකාරයෙකු වූ අතර එක්සත් මැලේ ජාතික සංවිධානය පිහිටුවීය. 1964 වසරේ දී පාර්ලිමේන්තුවට එන හෙතෙම 1974 වසරේ දී පළමුවෙන් අධ්‍යාපන ඇමැති ධුරයට පත්ව ඇත. වසර දෙකකට පසු උප අගමැති ධුරයකට නිල වශයෙන් පත්ව සාර්ථකව කටයුතු කරන හෙතෙම අගමැති වශයෙන් පත්වීමෙන් පසු මුහුණ දුන් මැතිවරණ පහක් ජය ලබමින් තමන්ගේම කැමැත්තෙන් විශ‍්‍රාම යන තෙක් වසර විසි දෙකක් මැලේසියාව පාලනය කළේය.

මහතීර් ගේ සෘජු හා ඉක්මන් තීරණ මැලේසියාවේ ආර්ථික සහ සමාජ ජයග‍්‍රහණ වලට පදනම වූ බව පිලිගෙන හමාරය. එම කාලය තුළ මැලේ ජාතිකයන්ට යමක් කරන්නට පුලූවන් යන ආත්ම විශ්වාසය ඇති කර ධෛර්යවත් කරන පියවර ගත්තේය. පාලකයා වශයෙන් අගමැති කාර්යාලයේ නොසිටි හෙතෙම වැඩබිමට ගොස් කාර්යය නිසි සේ කෙරෙන්නේ දැයි පුද්ගලිකවම සොයා බැලීමට හුරු වී සිටියේය. වැඩ බිමේ ප‍්‍රගතිය මැන බලන සටහන් ප‍්‍රසිද්ධ කර තරගයක් ඇති කළේය. රජයේ ආයතන වල තිබුණ ප‍්‍රතිපත්ති වෙනස් කරන ලද අතර අලූත් අදහස් මගින් නිලධාරීවාදය පැත්තකට කරන්නට සමත් විය. එයින් ඔහුට විදේශ ආයෝජන ආකර්ශනය කරගන්නට හැකි විය. 1990 දී ආසියාවේ වඩාත්ම ජවාධික වර්ධනය වශයෙන් සනිටුහන් වූයේ මලයාසියාවයි.

මහතීර් මොහොමඞ් අගමැතිවරයාව සිටි කාලයේ මුණ ගැසුණ අවස්ථාවක දී තමන් ‘‘ප‍්‍රශ්නයක් දෙස බලන්නේ වෛද්‍යවරයෙකු රෝගයක් දෙස බලන ආකාරයට’’ බව මා සමග කියා සිටියේ ය. ‘‘ලෙඬේ හදුනාගත් පසු ප‍්‍රතිකාර කරන්නට පුලූවන් බව’’ ඔහුගේ අදහස විය. දේශපාලනයට එන්නට කැමැති තරුණන්ට අවවාදයක් වශයෙන් ‘ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව කරන්න’’ යනුවෙන් උපදෙස් දුන් හෙතෙම වැඩක් හරියට කර පෙන්වන කෙනෙකුට රටක් බාර දෙන්නට හැකි බව කියා සිටියේය. හෙතෙම අගමැති කබායේ ඉහළ කෙළවරේ නම සඳහන් කර ගෙන සිටි අතර රජයේ සේවය කරන සෑම කෙනෙකුටම නම හා තනතුර සඳහන් ලාංඡනයක් පැළඳීම අනිවාර්ය කර තිබුණි. නිලධාරීන්ගේ නම දැනගත් විට වැරදි කරන නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කරන්නට පහසු බව ද මහතීර් ගේ මතය වී තිබුණි.

ප‍්‍රබල නායකයෙකු වශයෙන් රට තුළ බලවත් පාලනයක් ගෙන ගිය මහතීර් යටතේ දෙවැනි පෙලක් ගොඩ නැගුණේ නැත. එහෙයින් ඔහුගේ මග පෙන්වීම යටතේ බලයට පැමිණ අගමැති ධුරය හෙබවූ නජීබ් බලයෙන් පහ කර අලූත් යුගයක් උදා කරන ප‍්‍රයත්නයට වග කියන්නට මහතීර්ටම සිදුවී තිබේ. ඔහුගේ දෙවැනි ධුර කාලයේ දී එයට උත්තර සපයනු ඇති දැයි ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයෝ සියුම් අවධානයකින් සිටින බව පෙනේ.

මලයාසියාව ස්වභාවික සම්පත්වලින් පොහොසත්වු රටකි. ඛනිජ තෙල් හා ලෝහ වර්ග පැවැති නමුත් මහන්සි වී කර්මාන්ත අරඹා රටක් වශයෙන් දියුණු වෙන්නට එරට වැසියන්ට උවමනාවක් තිබුණේ නැත. අද වන විට එරට ජනගහනය මිලියන තිහකි. ලෝකයේ වඩාත්ම ජනගහනය වැඩි රටවල් ලැයිස්තුවේ හතලිස් හතරවැනි තැන පසුවෙයි. මහතීර්ගෙන් පසු සාර්ථක සහ පරිනත නායකත්වයක් පෙන්වන්නට අපොහොසත්වූවෝ එරට වැසියන් ප‍්‍රතික්ෂේප කර ඇත. නැවතත් රට ගොඩ නගන්නට අත්දැකීම් සහිත ජ්‍යෙශ්ඨ නායකයා කැඳවා තිබේ. ජගත් ප‍්‍රජාව එය අසිරිමත් අවස්ථාවක් සේ දකී. මැතිවරණ කොට්ඨාශයක් පාසා ප‍්‍රතිඵල නිකුත්ව එක්තරා අවස්ථාවක මහතීර් ගේ ජය තහවුරු වන බව පෙනෙන විට ජනතාව පාරට බැස ප‍්‍රීති ඝෝෂා පවත්වමින් සතුට පළ කරන්නට පටන්ගෙන ඇත. ජනතාව සිය ජංගම දුරකථන වලින් නිල නොවන ප‍්‍රථිඵල සටහන් එහා මෙහා යවමින් උද්දාමයට පත්විය. මලයාසියාවේ වීරයා දිනේවා යනු වැඩි දෙනෙකුගෙන් නැගුණ එකම හඬ වි ඇත. නැගෙනහිර ආසියානු ආර්ථික අර්බුදය අවස්ථාවේද ලෝක ආධාර එපා කියමින් තමන්ගේම සැලැස්මකට අනුව හදිසි අවපාතයෙන් රට ගොඩගත් මහතීර් මොහමඞ් නැවත වටයකින් මලයාසියාව ඉසුරුමත් තැනකට පත් කරන වගකීම උසුලනු ඇතැයි එරට ජනතාව මහත් බලාපොරොත්තු සහගතව සිටින බව පෙනේ.