» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/03/2016 - දේශය
චෝදනා එල්ලවන හිටපු ජනපති ලූලා ද සිල්වා

දිළිඳු පවුලක උපන් සාමාන්‍ය අධ්‍යාපනය ලත් දරුවෙකු ලෝක අවධානය දිනාගත්තේය. බ‍්‍රසීලය ආර්ථික සහ සමාජයීය වශයෙන් ඉහළ තැනට ගෙන ආවේය. ඔහු ජන නායකයෙකු වෙතැයි අනූ ගණන්වල කිසිවෙකු සිතන්නට නැත. නොසිතූ ආකාරයට බ‍්‍රසීලයේ නායකත්වයට කැඳවූ ලූලා ඩි සිල්වා අද මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ලැබ සිටී. ඔහු පමණක් නොව බිරිඳ සහ දරුවන්ගෙන් ද ප‍්‍රශ්න කරමින් සිටී. රටක් හදන කාලයේ ජනතාන්ත‍්‍රිකත්වයට පත් වූ හෙතෙම අද ලෝකයේ සානුකම්පිත චරිතයක් බවට පත්ව තිබේ. ලූලා ද සිල්වා නැවතත් 2018 වන විට එරටේ නායකත්වයට එන්නට ඉඩ ඇතැයි යන උපකල්පනය මත ඔහු බලයේ සිටි කාලයේ කරන ලද බව කියන වැරදි ගැන දැන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නට සූදානම් වෙයි. ජාත්‍යන්තර ප‍්‍රජාව බලවත් අවධානයකින් සිටින්නේ සිදුවෙමන් පවතින දේ ගැනය.

පාපන්දු නිසා ජනප‍්‍රිය නමුත් ජගත් ප‍්‍රජාව බ‍්‍රසීලය දෙස බලා තක්සේරු කර තිබුණේ නිද්‍රාශීලී යෝධයෙකු හැටියටය. ඛණිජ තෙල්. ගෑස් කම්හල් බහුල, යුධ අවි නිපදවන, විශාල මානව සම්පතක් හිමි උතුරු අමෙරිකාවෙන් හරි අඩකට වඩා විහිදුණ භූමියක් හිමි රටක්වූ බ‍්‍රසීලය මෑතක් වන තුරු තමන්ගේ සම්පත් වලින් උපරිම ප‍්‍රයෝජන ගන්නා ආකාරය අවබෝධ කරගෙන සිටියේ නැත. කාලයක් ලෝකයටම ණය ගැති සහ ණය වාරික පවා ගෙවා ගත නොහැකි රටක් වශයෙන් අන්තර් ජාතිකව ප‍්‍රසිද්ධියට පත්ව තිබුණි. ලූලා ද සිල්වා වමට නැඹුරු අදහස් ඇතිව බලයට පත්වන්නේ එකී පසුබිමෙහි පැවැති රටටය. වාමාංශික අදහස් ඇතිව බලයට පැමිණි නමුත් ඒ වන විට ලෝක ආර්ථික රටාව හඳුනාගත් ලූලා නායකයෙකු වශයෙන් රට ගැන තීරණ ගත්තේය. එම තීරණ ධනවාදී සහ විවෘත ආර්ථිකයේ තරඟකාරී ලක්ෂණ සහිත විය. එකි තීරණ එවකට දුබල පැවැත්මක තිබූ බ‍්‍රසීලය දියුණුව කරා යොමු කරන හැරවුම් ලක්ෂ්‍යයක් විය.

ලූලා ද සිල්වා වෘත්තීය සටන් වලට නායකත්වය ගත්තේ පාසල් අධ්‍යාපනයෙන් අනතරුව ගත කළ කාලයේ දී බව සඳහන්වෙයි. මුලින් සුලූ රැකියා කීපයක් කළ හෙතෙම අන්තිමට ලෝහ කම්හලක කම්කරුවෙකු ලෙස සේවයට බැඳුනා. බ‍්‍රසීලයේ මිනිසුන් විඳින දුක හා පීඩාව අවබෝධ කරගත් ලූලා වෘත්තීය සටන් බිමට එක් වුනේ සමාජයේ වෙනසක් කරන අදහසින්. කම්කරු වෘත්තීය සමිතිය වෙනුවෙන් කැපවී වැඩ කළ මේ තරුණයා කාගෙත් හිත් දිනා ගත්තා. මේ නිසා සමිතියේ නොයෙක් තනතුරු දරන්නත් සිදුවුණා. ධනේශ්වර පාලකයන්ට විරුද්ධව වැඩ වර්ජන මෙහෙයුවා. අසාධාරණය වෙනුවෙන් උද්ඝෝෂණ කළා. වැඩි වැටුප් වෙනුවෙන් පාරට බැස්සා. වාමාංශික තරුණ නායක ලූලා හිර ගෙට නියම වුනා. වැඩ වර්ජකයෝ ලූලා ව නිදහස් කරන්න ඉල්ලමින් ආණ්ඩුවට බල කරන විට පාලකයො අසරණවුනා. ලූලා නිදහස් වුනේ ඉල්ලීම් දිනාගත් වීරයෙක් හැටියට. ඒ 1970 වසර. එයින් අට අවුරුද්දක් ගෙවෙන විට ලූලා කොතරම් ශක්තිමත්ද කම්හල් සියල්ලේම වෘත්තිය සමිති නායකයා බවට ඔහු පත්වුණා. ප‍්‍රතිපලය කම්කරු පක්ෂය නමින් අලූතින් දේශපාලන පක්ෂයක් බිහිවීම.

බ‍්‍රසීලය එවකට පවත්වාගෙන ගියේ හමුදා පාලනයක්. වරින් වර හමුදාව සහ පක්ෂ දේශපාලන ක‍්‍රමය හුවමාරු වුණා. හමුදා පාලනය නිසා යහපතක් වෙන්නෙ නැති බව අලූතින් බිහිවූ කම්කරු පක්ෂය ජනතාවට පෙන්වා දුන්න පළමු කාරණාව. විප්ලවකාරී අදහස් අනුව මහජනතාවගේ හිතට වදින ලෙස පවතින හමුදා පාලනයට විරුද්ධව අරගලයක් පක්ෂය ගෙන ගියා. අවුරුදු තිහකට පස්සෙ එරට මහජන ජන්දයෙන් නායකයෙක් පත්වුනා. ලූලාගේ අරගලය නතර වුනේ නැහැ. පත් කරපු ජනාධිපති මහජන මුදල් අයුතු ලෙස පරිහරනය කරන බවට චෝදනා කරමින් ලූලා ආයෙත් පාරට බැස්සා. ඒ 1992 වසරේදි. අවසානයේ ලූලා කම්කරු පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂකත්වයට පත්වුනා. ජනතාව අතරින් බිහිවුන වෘත්තීය සමිති නායකයා, තද වාමාංශික නැඹුරුවක් ඇති සාමාන්‍ය පවුලක දරුවෙක්, කම්කරුවෙක් වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

මේ වෙන කොට වම දකුණ හැටියට තිබුණ කඳවුරු බිඳිලා ලෝකය වෙනස්වෙලා කියන කතාව ගැන ලූලා සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඔහු කිව්වෙ ප‍්‍රායෝගික විසදුම් දෙන අලූත් මාවතක් තුන්වන ලෝකයට අවශ්‍ය බව. හෙතෙම ජනාධිපති ධුරාපේක්ෂකයා හැටියට ව්‍යාපාරිකයන් හා කම්හල් හිමියන්ව නොසෑහෙන්න විවේචනය කළා. සමාජයේ සෑහෙන්න ජනපි‍්‍රය වූ නමුත් විවේචනය පදනම් කරගෙන වමට නැඹුරුවීම විතරක් රටේ ජනාධිපති වෙන්න ප‍්‍රමාණවත් වූයේ නැත. පරාජය වූ ලූලා ද සිල්වා නැවත 2003 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවට කිව්වෙ ජාත්‍යන්තර ප‍්‍රජාවට ගෙවන්න ඇති ණය නොගෙවන බවයි. ණය ගෙවාගත නොහැකිව පීඩනයට පත්වෙලා හිටි රටක වැසියන්ට මේ අදහස විශ්මයක්. මේ කතාව නිසා බැංකු හා මූල්‍ය අංශ තුළ තිගැස්මක් ඇතිවුනත් මහජනතාව තුළ ඇති කළේ පිබිදීමක්. නමුත් ජන්දෙ දිනුවට ජස්සෙ ලූලා වැඩකළේ ලෝක ආර්ථිකයේ හැඩරුව අනුව. වමෙන් ආපු අලූත් ජනාධිපති දකුණට හැරෙන අන්දම මහජනතාව බලාගෙන හිටියා. ප‍්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන්නා. කම්කරු නීති, විශ‍්‍රාම, අධිකරණ හා ව්‍යාපාර අංශයෙන්හි සෑහෙන වෙනස්කම් කළා. දුප්පත්කම නැතිකරන්න අලූත් සැලසුම් හැදුවා. මේ මොනවද කරන්නෙ කියන විමතියෙන් කම්කරු පක්ෂයේ ප‍්‍රධානීන් විරෝධය පළ කළත් ඔහුගේ කැබිනට් මණ්ඩලය වැඩකලේ ලූලා ගේ දර්ශනය අනුව.

2011 අවුරුද්දේ දී ලූලා ද සිල්වා සිය වාර දෙකක පාලන කාලය අවසන්කර පිටත්ව ගියේ මම අසාර්ථක වුණා නම් එය වැඩකරන පැලැන්තියේ අසාර්ථකත්වයට හේතුවක් බව සඳහන් කරමින්. ලූලා ගෙන් පසුව බ‍්‍රසිලයේ ජනාධිපතිනිය වශයෙන් පත්වන්නේ ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ධුරය හෙබවූ රූසෙෆ් මහත්මියයි. දේශපාලනයෙන් ඉවත්වෙලා ටික කාලයක් පිලිකා රෝගයකින් පීඩා විදින ඔහු ගැන නැවත කතා කරන්නට පටන් ගන්නේ කම්කරු පක්ෂයේ ජනප‍්‍රියභාවය අඩු වීමත් එක්ක. කම්කරු පක්ෂයේ දීර්ඝ පාලන කාලය අවසන් කර දක්ෂිණාංශික පැත්තට බලය ආපහු ගන්න උවමනාව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබේ. එහි පියවරක් හැටියට දූෂණ වංචා ගැන ආන්දෝලනයක් හටගෙන ඇත. දේශපාලනඥයන් සම්බන්ධ ගෞරවය පිරිහී ඇති අතර ලූලා ද සිල්වා හිටපු ජනාධිපතිවරයා ද එයට ඉලක්ක වී තිබේ. වම සහ දකුණ අතර ඇති මෙම ගැටුම උත්සන්න වුවහොත් නැවතත් හමුදා පාලනයකට බ‍්‍රසීලය නතු වෙන්නට ඉඩ ඇති බව ද ජාත්‍යන්තර විචාරකයන් මතුකරන අදහසකි.

ලූලා ද සිල්වා හිටපු ජනාධිපතිවරයා ගේ කර්යාල ප‍්‍රධානී වශයෙන් කටයුතුකළ වත්මන් ජනාධිපතිනිය ඇතුළු වමේ බලවේගය ගෙදර යවන්නට නම් ලූලා ද සිල්වා කොටු කර ඔහු හිමිකරගෙන තිබූ ජනප‍්‍රසාදයෙන් ඉවත් කිරීම වැදගත් බව දක්ෂිණාංශිකයන් හිතන බව පෙනේ. එවකට බලයේ සිටිය දී එරට පෙට්‍රොබ‍්‍රාස් තෙල් සමාගමේ සැපයුම්කරුවෙකුම ජනාධිපතිවරයාට අයත් නිවාස වල අලූත්වැඩියාවන් කර අයුතු වාසි අත්පත් කරගත් බවට චෝදනා එල්ල කරන්නේ එහෙයින්ය. ලූලා ද සිල්වා මහතා කියා ඇත්තේ මේකියන දේපොල තමන්ගේ එකක් නොවන අතර තමන් නිවැරදි බවය. නමුත් වර්තමානයේ ලෝකය පුරා ඇවිලෙන දූෂණ රැල්ල බ‍්‍රසීලයේ ජනතාන්ත‍්‍රිකයෙකු වශයෙන් ඉහළ තැනක සිටි හිටපු ජනාධිපතිවරයාගේ නමට ද කලූ පැල්ලමක් එකතු කර තිබේ. බලය ගන්නට බලා සිටින කණ්ඩායම සමාජ වෛරය අවුලවන අතර එහි කෙළවර කුමක් විය හැකිදැයි නිශ්චිතවම කියන්නට හැකියාවක් නැත. හැත්තෑ හැවිරිදි ලූලා ද සිල්වා ගේ ඉරණම කවර ආකාරයකට අවසන් වනු ඇත් ද යන්න ගැන අවධානයෙන් සිටීම වැදගත්වනවා පමණක් නොව ලෝක නායකයන්ගේ ගමන කෙළවර වන ආකාරය සම්බන්ධ අලූත් රාමුව ද අධ්‍යයනය කරන්නට වටිනකාරණයකි.

ජනාධිපතිවශයෙන් ක‍්‍රියා කරන කාලය තුළ දී ද ලූලා ද සිල්වා මහතාට නොසෑහෙන්න අභියෝග එල්ල විය. විශේෂයෙන් තමන්ගේම දේශපාලන පක්ෂයෙන්. ඔහු අනුගමනය කරන ප‍්‍රතිපත්ති ගැන කැළඹීමක් තිබිණ. ආයෝජකයන්, ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය දිනාගන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවිය. පාලනය කළ කාලය තුළ හැම බලවේගයකම විශ්වාසය දිනාගත් හෙතෙම දැන් තවත් අභියෝගයක් හමුවේය. නායකයන්ට සහ නායකත්වයට අභියෝග එල්ල වෙන්නෙ නොසිතන ආකාරයටය. ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය අනුව ජන ගරුත්වයට පාත‍්‍රවෙති.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.