» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/11/2017 - දේශය
අජාන් බ‍්‍රාහ්මවම්සෝ හිමියන් ගේ ශාසනික මෙහෙවර

පූජ්‍ය අජාන් බ‍්‍රාහ්මවම්සෝ ථේරවාදී බෞද්ධ භික්ෂුවක වශයෙන් ලොව පුරා බොදුනුවන්ගේ ගෞරවයට හා අවධානයට ලක්ව තිබේ. බටහිර ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි බෞද්ධ සංසදයේ අධ්‍යාත්මික අධ්‍යක්ෂක වශයෙන් පෙනී සිටින හිමිපාණෝ එරට බුදු දහම අනුගමනය කරන වැසියන්ට මග පෙන්වීමෙහි නිරතව සිටිති. ස්වෝත්සාහයෙන් තමන්ගේ විහාරය ගොඩනගාගත් ආජාන් හිමියෝ බුදු දහමට අදාල සංස්කෘතික වටපිටාව පර්ත් හි ස්ථාපිත කළහ. එය පහසු කර්තව්‍යයක් වූයේ නැත. පියවරෙන් පියවර ස්වකීය අධිෂ්ඨානය හා කැපවීම ඔස්සේ පැමිණි ගමන එක්තරා විශේෂ සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ලක්ෂ සංඛ්‍යාත ලෝ වැසියනට බුදු දහමෙහි පවතින දර්ශනය උගන්වමින් සිටින පසුබිම තුළ අජාන් භාහ්මවම්සෝ හිමියන් ගේ පැවැත්ම ද අනන්‍ය එකක් බවට පත්ව ඇත. හිමිපාණන් ගේ අදහස් සහ දේශනා කරන තාර්කික විලාසය බොදුනු වැසියන්ගේ අවධානය දිනාගන්නට සමත්ය.

අජාන් හිමියෝ සිද්ධාන්තික කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව හැදෑරීය. උපාධියට පසු තව දුරටත් උසස් අධ්‍යාපනය ලැබූ අතර එයින් ඉනික්බිතිව තායිලන්තයේ දී අජාන් චුහා භික්ෂුව යටතේ ථේරවාද ධර්මය හැදෑරීම ඇරඹීය. එවකට වයස අවුරුදු විසි තුනකි. වසර නමයක අධ්‍යයනයට පසු 2009 වසරේ දී භික්ෂු ජීවිතයට ඇතුලත් විය. පර්ත් හි බිම් කොටසක් මිල දී ගෙන ධර්ම කාර්යය අරඹන ලද අතර එකතු කරගත් ධනයෙන් වඩා විශාල ගොඩනැගිලි රහිත ආශ‍්‍රමයක් තනා ගුරු හිමියන්ගේ නමින් නම් තැබීය. එය ගොඩනගන්නට අජාන් හිමියන්ම ශ‍්‍රමය යෙදවීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

හතලිස් වසරක අධ්‍යයන අත්දැකීම් සහිතව අජාන් හිමියෝ ලෝකයේ ඉහළම අලෙවියක් ඇති ධර්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රචනා කර තිබේ. භාවනාව හා සිත දියුණු කරගැනීමට ඇති මග ගැන කෘති සම්පාදනය කර ඇති අතර ඒ වෙනුවෙන් පවත්වන ලද දේශණා දහස් ගණනකි. අජාන් හිමියෝ එක්සත් ජාතීන් ගේ සංවිධාන මූලස්ථානයේ දී පමණක් නොව ගූගල් හා ෆේස්බුක් ප‍්‍රධාන කාර්යාල වල දී ද ස්වකීය දේශනා පවත්වා තිබේ. ජීවිතය සතුටින් ගත කරන්නේ කෙසේ ද යන්න ගැන ලෝකයේ රටවල් ගණනාවක දී දේශන පවත්වා තිබේ. හොංකොං හි දී පවත්වන දේශන මාලාව ඒ අතරින් ප‍්‍රධානය.

සාමකාමී වන්න ජීවිතවලට ආදරය කරන්න යනුවෙන් දේශනා කරන අජාන් හිමියෝ හදවත විවෘත කර නොතැවී ඉන්න යැයි ප‍්‍රකාශ කරති. අද වන විට ජන සමාජයේ අති විශාල පිරිසක් අසතුටින් ජීවත්වන අතර ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ අතර හිතන්නේ ඉතා ඉහළින් යැයි පෙන්වා දෙන ආජාන් වර්තමානයේ ඔබ වෙසෙන්නේ ඔබ ළඟා කරගන්නට ප‍්‍රයත්න දරන ඉහළම තැන නොවේ නම් දැන් ඉන්නා තැනට හුරුවෙන්න යැයි කියා සිටිති. පවතින ස්වභාවයට අපේක්ෂා ගලපා ගැනීමෙන් ජීවිතයට සතුට ළඟා කරගත හැකි බව ද පෙන්වා දෙයි. සාර්ථකත්වය සතුට නොවන බව අජාන් හිමියෝ දේශනා කර තිබේ. සතුට ළඟා කර ගැනීමෙන් පසු සාර්ථකත්වය කරා පැමිණි හැකි යැයි දක්වා ඇත.

බි‍්‍රතාන්‍යයේ දී උපත ලැබූ අජාන් හිමියන් හැට හය වියැතිය. ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන අතර සිංගප්පූරුවේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේ ද භාරකාරීත්වය උසුලයි. ඉතාම මෑතක දී බි‍්‍රතාත්‍ය අනාකම්පා භික්ෂුණී ව්‍යාපෘතියේ ආධ්‍යාත්මික උපදේශකත්වයට ද පත්ව තිබේ.

ඔස්ටේ‍්‍රලියාවේ බටහිර හා ගිණිකොන ප‍්‍රදේශවල බෞද්ධ සංකල්ප ජනගත කරනන්ට කැප වූ අජාන් හිමියෝ කාම්බෝජියාවේ දී 2002 පැවැති ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන ඇතුළු අන්තර්ජාතික සම්මේලන ගණනාවක් නියෝජනය කරන්නට ආරාධනා ලැබිණ. එම අවස්ථා වල දී නිරවුල්ව සහ ආකර්ශණිය අන්දමට බුදු දහමෙහි හරය විදහා දක්වන්නට සමත් වූ බව වාර්තා වෙයි.

දහම දේශනා කරන අතර පූජ්‍ය අජාන් බ‍්‍රාහ්මවම්සෝ හිමි දුකට පත් ජනතාව වෙත ගොස් කරන සැනසිලිදායක මෙහෙවර විශේෂ ඇගයීමට ලක් විය. හිරගත ව සිටි අය වෙත ගොස් ආදරය හා කරුණාව ගැන පණිවුඩය නිකුත් කළේය. සිත සුවපත් කරන්නට මග දැක්වූ අතර භාවනාව උසස් අභ්‍යාසයක් සේ හදුන්වා දී මානසික ශක්තිය ඇති කළේය. පිලිකාව ඇතුළු වේදනාකාරී රෝග වැළඳී ජීවිත බලාපොරොත්තු අත්හැර දමා සිටි නොයෙක් දෙනා වෙත සමීපව ජීවිතයට ආදරය කරන්නේ කෙසේද යන්න කියා දී වේදනාව වෙනුවට සැනසුම පහළ කරන්නට සමත්විය. පොදුවේ ජන ප‍්‍රජාව වෙනුවෙන් ඉටු කරන ලද උසස් මෙහෙවර අජාන් හිමියන්ගේ පැවැත්ම ලෝකය පුරා පතුරවන්නට බෙහෙවින් ඉවහල් වූ බව නිරීක්ෂණය කළ හැකිය.

2009 ඔක්තෝම්බර් මාසයේ විසි දෙවැනි දා අජාන් හිමියන් අලූත් තීරණයක් ගත් දිනයකි. එදින භික්ෂුණීන් හතර නමක් පැවැදිත්වය ලබා ගත් දිනයයි. ආජාන් හිමියෝ තවත් සහායක හිමි නමක සමග ගත් එම තීරණය දැඩි කතා බහට ලක් වූ අතර වසර දහස් ගණනකට පසු ථේරවාදී ශාසනය තුළ භික්ෂුණී පරපුර ඇති කිරීම එයින් ප‍්‍රකාශයට පත්කළහ. අවසානයේ දී අජාන් හිමියන්ගේ තීරණයට විරුද්ධ වූ තායිලන්තයේ ථේරවාදී මුලස්ථානය හිමියන් සමග පැවැති සියළු සම්බන්ධතා අත් හරින්නට තීරණය කළේය. එය විශේෂ සිද්ධියකි. භික්ෂූන් වහන්සේලාට විනය නීති ඇතත් ගිහියන් වෙනුවෙන් එය මධ්‍යම ප‍්‍රතිපදාවේ බව දක්වන ලද අජාන් හිමියෝ නෝර්වේ හි දී සමලිංගික විවාහයකට ආශිර්වාද කරන්නට ඉදිරිපත් වීම ද මහත් ආන්දෝලනයක් ඇති කළේය.

අඛණ්ඩව ගෙන යන මෙහෙවර අගය කරමින් ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රජා සංවිධාන සහ බෞද්ධ සංවිධාන අජාන් හිමියන් සම්මානයට පාත‍්‍ර කර තිබේ. පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයෙන්ද උපහාර පිදීය. තායිලන්තයේ රජු එරට ඉහළම සම්මානය ථේරවාදී පූජ්‍ය පූජ්‍ය අජාන් බ‍්‍රාහ්මවම්සෝ භික්ෂුව වෙත පිරිනමන ලද බව සදහන් වෙයි.

වැඩකරන පංතියේ සාමාන්‍ය පවුලක උපත ලැබූ අජාන් හිමියෝ බාල වියේ දීම ශිෂ්‍යත්වයක් ලැබ උසස් අධ්‍යාපනයට හිමිකම් කියන ලද අතර තායිලන්තයට ගොස් භාවනාව ප‍්‍රගුණ කරන ලද්දේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ සේවයට ආරාධනා ලැබුවේය. එහි දී එළැඹුන තීරණ, ආධ්‍යාත්මික ශක්තිය පතල කරන ලද හිමියෝ භාවනාවට මුල් තැන දුන්නේය. තමන් වෙත පැමිණෙන අනුගාමිකයන්ට භාවනාව සදහා විශේෂ පහසුකම් සැපයීය. පළ කරන ලද අදහස් සහ අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති ජගත් ප‍්‍රජාවගේ විශේෂ අවධානයට ලක්විය. තමන් වෙත පැමිණෙන සියල්ලන් වෙත ආදරය සෙනෙහස පතල කරන ලද හෙයින් ඔහු වෙත ආදරය, කීර්තිය හා ප‍්‍රසංසාව ළඟා වී තිබේ.