» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/08/2018 - දේශය
ප‍්‍රංශයේ ආදරණිය ජනපති ආර්යාව

ප‍්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එරට වැසියන්ගේ නොමද අවධානය දිනාගත් දේශපාලනඥයෙකි. සම්ප‍්‍රදායික ව්‍යුහයට අභියෝග කළ හෙතෙම අලූත් දේශපාලන පක්ෂයක, අලූත් නායකයෙකු වශයෙන් බලයට පත් විය. ජනාධිපති ආර්යාව වශයෙන් ලැබෙන පිලිගැනීම අභිබවා තමන්ට අනන්‍ය ප‍්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට බි‍්‍රජිට් මැක්‍රොන් සමත්ව සිටින්නීය. එරට පුවත්පතක් පසුගියදා කරන ලද සමීක්ෂණයක් අනුව ඇයගේ ජනප‍්‍රියතාව සියයට හැට හතකි. මෑත කාලය තුළ එරට පළමු කාන්තාවන් සම්බන්ධයෙන් රටවැසියන් තුළ පැවැති මනාපය හා සසඳන විට ඉතා හොඳ ප‍්‍රවනතාවයකි. සරල, සිනාමුසු හැසිරීම ජනතාව අගය කරන අතර සිය ප‍්‍රතිරූපය තුළින් දේශපාලන ගමනක් අපේක්ෂා නොකිරීම ගැන සතුට පළ කර තිබේ. අනවශ්‍ය විලාසිතා නොකරන අතර අසූ ගණන් වල ක‍්‍රියාශීලී කාන්තාවකගේ වත්මන් ස්වරූපය දක්වන බව විචාරකයෝ පෙන්වා දී ඇත.

බි‍්‍රජිට් මාරියේ ප‍්‍රංශයේ උතුරු ප්‍රදේශයේ ඇමීන්ස් නගරයේ විසු ව්‍යාපාරික පවුලක සාමාජිකාවකි. ඇමීන්ස් නගරය ප‍්‍රධාන විශ්ව විද්‍යාලයක් ඇතුළු නොයෙක් පහසුකම් සහිතය. ඇයගේ දෙමාපියෝ පරම්පරාවෙන් උරුම වූ චොකලට් හා රසකැවිලි කර්මාන්තයෙහි නිරතව සිටියහ. එම නගරයේ ප‍්‍රකට රසකැවිලි නිෂ්පාදනය කිරීමෙහි දායක වූ පවුලේ අයහට යම් ප‍්‍රමාණයක කීර්තියකට හිමිකම් තිබුණි. දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ ලා බාලම සාමාජිකාව වූ බි‍්‍රජිට් මැනැවින් ඉගෙන ගත්තාය. සහෝදරයන් රසකැවිලි ව්‍යාපාරයේ ආයෝජන අවස්ථා පැත්තට යොමුවන අතරවාරයේ තරුණ බි‍්‍රජිට් තෝරා ගත්තේ ඉගැන්වීමයි. ඇය ප‍්‍රංශයේ උසස් අධ්‍යාපන ආයතනයක සාහිත්‍ය උගන්වන ගුරුවරියක සේ පත්වීම ලබා ගත්තාය. ඉගැන්වීම ඇය ප‍්‍රිය කළාය.

තරුණ වියේ දී තමන්ගේ ඉරණම්කාරයා හමු වූ බි‍්‍රජිට් ඔහු සමග විවාහවූවාය. හෙතෙම බැංකු නිලධාරියෙකි. 1974 විවාහ වූ ඇය දරුවන් තිදෙනෙකු බිහි කළ අතර 2006 දී වෙන්වන අවස්ථාව වන විට ඇගේ දරුවන් තරුණ වියට පත්ව ඉංජිනේරු, හෘද රෝග විශේෂඥ හා නීති වෘත්තියෙහි නිරතව සිටි බව සඳහන්ය. පාසලේ සාහිත්‍ය විෂය ඉගෙනගන්නට විසි හතර හැවිරිදි මැක්‍රොන් ඇයගේ පන්තියට එකතු වෙන අතර එහි දී දෙදෙනා අතර ඇති වූ හිතවත් බැඳීම තෝරා වෙන් කරගන්නට අපහසු එකකි. නැවත වතාවක් සැමියා සහ දරුවන් සමග පැරිසියේ සිට උපන් ගමට පදිංචියට යන බි‍්‍රජිට් එහි දී මැක්‍රොන් මුණ ගැසේ. අතීතයේ බැඳීම් නවත අලූත් වන අතර මුලින් සඳහන් කරනලද පරිදි සැමියාගෙන් වෙන් වෙන්නට ඇය තීරණය කළාය. දික්කසාදයෙන් අවුරුද්දකුත් මාස අටකට පසු මැක්‍රොන් හා විවාහ වන අතර ඔහුට වඩා ඇය අවුරුදු විසි පහකින් වැඩිමහල් වීම ගැඹුරු ආලය වලක්වන්නට බාධකයක් වූයේ නැත.

එවකට වැඩි උවමනාවකින් දේශපාලන කටයුතුවල නිරතව නොසිටි එමානුවෙල් මැක්‍රොන් හිටපු ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්දේ ගේ මධ්‍ය වාමාංශික පක්ෂ සන්ධානයේ සාමාජිකයෙකුව සිටියේය. පක්ෂයේ කාර්ය භාරය කරමින් සිටි ඔහු 2014 දී පත්කරන ලද මන්ත‍්‍රීවරයෙකු සේ කෙටි කාලයකට පාර්ලිමේන්තුවට පැමිණියේය. එකී කාලය තුළ ඔහු එරට ආර්ථික කර්මාන්ත හා ඩිජිටල් කටයුතු භාර අමාත්‍යවරයා විය. 2017 වසරේ අගෝස්තු මාසයේ දී හෙතෙම ආණ්ඩුවෙන් ඉවත්ව එන් මාර්චේ නමැති අලූත් පක්ෂයක් පිහිටුවන ලද අතර එයින් අවුරුද්දක් යන්නටත් කලින් ජන හදවත් දිනාගෙන රටේ ජනාධිපතිධුරය දිනා ගැනීම විශේෂත්වයකි. මෙම කෙටි අද්විතීය ගමනේ දී බි‍්‍රජිට් මාරියේ සෙවනැල්ලක් සේ පසු පසින් සිටින්නට ඇති බව නිසැකය.

බි‍්‍රජිට් මාරියේ මුල් කාලයේ දී එනම් 1989 දී නගර සභාවක නියෝජිතවරියක සේ පත්ව කටයුතු කළාය. ඇයගේ දේශපාලන අත්දැකීම සීමිත එකකි. නමුත් ජනාධිපතිවරණයේ දී ඇය විශාල කාර්ය භාරයක් කළ අතර එමානුවෙල් ගේ පක්ෂයේ ආධාරකරුවන් ඡන්ද රැස්වීම් වලට බි‍්‍රජිට් මාරියේ ගේ පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් සේ පෙන්වා දී තිබුණි. ඇය එපමණකටම සංවිධාන ශක්තියෙන් සහ ජනතා ආකර්ශනයෙන් යුක්තය. දෙදෙනාගේ වයස් පරතරය හා විවාහය ගැන ප‍්‍රතිවාදීන් නෙයෙක් චෝදනා කළ ද බි‍්‍රජිට් මාරියේ නොසැඟවී නිර්භීතව පෙනී සිටියාය. ප‍්‍රතිවාදීන් ඇයගේ නුසුදුසුකම් ගැන ලේඛන පිලියෙල කරද්දී නිහඬව ඉවසා සිටියාය. ඇගේ චර්යාව ප‍්‍රංශ වැසියන්ගේ පැසසුමට ලක්විය.

ස්වාමි පුරුෂයා ජනාධිපති ධුරයට පත් වීමෙන් ඉනික්බිතිව වඩාත් බැරූරුම් අදහස් ඇතිව හැසිරෙන්නට වගබලා ගත් බි‍්‍රජිට් මාරියේ මහජන මුදලින් කැපී පෙනෙන වැඩ සටහන් පැවැත්වීම ප‍්‍රතික්ෂේප කළාය. නමුත් ස්වේච්ඡාවෙන් පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටින්නට නොපසුබට වූවාය. සත්ව අයිතීන් ගැන කතා කරන පුවැසි සංවිධාන වල සැසි වරයකට සිට සැමියා වූ ජනාධිපතිවරයා කැදවාගෙන ගොස් ජනතාව සමග සාකච්ඡා කරන්නට අවස්ථාව සම්පාදනය කළ අතර වැඩිහිටි නිවාස වලට ගොස් ඒවායේ නේවාසිකව සිටින පිරිස් සමග කාලය ගත කරන්නට ඉදිරිපත් වූවාය. මෙවැනි අංග වෙනුවෙන් කැපවූයේ ලෝකයේ බලවත් රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරු සමග ලෝකයේ නොයෙක් රටවල ඉහළ පෙලේ සමුළු වල දී උරෙනුර ගැටී රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු වල නිරතවන අතරවාරයේ වීම විශේෂත්වයකි.

ඉඳහිට සාමාන්‍ය ජනතාව සමග වාඩි වී චිත‍්‍රපටයක් බලන්නට කාලය වෙන්කරගත් පළමු කාන්තාව ඇතැම් විට අවමගුලකට සහභාගී වී සිටියාය. ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු‍ සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමග කරන නිල සාකච්ඡාවල දී පෙනී සිටි ඇය ප‍්‍රංශ පාපන්දු කණ්ඩායමේ ක‍්‍රිඩකයන් සමග දිවා භෝජන සංග‍්‍රහයකට සහභාගී වූයේ ඉතා කැමැත්තෙන්ය. සාමාන්‍යයෙන් ඉහළ තලයට අවතීර්ණ වන ප‍්‍රභූ කාන්තාවකගේ භූමිකාවෙන් මිදුණු බි‍්‍රජිට් මාරියේ මැක්‍රොන් විනිවිද පෙනෙන හැසිරීමක් සහිත සාමාන්‍ය චරිතයක් ව සිටී. එය ප‍්‍රංශයේ වැසියන්ගේ ප‍්‍රසාදයට හේතු වී ඇත.

සාමාන්‍ය පැලැන්තියේ කාන්තාවක වශයෙන් බි‍්‍රජිට් මාරියේ මැක්‍රොන් විශාල සංකේත වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එහෙත් ඇය ආදරණීය හැඟීම් හමුවේ අනුගමනය කළ පිලිවෙත එක්තරා අන්දමකට ප‍්‍රංශ වැසියන්ගේ ගෞරවයට හේතු වී තිබේ. සන්සුන් සහ චාම් ස්වභාවය පිලිගැනීමට ලක්ව ඇත.