» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/06/2016 - දේශය
ආකාසයෙන් මහ පොලවට එන නාඩියා සාව්චෙන්කෝ

නාඩියා සාව්චෙන්කෝ යුක්රේනයේ පළමු මිලිටරි ගුවන් නියමුවරියයි. ඇය ආකාශය ජයගෙන සිටියාය. ‘‘යුක්රේනියානුවනි මා ජනාධිපති කරන්නට ඔබට උවමනා නම්, මම එයට සූදානම්’’ ඇය බලවත් හඞක් පතුරුවා හරියි. මහ පොලවට පැමිණ ජනනායකත්වය අතට ගන්නට ඇය සූදානම් බව සඳහන් කරන්නේ ප‍්‍රබල මතයක් වශයෙන්ය. ‘‘මම එයට කැමැත්තක් නැහැ. මම වඩාත් කැමැති අහසේ පියාසරන්නටය. නමුත් ඔබට උවමනානම් මම ඕනෑම දෙයකට සූදානම්. මෙම මාවත දිගේ එන්නම්’’ යැයි ඇය කියන්නී දේශපාලනය ගැනය. යුක්රේන ජනයාට තමන්ගේ ජනතාන්ත‍්‍රිකත්වය අවශ්‍යදැයි ඇය විමසන්නීය.

මේ කතා කරන නාඩියා කවුද? ඇය යුක්රේන ගුවන් හමුදා නිලධාරිනියක වශයෙන් සේවය කර පසුව දේශපාලනයට ප‍්‍රවේශ විය. එරට පාර්ලිමේන්තු නියෝජිතවරියක වූ ඇය යුරෝපා කවුන්සල ආයතන අතර රටවල නියෝජිතයන් ගේ සංවිධානයක් වන යුරෝපා පාර්ලිමේන්තු කවුන්සලය ද නියෝජනය කරයි. යුක්රේනයේ ප‍්‍රතිවිරුද්ධ මතදරන්නියක් වශයෙන් ඇයට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ඳුෂණයට විරුධව අදහස් පළ කරයි. කෙලින්ම කියන්නේ ජනතා හඞයි. ඇය මෙයින් අවුරුදු දෙකකට පමණ කලින් බෙදුම්වාදීන්ට සහය දෙන ක‍්‍රියාවලියක දී නැගෙනහිර යුක්රේනයේ දී අත් අඩංගුවට පත්වූවාය. ආටිලරි ප‍්‍රහාරයකින් රුසියානු ජාතික මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනයවීමේ සිද්ධිය ඇයට එරෙහිව නැගුණ බරපතල චොදනාවයි. එම අවස්ථාවේ දී අනවසරයෙන් රුසියාව හරහා ගුවන් යානයක් පදවාගෙන යමින් සිටි බව ඉදිරිපත් වූ කාරණයකි. මෙම නඩු නිම්ත්ත සහ රඳවා තබා ගැනීම සුදුසු නැති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කළේය. යුද සිරකාරියක වශයෙන් අන්තර් ජාතික සංවිධානයකට භාර දිය යුතු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එයට මැදිහත් විය යුතු බව අවධාරණය විය. රඳවා ගැනීම යුක්ති සහගත නැති අතර එය අසාධාරණ නඩු විභාගයක් බව යුරෝපා කොමිසම සඳහන් කරන්නේය. නමුත් නඩු විභාගය අවසානයේ දී රුසියාව නාඩියා සාව්චෙන්කෝ ට අවුරුදු විසි දෙකක සිර දඞුවමක් නියම කරයි. එය ඉතා බරපතල එකකි. බටහිර සමග සමබර පාලනයකට යන ව්ලැඞ්මීර් පුටින් බටහිර මතවාදයෙන් තරමක පීඩනයකට ලක්වෙයි. මියගිය මාධ්‍යවේදීන්ගේ පවුල් නාඩියා නිදහස් කරන ලෙස ඉල්ලන ආයාචනයක් හුවා දක්වන පුටින් ඇය නිදහස් කරයි. මෙයට හිලව්වක් වශයෙන් යුක්රේන අත් අඩංගුවේ සිටි රුසියන් ප‍්‍රහාරක ගුවන් නියමුවන් දෙදෙනෙකු නිදහස් කරන අතර රුසියාවෙන් සමාව ලබා යුක්රේනයේ කිව් ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතන ඇය කතා කරන්නේ තද ස්වරයෙන්ය.

යුක්රේනියානු සාමාන්‍ය කාන්තාවක් වූ ඇය වීරවරියක් කරන්නේ බටහිර ප‍්‍රජාවයි. 2009 දී නාඩියා සාව්චෙන්කෝ යුක්රේන ගුවන් පුහුණු පාසලෙන් උපාධිය ලබාගත් පළමු නියමුවරිය බවට පත්වන විට එය විශාල මාතෘකාවක් බවට පත්වෙයි. පසුව ඉරාක යුද්ධයට ඇය දායක වන්නීය. යුක්රේන හා රුසියා ගැටුම් වල දී ප‍්‍රහාරක හෙලිකොප්ටර් මෙහෙයවයි. රට තුළ පමණක් නොව ජාත්‍යන්තරයේ ද සැලකිය යුතු කාන්තා වීරවරියක බවට පත්වෙයි.

ගැටුම් පමණක් නොව දේශපාලනයේ පවතින ඳුෂිත තත්ත්වයට ද විරුද්ධව අදහස් පළ කරන නාඩියා ජන ආකර්ශනය දිනාගන්නට සමත් වන අතර යුක්රේන 2014 ඔක්තෝම්බර් පාර්ලිමේන්තු මැතිවරණය ඇයට ඉතා පහසු ජයග‍්‍රහණයක් අත් පත් කර දෙයි. පාර්ලිමේන්තුව තොරා ගත් ඇය හමුදා සේවයෙන් ඉවත්වෙයි. රුසියානු අත් අඩංගුවට පත්වීම ඇයගේ ප‍්‍රසාදය ඉහළට නංවන එකකි. එහි දී ඇය නඩු විභාගයට මුහුණ දුන්නේ මුරණ්ඩු ආකාරයකටය. නිරාහාරව උපවාසයක නිරත විය. විනිසුරුවරයන්ට ගෞරව නොකළාය. ඒවා ලොව පුරා ප‍්‍රචාරය වූයේ සමාජ මාධ්‍ය ඔස්සේය. එය බලවත් මතයක් ගොඩනගන ලද අතර යුක්රේනය එරට ඉහළම සම්මානය පුද කරන්නේය. ඇමරිකාව මෙහෙය වන ලද ඉරාකයට විරුද්ද යුද්ධයට සහාය වනු සඳහා යුක්රේනය භටයන් 1690 කින් සමන්විත සේනාංකයක් බෑග්ඩෑග් නගරයට යවන ලද අතර එහි වූ එකම කාන්තාව නාඩියා සාව්චෙන්කෝ වූවාය. ඇය එහි සිට යුක්රේන මාධ්‍ය වලට කරන ලද ප්‍රකාශ ඇයගේ ගමනට ගැම්මක් බවට පත්විය. යුද බිමේ දී බටහිර මාධ්‍ය කරුණු වාර්තාකරන විට ඇය හොඳ සංකේතයක් බව පැහැදිලිව පෙණින. රුසියානු උසාවියට අපහාස කරමින් සංඥා වලින් එය හුවා දක්වමින් ක‍්‍රියා කිරීම ජනතාවගේ උණුසුම් හැඟීම් නැංවීය.

මෙම සියලූ පැති ආපසු හැරෙන්නේ නාඩියාගේ වාසියටය. ඇයට සිර දඞුවම නියම වන විට යුරෝපය, ඇමරිකාව ඇතුළු සියලූ බටහිර රටවල් ඇයගේ පැත්ත ගත් බව පැහැදිලිව පෙනී ගිය කරුණකි. සියලූ මිනිසුන් ඇය ගැනකතා කරන්නට පටන්ගත්හ. ඇය වෙනුවෙන් තැනුණ අන්තර් ජාල කෙටි චිත්‍රපටය මිලියන ගණනින් නරඹා ලෝක ජනමතයක් ඇති කළේය. යුක්රේන ගුවන් හමුදාවේ සේවය කරන ලද චරිතයක් ලෝක ප‍්‍රසිද්ධ කාන්තාවක් බවට පත්වන්නේ නොසිතන ආකාරයේ හැඟීම්බර උද්වේගකාරී තත්ත්වයන්ගේ එකතුවකින්ය.

නාඩියා සාව්චෙන්කෝ උපත ලබන්නේ යුක්රේනයේ කියු නගරයේය. නැගෙනහිර යුරෝපයේ ඓතිහාසික වශයෙන් වැදගත් නගරයක් වන එහි අධ්‍යාපන, කර්මාන්ත හා විද්‍යාත්මක සොයා ගැනීම් සම්බන්ධව ප‍්‍රකටය. කෘෂි ඉංජිනේරුවෙකු ගේ වැඩිමහල් දියණිය වන ඇය සොහොයුරිය සමග මූලික අධ්‍යාපනෙයන් පසු ගුවන් හමුදාවට බැඳි එරට පළමු ගුවන් නියමුවරිය තෙක් ගමනක් ගියාය. එතැන් සිට උත්සුක වෙමින් සිටින්නී තමන්ට අනන්‍යය මතයක් නිකුත් කරන්නටය. එයට අනුමැතිය ලැබෙමින් තිබේ. පොදු ජනතාව බලන්නේ ඇය නිර්භීතව පෙනී සිටි අන්දමයි. රුසියානු අධිකරණය හමුවේ බැගෑපත් නොවී අරගලකාරියක් වූ සහ එය ඔස්සේ ලෝක අවධානය දිනාගත් චමත්කාර ජනක ප‍්‍රවේශයයි. රුසියාව ඇය අල්ලාගත් විට එයින් නිදහස් කර ගන්නට යුක්රේනය මහන්සි වී ක‍්‍රියා කරන ලද අතර එරට ජනාධිපතිවරයා නීති අංශ්‍යට නියම කරන්නේ ඉහළම උනන්දුව ඇතිව ඇය ආපසු රටට ගෙන්වා ගැනීමට මෙහෙයැවෙන ලෙසටය. යුක්රේනියානු බලධාරීන් ඇය ගේ අත් අඩංගුවට ගැනීම පැහැර ගැනීමක් බවට අර්ථදැක්වූ අතර ඒවා සියල්ල අවසානයේ දී පුටින් ගේ තීරණ ආපසු හරවන්නට හේතු බවට පත්වන්නේය. රුසියාව අභ්‍යන්තරයෙන් පවා පුටින්ට අදහස් එන්නේ කානාතාවක් අල්ලා ගැනීම සහ එය කොහෙත්ම රුසියාවට කීර්තියක් අත්පත් කර දෙන්නේ නැති තිරණයක් බව සඳහන් කරමින්ය. අවසානයේ දී එය ඇත්ත බවට පත්වෙයි. ගුවන් හමුදාවේ සෙබලියක් යුක්රේනයේ පමණක් නොව ලෝකයේම අවධානයට පත්ව සිටී. නිදහස ලබා මව්බිමට පැමිණි ඇය සිය කෘතවේදී ජනතාවට කියන්නේ ඔබ කියනවානම් ජනාධිපතිවරණයටත් සූදානම් බවය. එය ආත්ම ශක්තිය පිළිබඳ බලවත් පිළිබිඹුවක් දක්වන ප‍්‍රකාශයකි. එය පිටුපස ජනමතය ඇති බව නිරීක්ෂණය වෙයි.

යුක්රේන වැසියන්ගේ ගෙදර දොරවල නිතර කතාකරන වචනයක් බවට පත්ව ඇත්තේ ඇයයි. හමුදාවක් අතර තනි කාන්තාවක් වශයෙන් පමණක් නොව තනි සටනකින් ලෝක අවධානය දිනාගත් ඇය දෙස ඇතැම් විචාරකයන් දකින්නේ තනි මතවාදයක් ඇති නායිකාවක් වශයෙන්ය. නාඩියා සාව්චෙන්කෝ නිදහස් කරගන්නට මෙහෙවරක් කරන ලද යුක්රේන ජනාධිපති, උප ජනාධිපති ඇතුළු දේශපාලන බලවේග ද රට තුළ සිදුවන්නේ කුමක්දැයි අවධානයෙන් සිටී. බටහිර ආකර්ශණය, සමාජ මාධ්‍ය භූමිකාව තවත් චරිතයක් බිහි කර තිබේ. එය අද ලෝක රටාව ඉල්ලන නායකත්ව ගුණාංග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක් දැයි විමසීම වැදගත්ය.