» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/02/2017 - දේශය
ටේලර් සල්ලි ගහ

යටත් විජිතයක්ව පැවැති ලංකාව අධිරාජ්‍යවාදීන් ගේ බලපෑම කිසිසේත් පි‍්‍රය කළේ නැත. බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට යටත්ව සිටීම ප‍්‍රබල අවමානයක් සේ සැලකුහ. කන්ද උඩරට කදුකරයේ ජීවත් වෙමින් අදත් රටට විශාල ආර්ථික වාසි අත්පත් කරදෙන වානිජ වශයෙන් තේ වගාව ආරම්භ කරන ලද ජේම්ස් ටේලර් බි‍්‍රතාන්‍යයටත් වඩා ගෞරවයට ලක්වන්නේ ශ‍්‍රී ලංකාවේ දීය. ලූල්කදුර නමින් හැඳින්වෙන මෙරට කුඩා බිම් ප‍්‍රදේශය ලෝකයේ හැම තැනම පතල ප‍්‍රදේශයක් බවට පත් කළේය. ශ‍්‍රී ලංකාව ගැන වැඩිපුර නොදන්නා ජාත්‍යන්තරයේ ඇතැමෙකු පවා රසවත් තේ වගා කරන කුඩා රටක් ඉන්දියන් සාගරයේ ඇති බව දනී. එහි රසය හෙයින් ශ‍්‍රී ලංකාව කොපමණ සාරවත් භූමියක් දැයි අනුමාන කරන්නට උත්සාහ කරයි. ජේම්ස් ටේලර්ගේ නම ලාංකිකත්වය හා මුහු වෙන්නට එය ප‍්‍රමාණවත්ය.

ටේලර් බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්ත වැසියෙකි. 1835 දී උපත ලබන හෙතෙම බාල වියේ දී අලූත් අවස්ථා සොයා යන අභිලාශයෙන් පසුවිය. බි‍්‍රතාන්‍ය වැසියන් අතර මහත් ධෛර්යවන්ත පිරිස තම අධිරාජ්‍යයට අයත් රටවලින් ස්වකීය අනාගතය සාක්ෂාත් කරගන්නට උත්සාහ කරමින් සිටියේය. එය අවදානම් සහගත ප‍්‍රයත්නයකි. විශාල ධෛර්යය උපදවාගත යුතුය. දීර්ඝ නැව් ගමනකට පසු යටත් භූමිකයකට ගොඩ බැස තම ධනය යොදවා කරන ව්‍යාපාරයෙන් හෝ කර්මාන්තයෙන් ජීවිතය ජය ගැනීම පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් ස්වදේශිකයන්ගේ කෙනෙහිලිකම්, විරුද්ධ වැඩපිලිවෙල මැද ගමන සාක්ෂාත් කරගන්නට බලවත් ආත්ම ශක්තියක් අවශ්‍යය.

ස්වකීය අධිරාජ්‍යය යටතේ පැවැති සිලෝන් නමැති සුන්දර දිවයිනට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයෝ කෝපි වගා කරන්නට පටන් ගත්හ. අනුන් යටතේ වහල් වෙන්නට කැමැති නොවූ ලංකාවේ ජනතාව වතු වැඩ ප‍්‍රතික්ෂේප කළහ. කෝපි වවන්නට ඉන්දියාවෙන් ශ‍්‍රමිකයන් ගෙන්වන්නට තීරණය කරන්නේ එහෙයින්ය. එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සමයේ දී දකුණු ඉන්දියාවේ සිට බෝට්ටුවලින් ගෙන්වන ලද දෙමල කණ්ඩායම් මන්නාරම සහ මාතලේ හරහා කුරුණෑගලට පැමිණ එහි නතර කර පසුව කන්ද උඩරට වතුවල වැඩට ගෙන ගොස් ඇති බව ඉතිහාසය දක්වයි. ඉතා දුෂ්කර වට පිටාවක් මැද වැඩ කරන්නට ශ‍්‍රමිකයන් හිඟ පසුබිමක කෝපි වගා කරන ලද නමුත් එය අසාර්ථක වෙයි. වගාව ආක‍්‍රමණය කරන ලද වසංගතයකින් කෝපි වගාව සම්පූර්ණයෙන් වැනසෙයි. බි‍්‍රතාන්‍ය වැවිලි කරුවන්ගේ ධනය විනාශ වන අතර එය බලවත් ගැටළු ඇති කරයි. කනස්සල්ලට පත් වූ බොහෝ පිරිස් නැවත බි‍්‍රතාන්‍ය බලා නැව් නගී. කොළඹ සිට ආහාර ගෙන එන කරත්ත වලට අතර මග දී සිදුවන ගැහැට නිසා කුසගින්නේ පවා සිටිමින් වගා කරන ලද කෝපි වතු පිරිහීම හේතුවෙන් වැවිලි කරුවන්ගේ ධෛර්යය පිරිහි ගිය බව වාර්තා වෙයි. මේ අතරවාරයේ 1824 වසරේ දී චීනයෙන් ගෙනඑන ලද තේ පැල ප‍්‍රමාණයක් සාර්ථකව වැවෙනු තරුණ ජේම්ස් ටේලර් නිරීක්ෂණය කර තිබේ. කෙටි කාලයකට ඉන්දියාවට ගොස් එහි තේ වැවෙන අන්දම ගැන ලත් අත්දැකීම් සහිතව හෙතෙම නැවත පැමිණියේය. ගලහ ප‍්‍රදේශයේ ලූල්කදුර ප‍්‍රදේශයේ අක්කර දහ නමයක් තෝරාගෙන තේ වගාව ආරම්භ කරන්නේ එයින් ඉනික්බිතිවය.

හැදී වැඩෙන තේ පැල වලින් ලපටි දළු නෙලාගත් හෙතෙම නැවැතී සිටි නිවසේ මේසයක් මත අතුරා පදමට මැලවුණු පසු අතින් පොඩි කරමින් කැබැලි සේ අඹරා ගන්නට තැත් කර තිබේ. නොයෙක් අත්හදා බැලීම් වලින් පසු හදාගත් මැටි බදුනක අවුලන ලද ගින්දරෙන් රසවත්, වියලි තේ කොළ නිෂ්පාදනය කරගන්නට සමත්ව ඇත. මහනුවර කම්හල්කරුවන් සම්බන්ධ කරගෙන තේ අඹරන මැෂිමක් හදාගන්නට පසුව සමත් වූ බව තේ වගාවේ ඉතිහාසය කියන අතර අවුරුදු පහකට පසු නිෂ්පාදනයට අවශ්‍ය මෙවලම් කොටස් එකලස් කර සම්පූර්ණ තේ ඇඹරුම් කම්හලක් එහි පිහිටුවන්නට හැකි වී තිබේ. පළමුවෙන් තේ ටොන් අසූ එකක් ලන්ඩනයට යවා පවුම් විසි තුනක් උපයා ගන්නට ලූල්කදුර තේ වත්තට පුළුවන්කම ලැබුණි. එය වාර්තාගත තත්ත්වයකි. දහඩිය සහ කදුළෙන් තෙත් වූ මෙම පවුම් විසි ගණනක ආදායම ජේම්ස් ටේලර්ට එදා මහා ධන නිධානයක් වූවා වෙන්නට බැරි නැත.

සිය ජීවිතයේ අවසන් හුස්ම හෙලන තුරු ලංකාවේ තේ වගාව වෙනුවෙන් කැපවූ ජේම්ස් ටේලර් ගේ වාසනාව පෑදෙන්නේ ධනවතෙකු වූ ලිප්ටන් මුණ ගැසීමෙන් පසුවය. ලංකාවේ තේ වගා කර පිටරට යවන්නට පුලූවන් බව තෝමස් ලිප්ටන්ට ඒත්තු ගන්වන්නට ජේම්ස් ටෙලර් සමත්වෙයි. එංගලන්තයට තේ අපනයනය කරන කාර්යය පුලූල් කර්මාන්තයක් වෙන්නේ එයින් පසුවය. තම හිතවත් බි‍්‍රතාන්‍ය සගයන්ට ස්වකීය වගාවේ සාර්ථකත්වය ලියා දන්වන හෙතෙම ඔවුන්ට ද තේ වගාවේ සෞභාග්‍යය අත්කර ගන්නට ආරාධනා කර ඇති බව අතීත වාර්තා දක්වයි. ලංකාවට ඇවිත් තේ වගාවෙන් ජයගත හැකි බව කියා ඇත. එය පිලිගත් සෑහෙන පිරිසක් මෙරටට පැමිණ තේ වගා කරන ලද අතර අදටත් රටට විනිමය උපයා දෙන සහ අති විශාල පිරිසක ගේ ජීවිකා වෘත්තිය බවට පත්ව ඇත්තේ තේ වගාවේ එම පසුබිම බවඳහන් කළ යුතුය.

තේ වගාව වානිජ වශයෙන් ආරම්භ කර එය සාර්ථකය කරගෙන යන්නට හැකි බව සෙසු පිරිසට පෙන්වා දුන් ජේම්ස් ටේලර් ගේ මගපෙන්වීම අනුව ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයෝ මහා පරිමානයෙන් තේ වගා කරන්නට පටන් ගත්හ. ධනවතුන් ගේ වතුයාය කදුකරය පුරා ව්‍යාප්තවන විට ලූල්කදුර කුඩා බිම්කඩක් බවට පත්විය. හෙතෙම ලූල්කඳුර වත්තෙන් ඉවත් කරන ලද බවට ද යම් යම් වාර්තා තිබේ. එයින් වසරකට පසු 1892 අවුරුද්දේ හෙතෙම ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ අවසන් කටයුතු කර ඇති මහනුවර මහයියාව සුසාන භූමියේ පුවරුවක ලංකාවේ තේ වැවූ මිනිසා බව සඳහන් මතක සටහනක් ඇත. නොබෝදා ඔහු වෙනුවෙන් විශාල පිළිරුවක් ස්ථාපිත කර මෙම කතාව දැක ගන්නට පසුබිම සකස්කර ඇත.

දහ සය හැවිරිදි වියේ දී ජේම්ස් ටේලර් ලංකාවට පැමිණියේය. කෝපි වත්තක වැඩ පරීක්ෂකවරයෙකු සේ කාර්යය ඇරඹූ හෙතෙම කෝපි වගාව වෙනුවට තේ වවන්නට වතුයායේ අයිතිකරුවන් අවධානය යොමු කළේ මෙරට පැවැත්ම ගැන තීරණාත්මක අවස්ථාවක දීය. කෝපි වගාව අසාර්ථකව අත්හැර දැම්මා නම් සිදුවන දේ කුමක්දැයි අද වන විට නොයෙක් අදහස් තිබෙන්නට බැරි නැත. රටට පැමිණි වෙළදුන් චීනයෙන් ගෙනා තේ පැල පේරාදෙණියේ තවාන් කර තිබුණ අතර එහි සිට දුර ගෙවා ලූල්කඳුර වත්තට තේ පැල සපයන්නට පේරාදෙණිය පැල තවාන සමත් වන්නේ ජේම්ස් ටේලර්ගේ මහන්සිය හෙයින්ය. 1890 දී මෙම තේ වගාව බලන්නට පැමිණි එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ විලියම් ග්‍රෙගරි ටේලර් ගේ උත්සාහය ගැන බලවත් සේ ප‍්‍රශංසා කරන ලද බව පැරණි වාර්තා වල සඳහන්ය. ටේලර් ගේ ජීවිතක්ෂයෙන් හරියටම අවුරුද්දකට පසු තේ පැකට් මිලියනයක් ලංකාවෙන් අපනයනය කරන ලද බව දැක්වෙයි. එය වාර්තා පොතට එකතුවන විට තේ වගාව වෙනුවෙන් අවංකව කැප වූ මිනිසා සිය ජීවිතයෙන් වැඩි කොටසක් ලංකාවේ ගතකරමින් සිට නිහඬවම අවසන් හුස්ම හෙලා තිබුණි.

තේ වවන්නට මහන්සි වූ ජේම්ස් ටේලර් ගැන කොපමණ විවේචන තිබුණේ දැයි නොදන්නා සමාජයක් අද තේ වගාව තවත් ඉහළට ගෙන ගොස් ශ‍්‍රී ලංකාවේ වැවිලි අපනයන ආදායම තරකරන්නට මහන්සි වෙමින් සිටී.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.