» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/12/2016 - දේශය
ලෝක නායකයන් අමාරුවේ දැමු නවසීලන්තයේ අගමැති

නවසීලන්තයේ අගමැති ජෝන් කී සිය අගමැති ධුරය අතහැර යන තීරණයට එළැඹ ඇති බව ප‍්‍රකාශ වෙයි. තීරණයක් ගත යුතු හොඳම හෝරාවේ දී එයට කිසිසේත් නොසැලී මුහුණ දිය යුතු බව ජාත්‍යන්තරයට පෙන්වමින්ය. ජෝන් කී සඳහන් කරන්නේ රට වෙනුවෙන් තමන් ‘යුතුකම ඉටු කරන ලද’ බවය. කොහොම නමුත් ‘හරි තීරණය වෙනුවෙන් තද තීන්දුවකට යා යුතු බව’ හෙතෙම අවධාරණය කරයි.

තවදුරටත් කිසිදු අභියෝගයක් හෝ බාධාවක් නැතිව නවසීලන්තයේ නායකයා සේ ඉන්නට ඔහුට පුළුවන්කම තිබිණ. එසේ තිබිය දී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි ද යන කාරණය ජාත්‍යන්තරයේ පුළුල් අවධානයට ලක්විය. ඇතැම් අන්තවාදී මතධාරීහු එය ඔහු කරන ලද උපක‍්‍රමයක් සේ සැලකූහ. නමුත් දිනෙන් දින ඔහු ගැන හදාරා කරුණු අනාවරණය කරන ජගත් මාධ්‍ය පෙන්වා දෙන්නේ එය අවංක පියවරක් බවය. අවුරුදු දහයක් රටේ ප‍්‍රධානියා වශයෙන් ඉහළින්ම ඉන්නා එක ‘අමාරු කාරණයක්’ හෙතෙම මාධ්‍ය වලට උත්තර දුන්නේ සැහැල්ලූවෙන්ය. 2002 වසරේ දේශපාලනයට පිවිසි හෙතෙම ඔක්ලන්ඞ් කොට්ඨාශයේ මහජන නියෝජිතයා සේ පාර්ලිමේන්තුවට ආවේය. ඔහුගේ දක්ෂතා, ප‍්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ වේගය ඉතාම නිවැරදි බව රට අනාවරණය වූ ප‍්‍රධාන කරුණුය. ඉතාමත් ඉක්මනින් හෙතෙම ඔහු නියෝජනය කරන ලද එරට ජාතික පක්ෂය ජයග‍්‍රාහී මාවතට කැඳවීය. පාර්ලිමේන්තුවට පැමිණ වසර හතරකට පසු පක්ෂයේ නායක්වයට ද, එයින් වසර දෙකක් තුළ විපක්ෂයේ සිට ආණ්ඩු බලය දිනා ගන්නට ද ජෝන් ගේ ශක්තිමත් නායකත්වයට අපහසු වූයේ නැත. එයින් පසු 2011 හා 2014 පැවැති මහ මැතිවරණ දෙක සමග පිට පිට තුන් වතාවක් ජය අත් කරගන්නට නවසීලන්තයේ ජාතික පක්ෂයට හැකිවන අතර එය ඔහුගේ දර්ශනය නිවැරදි බව ජනතාව අනුමත කරන ලද අවස්ථා සේ සැලකේ. නායකත්වය වෙනුවෙන් තවත් අවශ්‍යව ඇත්තේ මොනවාද?

ජෝන් කී තමන්ගේ සමුගැනීම ගැන කිව්වේ ‘රටේ නායකයා වශයෙන් තමන් හිතාගන්නට බැරි තරම් අත්දැකීම් ප‍්‍රමාණයක් උපයා ගත්’ බවයි. තමන් ‘වෘත්තිය දේශපාලනඥයෙකු නොවන’ බව ඔහු කියා සිටි එක කාරණයකි. දීර්ඝ කාලයක් බලයේ ඉන්නා නායකයෙකු සේ සලකා විනිශ්චයකට යන්නට රටට ඉඩ දෙන්නට කැමැති නැති හෙතෙම ඉඩදුන්නේ බලයේ සිටි කෙටි කාලය තුළ මහා වැඩ කොටසක් කරන ලද නායකයෙකු සේ ජනතාව ලවා ඉතිහාසයේ ලියවා ගන්නටය.

ජෝන් පිලිප් කී, ඕක්ලන්ඞ් හි ජීවත් වූ සාමාන්‍ය පවුලක දරුවෙකි. ඔහුගේ පියා දෙවන ලෝක යුද්ධයට ගිය අතර පසුව නවසීලන්තයට පැමිණ ස්ථිර පදිංචිය තෝරා ගත්තේය. එයින් කෙටි කාලයකට පසු ක‍්‍රයිස්ච‍්‍රච් බලා ගිය ජෝර්ජ් සහ රූත් යන දෙමව්පියෝ දියණියන් දෙදෙනෙකු සහිත තම දරුවන්ට යහපත් අධ්‍යාපනයක් දෙන්නට වෙහෙස විය. එහි ප‍්‍රතිඵලය වූයේ මේ කතාකරන ජෝන් කී කැන්ටබරි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නට සමත්වීමය. ආර්ථිකය පැත්තෙන් උපාධිය ගත් හෙතෙම එයින් පසු හාවඞ් හි දී තව දුරටත් ඉගෙනගන්නට අවස්ථාව පාදාගත්තේය. පළමුවෙන් රැකියාවක් වශයෙන් කරන්නේ විගණක වෘත්තියයි. කෙටි කාලයකට පසු ඇගළුම් නිෂ්පාදන ආයතනයක ව්‍යාපෘති කළමණාකාරවරයෙකු වූ හෙතෙම පසුව සිංගප්පූරුවට ගියේ එහි ආසියානු විනිමය හුවමාරු මධ්‍යස්ථානයක ප‍්‍රධාන පෙලේ තනතුරක් උදෙසාය. ඉනික්බිතිව ඇමරිකානු ෆෙඩරල් බැංකුවේ සේවය කරන අතර මෙම සියළු දේ වලින් උපයා ගත් ධනය හෙතෙම ඉසුරුමත් පුද්ගලයෙකු කළේය. 2008 අවුරුද්දේ දී ජෝන් කී දේශපාලනයට එන විට නවසිලන්තයේ ධනවත් සමාජයේ ඉහළින් සිටි පුද්ගලයෙකු සේ සටහන් ව තිබීම විශේෂත්වයකි.

බලයේ ඉන්නා තමන්ගේ අගමැතිවරයා ගේ හදිසි ඉල්ලා අස්වීම එරට වැසියන්ගේ මවිතයට හේතු විය. තරුණ ප‍්‍රජාව අතරින් කිහිප දෙනෙක් සිය සමාජ වෙබ් අඩවි වල දක්වා තිබුණේ සාමාන්‍යයෙන් මෑත දින කිහිපය තුළ රූපවාහිනී සන්ධ්‍යා ප‍්‍රවෘත්ති වල වැදගත් දේ නොකියැවුණ අතර හදිසියේ මෙම ඉල්ලා අස්වීම සඳහන් වන විට ජනතාව විශ්මයට පත් වූ බවය. අගමැති ධුරයෙන් ඉවත්වන හෙතෙම තම පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වෙයි. පක්ෂය බලවත් තැනක සිටින රට පුරා හොඳ පිලිගැනීමක් ඇති අවස්ථාවක තවත් දක්ෂයෙකුට බිහිවෙන්නට පදනමක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි. ජොන් කී ඉඟි කරන්නේ ඔහුගේ දෙවැනියා ඉදිරි ජනාධිපතිවරණය ජය ගෙන රට ඉදිරියට ගෙන යනු ඇති බවය.

අගමැතිව ධුරයේ සිටිය දී තමන්ගෙන් පවුලේ කටයුතු වල දී ලැබුණ දුබල සහාය ගැන හෙතෙම සමුගෙන යන තීරණය නිවේදනය කරන අවස්ථාවේ දී සඳහන් කළේය. පවුලේ අය තමන් නැතිව රාත‍්‍රිය ගත කළ අයුරු කියා සිටි අතර පවුලේ උත්සව වල දී පවා ඔහුගේ සහභාගීත්වය නොතිබුණ බව පෙන්වා දුන්නේය. වානිජ අධ්‍යාපනය ලබා උපදේශකවරිය සේ කටයුතු කරමින් සිටි බිරිඳ පසුව පවුලේ කටයුතු වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවූවාය. සමුගන්නා අගමැතිවරයාගේ දියණිය ඇගේ නිරාවරණ ශරීරය පින්තාරු කර සෞන්දර්යය මවන්නියකි. පුතා මැක්ස් සේවය කරන්නේ ගුවන් විදුලි නාලිකාවකය. මෙම දෙදෙනාම ජනප‍්‍රිය චරිත වන අතර මැක්ස් ගායකයෙකු වශයෙන් ද නමක් දිනා සිටී.

තමන්ට තව දුරටත් කිසිම අභියෝගයක් නැති අවස්ථාවක මහ ජනප‍්‍රියත්වය නොඅඩුව තිබිය දී අගමැතිධුරය පැත්තකින් තියා ගෙදර යන ජොන් කී, නවසීලන්තයේ සාමාන්‍ය පුරවැසියෙකු සේ ජීවත්වන බව කියා තිබේ. ඔහු තව දුරටත් එනම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තෙක් ඔහුගේ ඡන්ද කොට්ඨාශය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්නා බව දක්වයි. හේතුව එරට ව්‍යවස්ථාව අනුව ධුරය හිස් වුණොත් අතුරු මැතිවරණයක් පවත්වන්නට සිදුවීමය. අතුරු මැතිවරණයකින් රටේ සල්ලි වියදම් වෙනවාට අකමැති ජෝන් කී මැතිවරණය තෙක් පමණක් සාමාන්‍ය මන්තී‍්‍රවරයෙකු සේ ආසනය බලා ගන්නට සූදානම්ය.

ජෝන් කී ගේ නිල කාලය සුමුදු තීරණ ගන්නට ඉඩ තිබුණේ නැත. දරුණු භූමිකම්පාවකින් රටේ ප‍්‍රධාන නගරයක් විපතට පත් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය නරක අන්දමට බලපැවේය. නමුත් ශක්තිමත් තීරණ මත සියලූ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේය. ‘තමන්ගේ කැපවීම මත රට නිවැරදි තැනට ගෙන එන්නට සමත්වූ බව’ ජෝන් කී මාධ්‍ය හමුවේ කියා තිබේ. රටට සහ පක්ෂයට වාසි අවස්ථාවක අලූත් නායකත්වයක් තෝරා ගන්නට ඉඩ දීම සුදුසු බව ඔහු කියයි. මාධ්‍ය හමුවක දී ඔහු කීවේ ‘ලෝකයේ නායකයන් අයින්වෙන අවස්ථා සලකා බලා අවස්ථානෝචිතව තීන්දුවක්’ ගත් බවය. එම තීන්දුව විමතියක් ඇතිකරන තරමට බලවත් හෙයින් මුළු ලෝකයම අද ඒ ගැන කතාකරයි. කෙසේ හෝ තමන්ගේ බලය ආරක්ෂා කරගෙන මහජන මුදලින් වැඡඹෙන්නට තතනන ලෝක නායකයන් අප‍්‍රමාණ කාලයක එයට පරිබාහිරව යමින් ලෝකය පුරා කතා කරන තීරණයක් ගත් ජෝන් පිලිප් කී, දේශසීමා මායිම් නැතිව වැළඳ ගන්නට ජනතාව සූදානම්ය.

නායකත්වය අවශ්‍ය ඇයි යන්න පමණක් නොව නායකත්වයෙන් ඉවත්ව යා යුතු හෝරාව කුමක්දැයි ජගත් ප‍්‍රජාවට කාරුණිකව පෙන්වා දෙන්නට ජෝන් කී ගේ තීරණය සමත්ව තිබේ. මහජනතාව අතර ජීවත් වෙමින් තම ඉදිරි දිවිය ගත කරන ආකාරය නිල කාලයට වඩා ආදර්ශයක් සපයන්නට ඉඩ තිබේ. රටක් හදන්නට තීරණගත් ජෝන් කී අගමැතිවරයා අවසාන යේ දී කියාසිටියේ මෙම තීරණය තමන්ගේ ජීවිතයේ ගත් අමාරුම තීන්දුව බවය. එවැනි අමාරු තීන්දු ගන්නට බැරිව ඉන්නා ලෝක නායකයන්ට මෙයින් පසු එය තවත් අපහසු එකක් වනු නිසැකය.