» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/11/2018 - දේශය
බ‍්‍රසීලයේ නව නායකයා ජෙයර් බොල්සනයාරෝ

බ‍්‍රසීල ජනතාව සිය ජනාධිපතිවරයා වශයෙන් ජෙයර් බොල්සනයාරෝ තෝරාගෙන තිබේ. හෙතෙම තද දක්ෂිණාංශික පාලකයෙකු වශයෙන් සැලකේ. ඔහුගේ විදේශ ප‍්‍රතිපත්තිය මෙතෙක් බ‍්‍රසීලය අනුගමනය කරන ලද සම්ප‍්‍රදායික ව්‍යුහයෙන් වෙනස් වනු ඇති අතර එය සෑහෙන පරිවර්තනයක් විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි.

බ‍්‍රසීලය මැද මාවත අනුගමනය කරමින් සිටි අතර බහු ජන වාර්ගික පැවැත්ම තුළ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ දී හොඳ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට පසුගිය කාලයේ දී හැකියාව ලැබුණි. එය දරිද්‍රතාවය අඩු කරන ලද අතර මැද පන්තිය ප‍්‍රසාරණය කරන ලද්දේය. නමුත් පසුගිය වසර හතර තුළ බ‍්‍රසීලයේ පාලන ක‍්‍රමය අභියෝගයට ලක් වූ අතර ආර්ථික ගැටළු ඉහ වහා ගියේය. දූෂණ වංචා චෝදනා පැන නැගිණ. ප‍්‍රධාන ව්‍යාපාරිකයන් පමණක් නොව හිටපු ජනාධිපතිවරයෙකු වූ ලූලා ඩ සිල්වා පවා නතර වූයේ සිරගෙදරය. පසුගිය ජනාධිපතිවරණයේ දී එරට සමාජ ලිබරල් පක්ෂ අපේක්ෂකයා වශයෙන් ජෙයර් බොල්සනයාරෝ ගෙන ගිය සැලැස්මට ජනප‍්‍රියත්වයක් ලැබුණි. තද අනන්‍යතාව මතු කරන අතර එය බොහෝ අවස්ථාවල පිලිපීනයේ ඩුටර්ටේ සහ ඇමරිකාවේ ට‍්‍රම්ප් යන නායකයන්ගේ ප‍්‍රතිපත්ති වලට සමානකම් දැක්වූ බව ප‍්‍රකාශ වෙයි. ලබන වසරේ ජනවාරි පළමුවැනි දා ජනාධිපතිවරයා වශයෙන් රට භාරගැනීමට නියමිත අතර ඔහුගේ ධුර කාලය වසර හතරකි.

1991 වසරේ සිට රියෝ ද ජෙනයිරෝ නගරය නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයෙකු වූ බොල්සනයාරෝ විශ‍්‍රාම ලත් හමුදා නිලධාරියෙකි. ග්ලිසිරියෝ නමැති කුඩා නගරයේ බාල විය ගත කළ හෙතෙම මූළික අධ්‍යාපනය ලැබීමෙන් පසු 1977 දී හමුදා ඇකඩමියෙන් සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන තිබේ. එරට හමුදාවේ කාලතුවක්කු බල ඇණියේ සේවය කළ බොල්සනයාරෝ අවධානයට ලක්වන්නේ ආන්දෝලනාත්මක සිද්ධියකින් අනතුරවය. ඔහු සඟරාවකට ලිපියක් ලියන ලද අතර හමුදා නිලධාරීහු ලබන අඩු වැටුප විවේචනය කළේය. ප‍්‍රතිඵලය වූයේ අත්අඩංගුවට ගෙන හමුදා සේවය විවේචනය කිරීමට එරෙහිව දින පහලොවක් රඳවා තැබීමය. වසර දෙකකට පසු චෝදනා වලින් නිදහස් වූ අතර කපිතාන් වරයෙකු දක්වා හමුදා සේවයේ රැඳී සිටි ඔහු රියෝ ද ජෙනයිරෝ හි නගර සභාවට පත්වෙයි. කි‍්‍රස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය ගන්නා අතර පසුව එනම් 1990 දී පහල කොන්ග‍්‍රස් මණ්ඩලයේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් ඡන්දයෙන් තේරී පත්වෙයි. අඛණ්ඩව හය වතාවක් ජය ගන්නට සමත් වූ බව ඔහුගේ දේශපාලන පසුබිම පෙන්වයි. කොන්ග‍්‍රස් මණ්ඩලය නියෝජනය කළ කාලය තුළ බොල්සනයාරෝ ඇමරිකාවට හා ඊශ‍්‍රායලයට බර විදේශ ප‍්‍රතිපත්තියක සිටියේය. සමලිංගිකත්වයට සහ ගබ්සාවට එරෙහි විය. මත්ද්‍රව්‍ය වෙනුවෙන් ද ඔහු තදින් සිටියේය.

2016 වසරේ මුල් භාගයේ දී බොල්සනයාරෝ බ‍්‍රසීල ජනාධිපතිවරණයට තරග කරන අදහස ප‍්‍රකාශයට පත් කළේය. එයින් වසර දෙකකට පමණ පසු එතෙක් සාමාජිකයෙකුව සිටි කි‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් ඉවත් වූ හෙතෙම සමාජ ලිබරල් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය. එය ඔහු ගේ අපේක්ෂකත්වය වෙනුවෙන් නිර්මාණය කරන ලද පක්ෂයක් වූ අතර පැවැති ක‍්‍රමය විවේචනය කළේය. වෙළඳ පොල ආර්ථිකයට කැමැත්තක් දැක්වූ අතර ලිබරල් ප‍්‍රතිපත්ති කෙරෙහි ඇති නැඹුරුව නොවලහා පළ කළේය. දුෂිත හා නොයෙක් අගතිසහගත කාර්යයන් අරභයා චෝදනා ලැබූ දේශපාලනඥයන් අතර හමුදා විනයක් සහිත පසුබිමකින් එන නිදහස් අදහස් ප‍්‍රකාශ කරන බොල්සනයාරෝ ගේ මතයට බ‍්‍රසීල වැසියෝ පි‍්‍රය කළහ. සාමාන්‍ය ජනතාවගේ පැත්ත ගෙන කතා කරන ලද හෙතෙම පවුලේ පැවැත්ම, සංස්කෘතික ලක්ෂණ වලට ගරු කළේය. ඒවා ජනතාව ඔහු වෙත ආකර්ශනය කරන ලද ප‍්‍රතිපත්ති අතර තිබුණි. පළමු වටයෙන් වේගයෙන් ඉදිරියට පැමිණි බොල්සනයාරෝ දෙවන වටයේ දී සියයට පනස් පහක ප‍්‍රතිශතයක් අත්පත් කරගෙන බ‍්‍රසීලයේ නව නායකත්වයට පත්වීමට සමත් විය.