» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/09/2016 - දේශය
ලාභය වෙනුවට ලෝකය අල්ලන්නට හදන - ජැක් මා

අලි බබා සහ හොරු හතලිහ කතාන්දරය නොදන්නා අය විරලය. ගල් ගුහාවේ ද්වාරය විවර කරන මුරපදය දැනගන්නා අන්දම විස්මිතය. මෙකල ද අලිබාබා මුරපදය ඔස්සේ අන්තර් ජාලයේ දොරටු විවර කරගත් චීන ව්‍යවසායකයෙකු ලෝකයේ ඉහළම තැනකට ප‍්‍රවේශ වී සිටී. චීනයේ ධනවත්ම ව්‍යාපාරිකයා වන ජැක් මා බව සඳහන් කළ හැකිය. ඔහු සතු අලිබාබා සමූහ ව්‍යාපාරයේ මූලික කොටස් නිකුතුව සූදානම් අතර එය ලෝක ඉතිහාසයේ වැඩිම ධනයක් එකතුකරන සහ අති විශාල ඉල්ලූමක් වාර්තා විය හැකි එකක් බවට පත්ව තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන විසිපහක් වටිනා කොටස් නිකුත් කිරීම මෙතෙක් ජාත්‍යන්තරය තුළ සිදුවූ එනම් චීන කෘෂිකර්ම බැංකුවේ ඇමරිකානු ඩොලර් බිලියන 22 ක පමණ කොටස් නිකුත් කිරීම අභිබවා ගිය අතර අන්තර් ජාල වෙළඳාමෙහි නිරත යෝධයෙකු වන එහි කොටස් මිලදී ගැනීමට ලෝකවාසී සියලූ දෙනා දැක්වූයේ උනන්දුවකි.

චීනයේ දකුණේ හැංග්ෂෝ ප‍්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු සාමාන්‍ය පවුලක සාමාජිකයෙකු වූ ජැක් මා බොහො වැර වෑයමෙන් අධ්‍යාපනය ලැබූ බව දැක්වෙයි. අවස්ථා දෙකක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශ විභාග අසමත්විය. නමුත් තුන් වැනි වතාවේ සාර්ථක විය. ඔහුගේ පසුබිම ඉංග‍්‍රීසි ටිකක් දැනගෙන සිටීම නිසා වෙනස් විය. ඔහු ජීවත් වූ ප‍්‍රදේශයට එන සංචාරකයන්ට උදව් කරමින් පරිවර්තන කාර්ය භාරයක් කළ හෙතෙම එහි දී නොදන්නා සංචාරකයෙකු ජැක් යන නම පටබැඳ තිබේ. නැත්නම් හෙතෙම ඒ.කේ.ඒ. මා යන් බව ඔහුගේ වතගොත පිරික්සන විට පෙන්නුම් කරන කරුණකි. විශ්ව විද්‍යාලයට ඇතුලත්ව උපාධියක් ගත් හෙතෙම දරුවන්ට ඉංග‍්‍රීසි උගන්වමින් සිටියේය. ස්ථිර රස්සාවක් වෙනුවෙන් මහන්සිවිය. ජැක් මා කියන පරිදි ආයතන තිහක පමණ සම්මුඛ පරීක්ෂණ වලට ගොස් ඇත. පොලිසියට බැදෙන්නට ගියේය. නුසුදුස්සෙකු විය. ගමට ප‍්‍රකට කේ.එෆ්.සී. ජාලය අවන්හලක් ආරම්භ කළේය. විසි හතර දෙනෙකු අයැදුම් කළේය. විසි තුන් දෙනෙකු තෝරා ගත් අතර ආයතන ඔහු ප‍්‍රතික්ෂේප කරන ලද බව ජැකි පසුව කියා සිටියේය. නමුත් තීරණාත්මක අවස්ථාවක ඇමරිකාවේ සංචාරයකට අවස්ථාව උදාකර ගත්තේය. පරිගණකය ගැන යන්තම්වත් දැනගෙන සිටියේ නැති ජැක් එහි දී අන්තර් ජාලය මුල්වරට පරිහරණය කර බලන්නේය. එය 1995 අවුරුද්දයි. එහිදී සෙවුම් යන්ත‍්‍රයකින් ඔහු සොයන්නේ බියර් ගැන තොරතුරුය. චීනයේ නිෂ්පාදන හැරෙන්නට ලෝකයේ සියලූම තැන් වල බියර් ගැන දත්ත ඔහු ඉදිරියේ තිබේ. නැවත චීනයට ගිය අලූතින් දේ කරන්නට ගොස් හෙතෙම අවස්ථා කිහිපයක අසාර්ථකත්වයට පත් විය. පසුව නිෂ්පාදකයන් හා ගැනුම්කරුවන් මුණ ගස්සවන වෙළඳ වෙබ් අඩවියක් හදයි. මිත‍්‍රයන් කිහිප දෙනෙකු එයට හවුල් වෙයි. එය අලි බාබාය. සේවා අරඹන විට චීනයෙන් පමණක් නොව ලෝකයේ නොයෙක් තැන් වලින් ඔහු ගේ අලිබාබා වානිජ අන්තර් ජාල වෙලඳාම කරා ගැනුම්කරුවන් පැමිණෙන්ට පටන් ගනී. අවුරුදු තුන හතරක් යන විට ඔහු ඇමරිකානු ඩොලර් මිලියන විස්සක තිහක ධනවතෙකි. ඉරණම ලියැවෙන්නට පටන් ගන්නේ එහෙමය.

ගමන එන්නට එකකට එකක් වෙනස් තීරණ ගන්නට වෙයි. ජැක් මා කියන්නේ අන්තර් ජාලය ඔහුගේ ජීවිතය වෙනස් කළත් පරිගණකයක අයිතිකාරයෙකු වූයේ වයස අවුරුදු තිස් තුනේ දී බවය. අලිබාබා කරන්නේ ලෝකයේ විකුණන්නන් සහ පාරිභෝගිකයන් අන්තර් ජාලයෙන් සම්බන්ධ කිරීමයි. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති චීනයේ එය පහසු වෙන්නට ඇත. වසර 2012 වන විට අලිබාබා පිරිවැටුම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනය පසුකරගෙන යයි. එය තීරණාත්මක කඩඉමකි. එයින් ලත් ප‍්‍රසාදය සමග ඇමරිකානු ඩොලර් බිලියන විසිපහක් වන නිව්යෝක් හි ඓතිහාසික මූලික කොටස් නිකුත් කිරීම ප‍්‍රකාශයට පත් කරයි.

ජැක් ගේ ව්‍යවසායකත්වය ලෝක අවධානයට ලක්වෙයි. ප‍්‍රකට සඟරා ඔහු හොඳම ව්‍යවසායක නාමයෙන් හඳුන්වයි. 2014 අවුරුද්දේ දී ෆෝබ්ස් සඟරාව ලෝකයේ බලපෑමක් කළ හැකි තිස් දෙනෙකුගෙන් එක් අයෙකු සේ නම් කරන ලද අතර එයින් අවුරුද්දකට පසු ආසියානු සම්මාන උළෙලක දී ලෝකයේ හොඳම ව්‍යවසායකයා යන සම්මාන පුද කළේය. 2006 දී රස්සාවක් හොයා ගන්නට තැනින් තැන ගොස් ඒ සියලූම තැන් වලින් ප‍්‍රතික්ෂේප වූ ජැක් එයින් අවුරුදු අටකට පසු ජාත්‍යන්තරයේ නම කියැවෙන අසීමිත ජනතාන්ත‍්‍රිකත්වයක් කරා යන්නේ කෙසේද? තේරුම්ගත යුතු එයයි.

ජැක් මා අද වන විට දර්ශනයක් ඇතිව සිය දැවැන්ත ව්‍යාපාරය මෙහෙයවයි. ලාභ ඉපැයීම පමණක් අරමුණ නොවේ. ඔහු දකින්නේ අද ඇති අභියෝග වලට වෙනස් අන්දමට හෙට ලෝකය කොහොම පවතිනු ඇත්ද යන්නය. පරිසරය ගැන ගැටලූ ඇතිවිය හැකි බව දකින හෙතෙම පරිසර ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ව්‍යාපාර වල ආදායමෙන් කොටසක් වෙන් කරයි. සමාගම පුලූල් කර එහි ප‍්‍රධාන විධායක ධුරයෙන් ඉවත්වන හෙතෙම අලිබාබා නිර්මාතෘ සහ සභාපති පදවියෙහි ක‍්‍රියා කරයි. ජැක් මා කියන්නේ තාක්ෂණ යුගයේ ආරම්භය පමණක් බවය. තාක්ෂණය මුල් බැස ගන්නට අවුරුදු හතලිහක කාලයක් වෙන්කරන හෙතෙම ජන සමාජය තුළ තොරතුරු තාක්ෂණයේ විප්ලවය තවමත් සිදුවී නැති බව විශ්වාස කරයි. ජැක් මා මෙම තොරතුරු යුගයේ පදනම තුළ මෙපමණ යෝධයෙකු නම් එය ලොව පුරා මුල් බැස ගන්නා විට සිදුවිය හැකි පරිවර්තනය කෙබඳුද? පවතින රාමුව සහමුලින්ම වෙනස් කර අලූත්ම ව්‍යාපාර පෙලැන්තියක් බිහිවනු ඇත.

වෙළඳාමේ මුහුණුවර වෙනස් විය හැකි අතර තාක්ෂණ යටිතල පහසුකම් තවත් වැඩිවන තරම එයට අත් උදව්වක් වනු ඇති බව ජැක් මා වර්තමානයේ දරන අදහසයි. ලෝකයේ රටවල් අතර වෙළඳ ගිවිසුම්, රටවල් අතර දේශපාලනය පමණක් නොව පවතින සියලූ බැමි බිඳ දමා පාරිභෝජනය අලූත් ඉසව්වකට ගමන් කරන්නට ඉදිරි කාලය සූදානම් වන බව පෙනේ. දැනටමත් ධනවත් බව අතින් ලෝකයේ රටවල් ලැයිස්තුවක් හැදුවොත් එයින් පස් වැනි තැනට එන්නේ අලිබාබා ව්‍යාපාරයයි. රටවල් වලටත් වඩා විශාල දේශ සීමා නැති ව්‍යවසායයක් ගොඩනගන ජැක් මා භාණ්ඩ වලට පමණක් නොව සේවා සහ මූල්‍ය අංශ වලට සිය අලිබාබා අන්තර් ජාල වෙලඳාම ව්‍යාප්ත කරනු ඇත. අද පවතින ජීවිත රාමුව වෙනස් කරන්නකි. බැංකුවකට යන්නේ නැතිව නිවසේ සිටම ණයක් ඉල්ලූම් කරන, එම ණය මුදල ගිණුමට ලැබෙන විට එයින් භාණ්ඩ ඇනවුම් කරන හෝ වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කරන වකවානුවක් දක්වා තත්ත්වය වෙනස් කිරීම ජැක් මා ගේ අභිප‍්‍රායයි. එය පවතින අධිපති බැඳීම් වෙනස් කරන එකකි. ජන නායකයෙකුට එයට වඩා පවතින ක‍්‍රමය වෙනස් කරන්නට වෙනත් යමක් අවශ්‍යද? ඉන්දුනීසියානු රජය අන්තර් ජාලයෙන් විස්මිත පරිවර්තනයක් කළ ජැක් මා එරට ආර්ථික උපදේශකයෙකු සේ ක‍්‍රියා කරන සේ ඇරයුම් කරයි. ලෝකයේ රාජ්‍ය පාලකයින් අවබෝධ කරගෙන ඇත්තේ කුමක්දැයි එයින් වටහා ගත හැකිය.