» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/06/2017 - දේශය
හතරවැනි කර්මාන්ත විප්ලවයට මග හදන මිරොස්ලවා ඩූමා

මිරොස්ලවා ඩූමා තිස් දෙහැවිරිදි රුසියානු ව්‍යවසායිකාවකි. නමුත් ඇය වෙනස් තීරණ ගන්නා අලූත් ආකාරයට හිතන කාන්තාවකි. ජාත්‍යන්තරය ඇය ගැන දන්නේ මෝස්තර නිරූපනයට අදාල කටයුතු කරන්නියක වශයෙන්ය. නමුත් ඇය ගේ ක්ෂේත‍්‍රය එයට වඩා පුළුල්ය. දර්ශනය මෙහෙයන්නේ ඉදිරි සියවස වෙනුවෙන්ය. බ‍්‍රාවෝ 24-7 ඩොට් කොම් නමැති සමාගමේ සම අයිතිකාරිණිය වන ඇය එයට අමතරව මෝස්තර නිර්මාණකරණයෙහි නියැලි තාක්ෂණික විද්‍යාගාරයක ද නිර්මාතෘවරියයි. ස්වභාවික අමුද්‍රව්‍ය විද්‍යාගාරයක දී තාක්ෂණිකව හසුරුවන ඩූමා ඒවායෙන් පෙරැලිකාර නිර්මාණ බිහිකරයි. ඇය කියන ආකාරයට එය අනාගතයේ දී ලෝකයේ හතරවැනි කර්මාන්ත විප්ලවයට මග පෑදීමකි.

දොඩම් ලෙලි වලින් රෙදි නිපදවීම ඩූමා ගේ සමත්කමකි. යුෂ උරා බී පැත්තකට විසි කරන දොඩම් ගෙඩි වල ලෙලි පැත්තකට ගෙන ඒවායෙන් තන්තු සකස් කරන ඇගේ විද්‍යාගාරය එහි හදන නූල් වලින් රෙදි වියනවා පමණක් නොව මෝස්තර නිරූපිකාවන්ට අන්දවා ජාත්‍යන්තරය මවිත කරයි. එයට අමතරව කිරි ප්‍රෝටීන් වලින් ද රෙදි නිපදවමින් සිටී. කාෂ්මීරයේ ඉහළම වටිනාකමක් ඇති රෙදි වලට සමාන වියමනක් ඇති ඒවායෙන් ඇය ඇදුම් නිෂ්පාදනය කරන්නීය. ඒවා ඇඳගෙන ඉන්නා විට සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සියයට සියයක් වාතය එහා මෙහා යන්නට ඉඩ දෙන ස්වභාවයකින් යුක්තය. මේවා ඉතාමත් මිල අධික අති සුඛෝපභෝගී නිමැවුම්ය. සාමාන්‍ය ජනතාව අතරට යන්නේ නැති නිෂ්පාදන නමුත් අනෙක් පැත්තකින් බලන විට අලූත් අදහස්ය. තවත් දශකයක් දෙකක් යන විට මේවා සාමාන්‍ය මිලක් ගෙවා මිල දී ගත හැකි තත්ත්වයට පත්වනු ඇත. අනෙක් කිසිවෙකු හිතන්නේනැති දේ වලින් අලූත් දේ නිපදවන ඩූමා මෙම නිපැයුම් හෙයින් ලෝකයේ වඩාත්ම ඥානවන්ත නිෂ්පාදිකාවක බවට පත්ව සිටින්නීය.

රුසියාවේ ඛනිජ තෙල් වලින් පොහොසත් සුර්ගුට් ප‍්‍රදේශයේ ජන්ම ලාභය ලබන ඩූමා මොස්කව් හි ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ රාජ්‍ය ආයතනයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර හා ව්‍යාපාර කළමණාකරනය විෂය හදාරා එයින් උපාධිය ලබා ගනී. 2008 වසරේ උසස් අධ්‍යාපනය හමාර කරන ඇය එයින් දෙවසරකට පසු විවාහ වන අතර ඔහු ද ව්‍යාපාරිකයෙකි. දරුවන් දෙදෙනෙකුගේ මවක වන ඩූමා නොබෝදා එනම් මෙම ගෙවී යන වසරේ මුල කැලිෆෝනියාවේ පරාර්ථකාමී නවෝත්පාදකයන්ගේ සංසදය හා එක්වූවාය. අවුරුද්දක් පාසා එහි දී ලෝකය පුරා කරන නව සොයා ගැනීම් සම්බන්ධයෙන් විද්වත් අනාවරණය කිරීම් කරන අතර ඩූමා ද එහි දී පරාර්ථකාමී අදහස් ඇතිව කරන ලද ඇයගේ අලූත් අත්හදා බැලීම් දිගටම අනාවරණය කරනු ඇත.

ඩූමා මෝස්තර කර්මාන්තය සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණාගාරයක් නඩත්තු කරන්නීය. එමගින් ව්‍යවසායකත්ව අරමුදලක් ගොඩනගා ඇති අතර අලූත් ආකාරයේ දේ සොයාගැනීම දිරිගන්වන්නට උපකාර කරයි. ඇයගේ අදහස පාරිසරිකව කිසිම බලපෑමක් නොවන දේ වලින් මෝස්තර හදා ජනතාව අතර වෙළද පොලක් සකස් කිරීමය. මෝස්තර කර්මාන්තය තුළ ඇයගේ ප‍්‍රයත්නය එක්තරා ආකාරයකට බලකිරීමක ස්වරූපයෙන් වර්ධනය වන අතර ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ඩූමා නම් කරන්නේ පරිසරය හා වඩාත් සම්බන්ධීකරණයක් ඇතිකරන ඩිජිටල් යුගයේ මෝස්තර ව්‍යවසායිකාවක වශයෙනි.

ඩූමා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයකින් කෘතීම දියමන්ති නිෂ්පාදනයක් ඇරඹූවාය. එය ද අවධානයට ලක්ව තිබේ. දොඩම් ලෙලි වලින් හා කිරි ප්‍රෝටීන් රෙදි නිපදවන හා කෘතීම දියමන්ති හදන ඩූමා ගේ ව්‍යවසාය වල දහසකට වඩා විශේෂඥයන් පිරිසක් තාක්ෂණය භාවිතා කර ඒවා කර්මාන්ත ශිල්පීය ක‍්‍රම බවට හරවමින් සිටී. එපමණක් නොවේ. අලූත් දේ හදා වෙළඳ පොලට එවා එමගින් අලූත්ම සන්නාම ජාත්‍යන්තරයට දුන්වා දෙන්නීය. අලූත් අදහස් මගින් නවෝත්පාදනය හා එය තාක්ෂණය සමග බද්ධ කිරීම මිරොස්ලවා ඩූමා ගේ ප‍්‍රයත්නය යැයි ජගත් විචාරකයෝ කියා සිටී. රුසියාව, කසකස්තානය, මෙක්සිකෝ සහ මැද පෙරදිග රටවල අලූතින් ඉල්ලන මෝස්තර ගැන හිතන ඩූමා ඒවා ගැන අවදියෙන් සිටිමින් 2011 වසරේ දී ජීවිතය හා ඇදුම් මෝස්තර සම්බන්ධ අන්තර් ජාල වෙබ් අඩවියක් නිර්මාණය කර ඉදිරිපත් කළාය. විලාසිතා මාධ්‍ය, දැන්වීම්, ඇඟලූම් මෝස්තර සංදර්ශන අංශ සමග සම්බන්ධතා පවත්වන අතරතුර ලෝකයේ ප‍්‍රමුඛ සන්නාම සමග එකතු වෙමින් මෙතෙක් අවධානයට නොගැණුන පැත්තකට ප‍්‍රවේශ වී ඇත. මෙවැනි අද්විතීය දේ හෙයින් ඇය කෙරෙහි ආශක්ත වන පිරිස ඉතාමත් වැඩි වෙමින් පවතී. ඇය ලෝකයේ කොතැනක සැරිසරන නමුත් පරිහරණය කරන දේ සහ කියන කරන කතා යනාදිය ගැන පවතින්නේ විශාල උනන්දුවකි. ඩූමා ගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුම හා සම්බන්ධ වී ඇති පිරිස මිලියන 1.6 ක් වන අතර ඔවුහු ඇයගේ තාක්ෂණ විද්‍යාගාරයෙන් එළියට එන අලූත් දේ මොනවාදැයි නිතර බලා සිටින බව දැක්වෙයි.

තුන්වැනි දරුවා බලාපොරොත්තුවෙන් ඉන්නා ඩූමා ඉතාම මෑතක දී ලිස්බන්, ස්ටොක්හෝම්, ලන්ඩන් හරහා ඇමරිකාවේ සිලිකන් වැලි ප‍්‍රදේශවල සංචාරය කරන ලද අතර අභිමානයෙන් කියා සිටියේ ‘‘ මම ඉපැදුනේ සයිබීරියාවේ. එය ලෝකයේ ඉතාම සීතල ප‍්‍රදේශයක් පමණක් නොව ඛනිජ තෙල්, ගෑස් හා ස්වභාවික සම්පත් වලින් ද පොහොසත්. මම වැඩෙන්නේ අදහස් වලින් වන අතර එය තෙල් කර්මාන්තය තරම් මිහිතලයට අහිතකර නැත. ’’ යනුවෙනි.

අන්තර් ජාතික ග‍්‍රීන්පීස් ව්‍යාපාරය කියන අන්දමට 2016 වසරේ ලෝකය පුරා මෝස්තර වෙනුවෙන් ඇඟළුම් ඒකක බිලියන අසූවක් නිපදවා තිබේ. මෙයින් හතරෙන් තුනක් මහ පොලවට එකතුවන අතර එක කොටසක් පමණක් ප‍්‍රතිචක‍්‍රීයකරණය වෙයි. කලිසම් ජෝඩුවක් නිෂ්පාදනය කරන්නට ඒ වෙනුවෙන් වූ ශාඛ කොටස් වගා කිරීමේ සිට අවසාන නිපැයුම දක්වා ජලය ලීටර් හත්දාහක් වැය වන බව දක්වන මෙම සංවිධානය මෙවැනි ඇදුම් ඒකක බිලියන දෙකක් අවුරුද්දක් පාසා නිපදවන අතර ඒ වෙනුවෙන් යෙදවෙන රාසායනික ද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් ගණනක් බව දක්වයි. ඒවා කියන්නේ ඩූමා ගේ ස්වභාවික දේ වලින් අලූත් නිර්මාණ නිපදවීම ගැන අදහස් දක්වමින්ය.

ඩූමා වතාවක් අදහස් දක්වමින් කියා සිටියේ ‘‘ මෝස්තර එළිදැක්වීමක් දෙස බලා ඉන්නා විට මේවා වෙනුවෙන් කොපමණ මිනිසුන් ප‍්‍රමාණයක් වෙහෙසුනාදැයි හිතන්නට පෙළඹුන’’ බවය. ‘‘මෙතැන මම ඉන්නේ ඇයි? ඇයි මට ලෝකයේ පැවැත්ම වෙනස් කරන්නට යමක් කරන්න බැරි ඇයි’’ යනුවෙන් යනුවෙන් කල්පනාවක් ඇති වූ අන්දම ද ඇය හෙළිදරව් කළාය.

ලෝකයේ ඉතාමත් සුඛෝපභෝගී ඇදුම් නවීන තාක්ෂණයෙන් යුතුව නිපදවන්නට ඇය කැමැතිය. පාරිභෝගිකයන්ගේ අදහස් වෙනස්වන අතර කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් සූදානම් විය යුතු යැයි අදහසක් වශයෙන් දක්වයි. ‘‘දරුවන් සුඛෝපභෝගී ඇදුම් වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ. ඒ අය බොජුන් හලකට ගොස් රසවත් කෑමක් වෙනුවෙන් වියදම් කරාවි. නමුත් මගේ අදහස එය නොවේ.’’ ඇය කියා සිටී. ඩූමා ගේ දාර්ශනිකත්වය අනුව ඇගේ අදහස ජාත්‍යන්තරයට අනාවරණය කර සිටින්නී මෙසේය.‘‘ ඇදුම කතාවක් කියාවි. එය හැඟීම්බර එකක්. එනම් ඔබ සැහැල්ලූ ඇදුමක් ඇඳගන්නා විට එය ඉවත දමන දොඩම් ලෙල්ලක් ප‍්‍රතිචක‍්‍රීකරණය කර නිපදවන ලද එකක් බව දැනෙන විට මෙම කතාන්දරය රසවත් හා ලෝකය පිනවන එකක් වේවි.’’

ඩූමා දක්වන අන්දමට ලෝකය වෙනස් වෙමින් තිබේ. එයට අනුගත විය යුතුය. 2022 වන විට ලෝකයේ වෙළඳාමෙන් සියයට දහයක් අන්තර් ජාලය හරහා වන බව ලෝක ආර්ථික සංසදය කියන විට එම සියයට දහයෙන් කොටසක් තමන්ගේ අධි සුඛෝපභෝගී පරිසර හිතකාමී නවීන දේ වලට නැඹුරු කරගත හැකි යැයි ඇය විශ්වාස කරයි. ‘‘විසි වන සියවසේ දී ලෝකයේ පින්තූර මුද්‍රණය කිරීමේ වෙළඳාමෙන් සියයට අනූවක් තිබුණේ කොඩැක් අතේ. නමුත් දැන් එම ආයතනය බංකොලොත් වෙලා හමාරයි. ලෝකය තියෙන්නේ වෙනස්වන ව්‍යවසායකත්වයක.’’ යැයි මිරොස්ලවා ඩූමා දක්වයි.

අලූත් දේ නිපදවීම පමණක් නොව ඒවා නිපදවන්නේ ඇයි කියන දර්ශනයත් රටකට වැදගත්ය. ජනතාවත් ජනතාවගේ සන්තානයත් අවදි කරන්නට රුසියානු කාන්තාවක් ඉදිරිපත්ව සිටී. ඇය ගැන තව දුරටත් තොරතුරු කියවා බැලීම වැදගත්ය.