» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/03/2018 - දේශය
න්‍යෂ්ටික දැනුමෙන් ලෝකය හෙල්ලූ පාකිස්ථානයේ ඛාන්

ආචාර්ය අබ්දුල් ඛදිර් ඛාන් පකිස්තානයේ ජනතාවට වීරයෙකි. ඒ.කිව්. ඛාන් නමින් ලෝකය පුරා ප‍්‍රකටය. පකිස්තානයට වීරයෙක් නමුත් ත‍්‍රස්තවාදීන්ට උදව් කරන ලද අයෙකු වශයෙන් ජාත්‍යන්තරය තුළ තක්සේරුවක් තිබේ. රසායනික විද්‍යාඥයෙකු වන හෙතෙම න්‍යෂ්ඨික බලය අත්හදා බලන ලද අතර තවත් රටවල් කිහිපයකට එම බල තාක්ෂණය පතුරවන්නට සමත් විය. ඉරානය, ලිබියාව හා උතුරු කොරියාව න්‍යෂ්ඨික බලය ඇති රටවල් බවට පත් වූයේ ඒ. කිව්. ඛාන් ඉතාම රහසිගතව එම රටවල් වලට තාක්ෂණය පවරන්නට සමත් වූ හෙයින් බව ප‍්‍රකාශ වෙයි. සාමකාමී සමාජයක් ප‍්‍රාර්ථනය කරන ලෝක වාසීහු අවි හරණය ගැන අවධානය යොමු කරන නමුත් තම රට න්‍යෂ්ඨික බලය ඇති රටක් බවට පත් කළේ අබ්දුල් ඛදීර් ඛාන් බව පකිස්තාන වැසියන් අවිවාදිතව පිලිගනිති.

අබ්දුල් ඛදීර් පකිස්තානයේ රසායන පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කර එහි න්‍යෂ්ඨික බලය ගැන අත් හදා බැලීම් කරගෙන ගියේය. 1976 වසරේ සිට වසර විසි පහක් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සහ කලමණාකාර අධ්‍යක්ෂක ධුරය හෙබැවීය. මෙම කාලය තුළ න්‍යෂ්ඨික බෝම්බ ගැන කරන ලද අත්හදා බැලීම් සාර්ථක වූ අතර ජගත් ප‍්‍රජාව බලා සිටිය දී පකිස්තානය න්‍යෂ්ඨික බලවතෙකු විය. ඇමරිකා එක්සත් ජනපදය විශේෂයෙන් පකිස්තානයේ සිදුවීම් ගැන අවධානයෙන් සිටි අතර ආචාර්ය අබ්දුල් ඛදීර් තමන්ගේ න්‍යශ්ඨික රහස් වෙනත් රටවලට පවරන අන්දම නිරීක්ෂණය කළ අවස්ථාවේ දී තද තීරණයක් ගෙන ඇත. ඇමරිකාව සාක්ෂි සහිතව අබ්දුල් ඛදීර් ගේ ජාත්‍යන්තර වැඩ පිලිවෙල හෙළිදරව් කරන ලද අතර එම අවස්ථාවේ දී ආණ්ඩුව සෘජුව එයට සම්බන්ධ නැති වග පකිස්තානය මුලින් කියා සිටි නමුත් පසුව අයි. කිව්. ඛදීර් අත් අඩංගුවට ගත් බව සඳහන් කළ යුතුය. නිවාස අඩස්සියකට පත්කරන ලද හෙතෙම වසර ගණනාවක් හුදෙකලාව ජීවත් විය. කලකට පසු එරට අධිකරණය ඔහුට පකිස්තානය තුළ නිදහසේ ජීවත් වීමට අවසර දුන්නේය. නමුත් ඇමරිකානු ආණ්ඩුව අබ්දුල් ඛදීර් සැලකිය යුතු ප‍්‍රමාණයකින් තවදුරටත් අවධානයකට ලක් විය යුතු චරිතයක් වශයෙන් නම් කිරීම විශේෂ සිද්ධියකි.

අබ්දුල් ඛදීර් 1936 දී උපත ලබන්නේ බෝපාල් හි දී ය. ඔහුගේ පියා ශාස්ත‍්‍රීය අධ්‍යාපනය ලැබ ඉන්දීයාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළේය. ඇෆ්ගනිස්ථානයෙන් පැමිණ ඉන්දියාවේ පදිංචි වී සිටි ඛාන් පවුල පකිස්තානය වශයෙන් ඉන්දියාවෙන් වෙන් වූ පසු 1952 දී කරච්චියට ගොස් එහි ස්ථිර වාසස්ථානය තෝරා ගෙන ඇත. කරච්චි විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය ලැබූ අබ්දුල් ඛදීර් ප‍්‍රමාණ පරීක්ෂක වරයෙකු සේ කෙටිකාලයක් සේවය කළේය. ජර්මනියේ බර්ලින් හා උසස් අධ්‍යාපන අවස්ථාවකට පිටත්ව ගිය හෙතෙම එතැනින් මාරුවක් ලැබ නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණික විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. 1972 වසරේ දී ඔහු බෙල්ජියමේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත. ඇමස්ටඩෑම් හි පර්යේෂණ විද්‍යාගාරයක සේවයට බැඳෙන ආචාර්ය අබ්දුල් ඛදීර් සංවර්ධන කටයුතු වෙනුවෙන් ශක්තිමත් යකඩ භාවිතාව ගැන අධ්‍යයනය කර ඇත. ඇමරිකානු පර්යේෂකයන් හා එක්ව ගෑස් සම්බන්ධව ද අලූත් සොයා ගැනීම් කළේය. අනතුරුව නෙදර්ලන්යට ගිය හෙතෙම එහි දී විවිධ අංශ අලලා කරන ලද ගැඹුරු පර්යේෂණ වල දී සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගත් අතර ඒ වෙනුවෙන් විශේෂ අවධානයට ලක්විය. ඒවා ඉතාමත් සංකීර්ණ විද්‍යාත්මක පරීක්ෂණ වන අතර ඒ වන විටත් ලෝකයේ සිදුවෙමින් පැවැති නව තාක්ෂණික යුගයට ඉමහත් ප‍්‍රයෝජනයක් අත්පත් වන පැති වශයෙන් අවධානයට ගැනිණ.

1970 ගණන් වල පෙරලා පකිස්තානයට පැමිණි ආචාර්ය අබ්දුල් ඛදීර් එවකට ජනාධිපතිව සිටි සුල්පිකාර් අලි බූතෝ සමග සම්බන්ධ වූ අතර පරමාණු බෝම්බ ගැන අත්හදා බැලීම් අරඹන ලද බව සඳහන් වෙයි. ඔහු පකිස්තානයේ පරමානු බල කොමිසමේ සභාපති ධුරයට පත්කරන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් න්‍යෂ්ඨික අවි ප‍්‍රාථමික වශයන් භාවිතා කරන්නට පකිස්තානය නැඹුරු වූ බව ප‍්‍රකාශ වෙයි. ඉන්දියාව හා පකිස්තානය අතර තිබුණ බල අරගලය අබ්දුල් ඛදීර් නැතිනම් ඒ. කිව්. ඛාන්ගේ මෙහෙයැවිමෙන් න්‍යෂ්ඨික බලය තහවුරු කරන්නට පදනමක් වී ඇති බව ප‍්‍රකාශ වෙයි. මුල් අවස්ථාවේ දී එනම් ඔහු නෙදර්ලන්තයේ සේවය කරන වකවානුවේ දී න්‍යෂ්ඨික බලය වෙනුවෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අබ්දුල් ඛදීර් රහසිගතව එකතු කරන බව ජාත්‍යන්තර ප‍්‍රජාව අවබෝධ කරගෙන සිටියේය. නමුත් එය එපමණ අවධානයට ගැණුනේ නැත. නෙදර්ලන්ත පොලිසිය එක අවස්ථාවක අයි. කිව් ඛාන් හා පකිස්තාන රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීහු න්‍යෂ්ඨික ආයුධ ගැන තාක්ෂණය යොයා යමින් සිටින බව අනාවරණය කළේය. සී. අයි. ඒ. සංවිධානය ද එය දැන සිටි අතර පකිස්තානයේ න්‍යෂ්ඨි ජාවාරම ගැන තොරතුරු කාන්දු වන විට ඔහු කළේ පකිස්තානය බලා පිටත්වීමයි. එහි දී එවකට ජනාධිපති සුල්පිකාර් බූතෝ හමු වූ විට ඉන්දියාවට හා සමාන න්‍යශ්ඨික බලය වෙනුවෙන් සැලසුම් සකස් කරන්නට ඇති බව අනාවරණය කර ගත හැකි පැත්තකි. ඇමරිකාව එකල පකිස්තානයට කරන ලද ආර්ථික හා ආරක්ෂක වශයෙන් සම්පාදනය කරන ලද ආධාර අනියමින් න්‍යෂ්ඨික බෝම්බ නිෂ්පාදනය කිරීමට දෙන ලද අනුබලයක් සේ ඇතැම් විචාරකයෝ දක්වා තිබේ.

පකිස්තානය න්‍යෂ්ඨික බලවතෙකු බවට පත් කිරීමෙන් නතර නොවූ අයි. කිව්. ඛාන් ඉරානය, උතුරු කොරියාව හා ලිබියාව යන රටවලට ද න්‍යශ්ඨික බලය සපයා ඇති අතර ජාත්‍යන්තර ප‍්‍රජාව එය දකින්නේ න්‍යෂ්ඨික බලය සම්බන්ධයෙන් කලූ කඩ ව්‍යාපාරයක් ඇති කරන ලද අන්දමටය. බෙනාසිර් බූතෝ බලයට පත් වූ පසු ඇය සමග ද රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා අවස්ථා වල දී ඉරානය සමග කටයුතු කරන ලද බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. ඇමරිකාව පසුව කියා සිටි අන්දමට ඛාන් ලෝකයේ රටවල් දොලහකට න්‍යෂ්ඨික බලය විකුණා තිබේ. එය විශාල ආන්දෝලනයක් ඇති කරන ලද අතර බලය ඇති පාර්ශව හැරෙන්නට ලෝකයේ සෙසු රටවල් වලට න්‍යෂ්ඨික බලය ලැබීම ගැන විශාල භිතියක් මතු කළේය.

සරල ජීවිතයක් ගත කරන ලද ඒ.කිව් ඛාන් ආරක්ෂාව ගැන එපමණ තැකුවේ නැත. නිවාස අඩස්සියෙන් මිදී පැමිණි වහා මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ තමන් මුස්ලිම් මිනිසෙකු වන අතර දැනුම උපයෝගී කරගෙන යමක් කළා විනා නීති විරෝධී දෙයක් නොකරන ලද බවය. ආරක්ෂක භටයන් පිරිවරාගෙන සිටීම බය ඇති කරන හේතුවක් නොවෙන අතර අවස්ථාව පැමිණි විට නික්මයාම හැර අන් දෙයක් නැති බව ද හෙතෙම වතාවක් ප‍්‍රකාශ කළේය.

අසූ දෙහැවිරි ඒ.කිව්. ඛාන් වතාවක් කියා සිටියේ ඔහු කිසිසේත් න්‍යෂ්ඨික තාක්ෂණය විකුණන්නට උත්සාහ කළේ නැති බවය. අනෙක් පුද්ගලයන් එය කරන්නට ඇති නමුත් එය තමන්ගේ වගකීමක් නොවන බව අවධාරණය කළේය. පකිස්තානයේ බලවත් චරිතයක් වශයෙන් ඔහුට කීර්තියක් තිබේ. න්‍යෂ්ඨික බලයේ පියා වශයෙන් හැඳීන්වෙයි. එම බලය උපයෝගී කරගෙන දේශපාලනයට එනවාදැයි මාධ්‍ය ප‍්‍රශ්න කළ විට ඛාන් එය ප‍්‍රතික්ෂේප කළේය. අධ්‍යාපනය හා දර්ශනයට අදාල අංශ වල ඉදිරියේ දී සේවය කරන බව අනාවරණය කර ඇත. මගේ පරම්පරා හතක් දේශපාලනයක නිරත නැති බව කියා ඇති අතර අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි නිරත තමන් ඉදිරි කාලයේ දී කෘෂිකර්මය හා ජලය ආශ‍්‍රිත තාක්ෂණය ගැන උනන්දු වන බව කියා තිබේ.

න්‍යෂ්ඨික බලය ඇති රටක් සේ පකිස්තානය නංවා එහි බලයෙන් කලාපය පමණක් නොව මුළු ලෝකයම තැති ගන්වන ලද ඒ.කිව්. ඛාන් කරච්චි හා ලාහෝර් වලට සංචාරය කරන්නට කැමතිය. ලෝකයේ වෙනත් රටවලට යන්නට එපමණ උන්නදුවක් නැති බව කියා තිබේ. නිතර කුරානය කියවන අතර පුවත්පත් වලට ලිපි ලිවීම ද උනන්දුවෙන් කරයි.