» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/02/2018 - දේශය
පැටි‍්‍රක් සූන් ෂියොන් ගේ ගමන්මග

ප‍්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු, පර්යේෂකයෙකු සහ ධනවතෙකු වන පැටි‍්‍රක් සූන් ෂියොන් කෙරෙහි ජාත්‍යන්තර මාධ්‍ය නොබෝදා විශේෂ අවධානය යොමු කළේය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ අයිතිය ලබා ගැනීම එයට හේතුව විය. වෛද්‍ය පර්යේෂකයෙකු හා ඔහුගේ නමට ඉදිරියෙන් පේටන්ට් බලපත‍්‍ර 230 ක් හිමි පැටි‍්‍රක් සූන් මාධ්‍ය ආයතනයක් මිල දී ගැනීම ආන්දෝලනයක් ඇති කරන ලද නමුත් ඔහුගේ ධනය ආයෝජනය කරන විලාසය අනුව එය එපමණ මවිත විය යුතු එකක් නොවන බව ද සනාථ වෙමින් තිබේ.

නිව්යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, සහ ලොස් ඇන්ජලීස් ටයිම්ස් යන පුවත්පත් ඇමරිකාවේ ප‍්‍රධාන ධාරාවේ පුවත් පත් වන අතර ජාත්‍යන්තර ප‍්‍රසිද්ධ ඒවා සේ සැලකේ. මෑතක දී ප‍්‍රකට තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යවසායකයෙකු හා ධනවතෙකු වන ජෙෆ් බිසෝස් වොෂින්ටන් පෝස්ට් පුවත් පත මිල දී ගත් අතර තාක්ෂණය ප‍්‍රවේශ වීම සමග පුවත් පත් හි පැවැත්ම සම්බන්ධ අභියෝගය හමුවේ තාක්ෂණ අංශයෙහි ආයෝජකයන් සම්ප‍්‍රදායික මාධ්‍ය අයිතිකාරත්වයෙන් ඒවා අත්පත් කරගනිමින් සිටින බව පෙනේ. විචරකයන්ට අනුව පැටි‍්‍රක් සූන්ගේ ආයෝජනය ද එවැනි එකකි.

පැටි‍්‍රක් සූන් ෂියොන් දකුණු අපි‍්‍රකාවේ උපත ලැබූ ඇමරිකානු පුරවැසියෙකි. ෂියොන් ගේ දෙමාපියන් චීන වැසියන්ය. පියා ආයුර්වේද වෛද්‍යවරයෙකි. දෙවන ලෝක යුද්ධය වකවානුවේ චීනයේ ගුවැන්ගොන් හි සිට දකුණු අප‍්‍රිකාව කරා සංක‍්‍රමණය විය. පෝට් එලිසෙබත් හි පදිංචි වී සිටි පැක්ටි‍්‍රක් ගේ දෙමව්පියෝ මූලික අධ්‍යපනයෙන් පසු ඔහු ජොහැන්ස්බර්ග් හි විට්ස් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබන අන්දම දැක බෙහෙවින් සතුටට පත් විය. කෙටි කාලයක් ජොහැන්ස්බර්ග් රෝහලේ වෛද්‍යවරයෙකු සේ සේවය කරන ලද අතර එහි දී වෛද්‍ය ශිෂ්‍යයෙකු වශයෙන් ලත් අත්දැකීම් පසු කාලයක කියා සිටියේය. චීන ජාතිකයෙකු නිසා පළමු පත්වීම තමන්ට ලැබුණේ සිසුන් එකසිය අසූ ගණනක් අතරින් හතර වැනියා සේ හොඳ සමත්කම් පෙන්වූ හෙයින්වන අතර නොඓසේනම් රොහල් පාලනාධිකාරිය ඔහුගේ පත්වීම ප‍්‍රතික්ෂේප කරන මට්ටමක සිටියේය. ඇතැම් කලූ අප‍්‍රිකානුවන් ඔහුගෙන් ප‍්‍රතිකාර ගැනීමට කැමැති වූයේ නැත. තරුණ පැටි‍්‍රක සූන් එයින් කිසිසේත් සසල වූයේ නැත. ඔහු තව දුරටත් ඉගෙනගැනීම සඳහා කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. කැනඩාවෙන් හා ඇමරිකාවෙන් ශල්‍ය වෛද්‍යවරයෙකු සේ පරිනත අධ්‍යාපනය හමාර කරන හෙතෙම අනතුරුව කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ දී ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉහළටම හදාරා ලොස්ඇන්ජලිස් නගරය ස්ථිර පදිංචිය සඳහා තෝරා ගනී.

1983 සිට අට වසරක් කැලිෆෝනියාවේ වෛද්‍ය විද්‍යාලයේ සේවය කරන අතරතුර හෙතෙම අවයව බද්ධ කරන අංශයෙහි සේවය කරන්නට කැමැත්තක් දැක්වීය. එහි දී පළමුවරට අග්න්‍යයාශයක් බද්ධ කරන කාර්යය සම්පූර්ණ කිරීමේ ගෞරවය වෛද්‍ය පැටි‍්‍රක් අත්පත් කරගනී. පිලිකා රෝගය ගැන විශාල වශයෙන් උනන්දුවන හෙතෙම ඒ ගැන පර්යේෂණ සෑහෙන ප‍්‍රමාණයක නිරත වෙයි. දරුණු දියවැඩියාව වලකනු සඳහා ගත හැකි පියවර වෙනුවෙන් ද අලූත් සොයාගැනීම් හා අවයව බද්ධ කිරීම් ගැන ද අවධානය යොමු කළේය. පිලිකාව හා දියවැඩියාව සම්බන්ධ ජෙව විද්‍යාත්මක පර්යේෂණ කරන ඒකකයක් ආරම්භ කළ අතර එය පසුව පිලිකා නාශක ප‍්‍රතිකාර සොයා ගැනෙන හා නිෂ්පාදනය කරන සමාගමක් දක්වා විහිදී ගියේය. 2008 වන විට ලෝක ප‍්‍රකට වූ මෙම සමාගම ඇමරිකානු ඩොලර් බිලියන හතරහමාර ඉක්මවන ව්‍යාපාරයක ස්වභාවයට පත් වී තිබේ. එය විකුණා දමන පැටි‍්‍රක් පසුව තවත් සමාගමක් නිර්මාණය කර එය ද ඇමරිකානු ඩොලර් බිලියන තුනක මිලකට පැවරීය.

පැටි‍්‍රක් සූන් ෂියොන් 1997 දී වෛද්‍ය තොරතුරු මල්ටි තන්තු දත්ත ප‍්‍රවාහයකට නතු කරන ලද අතර ප‍්‍රතිකාර ක‍්‍රම හුවමාරු කරගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගත්තේය. එමගින් වෛද්‍යවරු, රෝහල් පමණක් නොව රක්ෂණ ක‍්‍රම ද එකම පද්ධතියකට යොමු කරන ලද අතර එය විස්මිත දත්ත පද්ධතියක් සේ මහත් පැසසුමට ලක් වූයේය. 2012 වසරේ දී හෙතෙම නැන්ත්හෙල්ත් සපිරි පරිගණක පද්ධතියක් නිර්මාණය කළේය. එය තත්පර හතලිස් හතක් ඇතුලත ජාන තාක්ෂණයෙන් රෝග විශ්ලේෂණයට පහසුකම් ඇති බව ප‍්‍රකාශයට පත් කරන්නට සමත් විය. එයින් වසරකට පසු පිලිකාව සම්බන්ධ ප‍්‍රතිකාර ක‍්‍රම, ඖෂධ සහ කලින් රෝගය හදුනාගැනීම අරභයා කරන ලද පර්යේෂණ වලට අදාලව තවත් සොයා ගැනීම් සෑහෙන ප‍්‍රමාණයක් කරන ලද අතර ඒවායේ ප‍්‍රතිඵල ජන සමාජය වෙත යොමු කරනු සඳහා බිහිකරන ලද සමාගම් ලෝකය පුරා විශාල අවධානයක් දිනා ගත්තේය.

පැටි‍්‍රක් සූන් පිලිකාව මර්දනයට තනිව සටන් කරන්නට සූදානම් වූයේ නැත. 2016 මුල් භාගයේ දී ඖෂධ නිපදවන සමාගම් අතර සන්ධානයක් ඇති කරන්නට පියවර ගත්තේය. ඒවා අතර සහයෝගීතාවයෙන් අලූත් පැති ගැන අධ්‍යයනය කරන්නට සියළු පර්යේෂකයන් එක අරමුණකට ගොනු කරන්නට සමත් විය. එවකට ඇමරිකානු උප ජනාධිපති වශයෙන් සිටි ජෝ බයිඩන් සමග සාකච්ඡා කළ හෙතෙම ඇමරිකාව පිලිකා විරහිත රටක් කරන දැවැන්ත සැලැස්මක් සකස් කරන බලවත් ඉදිරි පියවරක් තැබීය. රෝගීන් ලක්ෂයකගේ ජාන රැස් කර රෝග තත්ත්වයන් හි ආදර්ශ වෙබ් ජාල ගත කරන ලද අතර එයින් රෝගීන් ගේ ස්වභාවය කලින් හදුනාගන්නට අවශ්‍ය කරන පසුබිමක් නිර්මාණය කිරීම විශේෂ සිද්ධියකි. වඩා බලවත් අලූත් ප‍්‍රතිකාර ක‍්‍රම හා ඖෂධ වෙනුවෙන් ද එයින් ලැබුණේ මනා පිටිවහලකි. ඔහුගේ දැනුම, කාලය සහ උපයන ධනය පිලිකාව ගැන සොයන්නට වැය කරන ලද අතර එය කිසිසේත් ඇමරිකාවේ සුබසිද්ධියට පමණක් සීමා වූයේ නැත. ලෝකය පුරා එම දැනුම පැතිර ගියේය. දස දහස් සංඛ්‍යාත රෝගීහු එයින් සුවපත් වූහ.

ඇරිසෝනියා විශ්ව විද්‍යාලය හා ඇරිසෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලය එකතු කරගත් පිලිකා ප‍්‍රතිකාර තොරතුරු සමාජය තුළ විහිදුවාලන අලූත් ආයතනයක් හදුන්වා දෙන්නට හෙතෙම සමත් වෙයි. ප‍්‍රතිකාර විධි හා ඒ වෙනුවෙන් යෙදවෙන මුදල් වෙනුවෙන් පවතින සම්ප‍්‍රදායික ව්‍යුහය වෙනස් කිරීම එහි අරමුණ විය.

නව සොයා ගැනීම හා වෛද්‍ය ක්ෂේත‍්‍ර‍්‍රයේ සමත්කම් වලට සීමා වී නැති පැටි‍්‍රක් සූන් තමන් ජීවත්වන ලොස් ඇන්ජලීස් හි ශාන්ත මොනිකා සහ මාර්ටින් ලූතර් කිං ප‍්‍රජා රෝහල් වලට ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනින් ඉපැයූ ධනය පරිත්‍යාග කළේය. ඔහුට අයත් සමාගමක් කරන ලද නිවේදනයකට අනුව කැලිෆෝනියාවේ රෝහල් හයක් නඩත්තු කරන්නේ එම සමාගමයි. ඔහුගේ බිරිය මයිකල් චාන් සමග එකතුවී චාන් සූන් ෂියොන් පවුලේ පදනම පිහිටුවාගෙන ඇති අතර එය ලෝකය පුරා පොදු ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කරයි.

වෛද්‍යවරයෙකු, පර්යේෂකයෙකු හා ව්‍යවසායකයෙකු වන පැටි‍්‍රක් සූන් ෂියොන් ලොස්ඇන්ජලීස් මාධ්‍ය ආයතනය සිය සමාගම් අතරට එකතු කරගන්නා අතර එය ගැන ද කියන්නේ පිලිකාව තුරන් කරන පණිවුඩයකට යන අදහසයි. ඔහුගේ අවසාන අභිලාශය පිලිකාව ජය ගැනීමය. රෝග තුරන් කරන පර්යේෂණ වල නිරත වීමය. ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම බෙදාහදා ගැනීමය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෑතක දී පැටි‍්‍රක් සූන් මුණ ගැසුණු අතර ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ගැන එහි දී සාකච්ඡා කරන ලද බව සඳහන්ය. චීනයෙන් ආරම්භ කරන ලද ගමන දකුණු අප‍්‍රිකාවෙන් පන්නරය බලා අද වන විට ජාත්‍යන්තර අවධානය දිනා ගන්නට සමත්ව ඇති පැටි‍්‍රක් සූන් ෂියොන් ගේ ගමන දෙස ලෝකය පුරා විද්වතුන් පර්යේෂකයන් පමණක් නොව ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද මහත් අවධානයෙන් බලා සිටී.