» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/09/2017 - දේශය
ලෝකයටම එපා වූ ට්‍රම්ප්ගේ බෙනන්

ස්ටීව් බෙනන් චරිතයට ලෝකය පුරා විශාල අකමැත්තක් තිබේ. නමුත් හෙතෙම අවධානයක් දිනාගත් චරිතයකි. ඉකුත් ඇමරිකානු ජනාධිපතිවරණය සමග බෙනන් ඉදිරියට පැමිණෙයි. වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත් කරන මාධ්‍ය කාර්ය භාරයේ දී ස්ටීව් බෙනන් ගේ දායකත්වය කැපී පෙනෙයි. ජනාධිපතිවරණයෙන් පසු ඇමරිකානු ධවල මන්දිරයේ ඔහු වෙනුවෙන් අලූත් ධුරයක් නිර්මාණය කරන ලදී. ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන උපායශීලි නිලධාරී තනතුර හෙබවූ ස්ටීව් පසුගිය අගෝස්තුවේ දිනයක තනතුරෙන් ඉල්ලා අස්වූ අතර ධවල මන්දිරයෙන් නිකුත් වූ නිවේදිනයක සදහන් වූයේ අවබෝධයක් ඇතිව ද්වී පාර්ශවික කැමැත්තෙන් තනතුර හැරයන්නට ස්ටීව් බෙනන් තීරණය කළ බවය.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ විශ්වාසවන්තම පුද්ගලයෙකු වූ නමුත් ඔහු අනුගමනය කළ ප‍්‍රතිපත්ති සහ ඉදිරිපත් කළ අදහස් බලය අල්ලා ගන්නට විනා බලය පවත්වාගෙන යන්නට ප‍්‍රයෝජනවත් වූයේ නැත. ට‍්‍රම්ප් ජනාධිපතිවරයා තවදුරටත් බෙනන් ගේ උපායශීලී අදහස් වලට අවනත විය හැකි තත්ත්වයක නැත. ජනාධිපතිවරණයේ දී ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරන ලද අදහස් රාජ්‍ය පාලනයේ දී ඉදිරියටත් පවත්වාගෙන යාමට බලකරන වෑයම අඛණ්ඩව කරගෙන යනු උදෙසා මෙහෙයැවෙන බව කියන්නට බෙනන්ට සිදුවිය. ඒ අනුව ඔහුගේ බ‍්‍රයිට්බාට් නිව්ස් ආයතනයේ වැඩට ආපසු යන බව කියා සිටියේය.

බ‍්‍රයිට්බාට් ඇමරිකාවේ ප‍්‍රකට තොරතුරු වෙබ් අඩවියකි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ආන්දෝලනාත්මක මත ඉදිරියට පැමිණියේ මෙතැනින්ය. ඉකුත් ජනාධිපතිවරණයේ දී සම්ප‍්‍රදායට එපිටින් පුද්ගලික සටනක් වශයෙන් පැමිණි ට‍්‍රම්ප් ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයට එරට මාධ්‍ය වඩා ඉඩක් දුන්නේ නැත. ෆොක්ස් නිවුස් ඒජන්සිය යම් ප‍්‍රමාණයකින් ට‍්‍රම්ප් ට වාසිදායක අන්දටම ක‍්‍රියාකරනලද නමුත් එය ජනාධිපතිවරණ සටනේ මාධ්‍ය සහාය සම්බන්ධ අපේක්ෂකයන්ගේ පරතරය අහසට පොලව මෙන් තත්ත්වයකි. එය සමබර කරන්නට ඉතා ආකර්ශණීය අන්තවාදී ප‍්‍රචාරයක් ආරම්භ කළේ බ‍්‍රයිට්බාට් වන අතර එහි පිටුපස සිටියේ ස්ටීව් බෙනන්ය.

බෙනන්ට ඇමරිකානුවෝ කැමැති නැත. එරට පුරවැසියන්ගෙන් සියයට අනූවක් ඔහු ගේ හැසිරීම ප‍්‍රතික්ෂේප කරයි. අන්තවාදියෙකු සේ සලකන අතර අන්ත දක්ෂිණාංශික මත ඉදිරිපත් කරන්නෙකු සේ සලකයි. ජාත්‍යන්තර මධ්‍යස්ථ මතවාදීන්ට ද බැනන් පෙන්නන්නට බැරි කෙනෙකි. ස්ටීව් බෙනන් යනු ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ පිටුපසින් සිටි යක්ෂයෙකු නැතිනම් දරුණු අවතාරයක් වශයෙන් කාටුන් වල පවා පෙන්වා දී තිබිණ. එයට හේතු වූයේ ඉදිරිපත් කරන ලද සාහසික මත බව සැලකේ. නීති විරෝධී සංක‍්‍රමණ, මුස්ලිම් විරෝධය සහ අප‍්‍රිකානු ඇමරිකානුවන් වශයෙන් මහත් ආන්දෝලනයට ලක්වූ ප‍්‍රකාශ පිටුපස බෙනන් සිටි බව දැක්වෙන අතර ඔහු ට‍්‍රම්ප් වෙත අදහස් කාවද්දන්නට සමත් වූවා යැයි පිලි නොගන්නා නමුත් එකම අදහස් ඇති දෙදෙනෙකු වඩා ප‍්‍රබල ලෙස ජනමතය අවුලවන්නට සමත් වූ බව අද විචාරකයෝ පෙන්වා දෙන කරුණකි. ට‍්‍රම්ප් ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණයේ ප‍්‍රධාන විධායක ධුරය භාරගැනීමෙන් පසු බෙනන් සිය බ‍්‍රයිට්බාට් ඇතුළු සමාජ මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් යුතු සාහසික අන්තවාදී අදහස් විසුරුවාහරින ලද අතර එය ඇමරිකානු සමාජයේ එක්තරා කොටසකට ස්වදේශිකත්වය ගැන අදහසක් ඇති කරන්නට සමත් වූ බව සැලකේ. ලෝකයේ බහුතරයක් අකමැති දැඩි ජාතිවාදී සහ ආගම්වාදී අදහස් බෙනන් ගේ මාධ්‍ය භාවිතාව තුළ තිබුණ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට එය බලපෑවේය.

ස්ටෙෆාන් කෙවින් බැනන් නමින් 1953 නොවැම්බර් මාසයේ විසි හත්වැනි දා වර්ජිනියා හි දී උපත ලැබූ අතර හෙතෙම මුලික අධ්‍යාපනයෙන් පසු වර්ජිනියා හි තාක්ෂණික විද්‍යාලයකට ඇතුලත් විය. එහි ඉගෙනගන්නා සමයේ අතිරේක ආදායමක් ඉපැයීම අරමුණු කරගෙන කැළි කසල අංගනයක සේවය කරන ලද අතර එහි සේවය නිමවා පැමිණෙන විට බෙනන්ගේ අම්මා නහය හකුළුවා ගත් බව සඳහන්ය. නගර සැලසුම් කිරීම ගැන උපාධිය හිමිකරගත් තරුණ බෙනන් පශ්චාත් උපාධිය ලබාගන්නේ ජාතික ආරක්ෂක අධ්‍යයන අංශයෙන්ය. තවදුරටත් ඉගෙන ගෙන ශාස්ත‍්‍රපති උපාධිය හාවඞ් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් අතර ඒ අතරවාරයේ හෙතෙම ඇමරිකානු නාවික හමුදාවට එකතු වී සේවය කරමින් සිටියේය. අංශ ගණනාවකට සිය සේවය ලබා දුන් අතර ඔහු හිටපු ආයෝජන බැංකුකරුවෙකු සහ මාධ්‍ය විධායකයෙකු සේ සැලකෙයි. වෘත්තිය ජීවිතයේ දී ඉහළම තැනට පත් වන්නේ බ‍්‍රයිට්බාට් හි විධායක සභාපති ධුරය සමගය. තොරතුරු මතවාද හා ප‍්‍රචාරාත්මක වෙබ් අඩවියක් වූ එය අන්ත දක්ෂිණාංශික අදහස් පතුරවන ලද බව ප‍්‍රකටය.

1990 දී බැනන් විනෝදාත්මක සිනමාව හා මාධ්‍ය ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ විය. හෙතෙම බොලිවුඞ් චිත‍්‍රපටි දහ අටක් නිෂ්පාදනය කළේය. පසුව රූපවාහිනි වැඩසටහන් අංශයට ද එකතු විය. රොනල්ඞ් රේගන් ගැන වාර්තා චිත‍්‍රපටයක් හැදු අතර එක කාලයක වීඩියෝ ක‍්‍රිඩා නිෂ්පාදනයෙහි නිරත වූයේය. එය නීතියෙන් අභියෝගයට ලක් වූ විට අනෙක් පැත්තකට එය යොමු කළේය.

උද්වේගකර අදහස් පතුරවන අලූත් පැති ගැන හොයා යන පුද්ගලයෙකු වශයෙන් සිටි හෙතෙම එක්තරා තීරණාත්මක අවස්ථාවක ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමග ඔහුගේ ජනාධිපතිවරණ සටනට සම්බන්ධ වන අතර අදහස් විවාදාපන්න වීම හේතුවෙන් ඇමරිකාව තුළ පමණක් නොව එයින් බැහැර ජාත්‍යන්තර සමාජය තුළත් වෛරයට භාජනය වෙන්නේ එයින් අනතුරුවය.

ස්ටීව් බැනන් ගේ ආධාරයෙන් ඇමරිකානු ජනාධිපතිවරණයේ දී සමාජය තුළ වෛරය ඇවිල වූ අතර පොඩි මිනිහා ගැන නොසොයන පාලකයන් ගෙන් පලක් නැති බවට මතයක් ගොඩනැගීය. සුදු දුප්පතා යනුවෙන් නව සංකල්පයක් ඉදිරිපත් කළේය. ලෝකයේ නන් දෙසින් සංක‍්‍රමණය වන පිරිස ඇමරිකාවේ සම්පත් ප‍්‍රයෝජනයට ගන්නා අතර එකී ක‍්‍රමය වෙනස් කරන ව්‍යුහයක් ගැන අන්තවාදී අදහස් බ‍්‍රයිට්බාට් වලින් නිකුත් වූ අතර ඒවා ඉකුත් ඇමරිකානු ජනාධිපතිවරණ සටන උද්වේගකර තැනකට කැඳවීය.

ජනාධිපති ඩොනල්ඞ් ටම්ප් ගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධවීමෙන් පසු පවා ස්ටීව් බෙනන් ක‍්‍රියා කළේ පුරුදු ආකල්පයෙන්ය. එහි ප‍්‍රතිඵලයක්වශයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ස්වදේශික කටයුතු ඉදිරියේ පරස්පරතා ගොඩනැගුණ බව සඳහන් කරන්නට අවශ්‍යය. ඇමරිකානු ජනාධිපතිවරයාට බලයට පත්වීමෙන් පසු මධ්‍යස්ථ භාවයට පැමිණෙන්නට අවශ්‍ය වූ නමුත් ස්ටීව් බෙනන් ප‍්‍රධාන ඇතැම් පිරිස් වෙතින් එයට ඉඩ නොලැබුණ බව ප‍්‍රකට කරුණකි.

පුද්ගලික ජීවිතයේ දී ද තෙවතාවක් විවාහ වී එම තුන් වතාවේදීම දික්කසාද වී ඇති අතර ඔහුට තරුණ දියණියන් තිදෙනෙකු සිටී. පවුල් ජීවිතය හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල දී ද අන්තවාදී වූ අවස්ථා ජාත්‍යන්තර මාධ්‍ය වල කතා බහට ලක් වු බව දැක්වෙයි.

ට‍්‍රම්ප් පාලනය තුළ අන්තවාදී ආකල්ප දියුණුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් යෝජනා අනුමතවීමේ ප‍්‍රතිශයත සියයට තිස් හත දක්වා පහත වැටුණ බව බටහිර මාධ්‍ය වාර්තා කළේ එය රාජ්‍ය ආර්ථිකය තද ස්වදේශිකත්වයට නැඹුරුවන හා එයින් අයහපතක් වන බව පෙන්වමින්ය. රට තුළින් සහ ජාත්‍යන්තරව නැගී ආ බෙනන් විරෝධය තේරුම්ගත් ස්ටීව් බෙනන් නිල කටයුතු වලින් ඉවත්වන තීරණය පසුගිය මාසයේ දී ගත් අතර ඔහු කියා සිටියේ තවදුරටත් ට‍්‍රම්ප් ගේ භූමිකාව ආරක්ෂා කිරීම වෙනුවෙන් වන මාධ්‍ය භාවිතාවක නිරත වන බවය. එය අවධාරණය කරමින් නැවතත් බ‍්‍රයිට්බාට් වෙත ගිය ස්ටීව් බෙනන් එහි කාර්ය මෙහෙයවන අන්දම ඉදිරි කාලයේ දී නිරීක්ෂණය කළ හැකි වනු ඇත. කෙසේ වෙතත් ඔහුගේ ආකල්ප හා මග වලට ඇමරිකාවෙන් පමණක් නොව ජාත්‍යන්තරයෙන් ද බලවත් විරෝධය නැගී තිබේ. ඔහුගේ අදහස් එක හෙලා ප‍්‍රතික්ෂේප කරන පිරිස් පෙන්වා දෙන්නේ ඔහු ට‍්‍රම්ප් ගේ අවතාරය බවය. සුදු දුප්තුන් වෙනුවෙන් පෙනී සිටින අදහස් වලින් නැගී ඉදිරියට පැමිණි බෙනන් ගේ වත්මන් ස්වභාවය අධ්‍යයනය කළ යුතු අතර එය අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවල දී පාඩමක් බව සඳහන් කරන්නට අවශ්‍යය.