» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/06/2018 - දේශය
බලයට සටන් නොකර මහ බලවතෙක් වු කොමෙයිනි

ඉස්ලාම් ආගම වෙනුවෙන් කැපවුණ විශිෂ්ට නායකයෙකු හැටියට අයතොල්ලා රුහොල්ලා කොමෙයිනි චරිතය ඉතිහාසයට එකතු වී තිබේ. ෂියා මුස්ලිම් පවුලක උපත ලැබූ කොමෙයිනි ඉරානයේ අනන්‍යතාවයේ ලක්ෂණය නැවත ගොඩනැගූ ප‍්‍රබල අදිසි නායකත්වය වශයෙන් අද ජගත් ප‍්‍රජාව ගේ අවධානයට ලක්ව ඇත. බටහිර ප‍්‍රතිසංස්කරණ වලට ලක්ව බරපතල වෙනස්කම් වලට ලක්විය හැකිව තිබුණ සමාජ ව්‍යුහයක් ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන ගෙන ගිය ඔහුගේ අධ්‍යාත්මික මෙහෙවර විශාල ගෞරවයකට හේතු වී තිබේ.

විසිවන සියවසේ වඩාත් කැපී පෙනුණ පුද්ගලයන් සිය දෙනාගෙන් කෙනෙකු වශයෙන් ටයිම් සඟරාව විසින් අයතොල්ලා කොමෙයිනි නම් කළ අතර 1979 වසරේ ඔහු ජගත් චරිතය ලෙස ද නම් කරන ලදී. ආගමික නායකයෙකු වශයෙන් ඉරානයේ අනන්‍යතාවය වෙනුවෙන් ගෙන ගිය නිහඬ එහෙත් සංකීර්ණ අරගලයක කේන්ද්‍රීය චරිතය බවට පත්වන්නට ඔහුට හැකි විය.

ටෙහෙරානයෙන් කිලෝ මීටර් තුන්සියයකට ඈතින් පිහිටි කොහොමීන් හි උපත ලැබූ කොමෙයිනි ගේ ජීවිතය බාල අවධියේ සිට දුක වේදනාව හා ලේ ගංගා මැදින් ගලා ගිය එකකි. මව පියා හා ඥාතීන්ගේ අභාවයෙන් තනිවූ කොමෙයිනි වැඩිපුර ආගම පැත්තට නැඹුරු වූ අතර ඉස්ලාම් දර්ශනය ගැනත් නීතිය ගැනත් වැඩි අවබෝධයක් ලැබීය. එවකට පැවැති ෂා අධීරාජ්‍යයා ගේ පාලනය එරට ව්‍යුහය බටහිරට නැඹූරු කරන බව අවබෝධ කරගත් කොමෙයිනි ඇතුළු ෂියා ආගමික නායකයන් විරෝධය මතු කළ අතර ඉරානය දියුණූ කරන සුදු විප්ලවය නමැති බටහිරට නතු අදහස් නොගැලපෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. ඉඩම් හා නීති ප‍්‍රතිසංස්කරණ, රජය සතු ආයතන පැවරීම, ආගමික තීන්දු වලට එපිටින් යමින් ලාභ උපයන ව්‍යාපාර කරා යාම වැනි කාරණා කුමෙයිනි ඇතුළු ආගමික නායකයන් බලවත් කම්පාවට පත් කළේය. කොමෙයිනි ඉරාන ජනතාව දැනුම්වත් කළ අතර සුදු විප්ලවයට විරුද්ධ බලවේගයක් බිහි කළේය. ෂා ගේ පාලනය කොමෙයිනි අත් අඩංගුවට ගත්තේය. ඇමරිකානු මැදිහත්වීම නිසා පර්සියානු අනන්‍යතාවය රහිත වහල් බිමක් බිහිවීම වලක්වන බලවේගය තවත් මතු කරන්නට මෙම අත්අඩංගුවට ගැනීම හේතුවක් විය. මාස අටක් නිවාස අඩස්සියේ සිටි අතර ජනතාව එයට විරුද්ධව කැරල්ලක් සංවිධානය කළේය. ෂා ගේ හමුදා ප‍්‍රහාර වලින් හාරසියයක් පමණ උද්ඝෝෂණ වල දී ජීවිතක්ෂයට පත් විය. තාවකාලිකව නිදහස ලැබූ කොමෙයිනි සිය අරගලය නැවත ඇරඹීය. නැවත අත් අඩංගුවට ගත් ඔහු රටෙන් පිටුවහල් කරන්න ෂා පාලනය තීන්දු කළේය.

ඉරානයේ නායකයා බවට පත්වන බලය අල්ලා ගන්නා සටනක අයතොල්ලා රුහොල්ලා කොමෙයිනි නිරත යැයි ෂා හිතවාදී කඳවුරේ විශ්වාසය වී තිබුණි. නමුත් ඔහුගේ කැමැත්ත වූයේ බලය නොවේ. ඉස්ලාමික් ධර්මයට අනුකූල රටක් ගැන ඔහු සිහින මැවීය. සම්ප‍්‍රදාය ආරක්ෂා කරගැනීම එකම අරමුණ විය. බලය අල්ලාගෙන ඉරානයේ පාලකයා වීමට කොමෙයිනි උත්සාහ කළේ නැත. අධ්‍යාත්මික නායකයෙකු වශයෙන් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති වල වැදගත්කම සලකා ජීවතුන් අතර නැති කොමෙයිනි වඩා ගෞරවාදරය දිනාගත් ආගමික සංකේතයක් වී තිබේ.

පිටුවහල් කරන ලද කොමෙයිනි ඉරාකය සහ ඉන් පසු තුර්කිය පදිංචිය සඳහා තෝරා ගත් අතර තුර්කි හමුදා නිලධාරියෙකුගේ නිවසේ නතරව සිටි හෙතෙම නැවත ඉරාකයට පැමිණියේය. වසර දහතුනක් විතර එක දිගටම එහි විසූ කොමෙයිනි එතැනින් පිටමං වූයේ එවකට ඉරාකයේ උප ජනාධිපති වශයෙන් සිිටි සදාම් හුසේන් රටින් පිටව යන සේ කරන ලද දැනුම් දීමෙන් අනතුරුව බව සඳහන්ය. රටින් පිට සිටි කොමෙයිනිගෙ ඉරානය එක්ක තිබුණ බැඳීම අලූත් ආරම්භයක් දුන් අතර ඉරාකයේ වෙසෙමින් ඉරාන වැසියන් පෙළඹවීම ප‍්‍රශ්නයක් බව සදාම් හුසේන් තේරුම්ගත් බව සැකයක් නැත. ඉරානය ෂා පාලනයයෙන් ගලවා ගැනීම සඳහා සන්නද්ධ අරගලයකට ආයුධ එකතු කරනු වෙනුවට සිය ජනතාව වෙත ආගමික පණිවුඩ යවන්නට කුමෙයිනි පියවර ගෙන තිබිණ. ඒ වන විට පැවැති තාක්ෂණය අනුව කැසට් පටි වල පටිගත කරන ලද ආගමික නායක කොමෙයිනිගේ දේශන ටෙහෙරානයට යැවුණ අතර ඒවාට සවන් දුන් තරුණ පිරිස අතරින් අලූත් අදහස් සහිත බලවත් ව්‍යාපාරයක් නිර්මාණය විය. රහසිගතව කොමෙයිනිගේ අදහස් වලට සවන් දීම පැතිරුණ අතර එය නූතන සමාජ මාධ්‍ය ජාල වලින් කරන අදහස් පැතිරවීමකට සමාන කළ හැකිය. කොමෙයිනිගේ දේශන හා ලිපි ලේඛන වලින් තියුණූ අවි ආයුධ වලින් කළ නොහැකි දේ කරන්නට සමත් වූ බව සඳහන් කළ යුතුය. ඉරානය ප‍්‍රතිසංස්කරණය කරන බටහිර සලූ පිළි ඇන්දවීමෙන් සිද්ධවෙන යහපතක් නැති බව කියා සිටි කොමෙයිනි එම දේශන වල දී බටහිර මතවාදී ආක‍්‍රමණ හඳුන්වා තිබුණේ සර්පයන් වශයෙන්ය. දිනෙන් දිනම මතුවන අරගලකාරී තත්ත්වය කුමෙයිනි නැවත කැඳවීමට බල කරන ව්‍යාපාරයක් වූ අතර අඩාල වූ ඉරානයේ ෂා පාලනය අත්හැර දමන තෙක් එය නොනැවතී ඉදිරියට ගියේය. අධ්‍යාත්මික නායකයා රටින් බැහැර සිටිමින් එවන ලද පණිවුඩ වලින් කුල්මත් වූ සමාජය බටහිරට නතු නොවූ නිවහල් ඉස්ලාම් රාජ්‍යයක් ඉල්ලා විරෝධතා දක්වන්නට වූහ.

ඉරාන ජනතාව කොමෙයිනි ඉල්ලා සිටියේය. ආගමික නායකයා නැවත කැඳවන ලෙස ෂා පාලනයට කරන ඉල්ලීම් දැන සිටි කොමෙයිනි ෂා රටෙන් පිට වන තුරු තමුන් නැවත නොපැමිණෙන බව ප‍්‍රකාශ කළේය. ආර්ථික සහ සමාජ පරිවර්තනයක් තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ ඇති කරන්න ගත් උත්සාහය අසාර්ථක සහ එයට විරුද්ධව ජන බලය නැනෙ බව තේරුම්ගත් අවස්ථාවේ සිය පාලනය අවසන් කරමින් ෂා අධිරාජ්‍යයා ඉරානයෙන් පලා ගියේය. 1979 වසරේ දී නැවත මවුබිමට පැමිණි කොමෙයිනි තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කළ අතර භාරකාර අගමැතිවරයෙකු පත් කළේය. අලූත් ව්‍යවස්ථාවක් නිරිමාණය කරන ලද අතර එයට මහජන අදහස විමසා බැලීය. සමාජවාදී හා ලිබරල්වාදී අදහස් ඇතිව සිටි පිරිස විරුද්ධ වූ නමුත් ඉරාන ජනතාවගේ සියයට අනූ අටක් කොමෙයිනි ගේ දර්ශනය පිළිගැනීම ජන්දය පළ කළ බව වාර්තා දක්වයි. ඉරානයේ නායකත්වය සඳහා කොමෙයින් වෙත ලැබුණ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ලද අතර නව ජනාධිපති වරයෙක් පත් කර ඉස්ලාම් ආගමික දේශයක යහපත වෙනුවෙන් කැපවන අසහාය ආගමික නායකයා වශයෙන් ක‍්‍රියා කළේය.

ඉරානයේ ෂා බලයෙන් පහ කරන විප්ලවය විසි වන සියවසේ අග භාගයේ ලෝකයේ සිදුවූ වැදගත්ම සිදුවීමක් සේ බටහිර විචාරකයෝ පවා ලියා තිබේ. බටහිරට නතු ප‍්‍රතිසංස්කරණ නිසා බලය අහිමි වන මුල්ලාවරු හෙවත් ආගමික නායකයන් එයට එරෙහිව නැගී සිටි බව ප‍්‍රකාශ කරන ලද අවස්ථා ද තිබේ. කෙසේ නමුත් ජනතාව අනුමත නොකරන ලද බලවේගයක් ඔස්සේ ඉරානයේ වෙනස්කම් ඇති කරන්න ගත් ව්‍යායාමය පරාජය කළ කොමෙයිනි සම්ප‍්‍රදාය ආරක්ෂා කර ජනතාවගේ අනන්‍යතාව සාක්ෂාත් කරන්න ගත් මහන්සිය ඇගයීමට ලක්ව තිබේ. ඉතාම බලවත් චරිතවක් නමුත් ඔහු කුඩා කාමරයක නිදහස් ජීවිතයක් ගත කළේය. ලිවීම ඔහුගේ චර්යාවන් අතර ප‍්‍රධාන තැනක් ගත්තේය. ඉතා නිහඬ නිශ්ශබ්ධ චරිතයක් වූ හෙතෙම බලය වෙනුවෙන් සටන් නොකිරීමෙන් විශාල බලයක් නිර්මාණය කරගත් සරල විද්වතෙකි.

ඉරානය හා ඉරාකය අතර යුද්ධය ෂා පාලනයෙන් මිදුන ඉරානය නැවත වතාවක් සසල කරන ලද අවස්ථාවකි. තෙල් ප‍්‍රශ්න, ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් විජාතික බලවේග පසුබිමින් සිට මෙහෙයවන ලද යුද්ධය අවුරුදු අටක් පැවැතිණ. යුද්ධය අවසන් කරන්න කොමෙයිනි ට උවමනා වූ අතර දහස් ගණනින් මහජනතාව මිය යද්දි දස ලක්ෂයක් තුවාල ලබද්දි ආගමික නායක අයතුල්ලා කොමෙයිනි යුද්ධය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 300 කට වඩා වැය කර ඇති බව ප‍්‍රසිද්ධීයේ කියා සිටියේය. ‘‘ අපි බොන්නෙ වහ කෝප්පයක් ’’ කොමෙයිනි ප‍්‍රකාශ කළේය. යුද්ධ කිරීම රසයක් වුණත් ක‍්‍රමයෙන් ඉරානයේ ශක්‍යතාවය මියයමින් පවතින බව තේරුම් ගත් හෙතෙම මහජනතාව වෙනුවෙන් යුද්ධය නතර කරන තීන්දුවක් ගත්තේය. රටක අධ්‍යාත්මික නායකයෙකු රණකාමී යුද්ධයක් ඉදිරියේ ප‍්‍රකාශ කළ මෙම වචන යුධකාමී පිරිසගේ හැබෑ අවධානය දිනාගත් පණිවුඩයක් බවට පත් විය.

කොමෙයිනි ඉස්ලාම්වරු වෙනුවෙන් ප‍්‍රඥප්තියක් සකස් කළේය. ෂරියා - ඉස්ලාම් නීතිය හැඳු අතර ඉරානයේ අනන්‍යතාවය මතු කරන ඇඳුමක් නියම කළේය. සම්ප‍්‍රදායික තැනට රට නැවත ආපසු හරවන විට ආර්ථිකයේ පසුබෑම් ඇති වුණ බවත් දුප්පත්කම වැඩි වුණ බවටත් චෝදනා පැමිණි නමුත් කොමෙයිනී ඉස්ලාම් දහම ආරක්ෂාවන රටක් නිර්මාණය කරන්නට සමත් විය. ආගම විවේචනය කළ ෂල්මන් රශ්ඩි වැනි කෘති සම්පාදනය කළ ලේඛකයන්ට මරණ දඩුවම නියම කරමින් විශාල අවධානයකට ලක්විය. අදටත් අයතොල්ලා කොමෙයිනි ඉස්ලාම් වැසියන් අතර වීරයෙක්. ඔහුගේ දර්ශනය ගැන බේධ නොමැති නමුත් සරල චාම් ඉස්ලාම් නායකයෙකු වශයෙන් බලය වෙනුවෙන් නොව ඉස්ලාම් දර්ශනය ආරක්ෂා කර ගැනීම උදෙසා කරන ලද නිහඬ විප්ලවය ඇගයීමකට ලක්ව තිබේ.