» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/04/2016 - දේශය
ආර්ථික වයර් මාරුකරගත් ග්‍රීසියේ මුදල් ඇමති

ගී‍්‍රසිය මෑත කාලය තුළ ආර්ථික වශයෙන් අමාරු අවස්ථාවකට පත්වූ රටකි. යුරෝපා සංගමයට අයත් එරට තුළ පැන නැගුණ ආර්ථික ගැටළු දේශපාලන අර්බුදයක් දක්වා විහිදී ගිය අතර එහි දී ආණ්ඩු ගණනාවකට පරාජය වී දේශපාලන නායකයන්ට ගෙදර යන්නට සිදුවිය. අලූත් පිරිසක් බලයට පැමිණි නමුත් ඔවුන්ට ද විසඳුමක් තිබුණේ නැත. ග‍්‍රීසිය අද වන විට ජාත්‍යන්තර සංවිධාන සහ යුරෝපා සංගමයේ මැදිහත්වීම මත ප‍්‍රතිසංස්කරණ වලට මුහුණ දෙමින් සිටී. නමුත් මෙම පරිසරය තුළ තමන්ගේම අදහස් අනුව ක‍්‍රියා කළ දේශපාලනඥයෙකු සිටියේය. ඔහුගේ ගමන පිළිගන්නට ජාත්‍යන්තරය සූදානම් වූයේ නැත. රටට ආකර්ශණීය චරිතයක් සේ හැසිරෙන්නට තැත් කරන ලද නමුත් ඔහුගේ හැසිරීම සහ ක‍්‍රියාකාරීත්වය අතර ප‍්‍රශ්න තිබිණ. ඔහු ග‍්‍රීසිය ආයෙත් ගොඩගන්නට ඔහුට අනන්‍ය ක‍්‍රමයක් අනුව මෙහෙයවමින් සිටි එරට මුදල් අමාත්‍ය යානිස් වාරොව්ෆාක්ස් ය.

යානිස් මූලික අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත්තේ බි‍්‍රතාන්‍යයයි. එහි දී එසෙක්ස් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ හෙතෙම ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය හිමිකරගත්තේය. ලන්ඩන් හි විශ්ව විද්‍යාල කිහිපයක ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටි හෙතෙම එක්තරා තීරණාත්මක අවස්ථාවක නැවත සිය රට කරා යන්නට තීරණය කරයි. ග‍්‍රීසියට ගිය යානිස් වාරොව්ෆාක්ස් දරුවන්ට උගන්වන්නට පටන් ගත්තේය. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියේය. පසුගිය අවුරුද්දේ ජනවාරියේ ග‍්‍රිසියේ පවත්වන ලද මහ මැතිවරණයේ දී ජය ගත්තේ ඔහු නියෝජනය කරන ලද ආසනය තුළ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයා වශයෙන්ය. දින කිහිපයක් ඇතුලත හෙතෙම එරට මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු පාර්ලිමේන්තුවේ මුදල් ඇමැති ධුරයට පත්වීම සියලූ අර්බුද විසඳන එකක් විය හැකි යැයි ජනතාව කල්පනා කරන්නට ඇත. බැංකු බංකොලොත් වෙමින් ණය ගෙවා ගන්නට නොහැකි තැනට එරට ආර්ථිකය පත් වන විට වාරොව්ෆාකිස් කදිම උත්තර සපයනු ඇතැයි ග‍්‍රීසියේ වැසියෝ උපකල්පනය කළහ.

නමුත් ඒ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට ගැලපෙන ආකාරයට ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබුණේය. යුරෝපා සංගමයේ රටක් හැටියට ජර්මනිය උත්සාහ කළේ ග‍්‍රීසිය වෙනුවෙන් සහය වන අතර සුදුසු වැඩ පිළිවෙලකට වහාම යොමු කිරීමය. යානිස් වාරොව්ෆාක්ස් ඒවා පැත්තකට දැම්මේය. තමන්ට තනියම කරන්නට පුලූවන් බව එක හෙලා කියා සිටියේය. වාමාංශික පසුබිමක් තිබූ පුද්ගලයෙකු වශයෙන් ඔහු වෙළඳ පොළ ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කළේය. පොතක් ලියමින් කියා සිටියේ ඔහු කියන ආකාරය හැර වෙනස් ක‍්‍රමයක් නැති බවය. ජනතාවගෙන් කොටසකට දුක් විඳින්නට උරුම නම් එය පිළිගත යුතු බව එක හෙලා කියා සිටියේය. බලයට පත් වාමාංශික රජයේ මුදල් ඇමැති හැටියට ඔහු තෝරා ගත්තේ ජනතාව අතරට යන්නට හැකි ව්‍යුහයකි. කැබිනට් මණ්ඩලයට ගියේ යතුරු පැදියකින්ය. එය මුදල් අහේනියකින් පසුවූ කාලයේ හොඳ උත්සාහයකි. තද පැහැති ඇඳුම් අඳින යතුරු පැදියෙන් ගමන් බිමන් යන අලූත් මුදල් අමාත්‍යවරයා ග‍්‍රීසියේ අර්බුද කළමණාකරණය කරන්නට උත්සාහ කරන දෙස් විදෙස් ආයතන නොවටිනා දේ සේ සලකා නොසලකා හැරියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චෝදනා කළේය. ප‍්‍රශ්න වලින් ගැලවෙන්නට ණය දී ප‍්‍රතිසංස්කරණ වලට බලකරන මූල්‍ය අරමුදලේ යෝජනාව ඔහු ප‍්‍රතික්ෂේප කළේ එය 'කැපවිය යුතු පමණක් නොව ගිනි පොලී' ව්‍යුහයක් බව චෝදනා කරමින්ය. අය වැය හිඟය පාලනය කරගත යුතු බව ණය ආධාර දෙන සංවිධාන නිතර සඳහන් කළ කාරණයකි. නමුත් ඔහු එය හැඳන්වූයේ 'අයවැය පියවාගන්නට බලකිරීම මිනිසුන්ට දියේ ගිල්වා වධ දෙන ආකාරයේ දඞුවමක්' බවය. ප‍්‍රතිසංස්කරණ උපහාසයෙන් කොන් කරන ලද අතර ආර්ථිකය ගැන විවෘතව සමබරව හිතන අය සමග ගැටුමකට ගියේ අපේ වැඩ අපි බලාගන්නම් යන අදහසින්ය. ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මර්කර් සමග ද මතවාදී අරගලයට ගියේය.

ග‍්‍රීසිය බරපතල ආර්ථික අර්බුදයකට ගමන් කරන්නේ නොයෙක් හේතු පදනම් කරගෙනය. යුරෝ ඒකකය පිළිගෙන එයට අනුව සැලසුම් සකස් කර ණය බර වැඩිවීම ප‍්‍රධාන හේතුව බව ඇතැමි විචාරක මතයයි. තරුණ ජනගහනයෙන් සියයට 56 ක් විරුකියාවෙන් පෙලෙන මට්ටමට පත් වූ අතර අවස්ථා ගණනාවක දී අර්බුදය පාලනය කරගත නොහැකි විය. 2009 වසරේ සිට මෙම ආර්ථික ප‍්‍රශ්න වල පැටලී සිටි ග‍්‍රීසිය එදා මෙදාතුර දක්වා මහ මැතිවරණ හතරක් පවත්වා ළඟ ලඟම පවත්වන ලද මැතිවරණ දෙකකින් වාමාංශික නැඹුරුවක් සහිත දේශපාලනයකට අද ප‍්‍රවේශ වී සිටී. කලින් ආණ්ඩුව විවේචනය කර තමන්ට රට කරන්නට හැකි බව දක්වා වම බලය අල්ලා ගත් නමුත් වාමාංශික ආණ්ඩුවට ඉකුත් වසරේ ජනවාරියේ සිට මාස හයකට වඩා පවතින්නට හැකියාවක් ලැබුණේ නැත. නැවත කැඳවන ලද මැතිවරණයෙන් ද ජය ගත්තේ නමුත් ආර්ථිකය සකස් කරගන්නේ කෙසේදැයි ස්ථිර නිගමනයක පැමිණීමපසු වූයේ නැත. යානිස් වාරොව්ෆාක්ස් ප‍්‍රවේශ වූයේ එකී ආණ්ඩුවේ මුදල් ඇමැති වශයෙන්ය. උගන්වන්නට පුලූවන්කම තිබුණ නමුත් ප‍්‍රායෝගික විසඳුම් හොයන්නට යානිස් සමත්වූයේ නැත. යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන ලද සාකච්ඡා ඉදිරියට ගෙන යන්නට ග‍්‍රීසිය අසමත් වූයේ ඔහුගේ පණ්ඩිත කතා හෙයින් බව අද අනාවරණය වී තිබේ. ග‍්‍රීසිය බිඳ වැටෙන්නට නොදී අල්ලාගෙන ඉන්නට යුරෝපයට උවමනාවක් ඇති බව කල්පනා කළ මෙම මුදල් අමාත්‍යවරයා ඔවුන්ට උවමනා හැටියට නොව තමන්ට පුලූවන් හැටියට ආර්ථිකය හදන්නට තැත්කරන බව පෙන්නුම් කළේය.

නමුත් ජාත්‍යන්තර සහාය අතහැර දිනෙන් දින පිරිහෙන ග‍්‍රීසියේ අගමැතිවරයා අවසානයේ දී තමන්ගේ යතුරු පැදියෙන් කැබිනට් එකට එන මුදල් ඇමැති පැත්තකින් තබා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡුා කර අලූත් වටයකින් ප‍්‍රතිසංස්කරණ සඳහා පාර හදා ගත්තේය. එය දුෂ්කර අවස්ථාවකි. මූල්‍ය අරමුදලේ සාකච්ඡා වලට නැති මුදල් ඇමැතිවරයා අගමැතිවරයාට විකල්ප ඉදිරිපත් කළේය. එකක් යුරෝපා කොමිසමෙන් ඉවත් වියයුතු අතර දෙන උපදෙස් පිළි නොගැනීම ඒ අතර විය. එහෙම දරදඞු තීරණවලින් ජනතාවට සිදුවන දේ ගැන ආණ්ඩුවට මතයක් තිබිණ. වාමාංශික කඳවුර තුළ යානිස් වාරොව්ෆාක්ස් වීරයෙක් බව පෙණුන නමුත් එම වීරත්වය පවතින ගැටලූව වෙනුවෙන් ඉක්මන් ප‍්‍රායෝගික විසඳුමක් සම්පාදනය කළේ නැත. ණය නැවත ප‍්‍රතිව්‍යුහගත කරන්නට, අය වැය පියවා ගන්නට හෝ ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය කරන්නට ඉඩ නැති පසුබිමක් තුළ පවතින්නට බැරි බව වමේ ආණ්ඩුවටත් පෙණුන කාරණාවක් නමුත් මෙම ආර්ථික විද්‍යා විශේෂඥයා හිටියේ අනෙක් පැත්තේය. වාමාංශික මතධාරීන් පවා තරගකාරීත්වය තුළ පවතින අවස්ථා සොයා බලන අතර වාරයේ දුක් විඳින්නට හේතුවක්තියේ නම් ජනතාව දුක් විඳින්නට උවමනායි යන ස්ථාවරයේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වලින් ඈත් කරන විට ගෞරවයක් ඇතිව ඉන්නට නොහැකි බව තේරුම් යන්නට ඇත.ග‍්‍රීසියේ නව ප‍්‍රතිසංස්කරණ සම්බන්ධ මූල්‍ය අරමුදලේ යෝජනා එරට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන විට හෙතෙම එයට එරෙහි විය. නමුත් එය සාර්ථක නොවන බව දැනගත් ගත් හෙතෙම තමන්ගේ ඉල්ලා අස්වීම භාර දුන්නේය. දේශපාලනයෙන් ඉවත්වී ලෝකයේ වාමාංශික චරිත සහ බලවේග න්‍ලට උපදෙස් දෙන සංවිධානයක් බිහි කළ්ය. හෙතෙම ආන්දෝලනාත්මක චරිතයකි. ජනතාව අතර සිටිය යුතු මතයක් ඇති සරල පුද්ගලයෙකු නමුත් ඔහු අර්බුදය තෝරාගෙන ප‍්‍රායෝගිකව ජනතාවගේ පැත්තෙන් විසඳුමක් දෙන ලෙස තමන්ගේ මතය වෙනස් කළේ නැත. එය ජනතාන්ත‍්‍රිකත්වය ද නොඑසේනම් ඔහු දැරු සංකල්ප ජනතාව මත පතුරවා ඔහුට අනුව ලෝකය හදන්නට තැත් කිරීමක් ද යන්න අදත් විවාදයට ලක්වන කාරණයකි.

කෙසේ නමුත් ඔහු අමුතුම චරිතයකි. ඔබ මාක්ස්වාදියෙක් දැයි විමසූ අවස්තාවක හෙතෙම කියා සිටියේ තමන් නස්තිකවාදී එහෙමත්නැත්නම් ඒ තැනට ගැලපෙන ආකාරයට හැසිරෙනවා කියාය. මාස නමයක් මුදල් ඇමැති වශයෙන් කටයුතු කළ කාලයේ දී මම දන්නවා පමණක් නොව, ලෝකයේ මොන බලවේග තිබුණත් හරියන්නේ මම කියන දේ විතරයි යනුවෙන් අධිමානයකින් සිටියේය. නමුත් ගමන ගියේ යතුරු පැදියෙන්ය. තද පැහැති ඇඳුමක් ඇඳ වම් අතේ හෙල්මට් එකක් සහිතව කැබිනට් මණ්ඩල රැස්වීමට යනු වෙනුවට ඔහු දැන් නැවතත් විශ්ව විද්‍යාලයට යන්නේ උගන්වන්නටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ යුරෝපීය ව්‍යාපාරය ඔහුගේ අලූත්ම සැලැස්මයි. යුරේපය තමන්ගේ කොට්ඨාශයට වගකියන තැනක් කිරීම උත්සාහයයි. ඔහු කියන්නේ 'අසමත්වීම හොඳම උත්සාහ අතර එකක්' බවය. 'ජීවිතය මරණයෙන් අවසන් වන බව අපි දන්නවා එහෙම නමුත් ජීවත් නොවීමට එය හේතුවක් නොවෙයි' යානිස් වාරොව්ෆාක්ස් මතු කරන දර්ශනයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.