» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/12/2018 - දේශය
ශීලාචාර දේශපාලනයකට නතු වූ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්

ශීලාචාර දේශපාලනය ගැන ලෝකය පුරා විශාල වාද විවාද තිබේ. නොබෝදා ජීවිතයෙන් සමුගත් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ඇමරිකානු රදල පාලකයන් අතර ශීලාචාර දේශපාලනයක් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ නායකයෙකු සේ සැලකෙයි. රාජ්‍ය සේවයට එකතු වූ හෙතෙම මධ්‍යම බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක ධුරය හෙබැවූ අතර පසුව තානාපතිවරයෙකු විය. ඇමරිකානු මහජන මන්ත‍්‍රී මණ්ඩලය නියෝජනය කළ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් 1981 සිට වසර අටක් උප ජනාධිපතිවරයා සේ කටයුතු කළේය. එයින් පසු පැවැති ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වූ හෙතෙම ඇමරිකාවේ හතලිස් එක් වැනි ජනාධිපතිවරයා වශයෙන්පත් විය.

ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ගේ ජීවිතය ගැන අති විශාල තොරතුරු සම්භාරයක් තිබේ. බුෂ් ගේ බිරිඳ බාබරා පසුගිය අප‍්‍රියෙල් මාසයේ දී අභාවයට පත් වූවාය. දෙදෙනා මුණ ගැසෙන විට ජෝර්ජ් දහ හත් හැවිරිදි වියේ වූ අතර ඇය අවුරුද්දකින් බාල යුවතියකි. නත්තල් සාදයක දී මුණ ගැසුණු දෙදෙනා පේ‍්‍රමයෙන් බැඳී පසුව විවාහ වූ අතර දූදරුවන් හය දෙනෙකි. එක දියණියක බාල වියේ දීම ඔවුන් හැර ගියාය. ජෝර්ජ් බාබරා යුවල ජීවතුන් අතර නැති නමුත් මුණුබුරු මිනිබිරියක් දහ හත් දෙනෙකු ඔවුන් දෙදෙනා වටා සිටියෝය. 2001 වසරේ දී ඔහුගේ වැඩිමහල් පුත් ජෝර්ජ් බුෂ් ඇමරිකාවේ ජනාධිපතිධුරයට පත් විය. තවත් පුතෙකු ප්ලොරිඩා ප‍්‍රාන්තයේ ප‍්‍රධානියා වශයෙන් පත් විය. ඔහු ද ජනාධිපතිවරණයට තරග කරනු ඇතැයි පසුගිය කාලයේ තොරතුරු පැතිරිණ. ජනාධිපතිවරයෙකුගේ තාත්තා වූ ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් උපන්නේ මෙන්චෙස්ටර් හි මිල්ටන් හි ය. 1941 පර්ල් වරායට බෝම්බ හෙළුෑ දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේ දී ඉගෙනුම පැත්තකට දැමූ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් නාවික හමුදාවට බැඳිණ. වසර හතරක් සක‍්‍රීය සේවයේ නිරත වූ ඔහු පසුව යේල් විශ්ව විද්‍යාලයට ඇතුළු වී උපාධිය සම්පූර්ණ කරගත්තේය. ඉනික්බිතිව බටහිර ටෙක්සාස් වෙත ගොස් පවුලේ අය සමග එකතු වී තිබේ. ඛනිජ තෙල් ව්‍යාපාරයට යොමු වූ හෙතෙම වැඩිකල් නොගොස් බිලියනපතියෙකු වී ඇත.

සිය ඛනිජ තෙල් සමාගමේ මෙහෙයුම් අතරතුර හෙතෙම දේශපාලනයට අවධානය යොමු කළේය. සෙනෙට් මණ්ඩලයට තරග කරන ලද පළමු අවස්ථාවේදී පරාජය වූ නමුත් ඉනික්බිතව මහජන මන්ත‍්‍රී මණ්ඩලයට පත්වීමට අවස්ථාව ලැබුණි. එය යහපත් ආරම්භයක් වූ බව ජනාධිපතිධුරය තෙක් පැමිණි මාවත සනාථ කරයි. එයට කලින් රොනල්ඞ් රේගන් ගේ උප ජනාධිපති වශයෙන් අවුරුදු අටක් සේවය කළේය. එම කාලය තුළ රාජ්‍ය සේවයේ පැවැති නීති රීති ලිහිල් කිරීමට ගෙන ගිය වැඩ පිලිවෙල හා මත් ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන ගිය ව්‍යාපාරය ජනතා ප‍්‍රසාදයට පත් විය.

ජනාධිපති වශයෙන් ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් විදේශ ප‍්‍රතිපත්තිය ලිහිල් හා පැතිරුණ එකකි. පැනමා අර්බුදයේ දී හා පර්සියන් ගල්ෆ් යුද ගැටුම් අවස්ථාවල නායකත්වය දුන්නේය. කැනඩාව හා මෙක්සිකෝව සමග ව්‍යාපාර පහසු කරන ආර්ථික ගිවිසුමක් අත්සන් කළේය. ඇමරිකාවේ බදු සංශෝධන තීරණ ගැනීම ඔහුගේ අවාසියට හේතු විය. 1988 දී ප‍්‍රතිවාදී අපේක්ෂක බිල් ක්ලින්ටන් ට පරාජය වූ නමුත් ක්ලින්ටන්ගේ මානුෂිය මෙහෙයුම් වල දී උරෙනුර ගැටී වැඩ කරන ලද බව සඳහන්ය.

සිය පුත‍්‍රයා බුෂ් ජූනියර් ජනාධිපති පදවියට පත් වූ පසු ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ පිය පුතු ජනාධිපති ධුර හිමිකරගත් දෙවන අවස්ථාව වූ අතර පළමුවෙන් එවැන්නක් වාර්තා වූයේ ඇඩම්ස් ජනාධිපති පිය පුතුවරුන්ගෙන්ය.

ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ගේ කාලය තුළ අභ්‍යවකාශ තරනය ගැන දර්ශනයක් ඇතිව කි‍්‍රියා කළේය. ඇපලෝ යානා, විසි වසරක සේවය සමරන අවස්ථාවේ හෙතෙම අභ්‍යවකාශ නවාතැන් පොල ගැන සංකල්පය හෙළිදරව් කරන්නට සමත්විය. ඔහුගේ සේවය වෙනුවෙන් රාජකීය අභ්‍යවකාශ සම්මානයක් හිමිවී තිබේ. පිරිසිදු වාතය සම්බන්ධයෙන් පණතක් ඉදිරිපත් කර පරිසරය ගැන උනන්දු වූ හෙතෙම එයට සමාන්තරව ඇමරිකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ගැන අලූත් යෝජනා ඉදිරිපත් කරන ලද බව ඉතිහාසයේ සටහන්ව ඇත.

ඇමරිකාවේ නව පරපුර ස්වේච්ඡාවෙන් වැඩ කරන සේවාවක් සඳහා යොමු කරන්නට ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් සැලැස්මක් සකස් කළේය. දහසක් ආලෝක කදම්බ යන අරුත ගෙන දෙන වැඩ සටහන මගින් නොයෙක් පොදු ව්‍යාපෘති දියත් කරනලද බව දැක්වෙයි. 1990 දී එය මිලියන හතරක තරුණ පිරිසක් පැය මිලියන තිහක සේවයකින් රටට ඇමරිකානු ඩොලර් මිලියන 635 ක සේවයක් කරන ලද බවට දැක්වීය. පසුව එය රාජ්‍ය නොවන සංවිධානයක ස්වභාවයට හැරවූ අතර සංකල්පය දියුණු කර ජාත්‍යන්තරයට ගෙන ගියේය. එය ඉතා වැදගත් කාර්යයක් වශයෙන් ඉතිහාසයට එකතු වී තිබේ.

ඉහළ පැලැන්තියෙන් ජනතා සේවයට එකතු වූ දේශපාලනඥයෙකු වශයෙන් ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් පරිනත අදහස් ඇතිව කි‍්‍රියා කළේය. එහෙයින් හෙතෙම ශීලාචාර නායකයෙකු සේ අවධානයට ගැණින. 1981-2016 කාලය තුළ ඇමරිකාවේ හා ලෝකයේ විවිධ ප‍්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල ඔහුට සම්මාන උපාධි හා පදවි දහ හතක් පිරිනමා තිබේ. ඒවායෙන් ආඩම්බරයට පත් වූයේ නැත. තව තවත් රට වෙනුවෙන් සේවයට නැඹුරු විය. තරුණන් අගය කරන සම්මාන උලෙලක් පවත්වන ලද අතර සමාජ සේවයෙහි නිරත ඇමරිකානුවන් වාර්ෂිකව ඇගයීමට ඔහු පියවර ගත්තේය. 1990 දී ටයිම්ස් සඟරාව ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ලෝකයේ වසරේ පුද්ගලයා වශයෙන් නම් කළේය. ඔහු කළ සේවය එයින් වසරකට පසු ඔහු සේවය කළ ඇමරිකානු සමුරු නාවික සේනාංකය මගින් විශේෂ ඇගයීමකට ලක් කරන ලදී.

ජෝර්ජ් බුෂ් වැඩිමහල් පුතා ජනාධිපති පදවියට පත් වන විට ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ආඩම්බර වන්නට ඇති නමුත් එයින් ප‍්‍රයෝජන ගත්තේ නැත. මෑත කාලයේ දී ඇමරිකානු දේශපාලනයේ සිදුවන වෙනස්කම් ඔහු කැමැති වූ දෙයක් නොවේ. ට‍්‍රම්ප් ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ගැන අසතුටින් සිටි හෙතෙම ඡන්දය දෙන්නේ ක්ලින්ටන් ආර්යාවට බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. එය ආන්දෝලනයට ලක් වූ අවස්ථාවකි. හිටපු ජනාධිපතිවරයාගේ අභාවය සමග මුළු ලෝකයම ඔහු ගේ තොරතුරු නොයෙක් පැති වලින් විග‍්‍රහ කිරීම අරම්භ කර ඇති අතර ඒවා අධ්‍යයනය කළ යුතු පැති වශයෙන් සැලකේ.