» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/10/2016 - දේශය
ලෝකයම කතා කරන චීන ධනවතා

පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම අනුව චීනයේ ධනවත්ම ව්‍යවසායකයා බවට පත්ව ඇත්තේ වං ජියන්ලිං බව සඳහන්ය. මෙයින් අවුරුදු දෙකකට කලින් නිකුත් වූ වාර්තා අනුව ලෝකයේ පොහොසතුන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමි තිබණේ විසි හයවැනි ස්ථානයයි. ප‍්‍රකට වොන්ඩා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන හෙතෙම ලෝකය පුරා විසිරි දේපොල වෙළඳාම්, සිනමා සහ සංචාරක හෝටල් ජාලයක අයිතිකරුය. දැවැන්ත චීනයේ බලවත්ම ව්‍යාපාර සමූහය නොව ලෝකයේ ප‍්‍රබලතම ව්‍යවසාය බවට වොන්ඩා නම ඉහලින් තැබීම ඔහුගේ අභිප‍්‍රාය බවට පත්ව තිබේ. හොලිවුඞ් සමාගම් මිල දී ගෙන එහි තාක්ෂණය හා හැකියාව චීනයට කැඳවීම තමන්ගේ ඉලක්කය බව ඔහු නොබෝදා මාධ්‍යයට ප‍්‍රකාශ කළේය.

හොලිවුඞ් යනු සිනමා සහ ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයයි. ලොස් ඇන්ජලීස් හි අක්කර පන්සියයක භූමියක 1920 ගණන් වල ආරම්භ වූ සිනමා ගම්මානය අද ලෝක ව්‍යාප්ත විනෝදාත්මක මධ්‍යස්ථානයක් වන අතර එහි හැදෙන එතැනින් නිර්මාණය වන චිත‍්‍රපට හා ටෙලිවිෂන් වැඩසටහන් අති විශාල ව්‍යාප්තියක් දක්වයි. එයින් උත්පාදනය වන ආර්ථිකය ඉතා බලවත් එකක් බවට පත්ව තිබේ. වැන් ජියන්ලිං ගේ ප‍්‍රයත්නය බොලිවුඞ් හි බලපෑම් කළ හැකි චරිතයක් බවට පත්වීමය.

වං ජියන්ලිං චරිතය නොඑසේනම් ඔහු හැදූ වොන්ඩා නම අන්තර් ජාතික වටිනාකමක් හැදෙන්නේ කොහොමද? චිනයේ සිචුයාන් හි ගුවැන්ග්යුවාන් ප‍්‍රදේශයේ සාමානය පවුලක දරුවෙකු වූ හෙතෙම මුලින් මහජන විමුක්ති හමුදාවේ දහසය අවුරුද්දක් නිතරව සිටියේය. ප‍්‍රදේශයේ මායිම් ආරක්ෂා කිරීමේ වගකීමෙහි නිරතව සිටි බව සඳහන්ය. ඔහුගේ පියා මාවෝ සේතුං ගේ සුප‍්‍රකට දීර්ඝ පාගමන කරන විට විමුක්ති හමුදාවේ සේවය කරන ලද බව ප‍්‍රකාශවන අතර ජියන්ලිං ආභාෂය ලබන්නේ එයින් විය හැකිය. කෙටි කාලයකට පසු දාලියන් නගරයේ පරිපාලනයට සම්බන්ධ වන ජියන්ලිං එහි ජනාවාස සංවර්ධන කාර්යයෙහි නිතර කුඩා ආයතනයක සාමාන්‍යාධිකාරී වශයෙන් පත්වෙයි. ඔහුගේ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය එතැනය. අති විශාල චීනයේ දැවැන්ත ඉඩම් සහ දේපොල කළමණාකරනය කර එයට වටිනාකමක් ඇති කරන්නට නැඹුරු වෙන්නේ මෙම කාලයේ දීය. 1992 දී දාලියන් වොන්ඩා සමූහ ව්‍යාපාරය අරඹන ජියන්ලිං ප‍්‍රමුඛ කාර්යය බවට පත් කරගන්නේ ඉඩම් සහ නිවාස සම්බන්ද ව්‍යාපාරයන්ය. ජලය හා ඉඩම් හා නිවාස වෙනුවෙන් අවශ්‍ය වෙනත් යටිතල පහසුකම් සපයන අනුබද්ධ සමාගම් ද පිහිටුවන හෙතෙම ඉතා කෙටි කාලයක් ඇතුලත ව්‍යාප්ත වන ව්‍යවසායකට ශක්තිමත් පදනමක් සකස් කරයි.

මෙයින් අවුරුදු දෙකකට පමණ කලින් ඉකොනොමිස්ට් සඟරාව ජියන්ලිං ගේ ව්‍යාපාර දක්ෂතාවය සමාන කළේ නැපෝලියන් වැනි ආක‍්‍රමණිකයෙකු හා සමාන අන්දමටය. හෙතෙම ධනය, නිලධාරීන් මෙහෙයැවීම සහ ජාත්‍යන්තර සම්බන්ධතා උපයෝගී කරගෙන ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩනගන ලද බවට ඉකොනොමිස්ට් සඟරාව නවතම නිර්වචනයක් ඉදිරිපත් කළේය. චීනයේ කුඩා, අවධානයට ලක් නොවූ ගම්මානයක දේපොල වෙළඳාමෙන් නැගී ජාත්‍යන්තරය දක්වා විහිදී යන්නට සමත්වූ දැවැන්ත ව්‍යාපාරිකයෙකු ගේ දක්ෂතාවය දෙස ජාත්‍යන්තර මූල්‍ය සඟරාවක් අවධානය යොමු කළේ ඒ ආකාරයටය.

ඉකුත් අගෝස්තු අවසානයේ දී ඔහුගේ වත්කම ඉදිරියෙන් සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 33.3 ක ප‍්‍රමාණයකි. වොන්ඩා සමූහ ව්‍යාපාරයට වර්ග මීටර් මිලියන 21.57 ක ආයෝජන දේපොල අයිතිව ඇති බව ප‍්‍රකාශ වන අතර චිනයේ පමණක් වෙන්ඩා සාප්පු සංකීර්ණ 134 ක්, සුපිරි හෝටල 82 ක්, සිනමා සංකීර්ණ 213 ක්, සියලූ දේ අළෙවි කරන්නට ඇති වෙළඳා ජාලා 99 ක් සහ කැරොකේ මධ්‍යස්ථාන 54 ක් මෙහෙයවන අති දක්ෂ ව්‍යවසායකයෙකු බව සඳහන් වෙයි. ඇමරිකාවේ ප‍්‍රකට සිනමා ව්‍යාපාරයක් මිල දී ගත් හෙතෙම සිය වොන්ඩා සමූහ ව්‍යාපාරය ලෝකයේ වැඩිම විනෝදාත්මක සිනමා ශාලා ප‍්‍රමාණයක් හිමි තැනට පත් කරන ලද්දේ 2012 අවුරුද්දේ දීය. එයින් අවුරුද්දකට පසු සිය ව්‍යාපාරය තව දුරටත් විනෝදාස්වාද පැත්තට යොමු කරමින් හොලිවුඞ් වලට සමාන තවත් තැනක් චීනයේ මුහුදුකරයේ ඉදිකරන ලද්දේය. එයින් නතර නොවූ හෙතෙම ස්පාඥඤයේ වැදගත් සංකේතාත්මක ගොඩනැගිලි සංකීර්ණයක් මිල දී ගත් අතර එය ස්පාඤ්ඤයේ ඉදිකිරිම් කර්මාන්තය අලූත් පැත්තකට හරවන ලද දැවැන්ත ආයෝජනයක් සේ සැලකෙයි. ලන්ඩන් සහ නිව්යෝක් නගරයන්හි සුවිසල් හෝටල් සංවර්ධන ව්‍යාපෘති වලට අත ගැසූ වොන්ඩා සමූහ ව්‍යාපාරය ඉන්දියාවට ද පැමිණ එරට දේපොල ව්‍යාපාරයට ද ප‍්‍රවේශ වී සිටී. 2013 අවුරුද්දේ දී ලෝකයේ විශාලතම චිත‍්‍රාගාර මැදිරි සංකීර්ණය ඉදිකරන බව නිවේදනය කරන ලද අතර එය දිය යට වේදිකාවක් ද සහිත විම විශේෂත්වයකි. එයින් අවුරුද්දකට පසු කැලිෆෝනියාවේ බෙවර්ලිහිල්ස් වෙත සිය ආයෝජනය විහිදුවන වොන්ඩා සභාපති ජියන්ලිං එහි තමන්ගේ සමූහ ව්‍යාපාරයේ විනෝදාත්මක කර්මාන්තයේ මූලස්ථානය පිහිටුවීය. චීනයේ මායිම් ආරක්ෂක භටයෙකු වශයෙන් ජීවිතය ආරම්භ කරන ලද ජියන්ලිං නැපෝලියන් සංකල්පධාරියෙකු සේ හඳුන්වන්නට තරම් ජාත්‍යන්තර විචාරකයන් පෙළැඹෙන්නේ මෙම ආයෝජන ග‍්‍රහනය ගැන අවධානය යොමු කරමින්ය.

නොබෝදා රොයිටර් පුවත් සේවය වාර්තා කරන ලද අන්දමට වොන්ඩා සමූහ ව්‍යාපාරය ලෝක ප‍්‍රකට පැරමවුන්ට් පික්චර්ස් ආයතනයේ කොටස් අත්පත් කරගන්නට සූදානම්ය. එය හොලිවුඞ් හි ප‍්‍රධාන විනෝදාත්මක ව්‍යාපරයක් වන අතර ටුවෙන්ටියත් සෙන්චරි, වෝල්ට් ඩිස්නි, සිනිවර්ෂල් පික්චර්ස් ඇතුළු වෙළඳ නාම ගණනාවක් එයට සම්බන්ධය. පැරමවුන්ට් හි කොටස් ගැන උනන්දු බව කියන හෙතෙම එය පමණක් නොව සම්පූර්ණ ඇමරිකාවේ හොලිවුඞ් ක්ෂේත‍්‍රයේම කැපි පෙනෙන ව්‍යාපාර වලට අතගහන්නට බැරි කමක් නැති බව ප‍්‍රකාශ කර තිබේ. වං ජියන්ලිං ගැන සඳහන් කරන විට හෙතෙම තද විනයක් අනුව සිය කාර්ය මණ්ඩලය හසුරවන ලද අතර අඩුම තරමින් සමාගමේ නිල ඇඳුම පිරිසිදුව ඇන්දේ නැති සේවකයන්ට පවා දඩ නියම කරන ලද බව ආයතනයේ ස්වභාවය සම්බන්ධ පසුබිම් වාර්තා දක්වයි.

පහලොස් වැනි වියේ දී මහජන හමුදාවට බැඳී දාහත් අවුරුද්දකට පසු රෙජිමේන්තු කොමාන්ඩර් දක්වා පැමිණි ජියන්ලිං 1976 දී කොමියුනිස්ට් පක්ෂයට බැඳී 2007 දී පැවැති 17 වැනි සංවත්සරය වන විට පක්ෂයේ උප සභාපතිවරයෙකු බවට උසස් වී තිබේ. චීනයේ කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ උප සභාපතිධුරය ද හෙබවූ හෙතෙම චීන රූපවාහිනිය මගින් දෙවතාවක්ම වසරේ ආර්ථික ප‍්‍රාමාණිකයා වශයෙන් නම් කර ගෞරවාදරයට පත් කරන ලද්දේය. ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් පොදු කටයුතු වලට පරිත්‍යාග කරන ලොව පුරා මහා බලයක් ගොඩනගා ගෙන සිටින අද්විතීය චරිතයක් බවට පත්ව සිටී. ලියොනිග් විශ්ව විද්‍යාලයෙන් ලත් පරිචය, හමුදා විනය සහ පක්ෂ දේශපාලන පසුබිම සහිතව හැසිරෙන හෙතෙම දේපොල වෙළඳාම, විනෝදාස්වාදය ඇතිකරන සහ සංචාරක සංකීර්ණ අත්පත් කරගනිමින් දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩනගමින් සිටී. එය මෙදවස සිදුවෙමින් පවතින දැවැන්ත ආයෝජන පරිසරය තුළ අමුතුවෙන් අවධානයට ලක්වන එකක් බවට පත්ව තිබේ.