» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/09/2018 - දේශය
එක් පැත්තකින් වැටී අනෙක් පැත්තෙන් නැගිටගත් සූපවේදියා -ජෙමී ඔලිවර්

ජෙමී ඔලිවර් සාර්ථක අවන්හල් සේවාවක් ආරම්භ කරන ලද විශිෂ්ඨ සූපවේදියෙකි. එක්තරා අවස්ථාවක ඔහුගේ අවන්හල් ජාලය ස්ථාන හතලිස් තුනක් දක්වා වර්ධනය කළේය. අභාග්‍යයකට මෙන් ඒවායේ මෙහෙයුම් වලින් පසුබෑමකට ලක්විය. අලාභ දරා ගත නොහැකි වූ අතර මූලස්ථාන අවන්හලේ කෙළවරක තිබුණ සෝපාවකට වාරු දුන් ජෙමී ‘‘සල්ලි ඉවරයි’’ කියා තැවුල් සහගත සිතින් ප‍්‍රකාශ කළේ බැංකුවකින් ලැබුණ ඇමතුමකටය. අධෛර්යයට පත් නොවූ ජෙමී උත්සාහයෙන් නැවතත් හිස එසවීය. අභාග්‍ය පහ කර අලූතින් ගොඩ නැගී අති සාර්ථක සූපවේදියෙකු සේ පුනරුත්පත්තිය ලැබූ අතර ඇගයීමට පාත‍්‍ර විය. 2003 වසරේ බි‍්‍රතාන්‍ය රැජන ගේ උපන් දිනය නිමිත්තෙන් පිරිනමන ලද සම්මානයකට හිමිකම් ලැබීය.

එංගලන්තයේ එසෙක්ස් හි ක්ලෙවරින් නගරයේ ජීවත් වූ ‘‘රෙස්ටුරන්’’ එකක් පවත්වාගෙන ගිය යුවලක ගේ දරුවන් දෙදෙනා අතරින් වැඩිමලා ජෙමී ටෙ‍්‍රවෝර් ඔලිවර් ය. පාසල් යන්නටත් කලින් ඔහු අවන්හලේ මුළුතැන්ගෙයි කටයුතු වලට හවුල්වන පුංචි අත් උදව්කරුවෙකි. පාසල් ගමනට පසු සිටි ඇන්ඞ් ගිල්ඞ් වෘත්තීය පුහුණු සහතිකය ගෘහ ආර්ථික විෂයය සම්බන්ධයෙන් ලබාගත් අතර ආපසු නිවසට පැමිණි ඔහුට සිදුවූයේ නිවසේ පවත්වාගෙන ගිය අවන්හලේ භාජන පිරිසිදු කිරීමටය. එයින් පසු නගරයේ වෙනත් අවන්හලක පේස්ටි‍්‍ර තනන්නෙකු වශයෙන් පළමුවෙන් වෘත්තීය ජීවිතය ඇරඹීය. තවත් තැනකට ගිය හෙතෙම එහි ද ආහාර පිලියෙල කරන්නෙකු වශයෙන් සේවය කළේය. බී.බී.සී. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමක් ඔහු හදුනාගන්නේ 1999 අවුරුද්දේ දීය. රහසක් නැති සූපවේදියා යන අරුත දෙන වැඩසටහන් මාලාවකට ජෙමී පෙනී සිටි අතර එය යහපත් පේ‍්‍රක්ෂක අවධානයකට ලක්විය. එයට සමාන්තරව සූප සාස්ත‍්‍ර කෘතියක් පළ කරන ලද අතර එය බි‍්‍රතාන්‍යයේ වැඩිම අලෙවියක් ඇති පොතක් බවට පත්වීම විශේෂත්වයකි. ඔහු ගේ ‘‘ජෙමී කිචන්’’ නමැති රූපවාහිනී වාර්තා වැඩසටහන විශේෂ අවධානයට ලක්වූ එකකි. ජනී ජනයා අතර කැපී පෙණුන ජෙමී ගේ දක්ෂතා ලන්ඩන් හි ඩවුනිං වීදියේ පිහිටි අගමැති මන්දිරයට ද තොරතුරු ලැබී තිබුණි. ජෙමී ගේ දක්ෂතා බලන්නට අගමැතිවරයා නිල නිවසට ආරාධනා කළේය. එය ඔහුගේ සූපවේදී වෘත්තීය ජීවිතයේ සැලකිය යුතු සංන්ධිස්ථානයකි.

ජනතා පිලිගැනීම තහවුරුවීම සමග එයින් ප‍්‍රයෝජනවත් දේ කරන්නට ජෙමී නැඹුරු වී තිබේ. ‘‘මට හොඳ ආහාර දෙන්න’’ යන අදහස දෙන ප‍්‍රචාරක ව්‍යාපාරයක් බි‍්‍රතාන්‍යයේ ආරම්භ කරන්නට හෙතෙම පියවර ගත්තේය. එය දරුවන්ගේ ආහාර රටාව යහපත් කරන අරමුණ ඇතිව දියත් කළ ව්‍යායාමයකි. පසුව බි‍්‍රතාන්‍ය ආණ්ඩුව පවා එයට අනුග‍්‍රහය දැක්වීය. දරුවන්ට පෝෂණීය ආහාර දෙන සංකල්පය වැඩි දියුණු වන විට ‘‘ජෙමී ගේ ඉතාලි අවන්හල’’ යනුවෙන් තමන්ගේ ම තැනක් ආරම්භ කිරීමට ඔහු සමත් වී තිබේ. ඔක්ස්ෆඞ් හි පළමු අවන්හල අරඹන ලද අතර එයට විශාල ජනප‍්‍රියත්වයක් අත්පත් කරගත්තේය. බි‍්‍රතාන්‍ය පුරා ශාඛා පිහිට වූ අතර රටින් රට ගියේය. ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, සයිප‍්‍රස්, අයර්ලන්තය, රුසියාව, තුර්කිය, සිංගප්පූරුව හා හොංකොං දක්වා එය ව්‍යාප්ත කළ බව සඳහන්ය. තැනින් තැන ඇරඹුන අවන්හල් ජාලයෙන් ජෙමී ඔලිවර් ගේ වාසනාව ළඟා වූ නමුත් ඒවායේ පාලනය නිවරුදිව සිදුවූයේ නැත. විශාල වශයෙන් අලාභ වාර්තා කළේය. මෑත කාලය ඔහුගේ ව්‍යාපාර ජාලය බිඳ වැටුණ වකවානුවකි. පළමුවෙන් අවන්හල් හයක් වසා දමන්නට තීරණය කළ අතර පසුව එය දොලහක් දක්වා නැංවූයේ පාඩු පියවා ගැනීමේ මාර්ගයක් වශයෙනි. පාසල් ආශ‍්‍රිතව තිබුණ දරුවන්ට පෝෂ්‍යදායක ආහාර සැපයූ අවන්හල් ද එයට එකතු විය. ඒවායේ සේවය කළ දක්ෂ අරක්කැමියෝ රැකියා වලින් ඉවත්ව ගියේය. පවුම් මිලියන හැත්තෑ එකකට වැඩි මුදලක් සේවකයන්ට, දේපොල වලට හා වෙනත් ණය වෙනුවෙන් හිලවූ වූ විට ජෙමී කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. වේගයෙන් ඉහළට ගිය ජෙමී ඔලිවර් පහතට වැටෙන්නට පටන්ගත්තේ ද වේගයෙන්ය. ඔහුගේ මිතුරන් සමග ආරම්භ කළ බාබකියු වර්ගයේ අවන්හල් දෙකක් පරීක්ෂා කරන ලද සෞඛ්‍ය පරීක්ෂකවරු ඒවා අවම ‍ශ්‍රේණිගත කිරීමක නම් කරන විට එම ව්‍යාපාර ද අවසන් කරනු හැරෙන්නට අන් විකල්පයක් ජෙමී සතුව තිබුණේ නැත. එය විශාල පසුබෑමකි.

නමුත් ජෙමී ඔලිවර් ගේ ගමන නතර කළ නොහැකි විය. තමන්ගේ කාර්ය භාරය ජනතාව ගේ ආහාර පාන රටාව වෙත අලූත් දේ හදුන්වා දීම විනා කෑම අලෙවිකරන අවන්හල් ඇරඹීම නොවන බව ඔහු වටහා ගත්තේය. ඉතිරිවූයේ එම අත්දැකීම ලබා ගැනීම වෙනුවෙන් සෑහෙන ධනයක් නාස්ති කිරීම පමණකි. අවසානයේ දී ඔහු ආහාර පාන ගැන අලූත් අත්හදා බැලීම් වලට නැඹුරැ විය සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව ලන්ඩන් නගරයට තරමක් එපිටින් මාස්ටර් අවන්හල පවත්වාගෙන ගිය ඔහු පාන්දරින් එතැනට පැමිණියේය. රාත‍්‍රීය එළැඹෙන තුරු එක දිගට වැඩ කළේය. නොයෙක් රසවත් වට්ටෝරු අත්හදා බැලීය. ආහාර පිලියෙල කිරීමේ දී කුළුබඩු මිශ‍්‍ර කිරීමේ සිට පිලිගන්වන අවස්ථාව දක්වා නැවුම් අවස්ථා ගැන යුහුසුළු විය. ඒවායෙන් බොහෝමයක් සාර්ථක වූ අතර රූපවාහින වැඩසටහන් වලින් හා පළ කරන පොත් වලින් ඒවා ජනතාව අතරට ගියේය. ආහාර වෙළදාම් කරනවා වෙනුවට ආහාර සකස් කරන ආකාරය ගැන කියාදෙන විශේෂඥභාවය කෙරෙහි රසවත් පාරිභෝගිකයෝ විශ්වාසය තැබූ බව ප‍්‍රකාශ කළ යුතුය.

ස්වකීය දක්ෂතා ප‍්‍රයෝජනයට ගෙන ප‍්‍රජාව ඉහළට ඔසවා තැබීම ජෙමී කැමැත්තෙන් කළ දෙයකි. ඔහු ඒ වෙනුවෙන් පදනමක් පිහිටුවීය. පහලොස්දෙනාගේ පදනම යනුවෙන් නම් කරන ලද අතර අලූත් තරුණ සූපවේදීන් පුහුණු කිරීම එහි අරමුණ විය. රස්සාවක් නැති, අපේක්ෂා භංගත්වය නිසා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී කල්ලිගැසෙමින් සිටි කණ්ඩායම් එකතු කරගත් ජෙමී ඔවුන්ට ව්‍යවසායයක් පවත්වාගෙන යන්නට දොරටු විවෘත කළේය. ආහාර සකස් කිරීම හා අවන්හලක් පවත්වාගෙන යෑම ගැන අත්දැකීමක් දෙනු සඳහා පහලොස් දෙනාගේ පදනම නමින් අවන්හලක් ලන්ඩන් නගරයේ ස්ථාපිත කරන්නට සමත් විය. එහි සාර්ථකත්වය අනුව පසුව ඇම්ස්ටඩ‍්‍රෑන් හා මෙල්බර්න් නගර වට ව්‍යාප්ත කරනලද බව ඔහුගේ ජීවිත කතාව පෙන්වා දෙයි.

2015 වසරේ දී ජෙමී එරට වඩාත් බලපෑමක් කළ හැකි ව්‍යවසායකයන් අතරින් අයෙකු විය. ඔහු අත්පත් කරගත් ගෞරව නාම හා සම්මාන ගණන සෑහෙන ප‍්‍රමාණයකි. විවාහ ජීවිතයට ඇතුළු වූ ජෙමීට දරුවන් පස් දෙනෙකු සිටී. පොත පත ලියන ජෙමී කියවන්නට කැමැත්තක් නොදක්වයි. අකුරු එකතුකර කියැවීමේ දුර්වලතාවයකින් පෙලෙන හෙතෙම පළමු නවකතාව කියැවූයේ අවුරුද් තිස් අටක් වියැති පුද්ගලයෙකු වශයෙන් බව දැක්වෙයි. නමුත් හොඳ අදහස් ඇති වේගයෙන් අලෙවි වන පොත් ලියන්නෙකි. තමන්ගේ ආහාර ගැන ඇති දක්ෂතා නිල සන්නාමයක් වශයෙන් භාවිතා කරන ජෙමී එය නොයෙක් හවුල්කාර ව්‍යාපාර වලට අලෙවි කර තිබේ. පසුගියවසරේ ජෙමී ගේ සුප සාස්ත‍්‍ර පොත් ලෝකය පුරා ඉහළ අලෙවි වාර්තා තබා ඇත. ඔහු ගේ රූපවාහිනී වැඩසටහන් රටවල් 120 ක ප‍්‍රදාරය වෙයි. තම දෙමාපියන්ගේ පුද්ගලික අවන්හලේ භාජන සෝදමින් සිටි තරුණයා විශාල බොජුන් හල් ජාලයක් ආරම්භ කරන ලද අතර එය අසාර්ථකවීම පදනම් කරගෙන ආහාර ගැන ලෝකයට කියා දෙන දැවැන්ත චරිතයක් වී තිබේ. එක තැනකින් වැටෙන විට අනෙක් තැනකින් නැගී සිටින්නට ජෙමී ටෙ‍්‍රවෝර් ඔලිවර් සමත් විය.