» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/07/2017 - දේශය
අනුන්ගේ මතයට ඉඩ දෙන ඔලිවර් ස්ටෝන්

විලියම් ඔලිවර් ස්ටෝන් ඇමරිකානු ජාතික පිටපත් රචකයෙකි. චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අතර නිෂ්පාදන ද කර තිබේ. ඔහු පිටපත් රචනය කරන ලද මිඞ්නයිට් එක්ස්ප‍්‍රස් චිත‍්‍රපටිය 1979 වසරේ දී හොඳම අනුවර්තිත නිර්මාණය සේ ඇකඩමික් සම්මානයෙන් පිදුම් ලබයි. අංශ රැසක දක්ෂතා පෙන්වන ඔලිවර් ස්ටෝන් වඩාත් අවධානයට ගැනෙන්නේ ඔහු කරන නිර්මාණ වල දී අනුන්ගේ මතයට ඉඩ දෙන ස්වභාවය හෙයින්ය. මතයක් දක්වන්නට ඉඩ දෙන්නේ නැති අන්තවාදී දරදඬු සමාජ ව්‍යුහය තුළ හෙතෙම කැපී පෙනෙන සේ අන්‍යයන් ගේ අදහස් ඉදිරිපත් කරනු වෙනුවෙන් පෙනී සිටියි. ඔලිවර් ස්ටෝන් නිර්මාණයක් ඉදිරිපත් කරන විට එය පිටුපස ඇති හේතු විමසන ඇතැම් පිරිස් ඇමරිකානු අධිපතිත්වයට එය නොගැලපෙන බවට තර්ක ගෙන එන අවස්ථා තිබේ. එනමුත් ඔහුගේ නිර්මාණ තුළ පවතින වඩා යහපත් ගුණාංගය එය ම බව විචාරකයෝ හුවා දක්වති.

1986 දී ඔලිවර් ස්ටෝන් ‘‘ප්ලැටූන්’’ නමින් චිත‍්‍රපටියක් අධ්‍යක්ෂණය කළේය. පිටපත ලියන ලද්දේ ද ඔහුමය. වියට්නාම යුද්ධය දෙස තුන් ආකාරයකින් බලන ලද චිත‍්‍රපටියකි. ඇමරිකාව වියට්නාමය වෙත හමුදාව මෙහෙයවූයේ ඇයි ද යන කාරණය පමණක් නොව වියට්නාමයේ පැත්තෙන් ද එම සිද්ධිය විවරණය කරන ලද හෙතෙම නිර්මාණකරුවෙකු වශයෙන් ද යුද පිටියේ සිද්ධි ගැන නිර්වචනයක නිරත විය. එය වියට්නාම් යුද්ධය විෂය කරගෙන කරන ලද පළමුවැනි ඒ අන්දමේ නිර්මාණයයි. ලොව පුරා මහත් ජනප‍්‍රියත්වයට පත් එම චිත‍්‍රපටිය ශ‍්‍රී ලංකාවේ ද සිනමාශාලා වල ප‍්‍රදර්ශනය වූ අතර එවකට මෙරට පැවැති පසුබිම අනුව ප්ලැටූන් නැරඹූ මධ්‍යස්ථ මතධාරී සිනමා ලෝලීන්ට සිද්ධි ගැන අනෙක් පැත්තෙන් හිතන්නට යම් පදනමක් සකස් කළේය. ඇමරිකානුවෙකු වියට්නාමය ගැන තැනූ මෙම චිත‍්‍රපටිය එම වසරේ දී හොඳම අධ්‍යක්ෂණය පමණක් නොව හොඳම කැමරාවට ද ඇකඩමික් සම්මාන අත්පත් කරදුන්නේය. එහි සාර්ථකත්වය මත ක‍්‍රියාදාමය චිත‍්‍රපට ගණනාවක් නිර්මාණය කරන ලද ඔලිවර් ස්ටෝන් එයින් පෙන්වා දුන්නේ අන්‍යයන්ගේ අදහස් වලට ඉඩ දිය යුතු තරම ගැන පුළුල් අදහසකි. අර්ථය අනුව පමණක් නොව ආදායම් අතින් ද ඉහළම වාර්තා තබන්නට ඔහු සමත්විය. එහි කතාව ඇමරිකානු තරුණයෙකු හෂීස් මත් ද්‍රව්‍ය සමග තුර්කියෙන් පැන යාමට තැත්දැරීම නමුත් එය වටා තුර්කියේ නොයෙක් දේ කතාකරන්නට සමත්විය. විචාරකයෝ ඒවා නොවැදත් සේ දැක්වීය. නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් වියදම් කර තැනූ චිත‍්‍රපටිය ඩොලර් මිලියන 35 උපයා ආදායම් වාර්තා පිහිටුවීය.

ඔලිවර් ස්ටෝන් නිව්යෝක් නගරයේ දී උපත ලබන්නේ 1946 වසරේ දීය. කොටස් තැරුව්කාර ව්‍යාපාරයෙහි නිරත වූ ඇමරිකාවේ උපත ලද යුදෙව් සම්භවයක් ඇති ඔලිවර් ගේ පියාට ඔහුගේ රෝමානු කතෝලික ආගම අදහන බිරිඳ මුණ ගැසෙන්නේ දෙවන ලෝක යුද්ධය කාලයේ දීය. ඔලිවර් ස්ටෝන් පසු කාලයක ක‍්‍රිස්තියානි පල්ලියට ගිය නමුත් වර්තමානයෙහි බුදුසරණ ගිය බෞද්ධයෙකු බව වාර්තා දක්වයි. පාසල් කාලයේ සිට ඔහු වෙත සමීපව සිටියේ පියාය. විචාරකයන් දක්වන පරිදි ඔහුගේ නිර්මාණ වල පිය පුතු සබඳතාව වඩා දක්වන්නට එය එක හේතුවකි. හිල් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ හෙතෙම පැරිසියට ගොස් එහි සීනි සහ කොකෝවා වෙළඳාමෙහි නිරත වූ අතර එහෙයින් ප‍්‍රංශ භාෂාව ද වහරන්නට හැකියාව තිබේ. පසුව නිව්යෝක් විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් ගන්නා විට ඔහු ට උගන්වන්නේ ලෝක ප‍්‍රකට සිනමා අධ්‍යක්ෂකවරුය. ඉගෙනගන්නා අනතර තුර චිත‍්‍රපට කර්මාන්තයට එකතු වෙන්නේ සුළු චරිතයක් රඟපාමින්ය.

ඔලිවර් ස්ටෝන් තරුණ අවධියේ වෙළඳ නැවක සේවයට ගියේ අනපේක්ෂිතවය. පෙරළා පැමිණ හෙතෙම එකී අත්දැකීම් මතකයේ තියාගෙන ඒවා පාදක කරගෙන දරුවෙකු රාත‍්‍රියේ දී දුටු සිහිනය යනුවෙන් නවකතාවක් පසු කාලයක එනම් 1997 දී ලියා ප‍්‍රසිද්ධියට පත් කරයි. 1967 වසරේ දී ඔලිවර් ස්ටෝන් ඇමරිකානු හමුදාව තෝරාගෙන වියට්නාම් යුද බිමට යවයි. එහි සකී‍්‍රය සේවයේ නිරත වීම හෙයින් පදක්කම් ද දිනා ගත්තේය. මෙකී අත්දැකීම් පසු කාලයක ඔහුගේ ප්ලැටූන් වැනි චිත‍්‍රපට නිර්මාණකරන ජීවිතයට බලපාන්නට ඇති බව නිසැකය.

තැලෙන පෑගෙන පැලැන්තිය ගැන අදහස් ඔලිවර් ස්ටෝන්ට දැනෙන්නට ඇත්තේ ජීවන පසුබිම අනුවය. ඉගෙන ගැනීම හා වෘත්තීය සිනමා අධ්‍යක්ෂණයට එන කාලය අතරතුර ඔහු එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍ර ගණනාවක නිරත වූ අතර ඒවායේ වෙහෙස ජීවිතය පුරා පවතින්නට ඇතිවා නිසැකය. මේවා හෙයින්ම ඔහු වාමාංශික අදහස් ඇති අයෙකු සේ සැලකෙයි. ඒවා මුසු කර ලියන පිටපත් හා අධ්‍යක්ෂණය කරන කෘති සම්මානයට පාත‍්‍ර වෙයි. හැත්තෑගණන් වල සිට කරන ලද නිර්මාණ තිහකින් ඇකඩමින් සම්මාන එකොලහක් දිනා ගන්නට හෙතෙම සමත් වූ අතර ඒවායෙන් සමහරක් අධ්‍යක්ෂණයට වන අතර තවත් ඒවා පිටපත් රචනය වෙනුවෙන්ය.

වාර්තා නිර්මාණ ඔහුගේ ජීවිතය තුළ කරන ලද කාර්ය අතර අද වන විට වැඩිපුරම කැපී පෙනන ඒවා බවට පත්ව තිබේ. වෙනිසියුලානු ජනාධිපති හියුගෝ වාවේස් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සම්බන්ධ කරගෙන කරන ලද වාර්තා චිත‍්‍රපට බෙහෙවින් පේ‍්‍රක්ෂක අවධානයට ලක් වී ඇත. චාවේස් සමග කරන ලද නිර්මාණය නම් කරන්නේ මගේ මිත‍්‍ර වාවේස් යනුවෙනි. පුටින් සමග කතා කරමින් කරන ලද වාර්තා වැඩසටහන ආන්දෝලනයකට ලක්ව ඇත. මෙම දෙදෙනාම එක්තරා ආකාරයකට ඇමරිකනු පාලන ක‍්‍රමය තුළ මතබේධයට ගොදුරු වූ චරිත වශයෙන් සැලකෙයි. පුටින් සමග නොබෝදා කරන ලද වැඩසටහනේ දී ඇමරිකානු ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලට රුසියන් මැදිහත්වීම ගැන පවා කතාකරන්නට ඉඩ දී තිබුණ අතර එහි දී රුසියානු ජනාධිපති පුටින් තම පැත්ත හෙළිදරව් කරමින් ලෝක ප‍්‍රකට සිනමාකරුවෙකු කරන ලද නිර්මාණාත්මක සාකච්ඡාව ගැන විවාදයක් ද ඇති විය. ඔලිවර් ස්ටෝන් යම් ආකාරයකින් ඔහුගේ පුතා ගේ පවතින රුසියන් හිතවත්කම් අනුව මේවා කරන ලද බවට කතා පැතිරෙන අතරවාරයේ ඔහු කියා සිටියේ ‘‘ මගේ පුතා මම කියන දේ අහනවා නම් කොපමණ හොඳද?’’ කියා පමණකි. එනම් එම නිර්මාණයට කිසිම අතරමැදියෙකු නැති බව අනාවරණය කළේය.

නිර්මාණයෙහි ප‍්‍රකට මෙම ශිල්පියා තෙවතාවක් විවාහ වී තිබේ. පළමු දෙවතාවේ විවාහ වලින් පුතුන් දෙදෙනෙකු ලැබූ හෙතෙම තෙවන වර විවාහ වු එලිසෙබත්ගෙන් දියණියක ලැබුවේය. නමුත් ඔලිවර් ස්ටෝන් දැන් යළිත් පවුල් ජීවිතයෙන් වෙන් වී සිටියි. ඔහුගේ අභ්‍යන්තරය ගැන කිසිවෙකු කතා කරන්නේ නැත. පවුල ගැන පවතින ද්‍රෘෂ්ඨිය ගැන ඕපාදූප නැගෙන්නේ නැත. ඔහු ගැන අධ්‍යයනය කරන විචාරකයන් ඔහු ගමන්කරන මාවත ගැන අවධානයෙන් සිටියි. පසුගිය දා බී.බී.සී පුවත් සේවාව පුටින් ගැන කරන ලද වැඩසටහන ගැන ඔලිවර් ගෙන් තදින් ප‍්‍රශ්න කළේය. ‘‘ ඇතැම් විට පුටින් කරන්නේ සම්මානනීය ඔබ හරහා ජාත්‍යන්තරයට තමන් ගැන පණිවුඩයක් යැවීම - එම පණිවුඩයත් වැරදි එකක් නම් යැයි විමසූ විට ඔහු කියා සිටියේ ‘‘ මම උත්සාහ කළේ ඇමරිකාවේ ප‍්‍රතිපත්ති වෙනස් කරන්න නෙවෙයි. නමුත් පුටින්ටත් කියන්න දෙයක් තියෙනවානම් එයට ඉඩක් හදන්නයි’’ යනුවෙන් උත්තර දුන්නේය. ජාත්‍යත්තරය පුරා තමන්ගේ මතයට විනා අනෙක් අයට ඉඩ දෙන්නේ නැති තද අන්තවාදී සන්නිවේදන ව්‍යුහයක් හැදෙන විට සිනමාකරුවෙකු හා සන්නිවේදකයෙකු වශයෙන් අනුන්ගේ මතයට ඉඩ දෙන්නට ඉදිරිපත්වීම ජගත් ප‍්‍රජාවගේ පැසසුමට ලක්ව තිබේ.