» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/04/2017 - දේශය
කාර් මාකට්ටුවේ කෙරුමා වීමට පෙරුම් පුරන චීනා

විදුලිය බලයෙන් ධාවනය වන වාහන පෙලක් නිපදවන චීනය ජගත් අවධානයට ලක්ව තිබේ. එහි නිර්මාතෘ වැන්ග් චුවාන් ෆු ලෝකයේ කීර්තිමත් ව්‍යවසායකයෙකු බවට පත්ව සිටී. චුවාන් ෆු ගේ බාල කාලයේ ජීවිතය මිහිරි නැත. අන්ධකාරය තුළින් වාසනාවන්ත අනාගතයක් ගැන සිහින දකින්නට ඇත. නමුත් අද ඔහු මුළු ලෝක වාසීන්ගේ ම හීනය සැබෑ කර ඇතැයි ප‍්‍රකාශ කළහොත් එය අතිශයොක්තියක් නොවේ. බී.වයි.ඞී. ඔහුගේ නිෂ්පාදනායතනයයි. BYD - build your dreams ඔබේ හීන නිෂ්පාදනය කිරීම යන්න එහි අරුතයි. තමන්ගේ ජීවිතයේ සුබ සිහිනය සාර්ථක කරගත් චුවාන් ෆු ජාත්‍යන්තරයට අභියෝග කරමින් සිටී.

වැන්ග් චුවාන් ෆු චීනයේ අන්හුයි පලාතේ වූවෙයි හි දුප්පත් ගොවි පවුලක තෙවැනි දරුවාය. බාල වියේ දී ම දෙමාපියන් අහිමි වූ ඔහු ගේ රුකවරණයට සිටියේ වැඩිමහල් සහෝදරයා සහ සහෝදරියයි. බොහෝ වෑයමෙන් අධ්‍යාපනය හදාරන හෙතෙම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබන අතර රසායන විද්‍යාව අංශයෙන් උපාධිය හිමි කරගනී. බෙයිජිං හි පර්යේෂණ ආයතනයෙන් 1990 දී ශාස්ත‍්‍රපති උපාධිය ද දිනා ගන්නා හෙතෙම වසර ගණනක් චීන ආණ්ඩුවට සේවය කරන්නේ පර්යේෂකයෙකු වශයෙන්ය. 1995 දී පුද්ගලික අංශයේ සේවයට යන හෙතෙම චීන රාජ්‍ය සේවයේ හා කෙටි කාලයක් පුද්ගලික අංශයේ සේවය කර අත්දැකීම් සහිතව තමන්ගේම ව්‍යවසායයක් අරඹයි. බී.වයී.ඞී. යනුවෙන් එයට නම තියන හෙතෙම එහි කරන්නේ ජංගම දුරකථන වලට අවශ්‍ය බැටරි නිෂ්පාදනයයි. වයස අවුරුදු විසි නමයේ දී තමන්ගේ ඥාති සහෝදරයෙකු සමග ෂෙන්ෂෙන් නගරයේ කෙළවරක අරඹන ලද කම්හල අද ලෝකයේ විශාලතම ජංගම දුරකථන බැටරි නිෂ්පාදන ආයතනයයයි. 2009 දී ඔහු චීනයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එකතු වූ අතර ලෝකයේ අස්සක් මුල්ලක් නෑර කවර නමකින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන ලද නමුත් එහි වැදගත් මෙවලමක් වන බැටරිය නිපදවන්නේ බී.වයි.ඞී ආයතනයයි.

ජංගම දුරකථනයේ බැටරි වල සාර්ථකත්වයට හේතු වන්නේ දීර්ඝ කාලයක් දුරකථනය සජීවීව පවත්වාගෙන යන්නට පහසුකම් සැපයීමයි. චුවාන් ෆු ගේ පර්යේෂණ වල සාර්ථකත්වය අනුව එහි ප‍්‍රමාණය කුඩා වූ අති විශාල බලයක් එක ආරෝපනයක දී විදුලිය ගබඩා කරගන්නට සමත්විය. එය ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ විප්ලවීය පෙරැලියක් ඇති කළේය. එයින් නතර නොවූ හෙතෙම අද විදුලිය බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනයට නැඹුරු වී සිටී. ඒ වෙනුවෙන් වෙනම කර්මාන්ත ශාලාවක් ෂෙන්ෂෙන් ප‍්‍රාන්තයේ පිහිටුවීය. ජංගම දුරකථන බැටරි වල තාක්ෂණය වඩා වැඩි දියුණු කරන ලද හෙතෙම ඒවා උපයෝගී කරගෙන ද්‍රව ඉන්ධන රහිතව සම්පූර්ණ බැටරි බලයෙන් ධාවනය කරන සුඛෝපභෝගී වාහන පෙලක් නිෂ්පාදනය ඇරඹීය.

වාහන නිපදවන ප‍්‍රයත්නයට අත ගහන්නේ 2002 අවුරුද්දේ දීය. ඒ වන විට අසාර්ථකත්වය කරා ගමන්කරමින් තිබුණ තසෙන්චුවාන් වාහන නිෂ්පාදන සමාගම මිලයට ගත් චුවාන් ෆු චීන ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව බැටරි බලයෙන් ධාවනය වන වාහන නිපදවීම ගැන අත්හදා බැලීය. ඒ වන විට ලෝකයේ ප‍්‍රකට සමාගම් සාර්ථක එහෙත් තවත් දියුණු කළ යුතු මටට්මේ විදුලිය කාර් නිපදවමින් සිටි අතර බී.වයි.ඞී උත්සාහ කළේ එයට ඉදිරියෙන් ඉන්නටය. අවුරුදු හයක් ඇවෑමෙන් තමන්ගේ පළමු නිෂ්පාදනය චීන වෙළඳ පොලට එකතුකරන්නට හෙතෙම සමත්විය. මෙම පුදුමාකාර දියුණුව දකින මයික්‍රොසොෆ්ට් හි සම නිර්මාතෘ වොරන් බෆට් බී.වයි.ඞී සමාගමේ ඩොලර් මිලියන 230 ක් වටින සියයට දහයක කොටස් මිල දී ගෙන එහි දියුණුවට එකතු වෙන්නට තීරණය කරයි. 2009 දී විදුලියෙන් ධාවනය වන කාර් ලක්ෂ පහකට ආසන්න ප‍්‍රමාණයක් රට තුළ අලෙවි කරන්නට සමත් වූ අතර එහි සාර්ථකත්වය මත දකුණු අප‍්‍රිකාව, දකුණු ඇමරිකාව හා මැද පෙරදිගට වාහන අපනයනය කරන්නට සමත්වෙයි. නිපදවන වාහන වලට තිබුණේ අධි ඉල්ලූමකි. වසර කිහිපයක් ගත වන විට චීනයේ වැඩිම අලෙවිය ඇති වාහනය බවට වෙළඳ වාර්තා පිහිටුවයි. පසුගිය අවුරුද්දේ ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ චින නිෂ්පාදනයක් වශයෙන් අලෙවි කරන විඩිම අලෙවියක් ඇති කාර් බවට බී.වයි.ඞී පත්ව ඇත. ඒ වන විට චීනයෙන් බැහැර එනම් බ‍්‍රසීලයේ බී.වයි.ඞී වාහන නිෂ්පාදන කම්හලක් අරඹන ලද අතර දැන් භාවිතා වන සියළුම ටැක්සි වෙනුවට විදුලියෙන් ධාවනය වන බී.වයි.ඞී කාර් හදුන්වාදීම සමාගමේ ඉලක්කය වී තිබේ. තාක්ෂණයෙන් උසස් බැටරි නිපදවා එය අනුසාරයෙන් මහ මග ධාවනය වන කාර් වලට එකී තාක්ෂණය පවරන සමාගමේ ආදායම මොටර් රථ නිෂ්පාදන අංශයේ ලෝකයේ සියළු ආදායම් වාර්තා අභිබවා තිබේ. ලාභය ඉහළ යනවා පමණක් නොව එයින් පරිසරය ආරක්ෂා කරන්නට දෙන දායකත්වය ලෝකයේ පැසසුමට ලක්ව තිබේ. මෙතෙක් ඞීසල් හෝ පෙට‍්‍රල් භාවිතා කරමින් පරිසරයට විෂ දුම මුදහරිමින් ධාවනය වූ වාහන වෙනුවට පරිසර හිතකාමී වාහන නිපදවීම ගැන ජාත්‍යන්තර ප‍්‍රසාදය සමාගමට හිමිවිය.

වර්තමානයේ බී.වයි.ඞී. තමන්ගේ පෙරැලිකාර බැටරි තාක්ෂණය මගී බස් රථ හා දුම්රිය වෙනුවෙන් යොදවන්නට තීරණය කර තිබේ. දැනට එකවරක් ආරෝපනය කිරීමෙන්පසු කිලෝ මීටර් 400 ක් දක්වා හා නැවතත් ඉතා ඉක්මනින් එනම් පැය දෙකකකින් පමණ සම්පූර්ණ ආරෝපනය ලබාගත හැකි තරමට දියුණු කර ඇති කාර් ලෝකයේ ඉහළ අවධානයට ලක්ව ඇත. ඒ හා සමාන ජවයකින් යුතුව බස් රථ නිපදවෙන අතර සමාගමේ ඉලක්කය ආසියාවයි. ආසියානු රටවල් වල දැනට ධාවනය වන මගී බස් තවත් වසර කිහිපයක් ඇතුලත සම්පූර්ණයෙන්ම වෙනස් භාවිතාවක් කරන්නට සමාගම සැලසුම් කර තිබේ. චීනයේ ෂෙන්ෂෙන් ප‍්‍රදේශයේ මෝටර් රථ කම්හල වටා බැටරි ආරෝපනයෙන් ධාවනය වන දුම්රියක් පරීක්ෂණ ධාවයක යොදවා ඇති අතර එහි සාර්ථකත්වය අනුව ලෝකයේ පොදු මගී ප‍්‍රවාහනය තවත් පරිවර්තන යුගයකට හැරවෙනු ඇතැයි සැලකේ.

බී.වයි.ඞී හි ඉලක්කය වසර 2025 වන විට ලෝකයේ විශාලතම කාර් නිෂ්පාදකයා බවට පත්වීම බව වැන්ග් චුවාන් ෆු ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේය. ‘‘අවුරුදු හත අටක් හොඳටම ප‍්‍රමාණවත් බව හෙතෙම කියා සිටියේ අපි නියම චීන සමාගමක් අපි ස්මාට්. ඒ වගේම මහන්සිවෙලා වැඩ කරනවා. අභියෝග ජයගන්නට සූදානම්’’ යනුවෙන් කියා සිටියේ සැහැල්ලූවෙන්ය. සැම්සුන් සමාගම බී.වයි.ඞී. සමග ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබේ. කැලිෆෝනියාවේ ආයෝජනය කරන්නට සූදානම්ය. දැන් ඔහු සතුව හොඳම තාක්ෂණය දන්නා ඉන්ජිනේරුවන් දස දහසක් සේවය කරයි. මෙයින් හරි අඩක් වැඩ කරන්නේ කාර් නිෂ්පාදන අංශයටය. එය තිස් දහස දක්වා වැඩි කරන්නට බී.වයි.ඞී සූදානම්ය. එවැනි අභියෝගයකට ඔහු හා තරග කරන ජපන් හෝ ඇමරිකානු වාහන නිෂ්පාදකයන්ට හැකියාවක් නැත.

හරියටම අවුරුදු පහලොවකට කලින් බැටරි බලයෙන් ධාවනය වන වාහන නිපදවන්නට පටන් ගත් වැන්ග් චුවාන් ෆු තම සාර්ථකත්වය ගැන කියන්නේ එය බලශක්ති අංශයෙහි අලූත් විප්ලවයක් කරන ලද බවය. තම ව්‍යාපාරයෙහි ආරම්භය බැටරි නිෂ්පාදන තාක්ෂණය බව කියන හෙතෙම ස්වකීය ව්‍යාපාරය ලෝකයේ ජංගම දුරකථන බැටරි නිෂ්පාදනයෙන් සියයට තිහක වෙළඳ පොලක තනි අයිතිය ඇති සේ ඉදිරියේ දී වාහන නිෂ්පාදනයේ දී සියළුම තත්ත්ව අභිබවා යන බවය.

බාල වියේ දී දෙමාපිය සෙනෙහස අහිමිව හුදෙකලා වූ නමුත් වෑයමෙන් ඉගෙනගත් කුඩා වැන්ග් චුවාන් ෆු ආණ්ඩුවේ පර්යේෂණ නිලධාරී තනතුරෙන් සෑහීමකට පත් වූයේ නැත. තමන්ගේ අරමුණ කරා යන ගමන වෙනුවෙන් කැපවූ හෙතෙම අද ලෝකයේ වත්කම අතින් 414 වැනි පුද්ගලයා බවට පත්ව සිටී. චීනයේ තිස් තුන් වැනි ධනවතාය. සැහැල්ලූවෙන් ජීවත්වන හෙතෙම ලෝකයේ සිහින සැබෑ කරන්නා බවට පත්ව සිටී.