» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/11/2015 - දේශය
සම්ප‍්‍රදාය පුපුරුවාහල දෙදෙනෙක්

අලූත් දේ වෙනුවෙන් ලෝකය තුළ ඇති ඉඩ කඩ තව තවත් පුලූල් වෙමින් තිබේ. අලූත් ආකාරයකට අවධානය යොමු කළ තරුණ ව්‍යවසායකයන් දෙදෙනෙකු ලෝකයේ මෙතෙක් සැලකිල්ලට ලක් නොවූ පැති වලින් නවතම ව්‍යාපාර ඇති කරන්නට සමත්වී ඇත. එම ව්‍යාපාර අති විශාල ධනස්කන්ධයක් උපයන ආකාරයේ දැවැන්ත සමාගම් බවට පත්ව තිබේ. මේවායෙන් කරන්නේ ඉඩ කඩ විකිණීමයි. තමන් ගමන් කරමින් සිටින වාහනයේ තවත් කිහිප දෙනෙකුට ගමන් කළ හැකි නම් එයට මිලක් නියමකර ආදායමක් උපයාගත හැකිය. තමන් ජීවත්වන නිවසේ කාමරයක් ප‍්‍රයෝජනයට නොගෙන ඇත්නම් එක දිනකට වුවත් කුලියට දෙන්නට හැකිය. ප‍්‍රයෝජනයට නොගෙන පවතින ඉඩකඩ විකිණිය හැකි අදහස නිර්මාණාත්මක එකක් බවට පත්වන්නේය.

මෙම ව්‍යවසායකත්වය අනුව එකම කුලී වාහනයක්වත් නැති සමාගමක් ලෝකයේ විශාලතම කුලී ගමන් සේවාවක් බිහි කරයි. හෝටල් කාමරයක්වත් නැති ආයෝජනයකින් ලෝකයේ විශාලතම සංචාරක හෝටල් සමාගම බිහිකර තිබේ. මෙයින් සිදු කර ඇත්තේ තිබෙන සම්ප‍්‍රදාය පුපුරවා හරිමින් ඉතාම අලූත් දෙයක් නිර්මාණය කිරීමයි.

1981 දී උපත ලැබූ බ‍්‍රයන් චෙස්කි තවත් මිතුරන් දෙදෙනෙකු සමග සැන්ප‍්‍රැන්සිස්කෝ නගරයට පැමිණ කුඩා තැනක් කුලියට ගෙන නතර වන්නේ රුකියා විරහිත තරුණන් හැටියටය. කාමර කුලී ගෙවීමට නොහැකිවන තරුණන්ට නවාතැන අහිමිවීමේ ප‍්‍රශ්නයක් මතුවෙයි. එම නගරයේ පවත්වන වෙළ`ද ප‍්‍රදර්ශනයක් වෙනුවෙන් විශාල අමුත්තන් පිරිසක් පැමිණ නවාතැනක් සොයන විට මෙම තරුණන් කරන්නේ වායු මෙට්ට තුනක් මිලදී ගෙන තමන්ගේ කාමරයේ තබා නවාතැන් ඇති බව දැන්වීමක් ප‍්‍රදර්ශනය කිරීමයි. එය සාර්ථක විය. කිහිපදෙනෙකු කාමරයේ නවාතැන් ගත්තේය. පසුව මෙම මිතුරන් එයාර් බී ඇන්ඞ් බී යනුවෙන් අන්තර් ජාල සමාගමක් ආරම්භ කරන අතර එය ලෝකය පුරා ව්‍යාප්තවන නවාතැන් සැපයීමේ සේවාවක් බවට පත්වෙයි. අද එම සමාගමේ වෙබ් අඩවියට අනුව ලෝකයේ නගර තිස් හතර දහසක පහලොස් ලක්ෂයක් වූ නවාතැන් පොලවල් ගැන විස්තර ඇතුලත්ය. 2008 දී ආරම්භ කරන ලද එයාර් බී ඇන්ඞ් බී ව්‍යාපාරය අද කෙලින්ම සංචාරකයන් සහ නවාතැන් සම්බන්ධ කරන ආකර්ශණීය එකකි. එකම හෝටල් කාමරයක්වත් නැති සමාගමක් ඕනෑම තැනක ඇති ඉඩකඩ සංචාරකයන්ට විකුණමින් සිටී.

ඌබර් සමාගම ද එවැනි එකකි. ග්‍රෙයිට් එම්. කෑම්ප් සහ ටෙ‍්‍රවිස් ක්ලින්ක් සැන් ප‍්‍රැන්සිස්කෝ නගරයේ දී කුලී රථ සේවාවක් ආරම්භ කරන්නට සුදුසු ඇප් එකක් නිර්මාණය කරයි. එම ඇප් එක අනුව වාහනයක ගමන් පහසුව ලබා ගන්නට කැමැති අය සහ ගමන් පහසුව දෙන්නට සූදානම් වාහන හිමියන් එකතුකරන එකකි. කැමැති කෙනෙකුට තමන්ගේ ගමන පටන්ගන්නා තැන සහ ගමනාන්තය අනාවරණය කර තමන් සමග යන්නට ඉඩ ඇති ආසන ගණන දැක්වූ විට අන්තර් ජාලයෙන් මිල ගෙවා ආසන වෙන්කර ගත හැකිය. එය ඒ වනතෙක් සාමාන්‍යයෙන් පැවැති කුලී රථ සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට පත් කරන්නේය. 2011 අවුරුද්දේ දී සැන්ප‍්‍රැන්සිස්කෝ නගරයේ ආරම්භ කරන ලද ව්‍යාපාරය මාස ගණනක් ඇවෑමෙන් ඇමරිකාවෙන් පිටට ව්‍යාප්ත වූ අතර අද වන විට ලෝකයේ රටවල් පනහක නගර දෙසීයක සේවා පවත්වාගෙන යයි. දිනපතා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි සේවය ලබා ගනී.

නොබෝදා එනම් පසුගිය ඔක්තෝම්බර් 22 දා සංගක්කාර සහ මහේල මෙරට පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත් කී‍්‍රඩකයන් දෙදෙනා ඌබර් ටැක්සි සේවාවට එකතු වන්නේ ශ‍්‍රී ලංකාවේ එය ආරම්භ කිරීමත් සමග තව තවත් ප‍්‍රවර්ධනය කරන්නට ඉඩ සලසා දෙමින් බව වාර්තා වෙයි. එයට කලින් සිටම ශ‍්‍රී ලංකාවේ නවාතැන් පොලවල් ගණනාවක් එයාර් බී. ඇන්ඞ් බී ව්‍යාපාරය සමග එකතු වී සිටියේය. එපමණක් නොවේ. ඌබර් ආකාරයේම තාක්ෂණික භාවිතාවන් සහිත තව තවත් අනුබද්ධ ව්‍යාපාර බිහිවෙයි. අද වන විට ත‍්‍රීවිලර් වලට පවා කුලීගමන් සපයන්නට හැකිවන ආකාරයට ක‍්‍රම සම්පාදනය වී ඇත.

එයාර් බී ඇන්ඞ් බී සහ ඌබර් යන ව්‍යවසායකත්ව සංකල්ප දෙකටම පදනම් වන්නේ තාක්ෂණයයි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය ලොව පුරා ව්‍යාප්තවීම සමග මෙතෙක් පැවැති ක‍්‍රම වෙනස් කර නවතම ආකාරයකට කල්පනා කරන්නට උත්සාහ කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නවීන ව්‍යාපාර බිහිවී ඇත. එය මෙතෙක් පැවැති සම්ප‍්‍රදාය අබිබවා යන්නකි.

ව්‍යාපාර සම්බන්ධයෙන් කාලයක් උරුමය වශයෙන් පවතින්නේ ව්‍යවසායකත්වයයි. කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන දිරිමත් පුද්ගලයා ව්‍යවසායකයෙකි. අවදානමක් ගෙන අලූතින් යමක් කරන්නට ඔහු ප‍්‍රයත්න දරන්නනේය. මෙයින් පසු කාලයක දී නවෝත්පාදනය සංකල්පයක් වශයෙන් ඉදිරියට පැමිණෙයි. නවෝත්පාදකයන් ගේ අධිෂ්ඨානය මෙතෙක් ලෝකයේ පැවැතියේ නැති අලූත් දෙයක් නිෂ්පාදනය කිරීමයි. අලූත් දෙයක් වෙනුවෙන් නවතම වෙළ`ද පොලක් සකස් කරගැනීමයි. එය ඉතාමත් නිර්මාණාත්මක සහ ගවේශණාත්මක එකකි. නමුත් මෙම ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය අභිබවා ඉදිරියට පැමිණ ඇත්තේ තිබෙන සම්ප‍්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ව්‍යුහයක් ඇති කිරීමයි. තිබෙන සම්ප‍්‍රදායික වහුහය වෙනස් කරන්නට බී අන්ඞ් බී පමණක් නොව ඌබර් යන ව්‍යාපාර සංකල්ප ඇතිවන විට ලෝකය පුරා පැතිරෙන්නේ එයට ඇති අවකාශය කොපමණ ද යන්න තහවුරු කරමින්ය.

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් දැනට යම්ප‍්‍රමාණයකට වාසි අත්පත් කරගනිමින් සිටින නමුත් අපේක්ෂා කරන තරමට නොවේ. තරු සංචාරක හෝටල් හිමියන්ට අනුව සංචාරකයන් ගෙන් සැලකිය යුතු පිරිසක් තමන්ගේ නවාතැන් පහසුකම් සපයා ගනිමින් සිටින්නේ අන්තර් ජාලය පරිහරණය කරමින් එයාර් බී ඇන්ඞ් බී ක‍්‍රමටයට. එයාර් බී ඇන්ඞ් බී ක‍්‍රමයට හෝටල් වෙන් කිරීමේදී, මුදල් ගෙවීමේදී තාක්ෂණය සහ මුදල් පරිහරණය නොකරන කාඞ් පත් ක‍්‍රම අනුගමනය කරමින් පවතින අතර කිසිසේත් නොදන්නා පුද්ගලයන් සමග තමන්ගේවාහන වල ඉඩකඩ බෙදා ගැනීම ප‍්‍රශ්නයක් නොවන ආකාරයට වාහන පදවන්නන් පමණක් නොව වාහන වල පහසුකම් කුලියට ගන්නා පුද්ගලයන් ද රේටිං කරන්නට ද පටන්ගෙන තිබේ. මෙම සේවා ඇතිවෙන්නේ ප‍්‍රශ්නයක් ඇතිවන විට එයට විස`දුමක් සොයා ගන්නා ආකාරයටය. වාහන වල ආරක්ෂක ප‍්‍රශ්න ඇතිවෙන විට ඒවා රේටිං කර සුදුසු පුද්ගලයන්ට පමණක් සේවයේ දොරටු විවෘත වෙන ආකාරයට පරිවර්තනය වන අතර නවාතැන් පහසුව ලබා ගැනීමේ දී සිදුවිය හැකි අලාභ හෝ අවාසි මගහැර ගැනීම ස`දහා රක්ෂණ ව්‍යාපාර හවුල් වෙන්නට පටන්ගෙන ඇත. සම්ප‍්‍රදාය වෙනස් කරමින් අලූත් දේ බිහිවෙන අතර වාරයේ එම ව්‍යාපාර අලූත් තාක්ෂණය පමණක් නොව දැනට පවතින සම්ප‍්‍රදායික ව්‍යාපාර සමග ද, සූක්ෂමව බද්ධ වන ආකාරය සැලකිල්ලෙන් සහ අවධානයෙන් අධ්‍යයනය කළ යුතු එකකි.

ලෝකයේ පැවැත්ම සම්ප‍්‍රදායික ආකාරයට පවතින්නේ සුපුරුදු ආකාරයටය. එය වෙනස් කරන්නේ මෙවැනි සිදුවීම්ය. ජනතාව අපේක්ෂා කරන්නේ අලූතින් බිහිවෙන පරිවර්තන වලින් තමන්ගේ ජීවිත හැඩගැහෙන්නට දෙන පහසුව ගැනය. ඉක්මනින් පැතිරෙන්නේ එහෙයින්ය. ජනතාන්ත‍්‍රිකත්වයට මග පාදන්නේ සුපුරුදු පැවැත්ම ආකර්ශණීය ආකාරයට වෙනස් කරන අදහස් බව අවදානයට ගත යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.