» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/10/2017 - දේශය
ට‍්‍රම්ප්ට අභියෝග කළ නගරාධිපතිනිය

මාරියා නමැති චණ්ඩ සුළි කුණාටුව ඇමරිකාවේ කැරිබියන් දුපත් ආශ‍්‍රීත ප‍්‍රදේශ වලට කරන ලද විපත ජගත් ජනමාධ්‍යයේ අවධානයට ලක්විය. සංචාරක ආකර්ශණීය සෙන් ජුවාන් නගර ප‍්‍රදේශයට කඩා වැද කරන ලද විනාශය සෑහෙන දැනෙන එකකි. සෙන් ජුවාන් හි නගරාධිපතිනි කාමෙන් යුලින් කෘස් විපතට මුහුණ දෙන සංවිධානාත්මක විලාශය ජාත්‍යන්තර අවධානයට ලක්විය. තමන්ගේ පුරවැසියන්ට මැරෙන්නට දෙන්නට බැහැ යයි ඉතාමත් සංවේදීව කියා සිටි ඇයගේ ස්වරය උස් එකක් වූ අතර වැසියන් බේරා ගන්නැයි ඉල්ලා සිටියාය. සහන කටයුතු ප‍්‍රමාදවීම ගැන කෙලින්ම ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවයාට අභියෝග කළාය. මාධ්‍ය ඉදිරියේ කදුළු සැලූ ඇය ලොව මහා බලවත් රටක් සේ සලකන ඇමරිකාව ස්වභාවික විපත හමුවේ තම නගරයේ වැසියන් දෙවැනි පැලැන්තියේ අය සේ සලකා අනතුරට තල්ලූ කර ඇතැයි චෝදනා කළාය. එය ඉදිරිපත් කළ ශක්තිමත් විලාශය හෙයින් කාමෙන් නගරාධිපතිනිය ජනතාන්ත‍්‍රිකත්වයට පත්වූවාය.

සෙන් ජුවාන් උතුරු ප‍්‍රදේශයේ පෙට්‍රෝ රිකෝ ප‍්‍රධාන දූපත ඇතුළු කුඩා දූපත් සමූහයක් අතර සිත්ගන්නා තැනකි. එහි මිලියන 3.4 ක පමණ ජනගහනයක් වෙසෙන අතර බහුතරයක් ස්පාඤ්ඤ සහ තවත් වැඩි කොටසක් ඉංග‍්‍රීසි භාෂාව කතා කරති. කලූ ස්පාඤ්ඤ වැසියන් වත්මන් ඇමරිකාව තුළ නොසලැකිල්ලට ලක්ව ඇති බවට මතයක් තිබේ. මාරියා කුණාටුව එම අදහස තවත් ව්‍යාකූල තැනට පත් කළේය. ජනතාව විපතට පත්වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය නිල ගුවන් යානයේ නැගී ඔහුට අයත් පුද්ගලික ගොල්ෆ් ක‍්‍රීඩාංගනයකට ගොස් සිටි අතර එය ඉතාම ධනවත් කලාපයක ඉසුරුමත් ජීවිත ගත කරන්නන්නේ බිමක් සේ සැලකෙයි. හෙතෙම එහි සිට නගරාධිපතිනි කාමෙන් කෘස් සමග ට්විටර් පණිවුඩ වලින් තොරතුරු හුවමාරු කරගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. සෙන් ජුවාන් හි ස්පාඤ්ඤ වැසියන් භීතියට හා දුකට පත්ව සිටි අවස්ථාවක සැප පහසුවෙන් වෙසෙමින් පැය එකොලහක් ඇතුලත ට්විට්ර් පණිවුඩ දහ අටක් යොමු කර තිබිම විවේචනයට ලක්විය.

ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම් දියත් කරනු ඇතැයි මහත් අපේක්ෂා සහගතව සිටි ජනතාව වෙත ට‍්‍රම්ප් ජනාධිපතිවරයා යැවූ එක් පණිවුඩයකින් කියැවුණු ‘‘ඔවුන් වෙනුවෙන් සියළුදෙයම කරන තෙක් ඔවුහු බලාසිටිතැයි’’ යන අදහස ඇති පණිවුඩය බරපතල අප‍්‍රසාදයට පත්ව තිබේ. ඇමරිකානු ජාතික නායකත්වයේ සහන ප‍්‍රමාද වන විට සහ ට‍්‍රම්ප් ජනාධිපතිවරයා ට්විට්ර් පණිවුඩ යවමින් සිටීම ගැන ආවේගශීලී වූ කාමෙන් කෘස් කෙලින්ම ඒ ගැන අප‍්‍රසාදය පළ කළාය. ‘‘අපි මැරෙනවා. අපගේ ජීවිත විනාශවෙන තෙක් බලා ඉන්නේ ඇයි?’’ යනුවෙන් තදින් කරන ලද ප‍්‍රකාශ ජාත්‍යන්තර ප‍්‍රජාවව කම්පාවට පත් කර තිබේ.

කාමෙන් යුලින් කෘස් නගරාධිපතිනිය වශයෙන් ක‍්‍රියා කරන සැන් ජුවාන් වඩා විශාල ජනගහනයක් සහිත ප‍්‍රදේශයකි. එහි නගර සභික ධුරය 2009 වසරේ සිට උසුලන කාමෙන් 2013 වසරේ දී නගරාධිපති වශයෙන් පත් වූ අතර ඇය ඩිමොක‍්‍රටික් පක්ෂ හිතවාදිනියකි. එයට කලින් ඇය හිටපු නගරාධිපතිවරයාගේ උපදේශිකාවක සේ ක‍්‍රියා කළ අතර 2000 වසරේ දී මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් අසාර්ථක වූවාය. පසුව ප‍්‍රකට කාන්තා සංවිධානයක සභාපති වශයෙන් ක‍්‍රියා කරමින් ප‍්‍රජා කටයුතු වලට සම්බන්ධ වූවාය.

කාමෙන් කෘස් මූලික අධ්‍යාපනයෙන් පසු උපාධිය ලබාගත්තේ 1980 වසරේ බුුස්ටන විශ්ව විද්‍යාලයෙන්ය. දේශපාලන විද්‍යාව හදාරන ලද අතර පසුව කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය හා ප‍්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගත්තාය. බාලවියේ සිටම විෂය බාහිර කටයුතු වලට ද සහභාගී වූ ඇය ජවන හා පිටිය පාසල් කණ්ඩායමේ නායිකාව බවට පත්ව සිටීම එයට එක උදාහරණයකි. උසස් අධ්‍යාපනයෙන් පසු පුද්ගලික අංශයේ ප‍්‍රකට සමාගම් ගණනාවක සේවය කරන ලද ඇය මානව සම්පත් කළමණාකරන අංශයෙහි සමත්කම් දැක්වූවාය. එක්සත් ජනපයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලද කාමෙන් කෘස් මහජන මුදල් විෂයය යටතේ රාජ්‍ය අංශයෙහි කාර්ය භාරය ද හදාරන්නට සමත් වූවාය.

සැන් ජුවාන් හි නගර සභාවේ සාමාජිකාවකක සේ පත් වූ පසු ඇය කාන්තා කටයුතු භාර අංශයෙහි යුහුසුළු වූවාය. සංක‍්‍රමණිකයන් ගැන වඩා අවධානයෙන් කටයුතු කරන ලද හෙයින් ඇමරිකාවේ පැවැති වට මේස සාකච්ඡාවකට සහභාගී වී අදහස් හුවමාරු කරගන්නට ලැබුණ බව ද දැක්වෙයි.

පළමු වතාවට නගරාධිපති ධුරය වෙනුවෙන් තරග කරන්නට උත්සාහ කරන ලද අවස්ථාවේ දී එයට බාධා මතු වූ අතර පක්ෂය තුළින්ම පැනවුණ ආරවුල් මැඩ ගන්නට ඇය ජනතාව හමුවට ගියාය. ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ඇසුරු කරගෙන තමන් නගරාධිපති ධුරය වෙනුවෙන් තරග කරන්නට අපේක්ෂා කරන බව හෙළි කළාය. එයට ලැබුණ ප‍්‍රතිචාර දිරිගන්වන සුළුය. කාමෙන් කෘස් ගේ ජනප‍්‍රියත්වය එතැනින් මැන ගැනීමට හැකි වූ අතර අපේක්ෂකත්වය බාර නොදෙන්නට හේතුවක් නොතිබිණි. ඇය කෙලින්ම සාමාන්‍ය ජනතාව හමුවට ගියාය. ටැක්සි රියැදුන්ගේ සිට කුඩා වෙළදුන් දක්වා කණ්ඩායම් සමග කලින්ම කතා කරන කුඩා කණ්ඩායම් හමු පැවැත්වූ ඇය එයින් ප‍්‍රචාරක ව්‍යාපාරය ගෙන ගියාය. පිට පිටම තුන් වතාවක් නගරාධිපතිකම අඛණ්ඩව කර ගෙන ගිය ජෝර්ජ් පරාජය කර නගරාධිපති පුටුව ලබාගත් කාමෙන් නගරය හා එයින් පිට ප‍්‍රදේශවල ගොඩනැගිලි හා ආර්ථිකය අලූතින් සැලසුම් කළාය. අලූත් ආයෝජන වලට ඉඩ දුන්නාය. කර්මාන්ත හා සංචාරක අංශ වැඩි දියුණු කරන්නට පියවර ගත්තාය. එකී පියවර ජනතා ආකර්ශණය දිනා ගත් බව සඳහන් කළ යුතුය.

නොබෝදා මාරියා නමැති චණ්ඩ සුළි කුණාටුව එන තෙක් ඇය නිසොල්මන්ව සිය කාර්යය කරගෙන ගියාය. නමුත් සියයට අනූවක් පමණ දෙනා විපතට පත්ව විදුලිය හා පානීය ජලය රහිතව ඉන්නා අවස්ථාවේ දී වේදනාවෙන් හා එඩියෙන් යුතුව ඉදිරියට පැමිණියාය. විපත හමුවේ සංවිධානගත ව නැගී සිටින්නට යුහුසුළු නොවී චෝදනා කිරීම දුර්වල නායකත්වයක් බව ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් කියන විට එය කිසිසේත් සැලකිල්ලට නොගත් කාමේන් මෙම සියළු දේ තමන් වෙනුවෙන් හෝ තමන්ගේ ප‍්‍රතිරූපය වෙනුවෙන් නොවේ යැයි කියා සිටි ඇය ජනාධිපතිවරයා සමග කටයුතු කළ ආකාරය ගැන දෙස් විදෙස් ජනමාධ්‍ය මතුකරන කාරණා නිහතමානීව ඉවසූවාය. දින කිහිපයක් ඇතුලත ජගත් ප‍්‍රජාව ඇයගේ අධිශ්ඨානය, ආවේගය හා ක‍්‍රියා කලාපය හදුනාගත්තාය. ඇතැම් මතවාදී අදහස් මෙම කලාපයේ ජීවත්වන ස්පාඤ්ඤ වැසියන් දෙවැනි පැලැන්තියක් සේ සලකන ඇමරිකානු රජයේ ආකල්ප ගැන ඉඟි පළකළාය. ඉක්මන් තීරණයක් ගත යුතුව තිබූ අභ්‍යන්තර නැව් ගමනාගමනය ගැන පණතක් සංශෝධනය කරන්නට වූ අවස්ථාවේ ඇමරිකානු ආණ්ඩුව

එය සෙන් ජුවාන් දුප්පත් වැසියන්ගේ යහපත වෙනුවෙන් වන හෙයින් සෑහෙන කාලයක් අනවශ්‍ය ප‍්‍රමාද කිරීමේ අතීත සිද්ධියක් මතුකරමින් මෙම ප‍්‍රදේශයට වහා හදිසි ආධාර නොකිරීම එයට සමාන යැයි කියන්නට ද මාධ්‍ය උත්සාහ කළේය. එය කාමෙන් කෘස් ගේ කාර්යභාරය දීප්තිමත් කරන මාධ්‍ය ආවරණයක් වූ බව සඳහන් කළ යුතුය. විපතේ දී කළ හැකි සියල්ල කරන්නට උත්සාහ කළ නායකත්වය අගය කිරීමක් විය. ට්විටර් පණිවුඩ යවමින් ධනවතුන්ගේ සමාජයට වී සිටි ට‍්‍රම්ප් ගේ පැවැත්ම සමාජ මාධ්‍ය මගින් තදබල විවේදනය කරන විට ස්පාඤ්ඤ බස කතාකරන ජන කොටසක් වෙනුවෙන් නැගී සිටි තරුණ නායිකාවගේ හඩ ඉතාමත් බලවත් ව නැගිණ. ජගත් ප‍්‍රජාව තෝරා ගත්තේ කාමෙන් කෘස් ගේ නායකත්වයයි.