» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/07/2018 - දේශය
කැපවීමෙන් ජනතා කැමැත්ත දිනූ මෙක්සිකෝවේ ඔබ්රෙඩෝ

මෙක්සිකෝ ජනාධිපතිවරණය අවසානයේ දී හැට හතර වියැති පරිනත දේශපාලනඥයෙකු වන අන්ද්‍රේ මැනුවෙල් ඔබ්රෙඩෝ පැහැදිලි ජයග‍්‍රහණයක් අත් පත් කරගෙන තිබේ. විවෘත ආර්ථික ක‍්‍රමයෙන් බිහිවී ඇති ධනවාදී සමාජය තුළ දුප්පත් පොහොසත් පරතරය දරුණු ලෙස වර්ධනය වී ඇති බව ප‍්‍රසිද්ධියේ කියා සිටි අන්ද්‍රේ මැනුවෙල් එය සිය සටන් පාඨය කරගත්තේය. මත් ද්‍රව්‍ය වසංගතයට එරෙහි විය. දුප්පතුන් ගලවා ගත යුතු අතර ක‍්‍රමය තුළ බලපවත්වන දුෂිත දේශපාලනය හෙතෙම පිලිකෙව් කළේය. දුෂණය මැඩ අලූත් පාලන ව්‍යුහයක් ගොඩනගන බවට පොරොන්දුවක් දුන් අතර ජනතාව එය විශ්වාස කර තිබේ.

අන්ද්‍රේ මැනුවෙල් ඉකුත් ජනාධිපතිවරණ දෙකක අසාර්ථකත්වයට පත් විය. ජනතාව ප‍්‍රතික්ෂේප කරන විට සසල වූයේ නැත. පරාජය වන සෑම අවස්ථාවකම අලූත් ධෛර්යයකින් නැගී සිටියේය. මෙක්සිකෝ රට තුළ ඇති කුඩා පාලන ආයතන දෙදහස් හාරසිය ගණනටම ගිය හෙතෙම ජනතාව මුණ ගැසී සාකච්ඡා කළේය. පරාජය ගැන කරුණු කියන අතරවාරයේ ඔහුගේ දර්ශනය ගැන අදහස් හුවමාරු කරගත්තේය. රට වටා යමින් ජනතාව සමග ගැවසුන නායකයෙකු වශයෙන් අන්ද්‍රේ මැනුවෙල් ජනාධිපතිවරණය ජය ගන්නා විට ඔහුගේ නායකත්වයෙන් යුත් නැෂනල් රීජෙනරේෂන් පක්ෂයට කොන්ග‍්‍රස් මණ්ඩලයේ පමණක් නොව ආණ්ඩුකාර ධුර වල බහුතරය ද දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි. ජයග‍්‍රහණයෙන් පසු ජනතාව අතරට ගිය හෙතෙම හැමදෙනාටම සවන්දෙන, හැම දෙනාම බලාගන්නා සහ සෑම සියළු දෙනෙකුටම ගෞරව කරන නව පාලනයක් බිහි කරන බව ප‍්‍රතිඥා දුන් අතර මෙතෙක් කල් සමාජ පහල ස්ථරයේ මෙතෙක් නොසැලකිල්ලට ලක් වූ ජන කොටස වෙත වැඩි අවධානයක් යොමු කරන බව අනාවරණය කළේය.

වෙළඳ ව්‍යාපාරයක් කරගෙන ගිය දෙමව්පියන්ගේ පළමු දරුවා වශයෙන් මෙක්සිකෝවේ දකුණු පලාත නිජ බිම කරගෙන උපත ලැබූ අන්ද්‍රේ මැනුවෙල් නගරයේ තිබුණ එකම පාසලේ මූලික අධ්‍යාපනය ලැබීය. පසු කාලයක ව්‍යාපාරය මෙක්සිකෝ අගනුවර වෙත ගෙන ගිය අතර එහි දී වැඩි දුර අධ්‍යාපනය ලැබූ අතර විශ්ව විද්‍යාලයට ඇතුළු වී දේශපාලන විද්‍යාව හා රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් උපාධිය ලැබීය.

විශ්ව විද්‍යාල යේ ඉගෙන ගන්නා කාලයේ සිට වාමාංශික අදහස් වලට නැඹුරු වී සිටි අන්ද්‍රේ මැනුවෙල් පී. ආර්. අයි පක්ෂයට එකතු වී දේශපාලන කටයුතු වල නිරත වූ අතර පසුව ආදිවාසීන් වෙනුවෙන් වූ ආයතනයක හා ඉනික්බිතිව පාරිභෝගික අයිතින් සම්බන්ධ මෙක්සිකෝ රජයේ ආයතනයක ප‍්‍රධානියා වශයෙන් සේවය කළේය. විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෙවත් පී. ආර්. ඞී පක්ෂයේ සාමාජිකත්වය ගැනීමෙන් පසු ටෙබෙස්කෝ ප‍්‍රදේශයේ ආණ්ඩුකාර ධුරයට තරඟ කළේය. එයින් පරාජයට පත් වූ අතර එම ඡන්දයේ කරන ලද වියදම් අරභයා ආන්දෝලනාත්මක කතාබහට ලක් විය. සම්ප‍්‍රදායික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අන්ද්‍රේ එහෙයින් ජනප‍්‍රිය චරිතයක්ව සිටියේය. 2006 දී පක්ෂයේ නායකත්වයට පත්විය. වගකීම් උසුලන අතරවාරයේ නගර සභාවට තරග කරන හෙතෙම ජයගත් අතර පාලන කාලය තුළ ජතාව හමුවේ දුන් පොරොන්දු වලින් සියයට අසූවක් ඉටු කරන ලද පුද්ගලයෙකු වශයෙන් අවධානයට ලක් විය. ලෝක නගරාධිපතිවරුන් සඳහා පැවැති තරගයක දී අනු ශුරතාවය දිනාගන්නට සමත් වූ බව සඳහන්ය.

2006 වසරේ දී පී.ආර්.ඞී. පක්ෂය නායකයා වශයෙන් ජනාධිපතිවරණයට තරඟ කරන ද අතර ඉතා සුළු ප‍්‍රතිශතයකින් පරාජය විය. මැතිවරණය දුෂිත හා අක‍්‍රමිකතා වලින් බහුල වූ හෙයින් සාධාරණ මැතිවරණයක් නැවත පවත්වන සේ බල කරන ලද ව්‍යාපාරයක් ගෙන ගිය නමුත් එය සාර්ථක නොවීය. අධෛර්යයට පත් නොවූ අන්ද්‍රේ ගමින් ගමට යමින් ජනතාව හමුවී ප‍්‍රශ්න කතා කළේය. දේශපාලන උණුසුම ආරක්ෂා කරගත්තේය. ඒ අතරවාරයේ පක්ෂය තුළ පැවැති උණුසුම තීරණාත්මක එකක් බවට පත් කරමින් නිල බලයෙන් පත් වූ ජනාධිපති වශයෙන් පිලිගන්නා බවට ප‍්‍රකාශයක් කළේය. එය මහා උද්ඝෝෂණයක් ඇති කළේය. අන්ද්‍රේ මැනුවෙල් ද එයින් උද්දාමයට පත් වූ බව පෙණුනි. ඔහු විකල්ප කැබිනට් මණ්ඩලයක් නම් කළ අතර පසුව කියා සිටියේ ජනාධිපති වශයෙන් තමන්ට ලැබෙන වැටුප පොදු ජනතාවගේ පරිත්‍යාගයක් යැයි අනාවරණය කළේය. එය ආන්දෝලනයක් ඇති කරන ලද අතර ඡන්දයෙන් පත් වූ මෙක්සිකෝ ජනාධිපතිවරයා කියා සිටියේ මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් බවය. එය ප‍්‍රතික්ෂේප කළ අන්ද්‍රේ ජනතා හිත සුව පිණිස තමන් කැප වන බව නැවත නැවතත් කියා සිටියේය. මෙම අතීරණාත්මක බව එක්තරා සන්ධිස්ථානයකට පැමිණියේ එක්තරා සමීක්ෂණයකින් අනතුරුවය. එහි ප‍්‍රතිඵලය අනුව නිල බලයක් දක්වා අනිසි තනතුරක් පත් කරගැනීම ජනතාව අනුමත කළේ නැත. එපමණක් නොව ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාගේ ද ජනප‍්‍රියත්වය වේගයෙන් පිරිහී ගිය බවක් එම ප‍්‍රතිඵලය පෙන්වා දී තිබුණි.

2012 වසරේ පැවැති ජනාධිපතිවරණය බලාපොරොත්තු සහගත එකක් විය. අන්ද්‍රේ මැනුවෙල් සංවිධානාත්මක ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියේය. පොදු ජනතාව ආමන්ත‍්‍රණය කරන ලද අතර ඇමරිකානු විරෝධයක් මතු කළේය. බදු අඩු කරන අතර තරගකාරීත්වය දියුණු කර රට සංවර්ධනය කරන බවට පොරොන්දු විය. කැබිනට් මණ්ඩලයක් ප‍්‍රකාශයට පත් කර සියළු සංවර්ධන කටයුතු සැලසුම් කර ජනතාව හමුවට ගියේය. නමුත් ජයග‍්‍රහණයක් ලැබුණේ නැත. අන්ද්‍රේ මැනුවෙල් ගේ නායකත්වය පිලිගන්නට මෙක්සිකානු වැසියෝ සූදානම් වූයේ නැත.

ජනාධිපතිවරණය පරාජය වූ අන්ද්‍රේ මැනුවෙල් එයින් සසල වූයේ නැත. ප‍්‍රතිවාදීන් සල්ලි දී ඡන්ද ගත් බවට චෝදනා කළ අතර පක්ෂයෙන් ඉල්ලා අස්විය. ඒ වෙනුවට අලූත් දේශපාලන පෙරමුණක් සංවිධානය කළේය. නැෂනල් රීජෙනරේෂන් පක්ෂය පිහිටවූ හෙතෙම එය ලියාපදිංචි කළේය. සෙසු පක්ෂ වල සම්බන්ධතා තර කර ගත්තේය. සෑම අවස්ථාවකම ජනතාව සමග සිටි අතර නිතර ජනතාව හමුවට ගොස් කතා කරමින් සජීවී දේශපාලනය අන්ද්‍රේ විශ්වාස කළ ප‍්‍රතිපත්තිය බව පෙණුනි. පරාජය වූ දෙවන අවස්ථාවේ සිට තුන්වැනි වතාවේ දී මුහුණ දෙන අන්දම සැලසුම් කළ හෙතෙම තමන්ගේ ප‍්‍රතිපත්ති හොඳ නරක හොයන ජනමත විචාරණයක් ජය ගැනීමෙන් වසර දෙකකට පසු පවත්වන අතර එයින් අසමත් වුවහොත් ගෙදර යන්නට සූදානම් බවට නිර්භීත ප‍්‍රකාශයක් කළේය. ජනාධිපති නිල නිවාසය හා කාර්යාලය අනවශ්‍ය නාස්ති බවට මතයක් ගොඩ නැගූ අතර බලයට පත් වූ වහා ඒවා සංස්කෘතික මධ්‍යස්ථානයක් හා ජාත්‍යන්තර වෛද්‍ය පහසුකම් ඇති මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කරන බවට ප‍්‍රතිඥා දුන්නේය. දුෂණය ඔහු බලවත් ජන මතයක් ඇති කරන ලද අංශයකි. ජනතා මුදල් වංචා කිරීම පිලිකෙව් කළේය. ධනවාදයේ සූරාකෑම දුප්පතුන් දුප්පත්කර ඇති අතර පොහොසතුන් වර්ධනය කර ඇති බව පෙන්වා දුන්නේය. ජනාධිපති වැටුප අඩු කරන අතර රජයේ සේවක වැටුප් වැඩිකර විශ‍්‍රාමිකයන්ගේ දීමනා ඉහළ නංවන බව කියා සිටියේය. දුෂණය මැඩ ඒ සල්ලි වලින් දුප්පතුන් ගොඩනගන සහනාධාර ව්‍යාපාර අරඹන බව ඡන්ද ව්‍යාපාරය අතරතුර ප‍්‍රකාශ කළේ ජනතා හරසර මැදය.

මෙක්සිකෝවේ ජනතාව ඡන්ද දුන් අන්දම අදහා ගත නොහැකි එකක් වී තිබේ. දෙවතාවක් පරාජය වී නොසැලී ජනතාව හමුවට පැමිණි අන්ද්‍රේ මැනුවෙල් සියයට පනස් පහක ජනවරමකින් ඉහළටම ඔසවා තබා ඇත. බලයේ සිටි දේශපාලන පක්ෂ අපේක්ෂකයාට සියයට දහසයක ප‍්‍රතිශතයක් ලැබුණ අතර තෙවැනි පාර්ශවයක් එයට ඉහළින් සියයට විසි දෙකක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබීම විශේෂත්වයකි. අඛණ්ඩව බලයේ සිටි පී. ආර්. අයි පක්ෂය පිරිහී ඇත. අන්ද්‍රේ ගේ ඡන්ද ව්‍යාපාරය හමුවේ සෑම පක්ෂයක්ම කඩා වැටීමකට ලක් විය. ඡන්ද ප‍්‍රතිඵල දෙස බලන එරට පුරවැසියෝ උද්දාමයට පත්ව සිටිති. දෙසැම්බර් පළමුවැනිදා සිය අභිනව නායකයා බලයට පත් වන තුරු ඇඟිලි ගනින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ලෝකයේ නොයෙක් රටවල දේශපාලන වෙනස්කම් සිදුවෙමින් තිබේ. දුෂිත පාලකයන්ට එරෙහිව ජනතාව පෙළගැසෙන අතර මහජනතාවට සවන් දෙමින් ජය පරාජය යන සෑම අවස්ථාවක දීම ජනතාව අතරට ගිය අන්ද්‍රේ ගේ ආගමනය සංකේතයක් වී තිබේ. මෑත ඉතිහාසය තුළ මෙක්සිකෝවේ පාලනය, බටහිර සම්මත විශ්ව විද්‍යාල වල ඉගෙනගත් පැලැන්තියකට නතුව තිබුණ අතර විද්වතුන් ගේපාලන ක‍්‍රමයක අසාර්ථකත්වය හමුවේ පැමිණි ජන රැල්ලක් වශයෙන් අන්ද්‍රේ ගේ ප‍්‍රතිඵලය විචාරකයෝ අර්ථ දක්වමින් සිටිති.