» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/05/2016 - දේශය
වැඩ පෙන්වා මාධ්‍ය දිනූ බෙයා ග්‍රෙල්ස්

ත‍්‍රාස ජනක ක‍්‍රියා වල නියැලෙන්නට රුචි, ලේඛකයෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන එඞ්වඞ් මයිකල් ‘‘බෙයා’’ ග්‍රෙල්ස් ලෝක අවධානය දිනාගන්නට සමත්ව තිබේ. හෙතෙම ක‍්‍රියාශීලී අයෙකි. වෙනස් දෙයක් කරන්නට තැත් කරන්නෙකි. බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වන හෙතෙම බෙයා යන හුරුබුහුටි නමින් දන්නා වර්තමානයේ ඉතා ආන්දෝලනාත්මක චරිතයකි. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් මටසිලිටු චරිතයක් වෙන්නට හෙතෙම උනන්දුවක් දක්වන්නේ නැත. නරඹන්නන් ගේ සිත පිනන ලෙස හැඩගැන්වී, රූපමය සත්කාරයක් කරගෙන මැදිරියට පැමිණ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඔහු සූදානම් නැත. නරඹන්නන් නොසිතන තැනක සිට ඉතා අවදානම් සහගත අත්දැකීමක් ද සහිතව ලෝකයේ සිදුවන විරල දේ ඉදිරිපත් කරමින් සිටී. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරයේ ප‍්‍රමුඛ චරිත සම්බන්ධ කරගනී. එයින් මතු කරන දැක්ම තරුණ පෙළ තුළ මහත් ආකර්ශණීය එකක් වී ඇත.

බෙයා ග්‍රෙල්ස් ඉතාම ඉහළ අවධානයක් දිනාගන්නේ Man vs. Wild යන ඩිස්කවරි රූපවාහිනී වැඩසටහනින්ය. 2006 සිට 2011 දක්වා එය ජන අවධානයක් දිනාගන්නේ එපමණටම උද්වේගකර එකක් වූ හෙයින්ය. වැඩසටහන වෙනුවෙන් අප‍්‍රමාණ කැපවීමක් කරන හෙතෙම, උද්වේගකර අවස්ථා වලට ඒ ආකාරයටම මුහුණ දෙමින් ස්වභාවිකව නරඹන්නන් හමුවට පැමිණෙයි. ඔහු එක වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ වනාන්තරයක සිටය. තවත් අවස්ථාවක මහා සාගරය මැද තනිව පහුරක ගමන් කරමින්ය. තවත් වැඩසටහනක දී උඩුගුවනේ සිටින අතර අනෙක් දවසේ හිම ශිඛර මැද එහි ඇති ස්වභාවිකත්වය සමග ජීවත් වෙමින්ය.

ග්‍රෙල්ස් රූපවාහිනී මාධ්‍ය ජීවිතය අරඹන්නේ කෙටි වෙළඳ දැන්වීම් කිහිපයකින්ය. එක්තරා අවස්ථාවක බි‍්‍රතාන්‍ය හමුදාව වෙනුවෙන් මත් ද්‍රව්‍ය වලට එරෙහි ප‍්‍රචාරක ව්‍යාපාරයකට සහභාගී වෙයි. එතැනින් අරඹන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව හෙතෙම නිර්භීත සහ පේ‍්‍රක්ෂකයන් බලාපොරොත්තු නොවන ඉසව් කරා යොමු කරමින් ජන මන ඇද බැඳ ගත්තේය. එවැනි ඉදිරිපත් කිරීමක් සඳහා ශක්තිය ලැබෙන්නේ කොතැනින්ද? ඔහු උවමනා තරම් දරා ගත හැකි අයෙකි. ඕනෑම බරපතල තත්ත්වයකට මුහුණ දීමට ධෛර්යය ඇත. හමුදා සේවයේ සිටි නමුත් කුඩා අවදියේ සිටම ඔහුගේ පියා සමග එකතුව බි‍්‍රතාන්‍ය මුහුදු යාත‍්‍රා සංගමයේ සාමාජිකයෙකුව පමණක් නොව ආත්මාරක්ෂක සටන් අධ්‍යයනය කර ශක්තිමත් පුද්ගලයෙකුව සිටියේය. යොවුන් වියේ දී ආකාශයේ පියාසර කිරීම, කඳු නැගීමට ද දක්ෂයෙකු විය. හමුදා සේවයට එකතු වෙන්නේ මූලික අධ්‍යාපනයෙන් ඉනික්බිතිවය. බි‍්‍රතාන්‍යයේ විශේෂ පුහුණුවක් ලත් හමුදාවේ සිටි හෙතෙම කලක් ඉන්දීය හමුදාවට එකතුවී හිමාලයේ රාජකාරි කළේය. සිම්බාබ්වේ කඳුකර ප‍්‍රදේශයක දී ඉහළ සිට පතිත වීමෙන් ඔහුගේ පිට කොන්ද ප‍්‍රදේශය බරපතල අනතුරකට පත් වූ අතර නැවත නැගී සිටින්නට හැකිවේදැයි වෛද්‍යවරු සැක පහළ කළහ. නමුත් හෙතෙම නැවත දෙපයින් සිට ගත්තේ ප‍්‍රතිකාර කළ වෛද්‍යවරු පවා බලවත් විමතියකට පත් කරමින්ය. ග්‍රෙල්ස් බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ ගරු ලූතිනන් කර්නල් වරයෙකි. බි‍්‍රතාන්‍ය රාජකීය ගැලවීමේ හමුදාවේ ගරු ලූතිනන් කමාන්ඩර්වරයෙකි. එපමණකට ඉහළ තැනකට එන්නේ ඔහුගේ සහෝදරිය ඔහු හඳුන්වන ලද බෙයා යන නමට වෙනත් අරුතක් එකතු කරමින්ය. දුෂ්කර අවස්ථා වලට මුහුණ දෙමින් සහ හදිසි අනතුරට පත් අය ගලවා ගනිමින් කැපවීමෙන් හමුදා සහ නාවික ක්ෂේත‍්‍රවල සේවය කරනවා පමණක් නොව එඞ්වඞ් මයිකල් ‘‘බෙයා’’ ග්‍රෙල්ස් විනෝදාංශයක් වශයෙන් කරන්නේ ද උතුරු අත්ලාන්තික් සාගරයේ සැරි සැරීමයි. තවත් අවස්ථාවක හිමාලය කෙරෙහි ජන ආකර්ශනය ගන්නා වැඩසටහන් සම්පාදනයයි. ඇන්ටාක්ටික් කලාපයේ සැරි සරන හෙතෙම තවත් අවස්ථාවක දරුවන් සඳහා වන අරමුදල් එකතු කිරීමේ වැඩසටහනක් වෙුනවෙන් උතුරු ඇට්ලාන්ටික් හරහා පැසිපික් සාගරය වෙත ඉතා දුෂ්කර නාවික ගමනක යෙදුනේය. මේ අනුව සලකන විට ඔහුගේ ජීවිතය ධෛර්යයෙන් පිරි එකකි. අභියෝග කරා ප‍්‍රවේශ වී එයින් තෘප්තිමත් වන වෘතාන්තයකි. ඔහු හැසිරෙන ආකාරය ගැන ජවාධික ජනතාව තුළ කැමැත්තක් තිබේ. ඔහු අනාවරණය කරන දේ ගැන අභියෝගාත්මක පැති ගැන දකින්නට කැමැති පේ‍්‍රක්ෂකයන් ආශා කරයි. එක වැඩ සටහනක් වෙනුවෙන් ඔහු වෙන් කරන කාලය සතියකට වැඩි කාලයක් වෙන් කරයි. ඔහුගේ මග පෙන්වීම හා පෙරහුරුව අනුව කැමරා ශිල්පීන් පටිගත කරන ශිල්පීන්ට පමණක් නොව වැඩ සටහනේ අධ්‍යක්ෂකවරයාට ද බලවත් අකරතැබ්බ වලට මුහුණ දෙන්නට සිදුවෙයි. කිසිසේත් නොසිතන තැන් වලට අවදානමක් ගෙන කැමරාව මෙහෙයවා එහි අභ්‍යන්තරය විදහා දක්වන හෙයින් ජනකාන්ත වැඩසටහන් වශයෙන් ඔහුගේ ඉදිරිපත් කිරීම ඉහළටම පැමිණියේය.

ග්‍රෙල්ස් තමන්ගේ අත් දැකීම් අලලා කෘති ගණනාවක් සම්පාදනය කළ ලේඛකයෙකි. ඔහු එවරස්ට් තරනයෙන් ලත් අතදැකිම් අලලා පොතක් පළ කරන ලද අතර එයින් කියැවෙන්නේ ඔහු ගේ ජීවිත කාලයේ පළමු භාගයේ එවරස්ට් අතිවිඳින ලද ආකාරයයි. දෙවනුව ඔහු සයුරෙහි අත්දැකීම් ආශ‍්‍රය කරගෙන ලියන ලදකෘතියට 2004 වසරේ දී හොඳම ක‍්‍රීඩා වෘතාන්තයක් වශයෙන් සම්මානයක් හිමිවිය. ඉන් අනතුරුව ඔහු පළ කරන්නේ ඩිස්කවරි වැඩසටනහනට කරන ලද අංග ඇතුලත් කරන නිර්මාණයකි. 2012 සහ 2013 වසර වල ඔහු පොත් දෙකක් ලියන අතර එයින් එකක ස්වකීය ජීවිතයේ දුක, මිහිර සහ කඳුල ඇතුලත් කර චරිතාපදානයක් වශයෙන් නිකුත් කරන ලද්දේය.

Born Survivor නමින් අලූත් වැඩ සටහනක් ඉදිරිපත් කරන ග්‍රෙල්ස් අතිශය දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙමින් ජීවිතය ගලවා ගැනීමට ප‍්‍රයත්න දරන ආකාරයට හැබෑවටම ඉදිරිපත් කරයි. මෙම වැඩසටහන් ආන්දෝලනාත්මක වන අතරම එක් පැත්තකින් චෝදනා එල්ලවූයේ මේ කරන්නේද රඟපෑමක් බවය. විවේචකයන්ගේ අදහස් වලට ගොදුරු නොවූ හෙතෙම හැබෑවටම පරිසරයට සමිපව සිටිමින් දුෂ්කරතා විඳින ඉදිරිපත් කරන්නෙකුගේ ශෛලිය රූපවාහිනී නාලිකා තුළින් නරඹන්නන්ට ඉදිරිපත් කළේය. එය අලූත් ආකාරයක ශිල්පයක් වන හෙයින්ම ලොව පුරා ඉල්ලූමක් ඇති වූ අතර ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව, අප‍්‍රිකා සහ ආසියා රටවල මහත් ඉල්ලූමක් ඇති වැඩසටහනක් බවට පත්විය. එය එසේ වෙන්නේ වැඩසටහනට සාධාරණයක් කරමින් යථාර්ථවාදී ඉදිරිපත් කිරීමේ කලාව හෙයින්ය. සමහර වැඩ සටහන් වලදී ලෝකයේ මිනිසුන් දකින්නට කැමැති දුෂ්කර තැන් වලට ලඟා වෙන්නේ හෙලිකොප්ටර්, ගුවන් යානා බැලූන් යනාදිය උපයෝගී කරගනිමින්ය. තවත් වැඩ සටහන් වලදී ඔහු ලෝකයේ අති දුෂ්කර කාන්තාර අතරින් ඇවිද යන්නේ තමන්ගේ ඇඳුම ගලවා හිසේ බැඳගෙනය. ජලය නැතිව තමන්ගේම මුත‍්‍රා පානය කරමින් කරන ලද වැඩ සටහන ඉතාමත් ජන අවධානයක් දිනාගත් එකක් වශයෙන් සඳහන්ය. තවත් එකක දී ආහාර නැති වන තැනක ඔහු කරන්නේ සර්පයන් දඩයම් කර ආහාරයට ගන්නා ආකාරයයි. දඩයම කරන ආකාරය සහ එය පරිසරයේ ඇති මෙවලම් උපයෝගී කරගෙන වනයේම ජීවත්වන අයෙකු ගල් පතුරකින් කපා විෂ සහිත කොටස් ඉවත් කර වේලා ආහාරයට ගන්නා ආකාරයටම නරඹන පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් කැමරාව ඉදිරියේ කර පෙන්වයි. තවත් වැඩ සටහනක දී ඔහු කරන්නේ අලි වසුරු ගෙන මිරිකා එහි ඇති වතුර පිපාසය සන්සිඳුවන්නට ප‍්‍රයෝජනයට ගැනීමයි. ජීවිතය ගලවා ගැනීම වෙනුවෙන් නොකළ හැකි දෙයක් නැති බව හෙතෙම දක්වන්නේ ස්වකීය හමුදා සේවයේ අත් දැකීම් ඇසුරුකරගෙන කරන බව පැහැදිලිව අවබෝධ කරගත හැකිය. ඒවා කුතුහලය ඇති කරන පමණක් නොව වෙනත් ඉදිරිපත් කරන ශිල්පීන් කරන්නට පැකිලෙන දේ හෙයින් අති විශාල කැමැත්තක් ඇති වැඩසටහන් බවට පත්වෙයි.

පරිසරය ගවේශනය, දුලබ දේ පෙන්වීම සහ කර්කශ බව නොසලකා ස්වභාවිකත්වය හමුවේ ක‍්‍රියාකිරීම හෙයින් එඞ්වඞ් මයිකල් ග්‍රෙල්ස් ජනකාන්ත පුද්ගලයෙකු බවට පත්වෙයි. ග්‍රෙල්ස් උත්කර්ශවත් චරිතයක් බවට පත්වන්නේ ඔහු ඉදිරිපත් කරන Running Wild with Bear Grylls වැඩසටහන හෙයින්ය. ලෝකයේ පිලිගත් චරිතයක් ඔහු සමග එකතුව ඉතා දුෂ්කර ප‍්‍රදේශයක ස්වභාවිකව ජීවත්වන්නට පිටත්ව යාම වෘතාන්තයක් බවට පත්වී නරඹන්නන් හමුවට ඉදිරිපත් කරයි. එක් අවස්ථාවක ඔහු සමග එකතුවන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇලස්කාවේ ග්ලැසියරයක් කරා යයි. මෙම ගමන සූදානම් කරන්නේ පරිසර විපත්තිදායකත්වය හෙයින් හිමකඳු ගැන අවධානය ඇති කිරීම ද අරමුණු කරගෙනය. ඔබාමා එහි දී ග්‍රෙල්ස් සමග ගත කරන අතර එක්තරා අවස්ථාවක ගින්දර උපදවා ගෙන එයින් අයිස් වතුර උණු කරගෙන පානය කරයි. එක්තරා අවස්ථාවක ඔවුන් දෙදෙනා කරන්නේ වලසුන් හානි කර තලා දමා තිබූ සැමන් ටින් එකක් ඔවුන්ගේ ආහාරය වෙනුවෙන් සකස්කර ගැනීමය. ඒවා තුළින් පරිසරය ස්වභාවිකත්වය සහ ඒ වෙනුවෙන් කැපවීමට ලෝක ප‍්‍රජාවට ඇති යුතුකම ගැන මතයක් ඇති කරන්නේය. තවත් අවස්ථාවක කැඳවන්නේ කේට් නමැති ප‍්‍රකට ඇමරිකානු නිලියයි. ඇය සමග ගමනක් පිටත්වන ගේ‍්‍රල්ස් විචිත‍්‍රත්වයට එපිටින් ඇති අනතුර දක්වයි. හමුදා සේනාංක වැනි අංශ දුස්කරව කි‍්‍රයා කරන ආකාරය ගැන පෙන්වා දෙයි. මෙම ප‍්‍රායෝගික අත් දැකීම් සමග ඒවා අත් විඳින නරඹන්නන්ට කැමරාව ඉදිරිපිට වේශ නිරූපනය කර වායු සමීකරණය කරන මැදිිරියක සිට වැඩ සටහනක් ඉදිරිපත් කිරීම කොපමණ පහසු එකක් දැයි නරඹන්නට අඟවන්නට සමත් වෙයි.

ගේ‍්‍රල්ස් නමැති චරිතය ඉදිරියට එන්නේ බෙයාර් නමැති හුරුබුහුටි නමක් සමගය. නමුත් ඔහුට ඒ නම ව්‍යවහාරයට එන විට ඔහු අලූත් දේ සොයා යන වලස් පුද්ගලයෙකු වනු ඇතැයි නොසිතන්නට ඇත. සාමාන්‍යයෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වැඩ කරන්නට අපේක්ෂා නොකරන තැනක සිට නරඹන්නන් බලාපොරොත්තු නොවෙන දේ පෙන්වන්නට ඔහු නිතර සූදානම්ය. එය ජනතාවගේ හදවත් දිනාගෙන තිබේ. ඔහුගේ වැඩසටහන් අන්තර් ජාලයෙන් නරඹන්නට ඕනෑම අවස්ථාවක ඉඩකඩ විවෘතය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.