» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/04/2018 - දේශය
තායිලන්තයේ අලුත් දේශපාලන තරුව

තායිලන්තයේ නිතර අර්බුද වලට ලක්වන දේශපාලන ව්‍යුහයට අලුත් චරිතයක් එකතු වී තිබේ. හෙතෙම එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකි. මිලිටරි පාලනය දැනට පවතින තායිලන්තය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පහසුවෙන් ඉඩ දෙන බවක් පෙනෙන්නට නැත. දේශපාලන පක්ෂ වල කටයුතු සීමා කර ඇති අතර දේශපාලන ප්‍රචාරය තහනම්ය. තහනම නොසලකා දිගින් දිගටම දේශපාලන ක්‍රියාවල නිරතවන අයවලුන් සිරගත කෙරේ. එවැනි පසුබිමක් තිබිය දී තායිලන්තයේ සුමිට් වාහන අමතර කොටස් කර්මාන්තායතනයේ විධායක උප සභාපති සහ තායි සුමිට් - ඇමරිකා ව්‍යාපාරයේ සභාපති තන්ත්‍රොන් ජෙන්ග්‍රොන්ර්ගුර්න්කිට් (Thanathorn Juangroongruangkit) නොබියව පෙරට පැමිණි ඇත. ඔහු ගේ පැමිණීම බැංකොක් හි මාධ්‍ය මෑත දින කිහිපය තුළ ආන්දෝලනාත්මක සේ වාර්තා කර තිබුණි.

තන්ත්‍රොන් සිය පක්ෂය “ෆියුචර් ෆෝවර්ඞ්” යනුවෙන් නම් කර තිබේ. හෙතෙම එහි සම නිර්මාතෘ බව දැක්වෙයි. වසර පහකට පසු පළමු වතාවට තායිලන්තයේ මැතිවරණ කොමිසම අලුත් දේශපාලන පක්ෂ ලියා පදිංචි කිරීම සඳහා ඉඩ ලබා දී ඇත. එය වසර 2019 දී මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බවට ඉඟියක් වශයෙන් සැලකේ. “ මම දන්නවා දේශපාලන පක්ෂය පිහිටුවීම බරපතල කාරණයක්. සමහරවිට හිරගෙදරට යන්න සිදුවේවි” යනුවෙන් තන්ත්‍රොන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. “රට තුළ යහපත් වෙනසක් ඇති කිරීමට වෙනත් මාර්ගයක් නැති බව කියන හෙතෙම නව දේශපාලන ප්‍රවාහයක් තුළින් පොදු ජනතාව සඳහා ඵලදායී වෙනසක් තම රට තුළ කළ හැකි” බව ද සඳහන් කර තිබේ. තායිලන්තයේ පවතින දරදඬු හමුදා පාලනය අභිබවා ජන මතය මතු කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට පවතින සීමිත අවකාශය ගැන ඔහු පළකරන අදහස එබඳූය.

වසර හතරකට කලින් මැයි මාසයේ දිනයක රාජකීය තායි හමුදාව එවකට බලයේ සිටි භාරකාර ආණ්ඩුව යටත් කර පාලනය තමන් යටතට ගන්නට සමත් විය. එය 1932 වසරේ සිට ගණන් බලන විට දොලොස් වන වතාවට සිදුවූ හමුදා කුමන්ත්‍රණය වශයෙන් සැලකේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පැත්තකට කළ හමුදා ජෙනරල්වරයා සිය අනුගාමිකයන් රාජ්‍ය පාලනයට හා අධිකරණයට පත් කරන ලද අතර එම පාලන ක්‍රමය සාමය හා නීතිය උදෙසා වූ ජාතික කවුන්සලය වශයෙන් නම් කළේය. හමුදා ජෙනරල් වරයා අගමැති ධුරයට පත් වූ අතර තායි රජු එයට ඉඩ දුන් බව සඳහන්ය. හමුදා කුමන්ත්‍රණය සිදුවන විට රට තුළ භාරකාර ආණ්ඩුවක් පැවැති අතර රතු ෂර්ට් හා කහ ෂර්ට් වශයෙන් පක්ෂ අතර ගැටුම් හා අර්බුද බහුල වකවානුවක් උදා වී තිබුණි. හමුදා මැදිහත්වීම සිදුවන්නේ අර්බුද සමනය කර රට තුළ සාමකාමී තත්ත්වයක් ඇති කරන අරමුණ ඇතිවය. හමුදා පාලක අගමැතිවරයා රට සන්සුන් කර මහ මැතිවරණයක් පවත්වන බව ප්‍රකාශ කරන ලද අවස්ථා ගණනාවකි. නොබෝදා නැවත වතාවක් එසේ කියා සිටීමෙන් පසු බරපතල බාධා කිරීම් මධ්‍යයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තන්ත්‍රොන් ජෙන්ග්‍රොන්ර්ගුර්න්කිට් සිය පක්ෂය පිහිටුවා එය මෙහෙයවන්නට තීරණය කර තිබේ.

මැචියොන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ද වන හෙතෙම තායිලන්තයේ කර්මාන්ත සංගමයේ ද අධ්‍යක්ෂකවරයෙකි. එයට කලින් තායිලන්ත රථවාහන අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංවිධානයේ මහ ලේකම් වශයෙන් ක්‍රියා කරන ලද අතර එම සංවිධානයේ දෙවැනි පරම්පරාවේ එකමුතුවේ සභාපති වශයෙන් ද කටයුතු කර මනා සම්බන්ධතා ඇති චරිතයකි.

මූලික අධ්‍යාපනයෙන් පසු චූලෝලන්කෝරන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති තන්ත්‍රොන් ජෙන්ග්‍රොන්ර්ගුර්න්කිට් ඉනික්බිතිව හොංකොං හි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ද උපාධියක් ලබා ඇත. තායි සුමිට් පවුලේ ව්‍යාපාරය වාර්ෂිකව තායි බාත් බිලියන අනූවකට වැඩි වාර්ෂික පිරිවැටුමක් ලබන එරට කැපී පෙනෙන ආයතනයකි. ඔහුගේ පියා ගේ අභාවයෙන් පසුව ආයතනයේ පරිපාලන කටයුතු වලින් වැඩි බරක් පැටවෙන්නේ තන්ත්‍රොන් ට ය. ඔහු සහ ඔහුගේ මව ඇතුළු පවුලේ අය ගේ කොටස් හිමිකාරීත්වයෙන් සාර්ථකව කරගෙන යන ව්‍යාපාරය වෙනුවට දේශපාලනය තෝරා ගන්නට තීරණය කිරීම විශාල අවදානමක් බව මැදහත් විචාරක මතය වී තිබේ. වාහන අමතර කොටස් නිෂ්පාදනය සම්බන්ධව පවතින ප්‍රමුඛ අවස්ථා අවහිර කරන්නට හමුදා පාලනය පියවර ගනු ඇතැයි සැලකේ. ඉකුත් සතියේ ඔහු සිය පවුලේ සමාගමේ ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වූ අතර මාධ්‍යයට කියා සිටියේ මව ගේ ආශිර්වාදය ඇතිව දේශපාලනයට අවතීර්ණ වන අතර ව්‍යාපාරයේ පාලනය සහෝදරයාට පවරන ලද බවය.

බැංකොක් නගරයේ ප්‍රධාන මාධ්‍ය ඔහු ගෙන් ප්‍රශ්න කරන විට හෙතෙම කියා සිටියේ “පවුලේ ව්‍යාපාරය හිනි පෙත්තට නැංවීම වෙනුවට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අභිලාශය පෙරට ගෙන කටයුතු කරන” බවය. එය විශාල අවදානමක් විය හැකි බව පවුලේ අය පමණක් නොව ආධාරකරුවන් ද ප්‍රකාශ කර තිබේ. සමහර විට ව්‍යාපාර අඩපණ කරන තීරණ එන්නට බැරි නැතැයි අවධාරණය වී තිබේ. එහෙත් “ෆියුචර් ෆෝවර්ඞ්” පක්ෂයේ සම නිර්මාතෘ තන්ත්‍රොන් නිර්භීතව ඉදිරියට යන්නට තීරණය කර තිබේ. “ රටට ලැබෙන අවසන් අවස්ථාව” යනුවෙන් ඔහු කියා තිබේ. “ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන අතර එය මරණයෙන් කෙළවර වියහැකි බව තමන් දැනගෙන සිටින” බව ද දේශපාලනයට ප්‍රවේශ වෙන නව නායකයා සඳහන් කර ඇත. අලුත් උද්යෝගීමත් අදහස් වලින් තායිලන්ත වැසියන්ගේ හදවත් උණුසුම් වී තිබේ. සෑම පැත්තකින්ම ආධාරකරුවන් එකතු වෙමින් තිබේ. පක්ෂය කොපමණ සංවිධාන මට්ටමක තිබුණත් ඉදිරි මහ මැතිවරණයේ දී සියළුම ආසන තරඟ කරන බව ආධාරකරුවන් වෙනුවෙන් ප්‍රකාශ වී ඇති කාරණයකි.

ඉකුත් දෙසැම්බර් මාසයේ දී තායිලන්තයේ ජනප්‍රිය නීති විශාරදයෙකු වූ ප්‍රියබුට් මුණ ගැසුණ තන්ත්‍රොන් ඔහු හවුල් කරගෙන මෙම “ෆියුචර් ෆෝවර්ඞ්” පක්ෂය ගොඩ නගන අඩිතාලම තැබූ බව සඳහන්ය. සම නිර්මාතෘවරුන් ගණන තවත් වැඩි කරන අතරවාරයේ පක්ෂයක නම සුපුරුදු පරිදි රටේ නම හෝ ප්‍රජාතන්ත්‍රවාදී යනුවෙන් වචන අනවශ්‍ය බව හෙතෙම එළිපිටම කියා සිටියේ මෙය අලුත් ගමනක් බව පෙන්වමින්ය. ඔහුට අනුව පක්ෂය සමාජ මාධ්‍ය මගින් ජනතාව අතරට ගෙන යනු ඇත. තරුණ පෙළ ෆේස් බුක් ඇසුරු කරන අතර දහසක් අදහස් යොමු කරන්නට සිය පක්ෂය නව මාධ්‍ය භාවිතා කරන බව කියා තිබේ. අලුත් පක්ෂය ගොඩනගන අදහස ඇතිව සියළු පැති වලින් සංවිධාන ගතවන තන්ත්‍රොන් පාසල් වියේ දී ද ශිෂ්‍ය සංගම් වල නිරතව සිට විනය පරීක්ෂණ වලට ගොදුරු වී තිබේ. එයින් පෙන්වනනේ පවතින තත්ත්වය වෙනස් කරන්නට ඇති උනන්දුව බාල වියේ සිටම පැවැති බවය. රතු ෂර්ට් සාමාජිකයෙකු වශයෙන් භාරකාර ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරුද්ධව පාරට බැස සටන් කරන ලද තන්ත්‍රොන් දක්ෂ නායකයෙකු වන මං සලකුණු පෙන්වමින් සිටී. ඔහුගේ ඥාතියෙකු වන තක්ෂින් ෂිනවාත්‍රා හිටපු තායිලන්ත අගමැතිවරයාගේ ආණ්ඩුවේ ප්‍රවාහන ඇමැති ධුරයක් හොබවා තිබේ. ඔහුගෙන් ලැබෙන අනුබලය ද වැඩ පිලිවෙල පිටුපසින් ඇති බව විශ්වාස කෙරේ. තක්ෂීන් ද තායිලන්තයේ ඉතා ප්‍රබල ව්‍යාපාරික චරිතයක් වන අතර අලුතින් නැගී ආ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමග අති විශාල ධනයකට හිමිකම් කියා පසුව දේශපාලනයට අවතීර්ණ විය. අගමැති ධුර කාලයෙන් පසුව ප්‍රතිවාදීන්ගේ බලවත් ප්‍රශ්න වලට හෙතෙම මුහුණ දුන්නේය. අලුත් නායක තන්ත්‍රොන් හට තක්ෂින් ගේ පමණ ධන බලයක් නැත. නමුත් ජන බලය කොපමණ දුරට එකතු කරගන්න සමත්වනු ඇතිදැයි ජගත් ප්‍රජාව අවධානයෙන් බලා සිටිති.