» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/08/2016 - දේශය
අක්ෂර එකසිය හතලිහකින් ලොකු පණිවුඩයක්

සංක්ෂිප්ත, සෘජු සහ නිරවුල් භාවය සන්නිවේදනයේ දී වැදගත්ය. මානව සංහතිකය ඉතිහාසයේ නොවූ විරූ සන්නිවේදන ජයග‍්‍රහණයන් අත් පත් කරගනිමින් සිටී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමස්ථ ලෝක ප‍්‍රජාවම දැවැන්ත සූක්ෂම තොරතුරු හුවමාරු ජාලයකින් ආවරණයවී තිබේ. එය ගමන් කරමින් සිටින්නේ විශ්ව සන්නිවේදනය දක්වාය. මෙම පසුබිම තුළ නව ප‍්‍රවනතා කවරේද? විමසා බලන විට අවදානයට ගත යුතු පැත්තක් තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනයේ දී යමක් පැහැදිලි කරන්නට සීමාවකින් තොරව කතා කරන ලද කාලය අවසන්ය. පිටු ගණන් ලියා සංදේශ හුවමාරු කර ගත් යුගය අතීතයට එකතු වී තිබේ. සීමාවකින් තොර කතා සහ පිටු ගණන් වැය කරන කරන අදහස් හුවමාරුව නොකෙරෙන්නේ යැයි එයින් අදහස් නොකෙරේ. එය නොවැදගත්යැයි කිසිසේත් ප‍්‍රකාශ වෙන්නේ ද නැත. නමුත් වර්තමානයේ අදහස් හුවමාරුව උපරිමය අක්ෂර එකසිය හතලිහකි. මත ගොඩ නැගෙන්නේ සීමිත අකුරු ප‍්‍රමාණයකින්ය. ඉතාම කෙටියෙන් ප‍්‍රබල පණිවුඩයක් ලෝකය පුරා විසුරුවා හරින කාර්යය ඉතා සියුම් පරිවර්තනයකි.

මෙම සඳහන කරන්නේ ට්විටර් පණිවුඩ ගැනය.එය ඔන් ලයින් සමාජ මාධ්‍ය ජාලයකි. එහි සාමාජිකයන් වන ඒනෑම කෙනෙකුට අකුරු එකසිය හතලිහකින් තමන්ට කැමැති ඕනෑම අදහසක් ඉදිරිපත් කරන්නට හැකි අතර එහි සාමාජිකයන් නොවන අයට පවා එය එම අදහස කියවන්නට ලැබෙන අතර සාමාජිකයන් වන අයට ප‍්‍රතිචාර වශයෙන් එයට උත්තර ලියන්නට ද ඉඩ ලැබේ. නමුත් කෙටියෙන්ය. උපයෝගී කරගත හැකි අකුරු ගණන අඩු හෙයින් ට්විටර් වටා අලූත් ව්‍යවහාර ආකෘති ද හැදෙන්නට පටන්ගෙන තිබේ. ට්විටර් සමාජ මාධ්‍ය සන්නිවේදනය හැදෙන්නේ 2006 අවුරුද්දේය. හතර දෙනෙකුගෙන් යුත් පිරිසක් එයට මුල් වෙයි. ජැක් ඩොර්සි, අයිවන් විලියම්ස්, බිස් ස්ටෝන් සහ නොහා ග්ලාස් යන සිවු දෙනා එම සේවාව අරඹා අවුරුදු හයක් ගත වන විට ලෝකය පුරා මිලියන සියයක භාවිතා කරන්නන් මිලියන 340 ක් තරම් අදහස් හුවමාරු කරගෙන තිබේ. සැන් ප‍්‍රැන්සිස්කෝ නුවර පිහිටා ඇති එහි මෙහෙයුම් කාර්යාලයේ තොරතුරු කියන්නේ අද වන විට ලෝකය පුරා උප කාර්යාල විසි පහකට වඩා නඩත්තු කරන ට්විටර් සමාගම මෙයින් මාස හයකට කලින් ප‍්‍රකාහයට පත් කරන්නේ ඔවුන්ගේ ට්විටර් ක‍්‍රියාකාරී සාමාජිකත්වය උසුලන පිරිස මිලියන තුන්සිය දහයකට වැඩි බවය.

මේ අනුව සලකන විට ඉතා සංක්සිප්තව නිරවුල් අදහස් දක්වන ජන තාන්ත‍්‍රික ව්‍යුහයක් බල ගැන්වී තිබේ. එය ඉතාම ප‍්‍රබලය. වඩාත්ම ආක‍්‍රමණශීලීය. ඉතාම බලවත් ජනමතයක් ඇති කරන්නට සමත්වෙයි. මතධාරීන්, සමාජ විශ්ලේෂකයන් පමණක් නොව විශේෂයෙන් දේශපාලන නායකයින් එහි වාසි අයිති කරගන්නට සමත්ව තිබේ. මිනිසුන් හමුවට ගොස් පැය ගණන් කතා කරන විලාශය වෙනුවට තමන්ට කියන්නට ඇති දේ ඉතාම කෙටියෙන් ජනතාව අතරට ගෙන යන්නට ට්විටර් කදිම පසුබිමක් සකස්කර ඇත. වර්තමානයේ ලෝක නායකයෝ අනුගමනය කරන්නේ එකී භාවිතාවය.

හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය උරගා බලන අවස්ථාවේ දී ඇයට බැරක් ඔබාමාගේ කැමැත්ත ඇති බව නිරීක්ෂණයවන විට ප‍්‍රතිවාදී අපේක්ෂක ප‍්‍රකට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔහුගේ ට්විටර් ගිණුමෙන් නිකුත්කල අකුරු එකසිය හතලිහ තුළ ඇතුලත් වූයේ ‘‘ඔබාමා වංක හිලරි අනුමත කර ඇති අතර එහුට අවශ්‍ය ඔහුගේ පාලනය තවත් වසර හතරකට ගෙන යාම නමුත් කිසිවෙකුට එහෙම උවමනාවක් නැත’’ යන්න පමණකි. එය වේගයෙන් පැතිරෙන විට හිලරි ක්ලින්ටන් උත්තර දුන්නේ වචන තුනකින්ය. එය පැය ගණනක් වේදිකාවක කතා කරන, පත්තර පිටු ගණන් පුරවන පමණක් නොව රූපවාහිනී නාලිකා වල පැය ගණන් කාලය නාස්ති කරන එකක් වූයේ නැත. ඇය දුන් පිළිතුර වේගයෙන් සහ ඉතාම ඉක්මනින් ට්විටර් හරහා ප‍්‍රචාරය වූයේ උන්මාදයක් තරමටය. මෙවැනි උදාහරණ පෙන්වන්නේ මෙම සමාජ මාධ්‍යයේ ප‍්‍රබලත්වයයි. එකිනෙකාගේ ප‍්‍රතිපත්ති පමණක් නොව ඒවා වෙනුවෙන් දක්වන ප‍්‍රතිවාර ද නැවත නැවතත් ප‍්‍රචාරය කරන්නට අනුගාමිකයන් සූදානම් හෙයින් ඒවා මිලියන ගණනින් බලවත්ව නැගෙයි. ලොව පුරා විහිදෙයි. සමහර අවස්ථාවල ඒවා නැවතත් නිකුත් කරන හිතවාදීහු එකතු කරන වාක්‍ය කොටස් එම අදහස් තවත් තීව්ර කරන්නට සමත්වෙයි.

නොබෝදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ගේ කැබිනට් මණ්ඩලයට ජනතාව සමග සංවාදයට ට්විටර් උපයෝගී කරගන්නා සේ උපදෙස් දුන්නේය. එපමණක් නොව එසේ කරන්නේ දැයි තමන් සොයා බලන බව ද අවධාරණය කරන්නේය. අඩුම තරමින් දවසකට එක පණිවුඩයක් රටට දෙන ලෙස කියන හෙතෙම එහි අන්තර්ගතය ගැන ඔහු සැලකිල්ල යොමු කරන බව කියා ඇත. මන්ද එය ක්ෂණයකින් ජනතාවට පණිවුඩයක් යවන්නට හැකි මාධ්‍යයක් බව ඔප්පු වී ඇති නිසාය. වඩාත් වැදගත් වෙන්නේ අනවශ්‍ය කථෝපකථනයෙන් තොරව කෙලින්ම දෙයක් කියන්නට ඇති අවකාශය සිත් ගන්නා සුළු හෙයින්ය. ඇමැතිවරුන්ට ට්විටර් මගින් වැඩ කරන සේ දැනුම් දෙන හෙතෙම ඔවුන් ගේ පනිවුඩ තමන්ගේ ගිණුමෙන් නැවත ට්විට් කරන්නට ද පෙළැඹී සිටී. හෙතෙම ඉකුත් ජූලි මාසයේ පමණක් ඔහුගේ කැබිනට් සගයන්ගේ පණිවුඩ විසි දෙකක් නැවත ට්වීට් කරමින් ඉන්දියානු පුරවැසියන් පමණක් නොව ජාත්‍යන්තරයේ ට්විට් සාමාජිකයන් වැඩි දෙනෙකු අතරට අදහස් යවන්නට සමත්ව තිබේ. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ට්විටර් ගිණුමේ සාමාජිකත්වය මිලියන 12.3 ක පිරිසකි. හෙතෙම ජනතාව අමතන දේශණයක් සවන් දෙන්නට රැස් වන ජනකාය සීමිතය. නමුත් ක්ෂණයකින් ඔහුගේ අකුරු එකසිය හතලිහක් මිලියන සංඛ්‍යාත පිරිසක් අතරට යයි. එපමණක් නොව ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත හෝ ප‍්‍රතිචාරය ද ලැබේ. ඉන්දියානු නායකයගේ අබිලාශ්‍ය තේරුම් ගන්නා කැබිනට් ඇමැතිවරු තමන්ගේ සෘජු සංවාදය සඳහාසූදානම පෙන්වයි. ඉන්දියාවේ සුෂ්මා සුරාජ් ඇමැතිනිය මිලියන 5.4 ක ටිවිටර් සාමාජිකත්වයක් හිමි අතර අරුන් ජෙට්ටි ගේ සාමාජිකයන් ගණන මිලියන 4.8 කි. මෙසේ මිලියන සංඛ්‍යාත පිරිසක් පිරිවරා ගත් මෝදි ගේ කැබිනට් මණ්ඩලය නිරතුරුව තමන්ගේ ක‍්‍රියාකාරකම්, වැඩ කරන ආකාරය සහ ගන්නා තීරණ වල විනිවිද පෙනෙන බව ලොව පුරා අස්සක් මුල්ලක් නෑර හෙළිදරව් කරමින් සිටී. එය ඔස්සේ අලූත් සංවාදශීලී ප‍්‍රවේශ්‍යකට ඇතුළු වී ඇති අතර ඇමැතිවරු කරන්නේ මොනවාද පමණක් නොව ඔවුන්ගේ මතය කුමක්ද යන්න ද පුරවැසියන්ට හඳුනා ගැනීමට ඉඩ ලැබී ඇත. තමන්ගේ ආසනයේ පැවැත්වෙන ජන හමුවකට සහභාගී වී පැය ගණන් කාලය වියදම් කර දේශපාලනඥයෙකුගේ අදහස දැන ගන්නට වෙහෙසෙන ජනී ජනයා වෙනුවට ඉන්දියාවේ එක්තරා කොටසක් මෙම ට්විටර් සමාජයේ වාසි අපයෝගී කරගන්නට සූදානම් වී තිබේ.

ලෝකයේ ආගමික නායකයන්, ප‍්‍රකට ගායක ගායිකාවන්, රංගධරයන් සමාජමතධාරීන් පමණක් නොව සාමාන්‍ය පුද්ගලයන් පවා ටිවිටර් පරිහරණයට පෙළැඹී සිටී. අද්විතීය පුද්ගලයන්, එනම් ජනතාව අදහස් දැනගන්නට කැමැති ජනතාන්ත‍්‍රිකයන් ගේ ට්විටර් ගිණුම් වල සාමාජිකත්වය හිතා ගන්නට බැරි තරම් විශාලය. මේවායෙන් සිදුවන සීමිත අකුරු ගණනක සන්නිවේදනය ඇති කරන ජනමතය ඉතාම ප‍්‍රබල තත්ත්වයකට පත්ව ඇත.

වචන ගණනාවක් සහ විනාඩි කිහිපයක් කතා කරන විට එයින් හලා ඉවතට දැමන්නට තරම් වැදගත්කමක් නැති අකුරු කොපමණ තිබේද? නොවැදගත් අකුරු ඉවත් කරන තැන පැහැදිලි නිරවුල් සන්නිවේදනයක් තහවරු වෙනවා නේද යන කාරණාව අද සාකච්ඡුාවට බඳුන් වෙමින් තිබේ. ටිවිටර් හකුලා සංක්ෂිප්ත කරන්නේ සංවාදයක නියමාර්ථයයි. තවමත් එය එක්තරා පිරිසකට පමණක් සීමා වී තිබේ. අතුරු කතා පැත්තකින් තියා නියමාර්ථය ඉදිරියට පැමිණෙන පසුබිමක එයින් උපයාගත හැකි ප‍්‍රයෝජනය සලකා බැලීම වැදගත්ය.