» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/05/2017 - දේශය
චක් ෆීනි ගේ දානපතිත්වයක තරම

ජීවිත කාලයක් හරි හම්බකරන දේ ජීවිතය අවසානයේ අරගෙන යන්නේ නැත. බුදු සරණ ගිය ජනී ජනයාට බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දෙන සත්‍ය එයයි. වෙසක් සිරි අසිරියෙන් සැදැහැ සිත් ඇලලී ඇති මෙම වකවානුවේ ජීවිතාවබෝධය ඇති හෙයින් උපයාගත් සියළු දේ නිසි සේ බෙදා දී අවසානයක් ගැන හිතන්නට උත්සුක වන අසූ පස් හැවිරිදි ඇමරිකානු ධනවත් ව්‍යාපාරිකයා චක් ෆීනි ගැන කතා කිරීම වැදගත්ය.

චක් ෆිනි තම ව්‍යාපාර වලින් සෑහෙන ධන සම්භාරයක් උපයා ගත්තේය. හෙතෙම තීරු බදු රහිත සාප්පු සමූහයක අයිතිය ඇති අයෙකු වශයෙන් පාරිභෝගිකයන්ට වටිනා දේ අළෙවි කළේය. එයින් උපයන ධනයෙන් හෙතෙම සැනසිල්ලක් ලැබුවේ නැත. සහනයක් අවශ්‍ය, උපකාර උවමනා කරන හැකිතරම් සියළු තැන් සොයා බලා තමන්ගේ ධනය නැවත බෙදා දෙමින් අස්වැසිල්ලක් ලබයි. ‘‘එය සල්ලි වලට වඩා යමක්’’ ඔහු කියයි. ‘‘ජනතාවට උදව් කිරීමෙන් ලැබෙන සංතෘප්තිය ඉතාම ඉහළ එකක්’’ චක් ෆිනි සිය දර්ශනය ගැන කියන්නේ එසේය. සිය තීරුබදු සහිත ව්‍යාපාර වලින් උපයා ගත් ඇමරිකානු ඩොලර් බිලියන 8.5 කට වැඩි ධනයෙන් වයස අවුරුදු අසූව වන විට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණක් අතේ තියාගෙන අවශ්‍ය අයට ධනය දන් දීම ඔහුගේ ඉලක්කය විය. වයස හැත්තෑ පහ වන තෙක් ඔහු ගමන් කළේ දුම්රියෙන් නැත්නම් බස් එකකින්ය. ඉතා සැප පහසු වාහනයක ගමන් බිමන් යා හැකිව තිබිය දී අවශ්‍ය කරන කඩදාසි බහාලන ලද ඉටි කවරයක් අතින් ගෙන හෙතෙම හෙමින් ඇවිද ගෙන ගියේය. ඒ සුපිරි නිවාසයකට නොවේ. කුලී ගෙදරකටය. චක් ෆිනි ජීවත් වෙන්නේ සාමාන්‍ය මහල් නිවාසයකය. තරු හෝටලයකින් රස මසවුළු බුදින්නට හැකියාව තිබිය දී ළග ඇති අවන් හලකින් බර්ගර් එකක් මිල දී ගෙන එයින් කුස පුරවා ගත්තේය. මෙවැනි හැසිරීමක් ධනකුවේරයෙකුගෙන් අපේක්ෂා කළ නොහැකි නමුත් ඇත්ත එයයි. චක් ෆිනී ගේ දර්ශනය ගැන ජාත්‍යන්තරය අවධානයට ගෙන ඇත්තේ එහි ඇති නිර්ව්‍යාජ බව හෙයින්ය.

චක් ෆිනී අයිරිෂ් ඇමරිකානුවෙකි. 1931 අප‍්‍රියෙල් මාසයේ 23 වැනි දා නිව් ජර්සි ප‍්‍රාන්තයේ දී උපත ලැබූ හෙතෙම එලිසෙබත් සෙන්ට් මේරි උසස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. තාත්තා රක්ෂණ අංශයේ සේවය කරන ලද අතර මව හෙදියකි. බාල වියේ සිට චක් ෆිනී හරි හම්බකිරීමට දක්ෂතාව පෙන්වීය. වයස දහයේ දී නත්තල් කාඞ් සකස්කර ගෙයින් ගෙදරට යමින් මුදල් උපයා ගත්තේ විනෝදයටය. 1949 දී අධ්‍යාපනය නිම කරන හෙතෙම 2016 වසරේ දී තමන් ඉගෙනගත් පාසලට වාර්තාගත ධන පරිත්‍යාගයක් කරයි. උපාධිය ඉගෙනුමෙන් පසු ඇමරිකානු හමුදාවේ ගුවන් විදුලි පණිවුඩ මෙහෙයවන්නෙකු සේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන හෙතෙම කොරියන් යුද්ධයට ද සහභාගී වී තිබේ. ඉනික්බිති ව්‍යාපාර අරඹන්නේ නාවික සෙබලූන්ට තීරු බදු රහිත සැරබීම විකුණන කුඩා ව්‍යාපාරයක් සමගය. හවුල්කරුවෙකු සමග සුළුවෙන් අරඹන ලද තීරුබදු රහිත ව්‍යාපාරය සාර්ථක වන අතර ඒ කාලයේ ඒවා ප‍්‍රචලිත නැත. පාසල් මිත‍්‍රයා රොබට් වොරන් සමග කරන ලද ව්‍යාපාරය පසුව තීරු බදු රහිත වාහන අළෙවි කරන තත්ත්වය දක්වා වැඩිදියුණු වූ අතර එය ඞී.එෆ්.එස් සමූහ ව්‍යාපාරය ලෙස වඩා සංවිධානාත්මකව හොංකොං වලින් ආරම්භ කර පසුව යුරෝපය හා වෙනත් රටවලට ව්‍යාප්ත කළේය. ලෝකයේ වඩාත් විශාල තීරු බදු රහිත සංචාරක පාරිභෝගික අලෙවි ජාලයක් බවට පත්වන්නට ගත වූයේ කෙටි කාලයකි.

ඔහු දෙවතාවක් විවාහ විය. දරුවන් පස්දෙනෙකි. දෙවන වර විවාහ වූයේ ඔහුගේ කලින් ලේකම්වරිය සමගය. 1982 අවුරුද්දේ දී ඔහු අත්ලාන්තික් මහජන හිතෛශී පදනම පිහිටුවයි. එහි අරමුණ වූයේ ධනය හා ජීවත්වීම ගැන දර්ශනයන් මතු කිරීමය. තමන් පිහිටුවන ලද සමාගමේ කොටස් සියල්ලම පාහේ එයට පවරන්නේ අනෙක් කොටස් කරුවන්ට පවා නොදැනෙන අන්දමටය. පුදුමයට කාරණය වූයේ පරිත්‍යාග අවශ්‍ය තැන් වලට ඒවා ලැබුණේ කොතැනින්දැයි හිතා ගන්නවත් නොහැකිවන සේ මෙම අරමුදලින් තෑගි දෙන්නට චක් ෆිනී නැඹුරුවීමයි. අවුරුදු හතරක් එය කරගෙන ගියේය. අයර්ලන්තයේ සාමය වෙනුවෙන් ධන පරිත්‍යාගයක් කළේය. පසුව එරට අධ්‍යාපනය විශේෂයෙන් විශ්ව විද්‍යාල වෙනුවෙන් ස්වකීය ධනය නොපැලිකව දුන්නේය. වියට්නාමයේ සෞඛ්‍ය නංවන්නට පරිත්‍යාග කළේය. ලෝකයේ ධන අරමුදල් වලට ලියා ඒවාට වත්කම් වෙන් කරන ලද්දේය. බිල් හා මිලින්ඩා පදනමට විශාල ධනයක් වෙන් කළ අතර එය ඔහුගේ එවකට තිබූ වත්කම්වලින් සියයට තිස් නමයක් බව සඳහන් විය. මෙම තෑගි දීම කෙසේ ද යත් අඩු තරමින් දකුණු අත දෙන විට වම් අත නොදන්නා සේ යැයි විචාරකයෝ දක්වා තිබේ. මෙම පරිත්‍යාගීලී ගමන පටන්ගත්තේ අවසානයේ දී පසුගිය වසර වන විට හෙතෙම ඔහුගේ වත්කම්වලින් ඇමරිකානු ඩොලර් බිලියන අටක් අත දිග හැර අන් අයට සල්ලි දී ඇති බව දැන් ලැබෙන වාර්තා සනාථ කරයි. එ වන විට ඔහු විශාල පරිත්‍යාගශීලියෙකු බව ලෝකය පිලිගෙන හමාරය. ඇමරිකානු සමාජය හෙතෙම ‘‘තෑගි දෙන ජේම්ස් බොන්ඞ්’’ යැයි කියා සිටියේය. 1997 දී ටයිම්ස් සඟරාව පෙන්වා දුන්නේ චක් ෆිනී විශිෂ්ට ඇමරිකානුවකු බවට පත්ව ඇති බවය. ෆෝබ්ස් සගරාව 1995 අවුරුද්දේ කියා සිටියේ ලෝකයේ හොඳම දානපතියන් පනස් දෙනා අතරින් පස්වැනි තැන චක් ෆිනී වෙත පිරිනැමිය හැකි බවය.

චක් ෆිනී ගේ අරමුණ ජීවිතයේ ඉතිරි කාලය කිසිම හිතේ බරක් නැතිව ජීවත්වීමය. ‘‘ඔබ ඔබගේ යස ඉසුරු ජනතාවට උදව් කරන්නට යෙදවීම පෙළඹවීම මගේ එක අරමුණක්’’ ඔහු තමන්ගේ අදහස වතාවක් කියා සිටියේය.

2010 චක් ෆිනී ඇමරිකාවේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සම්මානය දිනා ගත්තේය. එයින් අවුරුදු දෙකකට පසු අයර්ලන්ඞ් උතුර සහ දකුණු විශ්ව විද්‍යාල දෙක ඒකාබද්ධව සම්මාන උපාධියක් පිරිනැමීය. අයර්ලන්ඞ් ජනාධිපති නාමධාරී සේවා සම්මානය එම වසරේ දී ම ඔහුට හිමිවිය. එම වසරේ දී ම එනම් 2012 දී කැලිෆෝනියාවේ සෙන් ප‍්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලය ඔහු සෞඛ්‍ය අංශය වෙනුවෙන් කරන ලද සේවාව එනම් ධන පරිත්‍යාග වලින් අත් කරගත් භාග්‍ය තක්සේරු කළේ වඩාත් විශ්ෂ්ඨතම පුද්ගලයා බවට ගෞරව නාමයක් පිරිනමමින්ය.

සුප‍්‍රකට නව නිර්මාණකරුකු වන වොරන් බෆට් 2014 වසරේ දී කියා සිටියේ චක් ෆිනී තමන්ගේ වීරයා බවය. එපමණක් නොව බිල් ගේට්ස් ගේ වීරයා ද චක් ෆිනී බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. අති විශාල ධනයක් උපයාගත් එයින් නොමැකෙන මතකයක් ඉතිරි කරන මහා ධනන පරිත්‍යාග කළ චක් ෆිනී ගේ අවසාන අරමුණ කුමක්ද? ඔහු කියන්නේ සියළු ධනය බෙදා දීමෙන් පසු මරණය අපේක්ෂා කරන අතර තමන්ගේ දේහය මත තමන් ලියන ලද අන්තිම චෙක් පත ගිණුමේ මුදල් නැති හෙයින් අගරු කර හරවා එවූ බව ප‍්‍රකාශ වෙතොත් මනා භාග්‍යයක් බවය.

ජනී ජනයා අතර එකිනෙකට වෙනස් අභිලාශ ඇති අය සිටිති. තමන්ගේ වත්කමෙන් ඉතා සුළු කොටසක් නැති බැරි අය ට දී මහා ප‍්‍රචාරයක් ලබන පමණක් නොව තමන් ගේ නොවන මහජන මුදල් යොදවා කරන ව්‍යාපෘති තමන්ගේ ගිණුමට ලියාගෙන ඒවායෙන් කීර්තියක් උපයා ගන්නට තැත්තකරන අයවලූන් වෙසෙන ජන සමාජයක චක්ෆිනී හැබෑ ජනතාන්ති‍්‍රකයෙකි. ඔහුගේ දර්ශනය බෞද්ධකමට ගැලපෙන එකක් නොවේද? කොපමණ උපයන නමුත් ජීවිතය හැර යන විට කළ කී දේ ගැන හොඳ නරක විනා ධනය අරගෙන යන්නට පුලූවන් කමක් නැත.