» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/02/2016 - දේශය
තායි ජනපතිනියගේ සීනු හඬ

තායිවානයේ අලූත් ජනාධිපතිවරිය මහජන ඡන්දයෙන් දිනා ජනතාව හමුවට පැමිණි පළමු අවස්ථාවේ දී කතා කළේ අමුතුම ආකාරයකට. ඇයට අනුව එම ජයග‍්‍රහණය ඇගේ එකක් හැටියට වඩා 'මිනිස්සුන්ට විනිවිද පෙනෙන ආකාරයට තීන්දු ගන්නා පුලූවන්කාරකමක් ඇති ආණ්ඩුවක් පිහිටුවන්නට ගත් වෑයමක්' යැයි කියන්න කැමැත්තක් දැක්වූවාය. ' ඉදිරි පරම්පරාව වෙනුවෙන් ඒ ගැන හිතන පාලනයක් අවශ්‍ය වෙලා තිබුණා මම කරන්නේ එම උවමනාව සාක්ෂාත් කිරීමයි ' යනුවෙන් ද ඇය කියා සිටියාය. මේ කතා කරන්නේ පසුගිය අවුරුද්දේ මැයි මාසයේ දී තායිවානයේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය අත් කරගත් සායි යින්ග් වංග් මහත්මිය ගැනය. ඇය නැගෙනහිර ආසියානු කලාපයේ ප‍්‍රබල දේශපාලනයේ චරිතයක් බවට පත්ව ඇති අතර ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ අවධානයට ලක්ව තිබේ ඇත. එයට පසුබිම ඇය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අලූත් අදහස් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

චීනයට නුදුරින් පිහිටි තායිවානය නිතර චීන ග‍්‍රහණයට නතුවන රටකි. බටහිර මාධ්‍ය උලූප්පා දක්වන ආකාරයට ජනාධිපතිනිය සිය පළමු කතාවේදීම චීනය ගැන සඳහන් කළ අතර තමන් ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට ගරු කළ යුතු අතර රටවල් දෙකක් වශයෙන් තරහ ඇවිසීමකින් තොරව හොඳ සහයෝගයකින් කි‍්‍රයා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය. එය චීනයේ වර්ධනය, බලවත්භාවය සහ අසල්වැසියන් කෙරෙහි ක‍්‍රියාකරන ආකාරය ගැන අවබෝධයක් තිබූ ජාත්‍යන්තර සමාජයට වැදගත් පණිවුඩයක් විය. ඒ සමගම ඇය තමන්ගේ තායිවානයේ දේශපාලන පක්ෂ වලට ද අලූත් අදහසක් ඉදිරිපත් කළාය. රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පක්ෂ සමග සහයෝගයෙන් සහ අවබෝධයක් ඇතිව කටයුතු කිරීමය.

සායි යින්ග් වංග් එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරටුගාමී පක්ෂයේ නායිකාවයි. පනස් නව හැවිරිදි ඇය ජනාධිපතිවරණ තරඟයේදී ජය පෙනි පෙනී එය අහිමි කරගත්තාය. ඒ අවුරුදු හතරකට කලින්ය. එයින් වසර කිහිපයකට පසු ඇය ඉතා ආකර්ශණීය ඡන්ද ව්‍යාපාරයකින් පසු පැහැදිලි ජයක් අත් පත් කරගත් අතර ජනතාව සමග අදහස් හුවමාරු කරගෙන වැඩකරන ජනතාවට වග කියන පාලන ක‍්‍රමයක් ගැන අදහස් දක්වන්නීය.

සායි යින්ග් වංග් වාහන අලූත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සෙන්ග් පවුලේ බාලම දරුවාය. ඇය මුල සිටම කැමැත්තක් දක්වන්නේ නීතිය ඉගෙන ගන්නටය. තායිවාන විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබන සායි පසුව ඇමරිකාවට යන්නේ වැඩිදුරටත් ඉගෙන ගන්නටය. ඇමරිකාවේ කෝනල් නීති විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඇය ශාස්ත‍්‍රපති උපාධිය සහ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් ස්කුල් ඔෆ් ඉකොනොමික්ස් හි දී නීති ආචාර්ය උපාධිය සමත් වූවාය. මවුබිමට ආපසු පැමිණි සායි විවාහයක් ගැන හිතන්නේ නැත. මුලින් සාධාරණ වෙළඳාම සම්බන්ධ කොමිසමේ ප‍්‍රධානියා හැටියට ද පසුව පේන්ටඞ් අයිතිය සම්බන්ධ කොමිසමේ ද සේවය කරන ලද අතර ස්වදේශීය සහ ජාතික ආරක්ෂක යන අමාත්‍යංශ වල උපදේශිකාවක් ලෙස සේවය කරන්නීය.

දේශපාලනය දෙසට හැරෙන්නේ එයින් ඉනික්තිබිතිවය. 2006 අවුරුද්දේ සායි යින්ග් වංග් තායිවාන ආණ්ඩුවේ විධායක කාර්යාංශයට බඳවා ගැනෙයි. එහි උප ප‍්‍රධානියා වන අතර එය සැලකෙන්නේ එරට අගමැති ධුරයට සමාන ආකාරයටය. 2008 අවුරුද්දේ ඇය තායිවානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරටුගාමී පක්ෂයේ නායිකාව වශයෙන් තේරී පත්වෙයි. එහි දී ඇය ඉදිරි පත්වෙන්නේ රටේ අනන්‍යතාවය වෙනුවෙන්ය. නිදහස් ස්වෛරී රටක් හැටියට තැනක් දිනා ගන්නටය. සමාජ සාධාරණත්වය වෙනුවෙන්ය. මේ ගැන කතා කරන විට ඇයට එරෙහිව නැගුණේ ඇයගේම පක්ෂය මැතිවරණ වලට මුදල් එකතුකරගත් ආකාරය සහ ඒ වෙනුවෙන් විදේශ රටවල් වල සම්බන්ධතාය. පක්ෂයේ පැරණි දේ ගැන රහස් ආරක්ෂා කරන්නට සූදානම් නොවූ ඇය ඒ වෙනුවෙන් සොයා බලන සහ සියලූ තොරතුරු හෙළි කරන සූදානමක පසුවූවාය. රටේ වැරදි පමණක් නොව පක්ෂ යාන්ත‍්‍රණය ගැන ද අලූත් ආකාරයකට කතා කරන සායි යින්ග් වංග් ගේ ශක්තිය ගැන ජනතාව තේරුම් ගන්නට සූදනම් වන්නේ ඒ අනුවය. තියාවානය යනු තායිවානය මිස වෙනත් රටක කොටසක් නොවන බව කියමින් සහ විනිවිද පෙනෙන හොඳ පාලනයක්ගැන කතා කරමින් අවුරුදු හතරක් රට පුරා ගිය ඇය ප‍්‍රාදේශීය මැතිවරණයෙන් යහපත් ජයග‍්‍රහණයක් අත් පත් කරගන්නට සමත්වූවාය. එය ජනතාව කැමැත්තෙන් ගත් තීරණයක් බව විචාරකයෝ කරුණු සඳහන් කරමින් කියා සිටියේය.

තායිවානයේ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තරඟ කරන තීරණය ගත් පසු ජාත්‍යන්තර සහාය හිමිකරගත් සායි යින්ග් වංග් විශේෂයෙන් ඇමරිකාව තමන්ගේ පැත්තට හැරෙනු දැක උපේක්ෂා සහගත වූවාය.

පැවැති පාලනය ක‍්‍රියා කරන ආකාරය ගැන ජනතාවගේ කැමැත්තක් තිබුණේ නැත. හිටපු ජනාධිපතිවරයා චීනයට නැඹුරු සහ එහි ග‍්‍රහනයට නතු වූ උපායක සිටි අතර එය විවේචනයට ලක් වූ එකකි. චීන සම්බන්ධතා වලින් තායිවානයේ ආර්ථික වර්ධනයට යහපතක් සිදුවූයේ නැති බව දේශපාලන වේදිකාවේ දී විශාල හඬක් නැගුණ අතර වතාවක් චීනයට හිතැති රටවල් එකතු වී පවත්වන ලද නායක සමුලූව පවා සුළු වශයෙන් සංචාරක සහ ආයෝජන අවස්ථා ළඟා කරගන්නට සමත් වූ නමුත් එයින් සාමාන්‍ය ජනතාවට යහපත් වූයේ නැති බව බලවත් තර්කයක් විය. මිනිසුන්ගේ ජීවිත නගා සිටුවන, ජනතාවගේ පැත්තෙන් බලන උවමනාවක් රට තුළ මෝදු වෙමින් තිබිණ. අට අවුරුද්දක පැවැති පාලනය එපා වෙන්නට හේතු වූයේ ද සායි යින්ග් වංග් ජන සමාජය තුළ හැසිරෙමින් සිටි ආකාරය අනුවය.

නව ජනාධිපතිවරිය ගේ ප‍්‍රවේශය චීනය සලකා බැලූවේ ඔවුන්ට එරෙහිව නැගුණ සීනු නාදයක් හැටියටය. අවසාන දිනවල ඇගේ නම චීනයේ අන්තර් ජාල සෙවුම් යන්ත‍්‍ර වල පවා අවහිර කර තිබූ අතර එයින් පෙන්නුම් කළේ නව ජාතිකවාදිනියකගේ ගමන කොපමණ බලපෑමක් කරන්නේ ද යන්න බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළ ප‍්‍රමුඛ කාරණයකි. චීනය සහ තායිවානය අතර තිබූ සම්ප‍්‍රදායික දේශපාලන සම්බන්ධතා වෙනස්කරන්නට අලූත් ජනාධිපතිනිය සූදානම් නැත. එයට වඩා වෙනස් එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයේ වෙනස්කම් සහ ආර්ථික ගමන එයට වඩා වැදගත් බව සායි යින්ග් වංග් ස`දහන් කර තිබේ. කලාපයේ සාමය සහ සන්සුන්බව වැදගත් යැයි නව ජානාධිපතිනිය කියන්නේ, තව දුරටත් චීනයට තායිවාන දේශපාලනය අවනත කරගත හැකි නායකයන් පත් කරගත නොහැකිවනු ඇතැයි නොටින්හැම් හි චීන දේශපාලන අධ්‍යයන අංශය කරන සඳහන ගැන හිතන්නේ නැතිවය.

නව ජනාධිපතිනිය හැටියට ඇය කියන්නේ මිලියන විසි තුනක තායිවාන ජනතාවගේ අපේක්ෂා මුදුන් පත් කරන්නට පෙරමුණ ගෙන පියවර මනින බවය. සියලූ අභියෝග හමුවේ නැගී සිටින අතර ඒ වෙනුවෙන් ජනතාව එකතු වී තමන්ට ශක්තියක් වනු ඇතැයි විශ්වාසය පල කරන්නීය. ජනාධිපතිවරණයේ දී පක්ෂ හැටියට බෙදුණ නමුත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන ගමනේ දී වෙනදාටත් වඩා එකමුතුයි යනුවෙන් කියන්නේ දෑත දිගුකර අභියෝගාත්මක ආකාරයටය.

තායිවානයේ වගකීම භාරගෙන ඇති සායි යින්ග් වංග් අවිවාහකය. ඇය බුද්ධිමත්ය. ලෝකයේ නොයෙක් තැනින් අලූත් දේ එකතු කරගෙන තිබේ. මිනිසුන්ගේ ජීවිත ගැන සම්බන්ධතා ගැන අලූත් ව්‍යුහයකින් අදහස් දක්වයි. ඒවා මෙහි දී සලකා බලන්නේ නැත. තායිවානයේ සම්ප‍්‍රදායී දේශපාලනය වෙනස් කර කලාපයේ අලූත් ගමනක් යන්නට කරන උත්සාහය දෙස අවධානය යොමු කළ යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.