» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/01/2018 - දේශය
ඉන්දියාවේ අලුත් තුන්වැනි බලවේගය

රජිනිකාන්ත් දක්ෂ නළුවෙකි. දකුණු ඉන්දියාවේ සිනමා අම්බරයේ දිදුලන තාරකාවක් වන හෙතෙම දේශපාලනයට අවතීර්ණ වන බව ප‍්‍රකාශයට පත් කර තිබේ. දෙමල ජනතාව අතර ජනප‍්‍රියත්වයට පත් රජිනිකාන්ත් දේශපාලනයට කැඳවනු සඳහා අවස්ථා ගණනාවක දී උත්සාහ කර ඇත. හෙතෙම දේශාපලනයට අවතීර්ණවීම ප‍්‍රතික්ෂේප කරමින් සිටියේය. තමන්ගේ ජීවිතයේ හතලිස් පස් හැවිරිදි වියේදී සිංහාසනය භාරගන්නැයි ලැබුණ ඇරයුම පිලිනොගත් බව කියන රජිනිකාන්ත් හැට වැනි වියේ දී ද සිංහාසනය භාරගන්නේ නැති බව ප‍්‍රකාශ කර ඇත. එනමුත් ජනතාවට සේවය කර ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරන්නට අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් කියා තිබේ.

රජිනිකාන්ත් චිත‍්‍රපට එකසිය පනහකට වැඩි ප‍්‍රමාණයක රඟපා ඇති අතර එයින් වැඩි ප‍්‍රමාණයක් දෙමල නිර්මාණ වෙයි. මුල් කාලයේ දී චිත‍්‍රපට කර්මාන්තයේ සහායකයෙකු හා සහාය නළුවෙකු වූ හෙතෙම 1980-90 වකවානුවේ ර`ගපාන ලද චිත‍්‍රපටි වානිජ වශයෙන් අති සාර්ථකත්වයට පත් විය. බොලිවුඩ් තෙළිඟු මලයාලම් හා බෙගාලි සිනමාවට ද එකතු වූ හෙතෙම තමිල්නාඩුවේ ජනප‍්‍රියත්වයේ සංකේතය වශයෙන් සැලකිණ. රඟපෑ චිත‍්‍රපට වෙනත් භාෂා වලට හ`ඩ කවන ලද අතර ඒවා ආදායම් වාර්තා පිහිටුවා තිබේ. විශාල වශයෙන් ගෙවා රජිනිකාන්ත් තමන්ගේ චිත‍්‍රපට වලට ගැනීමට අධ්‍යක්ෂකවරු ඉතා කැමැත්තෙන් සිටි අතර සමහර චිත‍්‍රපට වාර්තාගත දින ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කරමින් අති විශාල මුදලක් උපයන්නට ද සමත් වූ බව අනාවරණය වන කරුණකි.

රජිනිකාන්ත් යනු අන්වර්ත නාමයයි. චිත‍්‍රපට ලෝකය සඳහා නම වෙනස් කරනලද නමුත් ඔහුගේ ජන්මයෙන් ලද නම ෂිවාසි රාවෝ ගයික්වාඞ් ය. හතරදෙනෙකුගෙන් යුතු පවුලක බාලයා වූ ෂිවාසිගේ පියා පොලිස් කොස්තාපල්වරයෙකි. මූලික අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට පෙනී සිටින නමුත් ඒ කාලයේ සිටම ෂිවාසි වැඩි කාලයක් ගත කළේ කෙළි සෙල්ලම් වලටය. ක‍්‍රිකට් පාපන්දු සෙල්ලම්කරන හෙතෙම ර`ගපාන්නට රුචියක් දැක්වීය. ඉගෙනීමෙන් පසු බැංගලෝරය හා චෙන්නායි හි නොයෙක් තැන්නවල එකිනෙකට වෙනස් සුළු රැකියා කිහිපයක් කළ හෙතෙම පසුව බැංගලෝරයේ බස් සමාගමක බස් කොන්දොස්තරවරයෙකු ලෙස වැඩ කරන්නට පටන්ගෙන තිබේ. මදුරාසි චිත‍්‍රපට ඇකඩමිය පවත්වන ලද රඟපෑම පුහුණු කිරීමේ පාඨමාලාවකට ඉදිරිපත්වන නමුත් දෙමාපියන් එයට කැමැති වී නැත. පසුව හිතවත් මිතුරන් ඔහුගේ ගමනට ආර්ථික උදව් කර ඇත. එහි පුහුණුව අතර තුර ඔහුගේ අනන්‍යතාව හදුනාගන්නා අධ්‍යක්ෂකවරයෙකු දෙමල භාෂාව ඉගෙනගන්නා සේ උපදෙස් දී තිබේ. සාර්ථකත්වය පෑදෙන්නේ එතැන් සිටය.

2016 වසරේ දී ඉන්දියානු ජනරජය රජිනිකාන්ත් වෙත පද්ම විභූෂණ සම්මානය පිරිනැමීය. තමිල්නාඩු රාජ්‍ය චිත‍්‍රපට සම්මාන උළෙලේ දී නම වතාවක් සම්මානයට ලක්ව ඇති අතර එයින් හය වතාවක්ම හොඳම නළුවා වීම විශේෂත්වයකි. ෆිල්ම්ෆෙයාර් සිනමා එක්ස්ප‍්‍රස් විජේ දකුණු ඉන්දියානු ඇතුළු එකිනෙකට වෙනස් සම්මාන උළෙලවල දී විශාල සම්මාන ප‍්‍රමාණයක් රජිනකාන්ත් වෙනුවෙන් පිරිනමා තිබේ. 2014 වසරේ ඉන්දීය ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේ දී සියවසේ විශිෂ්ඨතම ඉන්දියානු චරිතය වශයෙන් සම්මාන ලැබීම ද සඳහන් කරන්නට අවශ්‍යය.

ජනතාව අතර ඉහළම පිලිගැනීමක් පැවැති වකවානුවේ රජිනිකාන්ත් දේශපාලනය ප‍්‍රවේශ වනු ඇති බවට විශ්වාසයක් පැවතිණි. ජනතා සංවිධාන වලින් ඔහු පොළඹවන්නට විය. නමුත් එයට අවනත වූයේ නැත. සිනමා චරිත තමිල්නාඩු දේශපාලනයට පැමිණීම සුලභ වූ අතර එහෙයින් එයින් ඉවත් වෙන්නට රජිනිකාන්ත් කල්පනා කළ බව නිසැකය. දෙදරු පියෙකු වන රජිනිකාන්ත් ප‍්‍රබල දේශපාලන පක්ෂ හා පක්ෂ නායකයන් සමග සම්බන්ධතා පැවැති කාලයේ විවිධ තනතුරු ඔහු නමට ලියැවී තිබිණ. නමුත් ඔහු ඉක්මන් වූයේ නැත. හින්දු ආගමික බැතිමතෙකු වන හෙතෙම ආධ්‍යාත්මික ශක්තිය ගැන බලවත් විශ්වාසයක සිටී. එක් අවස්ථාවක චිත‍්‍රපටි රූගත කරන අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හෙයින් ඉන්දියාවේ රෝහල්වලින් ප‍්‍රතිකාර ගත් අතර එය වකුගඩු රෝගයක් නමුත් බද්ධ කිරීමක් අවශ්‍ය නැති බව පසුව නිවේදනය විය.

ඉකුත් වසර ගෙවී යන්නට දින කිහිපයකට කලින් ආන්දෝලනාත්මක තොරතුරක් බලාපොරොත්තු වෙන සේ සිය රසිකයන්ට ඉඟි කරන ලද රජිනිකාන්ත් වසරේ අවසාන දිනයේ දී ප‍්‍රකාශ කළේ පරිවර්තනයක් වෙනුවෙන් ජනතා නායකත්වය ගැනීමට සූදානම් බවය. ජයලලිතා ගේ අභාවයෙන් පසු තමිල්නාඩුවේ ද්‍රවිඩ මුනේත‍්‍ර කලහම් පක්ෂය තුළ බෙදීම් ඇති වූ අතර ජයලලිතාගේ ආසනය වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණය පවා ජය ගන්නට අපොහොසත් විය. ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම් පක්ෂයේ නායක කරුණානිධි අසනීපයෙන් වන අතර ඔහුගේ අනුප‍්‍රාප්තික එල්. කේ. ස්ටාලින් ප‍්‍රබල චරිතයක් නොවන බව පැහැදිලිව පෙනෙන කාරණයකි. මෙම ප‍්‍රධාන පක්ෂ දෙක අතර දෝලනය වෙමින් පැවැති තමිල්නාඩුවේ දේශපාලන බලය අතට ගැනීම සඳහා අලූත්ම පක්ෂයක් පිහිටුවීම රජිනකාන්ත් ගේ අදහස වී තිබේ. එය තුන්වැනි බලවේගය වශයෙන් හිස ඔසවනු ඇත.

2021 වසරේ දී තමිල්නාඩු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. එහි දී සියළුම ආසන වලට තරග කරන සැලැස්මක් ඇති බව රජිනිකාන්ත් ප‍්‍රකාශ කර තිබේ. දේශපාලනයට එන බව කියන අවස්ථාවේ දී හෙතෙම පළ කළ අදහස් ජාත්‍යන්තර මාධ්‍ය විසුරුවා හරිමින් සිටී. දේශපාලනයට එන ගමන තමන්ට උවමනා එකක් නොවූ නමුත් සෑහෙන කාලයක් තිස්සේ මාධ්‍ය මගින් එය ගොඩනගන ලද අතර තමන්ගේ ආගමනය එහි ප‍්‍රතිඵලයක් යැයි රජිනිකාන්ත් කියා තිබේ. බලවත් අය මාධ්‍යයට බය අතර තමන් බය නැති අතර එයට හේතුව තමන් දරුවෙකු හෙයින් බව ද කියා ඇත. දක්ෂ දුනුවායෙකු වශයෙන් සම්පූර්ණ ශක්තියම යොදවා දුනු දිය අදින්නට සූදානම් අතර අලූතින් ආරම්භ කරන ස්වාධීන දේශපාලන පක්ෂය තමිල්නාඩුවේ බලවත් වෙනසක් කරන බව දක්වා තිබේ.

රජිනිකාන්ත් ඉදිරිපත් කරන ඉතාම හැගීම්බර අදහස් අනුව දේශපාලනඥයන් පිරිහී ඇති අතර ඔවුන් බරපතල දුෂිතයන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක්ව ඇත. දේශපාලනඥයන් නිසා මිනිසුන් ලජ්ජාවට පත්ව තිබේ. අනෙක් ප‍්‍රාන්ත වල ජනතාව තමිල්නාඩුවට අවඥාවෙන් සිනාවෙමින් සිටී. මෙම තත්ත්වය වෙනස් කරන්නට අවශ්‍යය. පිරිසිදු හා පාරද්‍රෘෂ්‍යභාවයෙන් යුතු පාලන ක‍්‍රමයක් ඇති කරන තුරු තමන්ගේ ගමන නතර නොකරන බව රජිනකාන්ත් ප‍්‍රකාශ කර ඇත. කිසිසේත් එය පහසු අභියෝගයක් නොවන අතර පක්ෂයක් පිහිටුවා තරග කිරීම මහ මුහුද තරණය කරමින් මුතු ඇටයක් සොයා ගැනීමට කරන මෙහෙයුමක් හා සමාන කර තිබේ. එසේම එය නතර කරන්නට සූදානම් නැති බව ද අවධාරණය කර ඇත.

ධනය හා සමාජ ගෞරවය සහිත විෂිශ්ඨ පුද්ගලයන් දේශපාලනයට පැමිණෙමින් සිටින අතර ක‍්‍රමය වෙනස් කිරීම ඔවුන්ගේ ඒකායන අධිෂ්ඨානය බව පෙනේ. පක්ෂ දේශපාලනයට ඇතුළු වූ විට පක්ෂයේ චින්තනයට හිරගත වන අතර පුද්ගල අපේක්ෂා පටු දේශපාලනයෙන් අවහිර වෙයි. ආසියාවේ පමණක් නොව විශේෂයෙන් ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ යහපත් මිනිසුන් බලවත් පරමාර්ථ ඇතිව ප‍්‍රවේශ වන නමුත් අවසානයේ දී ඔවුහු කලකිරීමෙන් හා පශ්චාත්තාපයෙන් යුතුව හෙම්බත්වන බව ප‍්‍රකට කාරණයකි. රජිනිකාන්ත් එයින් ඔබ්බට ගමන් කරමින් තමිල්නාඩු දේශපාලන ව්‍යුහය වෙනස් කරනු ඇත්දැයි අවධානය යොමු කිරීම සුදුසුය.