» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/12/2015 - දේශය
හඳට යන්න සමාගම් දෙකක්

ඇමරිකානුවන් සඳ තරණය කර සඳ මතු පිට ඇවිද ගෙන ගිය පින්තූර ඉදිරිපත් කළ ද එය පිළිනොගන්නා කොටසක් අදටත් ලෝකයේ ජීවත්ව සිටී. ඔවුන්ට අනුව එය ඇමරිකානුවන්ගේ තවත් දක්ෂ රැවටිල්ලක් පමණකි. අභ්‍යවකාශයට යන්නට හැකියාවක් නැත. එවැනි විශ්වාසයක් ජනිත වෙන්නට හේතුවක් තිබේ. මන්ද අභ්‍යවකාශ තරණයේ තරඟය තිබුණේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතරය. ආණ්ඩු පමණකි. ආණ්ඩු කරන කියන දෑ අතිශය රහස්ය. ඒ ගැන තොරතුරු එළියට එන්නේ නැති තරම්ය. ඇමරිකාව ඇපලෝ යානා යවන විට සෝවියට් දේශය කළේ සොයුස් යානා අභ්‍යවකාශ ගත කිරීමය. ආණ්ඩු දෙකම මෙම අභ්‍යවකාශ වැඩ පිළිවෙලින් ආර්ථික අතින් හෙම්බත් වෙයි. බි‍්‍රතාන්‍ය, ඉන්දියාව, ප‍්‍රංශය හා චිනය ඇතුලූ රටවල් මේ වෙනුවෙන් මහන්සි වන නමුත් සිමා සහිත ආකාරයකටය. ඒ වෙනුවෙන් කරන ලද ආයෝජනය නිරර්ථක එකක් බවට අපවාද නැගෙයි. සෝවියට් දේශයේ සිදුවූ දේශපාලන පරිවර්තනය තුළ සහ ඇමරිකානු ආණ්ඩුවේ උනන්දුව අඩුවීම අභ්‍යවකාශ තරණ තර`ගය තාවකාලික විරාමයක් තැබීය.

දැන් එළැඹ ඇත්තේ අලූත් වකවානුවකි. අභ්‍යවකාශ තරණයේ අලූත් තරඟය ගැන ලෝක ජන මාධ්‍ය කතාකරන්නට පටන්ගෙන තිබේ. මිනිසුන් අභවකාශයට යවා ආපසු ගෙන්වා ගන්නා ගුවන් යානයක ආකාරයේ ව්‍යුහයක් නිර්මාණය කරන්නට ලෝක ප‍්‍රකට ව්‍යවසායකයන් දෙදෙනෙකු තරගයකය. මෙම තරගය ආණ්ඩුවල පාලනයෙන් මිදී සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට අතට ගෙන ඇති එකකි. එකී වැඩ පිළිවෙල සාර්ථක වූ දවසක හඳ ගමන මිත්‍යාවක් බව තවමත් විශ්වාස කරන කණ්ඩායමට ආයෙත් මුල සිට හිතන්නට සිදුවනු නිසැකය.

රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සහ ආණ්ඩු අත ගැවසෙමින් තිබූ අභ්‍යවකාශ තරණය අතට ගත් ජනතාන්ත‍්‍රිකයන් ගේ පසුබිම කෙබඳුද? එක් අයෙක් ජෙෆ් බෙසොස් ය. හෙතෙම ඇමෙසන් යන ප‍්‍රකට ඉ කොමස් ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. අනෙක් පුද්ගලයා ටෙස්ලා මෝටර් සමාගමේ ප‍්‍රධාන විධායක ඊලොන් මස්ක් ය. මෙම දෙදෙනා අභ්‍යවකාශ තරණය අපේක්ෂාවෙන් සමාගම් දෙකක් පිහිටුවාගෙන තිබේ. ජෙෆ් ගේ සමාගම බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ ගත කරන යානය මහ පොලවෙන් පිටත්වී අභ්‍යවකාශයට ගොස් නැවත මහ පොලවට පැමිණීමේ පළමු කඩ ඉම සාර්ථක ලෙස ජය ගෙන තිබේ. මේ දක්වා අභ්‍යවකාශ ගත කනර ලද රොකට් නැවත ගෙන්වාගත නොහැකි වූ අතර වායු ගෝලයට ඇතුළු වන විට ගිණිගෙන දැවී ඉතිරි වෙන්නේ කොටස් කිහිපයක් පමණකි. එහෙයින් යානා නැවත නැවතත් භාවිතා කිරීම කළ නොහැකි වූ අතර එහෙයින්ම අභ්‍යවකාශ තරණය අතිශය වියදම් සහගත කාර්යයකි. දැන් එළැඹ ඇත්තේ ඊලෝන් මස්ක් ගේ වාරයයි. ඔහුගේ ස්පේස් එක්ස් නමැති සමාගම මෙම පියවර තවත් ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ අවුරුද්ද අවසන් වෙන්නට කලින් අභ්‍යවකාශ ගමන් ඉතිහාසය අලූත් කරන ආරචියක් නිකුත්වනු ඇතැයි ජගත් ප‍්‍රජාව බලා සිටිති. විශේෂත්වය මෙම මෙහෙයුම කරන්නේ බිලියනපතියන් සේ සැලකෙන අලූත් අදහස් ඇති සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකු වීමය.

ජෙෆ් ඉගෙන ගන්නේ සාමාන්‍ය ආකාරයටය. ඔහු භෞතික විද්‍යාව හදාරයි. පසුව වෝල් සිටීට් සමාගමට බැදෙන හෙතෙම පරිගණක වැඩසටහන් සම්පාදකවරයෙකු ලෙස වැඩ අරඹයි. ඇමේසන් සමාගම ලියා පදිංචි කර අන්තර් ජාලය හරහා භාන්ඩ විකුණන සමාගමක් අරඹන්නේ 1994 දීය. එය නොසිතූ විරු ලාභ උපයා දෙයි. මුලින් තමන්ගේ නිවසේ ගරාජයක පවත්වාගෙන ගිය එය 2000 වන විට මේ ලෝක අවධානය දිනාගත් මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා සංකල්පය වෙනුවෙන් ස්පේස් එක්ස් සමාගම පිහිටුවන තරමට විශාල ධනස්කන්ධයක් උපයා ගනී. මෙම ධනවත්කමට වඩා වැදගත් එකක් බවට පත්ව ඇත්තේ අලූත් අදහස් නවතම ව්‍යවසායකත්ව බවට පත්කරන ලද ආකාරයයි. අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ විකිණිය හැකි බව පමණක් නොව නැවත නැවතත් අභ්‍යවකාශයට යැවිය හැකි යානා නිපදවීම ද හිතාගත නොහැකි දේවල් වශයෙන් පැවැතිණි. නමුත් ජෙෆ් ඒ සියල්ල වෙනස් කරයි.

අනෙක් පැත්තෙන් ඉදිරියට එන ඊලෝන් මස්ක් දකුණු අප‍්‍රිකාවේ උපත ලැබූ, අදවන විට නව සොයා ගැනීම් වෙනුවෙන් වෙහෙසෙන පර්යේෂකයෙකි. මූලික අධ්‍යාපනයෙන් පසු කැනඩාවට පැමිණි හෙතෙම එහි පුරවැසි බව ලබා පරිගණක මෘදුකාංග අංශයට යොමුවිය. දහ නම වැනි වියේදී ඇමරිකාවට පැමිණ පින්සෙල්වියානු විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබයි. තමන්ග් සහෝදරයා සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන හෙතෙම පසුව එය දියුණු කරගත් අතර එහි දෙවැනි පියවර බවට පත් කරගත්තේ පේ පැල් නමැති විද්‍යුත් මුදල් හුවමාරු ක‍්‍රමය හඳුන්වා දීමය. තව තවත් සමාගම් එකතු කරගෙන ව්‍යාපාර ලෝකයේ ඉදිරියට එන විට 2002 අවුරුද්දේ දී ඇමරිකානු ඩොලර් මිලියන සියයක ආයෝජනයකින් ස්පේස් එක්ස් නමැති අභ්‍යන්‍කාශ වැඩ සටහන ආරම්භ කරන තීරණයට එළැඹෙයි. එයින් ඉනික්බිතිව ටෙස්ලා යනුවෙන් නම් කරන ලද විදුලිය බලයේ ධාවනය කරන මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමු කරන ලද අතර සූර්ය බලශක්තිය පමණක් භාවිතා කරන සෝලා සිටි සංකල්පය යෝජනා කරන්නේ එයින් ඉනික්බිතිවය. මෙම සියලූ දේ තුළින් මිනිසුන් කිසිසේත් අපේක්ෂා නොකරන ලද කලාපයකට ජන ජීවිතය යොමු කරන සංකීර්ණ ආයෝජන වශයෙන් ඉතිහාසයට එකතු කරන්නට ඊලෝන් මස්ක් සමත්වීම විශේෂත්වයකි.

ස්පේස් එක්ස් නිර්මාතෘ ඊලෝන් මස්ක් ට පමණක් නොව බ්ලූ ඔරිජින් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ට ද ඇමරිකානු පාලනය උදවුකරමින් සිටී. මෙම සමාගම් වල ඉංජිනේරුවන් මෙම අභ්‍යවකාශ කර්මාන්ත ආයෝජනය සහඑයින් ගොඩ නැගෙන අලූත් වෙළඳ පොල ගැන සිටින්නේ මහත් විශ්වාසයක් ඇතිවය. එපමණක් නොව ලෝක ප‍්‍රජාව ද බලා සිටින්නේ මෙම කර්මාන්තයේ ඉලක්ක සාක්ෂාත් කරගන්නා ආකාරය ගැනය.

සමාගම් දෙක අතර අභ්‍යන්‍කාශ තරණයේ අලූත් යුගයක් ඇති කරන තරගයක් පවතින අතර ඒ වෙනුවෙන් එකිනෙක ආයතනවල වැඩ කරන කාර්ය මණ්ඩලය ගැන පවා දැඩි සොදිසියකින් රහස් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන බව පෙනේ. මේ බව කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය මෙම මෙහෙයුම ගැන බලවත් උනන්දුවකින් ලියන අතරවාරයේය. මෙයින් දශක කිහිපයකට කලින් ගුවන් යානයක් ගොඩබැසීම එම නගරය අවට සිටින ජනතාව විමතියෙන් අවධානය යොමු කරන සිද්ධියකි. කටුණායක ගුවන් තොටුපොලට බොයිං වර්ගයේ විශාල ගුවන් යානයක් පැමිණි අවස්ථාවක එය දැක බලා ගන්නට සෙනග පිරුණු ආකාරය පමණක් නොව පළමු කෝච්චිය ගමන් කරන විට එය විස්මිත දෙයක් වශයෙන් දකින්නට එකතු වූ ජනි ජනයා ගැන තොරතුරු මාධ්‍යවල ලියැවී තිබේ. නමුත් මෙම අදහස ඒ සියල්ලටම වඩා වෙනස්ය. තවත් අවුරුදු පනහක් පමණ වන විට මේ යුගයේ ජීවත්වන අයගෙන් යම් කොටසකට සංචාරයක් සඳහා උඩු ගුවනට ගොස් දින කිහිපයක් නතර වී ආපසු පැමිණෙන පසුබිමක් හැදෙන්නට බැරි නැත. එවැනි යුගයක් උදා වෙන්නේ අලූත් ආකාරයකට හිතන නායකයන්ගෙනි. අභ්‍යවකාශ තරණය ආණ්ඩුවට පමණක් කළ හැකි සාමාන්‍ය ව්‍යවසායකයන්ට අත් ගහන්නට නොහැකි ක්ෂේත‍්‍රයක් වශයෙන් කල්පනා කළානම් අද පවතින මෙම තරගය ඇතිවෙන්නේ නැත. ඉතාම වැදගත් කාරණය එයයි. රාජ්‍ය අතර පැවැති රාජ්‍ය වලට පමණක් සීමා වී තිබූ කර්මාන්තයක් තවත් වසර කිහිපයක් ඇතුලත පුද්ගලික අංශයේ ව්‍යාපාරයක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. එය ද සුළු පටු දෙයක් නොවේ. මිනිසුන් සහිත අභ්‍යන්‍කාශ යානා නැවත නැවතත් උඩු ගුවනට යවන ව්‍යාපාරයකි. ස්පේස් එක්ස් නිර්මාතෘ ඊලෝන් මස්ක් පමණක් නොව බ්ලූ ඔරිජින් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ද දකින්නේ එම සිහිනයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.