» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/11/2016 - දේශය
කාටූන් චරිතෙකට ගිය කාන්තා සවිබලය

එක්සත් ජාතින්ගේ සංවිධානය තිරසාර සංවර්ධන අභියෝග ජයගැනිමේ සැලැස්ම අනුව ඉලක්ක ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ලෝකවාසීන් අතරින් යොවුන් දැරියන් ඇතුළු සමස්ථ කාන්තාවන් බලවත්කරණය එම ඉලක්ක සහිත ප‍්‍රමුඛතා ලේඛනයේ පස්වැනි කාරණයයි. මෙම මතය ලොව පුරා විහිදුවන්නට සන්නාම තානාපතිධුරයක් නම් කර තිබේ. පසුගිය සතියේ කරන ලද මෙම නිල නම් කිරිම අනුව එකී වගකීම පැවරෙන්නේ කාටුන් චරිතයකටය. වොන්ඩවුමන් නම් ප‍්‍රකට කාටුන් සහ පසුව චිත‍්‍රපට වලට පවා එකතු වූ ප‍්‍රමුඛ නිර්මාණයක් වන වොන්ඩවුමන් සංකේතාත්මක සන්නාම තානාපතිධුරයකට පත්කිරීම බලවත් ආන්දෝලනයකට ලක්වෙයි. තවත් පැත්තකින් එය එක්තරා විරෝධයකට හේතු වෙයි. සියළු කාරණා වල එකතුව අවසානයේ දී උවමනාව සාක්ෂාත් කරයි. කාන්තාවන් බලවත්කරණය වෙනුවෙන් යමක් සිදුවෙමින් තිබේ.

වොන්ඩවුමන් චරිතය හැදී අවුරුදු හැත්තෑ පහකි. මෙම දශක හතකටවැඩි කාලය තුළ පරපුරෙන් පරපුරට මතවාදයක් සන්නිවේදනය කර ඇත. කාන්තා චරිතයක් වශයෙන් ස්වාධීන, අයුක්තියට එරෙහි වෙන එකකි. ලෝකයේ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය සමාන කර යුවතියන් හා කාන්තාවන් සවිබලගැන්වීමට මෙයට වඩා හොඳ චරිතයක් නැති බව මෙම නම් කිරීමට පක්ෂපාතී අදහස් ඇති අයගේ අදහසයි. එක්සත් ජාතීන් වසර 2030 වන විට තමන්ගේ න්‍යාය පත‍්‍රය සාක්ෂාත් කර ගැනීමට වෑයම් කරයි. එය පහසු නැත. එහි සඳහන් පස් වැනි කාරණය එනම් යුවතියන් හා කාන්තාවන් ජන සමාජය ඉදිරියේ පුරුෂයන් හා සමාන තැනකට කැඳවීම විශේෂ ප‍්‍රයත්නයකට යා යුතු එකකි. පහසුවෙන් ජයග‍්‍රහණය කරගත හැකි තත්ත්වයක් නොවේ. හැත්තෑ පස් වසරක ඉතිහාසයක් ඇති දිර්ඝකාලයක් ජන මන පිනවනලද චරිතයක් සන්නාම තානාපති සංකේතයකට තෝරා ගන්නේ එහෙයින්ය. නමුත් එය ප‍්‍රතික්ෂේපකරන කණ්ඩායමක් ද සිටී. උනන්දුවක් දක්වන පිරිසක් බව කියමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරන කණ්ඩායමක් මෙම නම් කිරීම නිල වශයෙන් කරන්නට කලින් මහ ලේකම්වරයාට සංදේශයක් බාරදෙමින් කියා සිටියේ මෙම ධුරය නම් කිරීම ගැන නැවත හිතා බලන ලෙසය. ‘‘ කාන්තාවන් සංහතිකය වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් බලවත් කරන ව්‍යාපාරය වෙනුවෙන් නම් කරන්නට තරම් හැබෑ පරමාදර්ශී ගැහැනියක සොයා ගැනීමට අසමත්වීම ගැන පශ්චත්තාපයක් ද එහි දක්වා තිබිණ.’’

වොන්ඩවුමන් යන සංකල්පය විලියම් මවුල්ටන් ඇතුළු කණ්ඩායමක හිත් වල පැන නැගුණ නිර්මාණ ව්‍යායාමයකි. 1941 දී එය එළි දක්වන්නේ කාටුන් චරිතයක් වශයෙන්ය. චිත‍්‍ර අඳින්නේ එච්. ජී. පීටර් නමැති දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකි. නිර්මාණකරුවන්ගේ අදහස ප‍්‍රකට ග‍්‍රීක දෙවඟනක වූ ඩයනා ජනතාව අතරට කැඳවීමය. හවුල්කරුවෝ සියළු දෙනා එනම් විලියම් සහ ඔහුගේ භාර්යාව ඇතුළු කණ්ඩායම එම කාර්යභාරය සාක්ෂත් කරගන්නේ ධෛර්යවන්ත චරිතයක් තෙලි තුඩෙන් සිතුවම් කර එය අසාධාරණයට සහ අයුක්තියට එරෙහිවන කාන්තාවක් වශයෙන් ජනගත කිරීමෙන්ය. එය ජන සිත් පැහැර ගනී. විශේෂයෙන් සමාජයේ සාධාරණත්වය පතන පිරිසට එය ශක්තිමත් අදහස් ඇති කරන බලවේගයක් බවට හැඟී යයි. 1975 දී පමණ එය රූපවාහිනී නිර්මාණයක් වශයෙන් කළ එළි බසී. ඒ වන විට එය සෙල්ලම් බඩු, ස්ටීකර්, වෙළඳ ලාංඡන වශයෙන් යොවුන් දැරියන් ගේ සිත් ආක‍්‍රමණය කර තිබුණ අතර පසුව ඒවා ඞී.වී.ඞී. වශයෙන් නිකුත් වෙන්නේ විශාල වෙළඳ පොලක් බවට පත් වෙමින්ය. නොබෝදා මෙම වොන්ඩවුමන් චරිතය ඇසුරු කරගනිමින් චිත‍්‍රපටයක් නිශ්පාදනය වෙයි. එය ලබන අවුරුද්දේ මැද ලෝකය පුරා බෙදා හැරෙනු ඇති අතර එය අලූත් වටයකින් වර්තමාන පරපුර ආකර්ශණය කරගෙන ඇති බවට මත පළවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම අලූත් ප‍්‍රවේශයට මුල පුරන්නේ චරිතයට අලූත් පැත්තක් විවර කරමින්ය.

චරිතය ආකර්ශණීය නමුත් මෙවැනි කාටුන් නිර්මාණයකට සන්නාම තානාපති ධුරයක් පිරිනමා කරන්නට හැකි මොනවාදැයි ප‍්‍රශ්න කරන පිරිස වොන්ඩවුමන් විවේචනයට ලක් කරමින් සිටී. වැදගත් වෙන්නේ කතාකරන්නට පුලූවන්, රටකින් රටකට ගිහින් ප‍්‍රචාරක සැලැස්මක් දියත් කරන්න හැකි මතයක් සහිත චරිතයක් බව ඔවුහු කියති. තෙලි තුඩින් නිර්මාණය වී ලෝකයපුරා ජන හද බැඳ ගත් කාටුන් චරිතපසුව පරිසරය, සාමය, සමානාත්මතාවය හෝ එකිනෙකට වෙනස් වෙළඳ නාම වෙනුවෙන් සන්නාම තානාපති ධුර වලට පත් අවස්ථා තිබේ. ටින්ක අ බෙල්, විනි ද පූ, හෙලෝ කිටි වැනි චරිත ඒ අතරින් අතලොස්සකි. ඒවායෙන් ලැබුණ සමාජ මෙහෙවර නොඑසේනම් වෙළඳ පොල වටිනාකම ගණන් බලා කියන්නට තරම් අපහසු අති විශාල වපරිසයක් පුරා පැතිර තිබේ. නමක් කියන ලද පමණින් ලොකු කුඩා දනන් අතර ඇතිකරන හැඳුනුම්කම එය මැන බැලිය හැකි මිනුම් දණ්ඩකි.

කෙසේ නමුත් මෙම වොන්ඩවුමන් සන්නාම තානාපති ධුරයෙන් ඉලක්ක කරන්නේ කුමක්ද?තවමත් පිරිමියා ඉදිරියේ කාන්තාව වෙනුවෙන් බලපවත්වන වෙනස්කම් දුරු කිරීමය. මාධ්‍ය භාවිතාව අනුව පවා කාන්තාව පිටුපසින්ට යන අදහස බහුලව දිස්වන බව එක්සත් ජාතීන්ගේ සංගමය නිරීක්ෂණය කරයි. කාන්තාවන් සෑම තුන්දෙනෙකුගෙන්ම අයෙකු ශාරීරිකව හෝ ලිංගිකව පිඩනයකට ලක්වන අතර එයට හේතුව මෙම කාන්තාවන් බලසතුකරණයෙහි සංකල්ප තවමත් ලෝකය පුරා සමාජගත නොවීමය. කාන්තාවන්ට එරෙහි වෙන්නට සහ නැගී සිටින්නට අති විශාල ආත්ම ශක්තියක් අවශ්‍ය වන අතර එයින් තොරව කාන්තාව බලවත් කිරිමේ උවමනාව සාක්ෂාත් කරගත නොහැකි බව එක්සත් ජාතීන් පෙන්වා දී තිබේ. ස්වකීය ජීවිතයේ දී එහෙම නැත්නම් වැඩ කරන ස්ථානයේ දි ස්ත‍්‍රී පුරුෂ සමාජ බාවය සමානව සැලකීම ඉතාමත් අවශ්‍ය කරන පරිවර්තනයක් වන අතර එය උදෙසා කරන බලවත් ප‍්‍රචාරක යාන්ත‍්‍රණයට හැත්තැ පස් වසරක් සම්පූර්ණ වූ වොන්ඩවුමන් ගැලපෙන බව මෙම නිල පත්වීම කරන අවස්ථාවේ දී ප‍්‍රකාශ වූ අතර ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා නිව්යෝක් හි දි එය අනාවරණය කරන ලද්දේ එහි මහ ලේකම් බැන් කී මුන් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දීය. එම උත්සවයට සමාන්තරව මෙම පත් කිරීම නුසුදුසු බවට නැගුණ විරෝධය, ඒ වෙනුවෙන් පුවරු එල්ලා ගෙන එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට පැවැති නිහඞ විරෝධතා නිරික්ෂණය කරන විට එය කාටුන් චරිතයකට අනපේක්ෂිත බලයක් පවරා ලෝකය පුරා උණුසුම් පුවතක් බෙදා හැරීමක් බඳු තත්ත්වයක් ඇති කරන ලද බව ද මෙහිලා සඳහන් කිරීම සුදුසුය.

එය අතරවාරයේ අවධාරණය කරන ලද්දේ මේ වන විට ලොව පුරා යුවතියන් මිලියන හැට තුනක් අධ්‍යාපනය අහිමි තත්ත්වයක පසුවන අතර අවුරුද්දක් පාසා මිලියන සංඛ්‍යාත දැරියන් පිරිසකට උසස් අධ්‍යාපනයට අවහිරතා ඇතිකරන අතර එයට බලවත් හේතුවක් වී ඇත්තේ මෙම කාන්තා බලවත්භාවයේ දුබලතා හෙයින් බවය. දිනපතා සෑම මොහොතකම වෙනසක් ඇති කරන්නට කැපවන කානාතාවන් සමරන්නට අවශ්‍ය බව ද එක්සත් ජාතීන් මතුකරන අදහසකි. මෙම සියල්ල අලූතින් හිතන අලූතින් පවතින සමාජය තුල සංවාදයට ලක්විය යුතුව තිබේ. චරිතයක් අවශ්‍ය සංකේතයක් වශයෙන්ය. කාන්තාවන්ට නිසි තැන, සම තැන නොඑසේනම් කාන්තාව බලසතුකරණය යන සංවාද පැතිර යන අවකාශයක වොන්ඩවුමන් නිර්මාණාත්මක මෙහෙවරක් සඳහා සූදානම් බව නිරීක්ෂණය කළ හැකිය.